Tuesday, December 29, 2009

නීති විරෝධී පෝස්‌ටර් හා කටවුට්‌ (අහෝ ලක්‌ෂ 128 ක්‌!)

නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කර තිබෙන ජනාධිපතිවරණ ප්‍රචාරක පුවරු හා පෝස්‌ටර් කම්කරුවන් යොදවා හෝ ගලවා ඉවත් කරවීමට රුපියල් ලක්‌ෂ 128 ක්‌ වැය වන බව මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක මහතා ප්‍රකාශ කර තිබේ. වෙනින් කාගේවත් නොව එතුමාගේ මුවින්ම පිටවී තිබෙන නිසා මේ ලක්‌ෂ 128 මුදල හරියටම හරි බව අපට සහතිකය. එහෙත් අප කාටත් මෙහිදී පොදු ප්‍රශ්නයක්‌ තිබේ. එනම් මෙසේ වැය කළ යුතු මුදල් කාගේද යන්නයි. රුපියල් ලක්‌ෂ 128 ක්‌ යනු කජු ඇට හෝ කොස්‌ ඇට ද නොවේ. එසේම මේසා මුදල් කන්දරාවකින් කරනු ලබන්නේද ජනතාවට තඹයක වුවත් ප්‍රයෝජනයක්‌ නොමැති වැඩක්‌ වීම අපගේ ඊළඟ විවේචනයයි. රුපියල් ලක්‌ෂ 128 කින් මේ රටට මොනතරම් වැඩදායක ව්‍යාපෘතියක්‌ කළ හැකිද? ජීවන වියදම තනි ඉලක්‌කමට පැමිණ තිබෙන බවට පුරසාරම් දෙඩුවත් එදා වේල පිරිමසා ගන්නට අමාරු දුප්පත් දරු පවුල් මේ රටේ සිටිති. ඒ අනුව බැලුවත් ලක්‌ෂ 128 ක්‌ අපරාදේ නාස්‌ති කිරීම පාපකර්මයක්‌ බව අපගේ පිළිගැනීමය. (එහෙත් අපි හෙණ නොඉල්ලමු.)

මැතිවරණවලදී මෙන්ම වෙනත් ප්‍රසිද්ධ රැස්‌වීම්, උත්සව, සම්මන්ත්‍රණ යනාදී බොහෝ අවස්‌ථාවලදී පෝස්‌ටර් හා කටවුට්‌ ප්‍රදර්ශනය කිරීම අලුත් දෙයක්‌ නොවේ. එහෙත් මේ පෝස්‌ටර් අලවන හෝ කටවුට්‌ ඉදිකරන කිසිම කෙනෙක්‌ තමන්ගේ කාර්ය අවසන් වූ පසු ඒවා ඉවත් කිරීමට ඉදිරිපත් නොවෙති. මහපාරවල් අසල ජීවත්වන බොහෝ දෙනෙකුට තම ආර්ථිකයෙන් සැලකිය යුතු මුදලක්‌ තාප්ප හා බිත්ති සුද්ද පවිත්‍ර කර ගැනීමට වැය වන බවද අපි දනිමු. කලාතුරකින් ප්‍රදේශයක පෝස්‌ටර් කන එළුවෝද සිටිති.

ඒ කුමක්‌ වුවත් පෝස්‌ටර් කරදරය සුළු පටු නැත. සන්නිවේදනය මොනතරම් දියුණු වී තිබුණත් පෝස්‌ටරය තවමත් ප්‍රබල ප්‍රචාරක ක්‍රමයක්‌ වීම නිසා බොහෝ දෙනෙක්‌ ඒ පිළිබඳව උනන්දු වීමද අපට තේරුම් ගත හැකිය. එහෙත් අනුන්ගේ තාප්පවල හා බිත්තිවල පෝස්‌ටර් ඇලවීමේ අසාධාරණ හා අශීලාචාර ක්‍රමය අපට අනුමත කිරීමටද නොහැක. එසේම පෝස්‌ටර් කලාව බොහෝ දෙනෙකුගේ බඩ වියත රකින රැකියාවක්‌ වීම තවත් ප්‍රශ්නයකි.

පෝස්‌ටර් තහනම් කළහොත් තවත් කී දාහකට බඩ රස්‌සාව අහිමිවිය හැකිද? ඒ කුමක්‌ වුවත් පෝස්‌ටර් ප්‍රදර්ශනය සඳහා විධිමත් ක්‍රමවේදයක්‌ ප්‍රාදේශීය හා නාගරික වශයෙන් අවශ්‍ය බව නම් කිව යුතුමය.

දැන් අපි මැතිවරණ කොමසාරිස්‌වරයාගේ පෝස්‌ටර් හා කටවුට්‌ ප්‍රශ්නය දෙසට හැරෙමු. මෙහිදී මතු වන වැදගත් හා ප්‍රමුඛම ප්‍රශ්නය නම් මෙම පෝස්‌ටර් හා කටවුට්‌ මැතිවරණ නීතිවලට පටහැනි වීමය. විශේෂයෙන් මුළු රටම සහභාගි වන ජාතික මැතිවරණවලදී නීතියට පිටින් කරන ප්‍රචාරක කටයුතු පිළිබඳ බරපතල විවේචන අපට ඇසෙයි.

මැතිවරණ කොමසාරිස්‌වරයා මැතිවරණ සඳහා ඉදිරිපත් වන සියලුම අපේක්‌ෂකයන්ට මෙන්ම දේශපාලන පක්‌ෂවලටද වේලාසනින්ම මැතිවරණ නීති රීති විස්‌තර කරන බවද කවුරුත් දනිති. එහෙත් එතුමාගේ වචන ඔහේ හුළඟේ යන බව අපටද බොහෝ විට පෙනේ. පොලිසිය වුවද එතුමාගේ අණට තැකීමක්‌ නොකරන බව කවුරුත් දන්නා සත්‍යයි.

මැතිවරණ කොමසාරිස්‌තුමාට පොලිස්‌ බලතල තිබුණත් එතුමාට කීකරු නොවීම පොලිසියට ප්‍රශ්නයක්‌ නැති බව පොලිසියද දනී. එහෙත් ප්‍රදේශයේ දේශපාලන බලවතාට ඉහළින් ගියොත් නොව නීතිය හරියටම ක්‍රියාත්මක කළත් පොලිසිය අමාරුවේය. බොහෝ පොලිස්‌ නිලධාරීන්ට හික්‌මීයන් සේ කරබාගෙන සිටීමට සිදුවී ඇත්තේ පොලිසියේ වරදටම නොව මේ ජරපත් දේශපාලන සංස්‌කෘතිය නිසා බව රටම දන්නා රහසකි.

මේ වර්ගයේ දේශපාලන නරුමයන් සමග පාතාලයද සම්බන්ධ වී සිටියි. ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩට පාතාල කණ්‌ඩායම් කීපයක්‌ සම්බන්ධවී සිටින බව පොලිස්‌ බුද්ධි අංශයට වාර්තා වී ඇතැයි සඳහන් පුවතක්‌ දිවයින (29 දා) පත්‍රයෙහිද පළවී තිබුණි. කොළඹ නගරයේ පමණක්‌ ප්‍රධාන පෙළේ පාතාල කණ්‌ඩායම් හතරක්‌ ප්‍රචාරක වැඩට එක්‌ව සිටින බවත් කඩුවෙල, බොරැල්ල, මාලිගාවත්ත, දෙමටගොඩ වැනි ප්‍රදේශවල මැරයන් සැරිසරණ බවත් එම වාර්තාවේ සඳහන් විය.

දැන් අටුවා ටීකා අවශ්‍ය නැත. පෝස්‌ටර් කටවුට්‌ නිසා පොලිස්‌ රාළහාමිලා අපරාදේ නොකවුට්‌ වන බව පොලිසිය දනී. දේශපාලනඥයන්ගේ සෙවණේ සිටින කෙබඳු මැරයකුට වුවද තිබෙන බලය අපි දනිමු. ඒවා ගැන ඕනෑවට වඩා කතා කිරීමද දැලි පිහිවලට ඇරයුම් කිරීමකි. නැතහොත් කාගේ හෝ වෑන් රියකින් ගොස්‌ කාණුවක හෝ ළඳු කැලෑවක්‌ අසලින් ගමන කෙලවර කරගත හැකිය. කරුමයකට මෙන් මාරකයක්‌ තිබුණොත් මිනී පෙට්‌ටියකින් ගෙදර ඒමටද බැරි නැත.

තතු මෙසේ හෙයින් මේ තත්ත්වය බරපතල ලෙස අවධානයට ගෙන මැතිවරණ කොමසාරිස්‌වරයාට උදව්වීම ආණ්‌ඩුවේ ප්‍රධානීන්ගේ වගකීමකි. අප දන්නා පරිදි ජනාධිපතිවරයා නම් වේලාසනින්ම තමන්ගේ කටවුට්‌ හා පෝස්‌ටර් ඉවත් කරන ලෙසට නියෝගයක්‌ද කර තිබුණි. නීතිය කාටත් පොදුය යන මූලධර්මයට එතුමා ගරු කළත් පහළ මට්‌ටමේ ඇතැම් අය නීතිය අතට ගෙන යකා නටන හැටි අපද දැක තිබේ.

කෙසේ හෝ නීති විරෝධී ලෙස පෝස්‌ටර් හා කටවුට්‌ තිබෙන්නේ ජනාධිපති අපේක්‌ෂකයන් පිළිබඳව බව අපගේ වැටහීමයි. ඒ ඒ පක්‌ෂවල අනුගාමිකයන් විසින් ඒවා කරන ලද බවද අපගේ පිළිගැනීමයි. මෙබඳු වාතාවරණයක්‌ යටතේ පොලිසියටද අහක බලාගෙන සිටීමට සිදුවේ. පාතාලය සමග මදාවි දේශපාලන චරිතද මේ කාර්යයට මැදිහත්වීම නිසා ප්‍රශ්නය තවත් උග්‍රවී තිබේ. ඒ නිසා මැතිවරණ කොමසාරිස්‌වරයාට සිය කාර්ය භාරය යුක්‌ති සහගතව හා බාධාවකින් තොරවද නීතියට එකඟවද සිදු කිරීමට සුදුසු වාතාවරණයක්‌ සලසා දෙන ලෙසද අපි ඉල්ලමු. අනෙක්‌ අතට ලක්‌ෂ 128 ක්‌ වැනි ජාතික ධනයක්‌ නිරපරාදේ වැය කිරීමෙන් පසුව වුවද මේ නීතියට පිටින් වැඩ කර "කලර්ස්‌" පෙන්වීමට හපන් දේශපාලන නරුමයන් පිළිබඳවද පියවරක්‌ ගත යුතු බව පෙනේ.
(දිවයින - 09/12/30)

ටිප්පණිය - රටට පිළියක් වී ඇති පෝස්ටර් වසංගතය පාලනය සඳහා විධිමත් පියවරක් ගත යුතුය. එය රටේ මුදල් දේ ආකාරයකින් විනාශ කරයි. පෝස්ටර් නිර්මාණය සහ ඇලවීම සඳහා විශාල මුදලක් වැය වෙයි. යළි ඒවා ගැලවීමටත් ඊට වඩා මුදලක් වැය වෙයි. මේ සියල්ල රටේ වඩා ඵලදායි වැඩ සඳහා යෙදවිය හැකි මුදල්ය. අනෙක් අතට මේ පෝස්ටර් නිසා නගර ගම් දනව්වල සුන්දර පරිසරයේ අලංකාරය පිරිසුදුකම විනාශ කරයි. එහෙයින් වහාම පෝස්ටර් ඇලවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යෙදවීම වැදගත්ය. ඒ සඳහා විශේෂ ස්ථාන සකසා තැන නොතැන නොබලා හැමතැනම පෝස්ටර් ඇලවීම තහනම් කළ යුතුය. මේ සඳහා වහා පියවර ගත යුත්තේ එකී පෝස්ටර් ව්‍යාපාරය ජීවිතාව කරගත්තවුන් වෘත්තිය සමිති පිහිටුවා ගෙන සිය අයිතිවාසිකම් ඉල්ලන තැනට ප්‍රශ්නය ඔඩු දුවන්නට පෙරය.

8 comments:

ems said...

ඉතිං සංවේදී නායකයාට දැනෙන්නේ නැද්ද තමන් දීපු නියෝග පහළ නිලධාරී ඉටු කරන්නේ නෑ කියලා? අනික ගළවන්න කියලා ඉතුරු වෙලා තියෙන්නෙත් මහින්ද මහත්තයාගේ කටවුට් විතරනේ? අනික් පැත්තේ ඒවා ගහද්දීම ගළවලා,පෙට්රල් බෝම්බ ගහලා දැම්මානේ?තමන්ගේ ඒවටත් ඒ වගේම කරන්න කියලා මහින්ද මහත්තයා නියෝගයක් දුන්නොත් නරකද?

නාමල් උඩලමත්ත said...

මම කීවේ පක්ෂ ගැන නෙමේ. සාමාන්‍යයෙන් පවතින ආණ්ඩුව පෝස්ටර් ව්‍යාපාරය තුළ බලවත්. ඒක යූඇන්පී කාලෙත් එහෙමයි. ඒ කාලේ පෝස්ටර් ගලවලා නෙමේ ගෙවල්වලටත් බෝම්බ ගහලා, විරුද්ධ පක්ෂෙ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා ඡන්ද තිබ්බේ. විරුද්ධ පක්ෂෙ ජනාධිපති අපේක්ෂකයාගේ ඡන්දෙත් හොර දාපු අයනෙ අද විපක්ෂෙ ඉන්නේ. මම කියන්නේ එයාලා එදා වැරදි කළ නිසා අද මේ අය වැරදි කරන එක හරි කියලා නෙමේ. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා කතාවක් තියෙනවනේ. අපි අනික් අයට ඇඟිල්ලක් දික් කරද්දි ඇඟිලි 3ක් අපට එල්ල වෙලා තියෙනවා. තමන් බලයේ ඉද්දි පුළුවන් තරම් ජඩ වැඩ කරලා බලය නැති වුණාම තමන්ගේ බැරිකම වහගන්න බයිලා කියලා වැඩක් නෑ.

මට කියන්න ඕන වුණේ මේ නිසා පක්ෂ බේදයකින් තොරව රටට වන හානිය ගැන. ඒ ව්‍යසනය වළක්වා ගන්න ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව ගැන. ඒත් අද ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන අය තව අවුරුදු 10න් බලයට ආවත් මේ ටිකම නොකර ඉඳි කියලා අපට හිතන්න පුළුවන්ද? විපක්ෂයේ අය කෑ ගහන්නේ ආණ්ඩුව සමග තරඟයට පෝස්ටර් බැනර් ගහන්න බැරි නිසා සහ එදා තමන් අයථා ලෙස යෙදවූ රාජ්‍ය බලය අනෙකා ළඟ ඇති නිසා මිස පෝස්ටර් නිසා විනාශ වන ජාතික ධනය හරි පරිසර අලංකාරය ගැන හරි හිතලා නෙමෙයි කියලා අපි දන්නවා. සමහරුන්ට ඒක තේරෙන්න විපක්ෂයේ ආණ්ඩුවක් එනකම් ඉන්න වෙනවා.

Ramachandra said...

//ඒත් අද ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන අය තව අවුරුදු 10න් බලයට ආවත් මේ ටිකම නොකර ඉඳි කියලා අපට හිතන්න පුළුවන්ද? විපක්ෂයේ අය කෑ ගහන්නේ ආණ්ඩුව සමග තරඟයට පෝස්ටර් බැනර් ගහන්න බැරි නිසා සහ එදා තමන් අයථා ලෙස යෙදවූ රාජ්‍ය බලය අනෙකා ළඟ ඇති නිසා මිස//

ඔන්න නාමල් ඔයා පොයින්ට් එකෙ ආවා.කිසිම පක්ෂෙකට රාජ්‍ය බලය යොදාගන්න දෙන් නැතිව සාධාරන විදිහට මැතිවරන තියන්න ඕනෙ කරන යාන්ත්‍රනයක් අපේ රටේ තියෙනවා.ඒ තමයි 17 වෙනි සංශෝධනය.ස්වාධින මැතිවරන කොමිසම තිබුනනම් රාජ්‍ය බලය කාටවත් අයුතු විදිහට යොදගන්න බැහැ.ස්වාධින පොලිස් කොමිසම තිබිල පොලිසියට දේශපාලකයන්ට කඩේ යන් නැතිව තින්දු ගැනීමේ අවස්ථාව තිබුන නම් ඒ වගේ නීති කඩද්දි හරියට වැඩකරන්න තිබුනා.ඒ වගේම ස්වාධින අදිකරන සේවා කොමිසම තිබුනනම් නීති කඩනකොට එන පැමිනිලි පක්ෂග්‍රාහී නොවී විසදගන්න තිබ්බා.ස්වාදීන රාජ්‍ය සේවා කොමිසම තිබුනනම් රාජ්‍ය සේවකයන්ව චන්ද වැඩවලට ගන්න එක නවත්තගෙන සාධාරන චන්දයක් කරන්න තිබ්බා.
සාධාරන මැතිවරනයකට 17 වෙනි සංශෝධනය කොයිතරම් වැදගත්ද කියන එක වැටහෙනවා නේද?ඒක බලාත්මකයි නම් හෙට විපක්ෂෙ බලයට ආවත් එයාලට කැමති විදිහට නටන්න බැහැ.පක්ෂ ශක්තිමත් කරනව වෙනුවට යාන්ත්‍රනයන් බලගන්වන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන හොදම විදිහ.ඒවට පයින් ගැහුවෙ මහින්ද රාජපක්ෂ නේද?
17 උල්ලංඝනය කරල රටපුරා හෙංචයියන් ලව්ව තමන්ගේ කටවුට් ගස්සලා දැන් ඒව සුද්ධ කරන්න ලක්ෂ 128ක් යනවලු.මේ ලක්ෂ 128 අපතේ යාමක් නම් ඒ අපතේ යාමෙන් 90% බැරවෙන්නෙ ජනාධිපතිගෙ ගිනුමට!මේ වගේ රාජ්‍ය බලය කැත විදිහට යොදාගන්න,රටේ මූලික නීතියට පයින් ගහපු,මහජන මුදල් කාබාසීනියා කරන අයෙක් ඇත්තටම දේශප්‍රේමි වෙන්නෙ කොහොමද?රටට ආදරය කරන කෙනෙක්ට ඔහොම ඒකාදිපති විදිහට හැසිරනේන පුලුවන්ද කියල හිතට එකගව කල්පනා කරල බලන්න.
(දැන් මගෙන් ෆොන්සේක ගැන අහන්න එපා.සරතුත් ඒ විදිහ කියල හිතමු මොහොතකට.ඒත් ඒක මහින්දව ප්‍රමෝට් කරන්න නිදහසට කාරනාවක් නෙමෙයි)

නාමල් උඩලමත්ත said...

ඔව් රාමචන්ද්‍ර එක්ක මම එකඟයි. ඒත් 17 වෙනි සංශෝදනය ගෙනාවේ කවදා ද? මොන වසරෙද ? කියලා මට කියනවද?

මාරයාගේ හෝරාව said...

මෙ රටෙ මෝඩයෝ හිතන්නේ පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම ගෙනාපුවාම ඔක්කොම හරියයි කියලා අනේ ගොන් රජුනේ තේරුම් ගනිල්ලා ඒ කොමිසම් පත් කලත් ඒවායේ සාමාජිකයෝ පත් කරන්නේ පිටරටවල් වලින්ද, එහෙමත් නැත්නම් කොහෙන් හරි රහතන් වහන්සේලා ගේනවද? අනේ මෙහෙමත් ගොන්නු ටිකක්. ඒ පත් වෙන්නෙත් මෙ රටෙ මොනයම් පක්ෂයකට හරි කත් අදින මිනිස්සු ටිකක් විතරයි. මතක තියා ගනිල්ලා අපේ රටෙ හුගක් අමනයින්ට ජාතියක් ආගමක් නැති උනාට දේශපාලන පක්ෂයක් තියෙනවා. මෙ බ්ලොග් ලියන මටත් තියෙනවා. හර නිදහස් මතවාදියො වගේ පෙන්නන්න හදන ems ටත් පක්ෂක් තියෙනවා. මායි ඌයි දෙන්නම විතරක් නෙවෙයි මෙවා ලියන බලන උඹලා හැමෝමත් එහෙමයි. දැන් ඔන්නං බොරුවට නැහැයි කියපල්ලා. දැන් මට කියපල්ලා ඔය කොමිසම් වල ක්‍රියාකාරීත්වය කොයි වගේද කියලා. මැටි හරක්.

මාරයාගේ හෝරාව said...

ටිකක් වෙරි පිට ලිවුවා උනත් මීට වඩා ඇත්තක් තවත් නැහැ. තොපෙ ආච්චිලාගේ 17 වැනි සංශෝධනේ...පුහ්

Ramachandra said...

ගෙනාවෙ 2001 අග.මගේ මතකෙ හැටියට 2004 වෙනකම් ඒක ක්‍රියාත්මක වුනා.ඒත් පූර්න වශයෙන් බලාත්මක කලේ නැහැ.2005 න් පස්සෙ සම්පූර්නයෙන් අතහැරල දැම්මා.
ලොකු බර තැබීමක් සහිතව ඒක ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙනවා.

නාමල් උඩලමත්ත said...

17 වෙනි සංශෝධනය කළ පමණින් සියල්ල සිදුවේයැයි සිතන්න බැහැ. අනෙක් අතට 2001 ඒක පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොකරන්න හේතුව කුමක් ද? ඒ යම් යම් අඩුපාඩු නිසා වෙන්න පුළුවන්. එදා එහෙම නොකර අද කරන්න කියලා ඒ නොකරපු අය කියන එකත් වැරදියි. මේ වගේ අවුරුද්දට එක ගාණේ සංශෝධන ගේන ව්‍යවස්ථාවක් වැඩක් නැහැ. මේ ව්‍යවස්ථාව වගේ ම සමානුපාතික නියෝජන ක්‍රමයත් අහෝසි කළ යුතුයි. මේ හැම වසංගයක්ම බෝ කරන්නේ ජාතියක් ජන්මයක් නැති පෝනියෙක් වගේ ව්‍යවස්ථාව කියලයි මට හිතෙන්නේ. අනෙක අර මාරයා කීවා වගේ මේ රටේ මිනිසුන්ගේ උප්පැන්නයෙන් ජාතිය ආගම අයින් කරලා පක්ෂය දාන්න ඕන එතැනට. එතකොට මිනිස්සු පක්ෂවල වහල්ලු නොවී රට ජාතිය ගැන හිත මිනිස්සු වේවි. දැන් මුන්ගේ ආගම ජාතිය හංවඩු ගහලා නිසා අගයක් නෑ.

 
සිය රට දේ සිරි සැප දේ !