Friday, October 15, 2021

නැවතත් මාවිල්ආරු වසයි...!

අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් ලබා ගැනීමේ සටන හෙවත් 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයේ දෙවන කොටස ගුරු වැටුප් සටනය. 

එහි අරමුණ ද සමාජයට එරෙහි විය නොහැකි පන්නයේ ඉතා ම සාධාරණ ඉල්ලීමක් ඉදිරියට දමා ජනතාව ගොනුකර එය ආණ්ඩු විරෝධයක් වෙත ක්‍රමානුකූලව යොමු කිරීමය. මම මුල සිට ම මේ අනතුරු ඇඟවීම කළෙමි.

රූකඩ ගුරු සංගම් නායතයින් කරන්නේ හිස් මාස්ටර්ස් වොයිස් අනුව ආණ්ඩුව ලබා දෙන ඕනෑ ම විසඳුමක පුංචි පරහක් හොයා ගෙන ඉන් රිංගා වර්ජනය ඉදිරියට කරගෙන ගොස් ආණ්ඩුව දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන බවට මතයක් ජනගත කිරීමය.

අවුරුදු 25ක් පැරණි යැයි කියන ඊනියා ගුරු වැටුප් ගැටලුව ඉතා ම දුෂ්කර වසංගත කාලයක වුව අදියර 4කින් අදියර 3කින් පමණක් නොව අවසානයේ අදියර 2කින් විසඳීමට ද ආණ්ඩුව ඉතා ම නම්‍යශීලිව කටයුතු කරන පසුබිමක වෘත්තීය සමිති ත්‍රස්තවාදය ඉතා ම ම්ලේච්ඡ ලෙස මාවිල්ආරු සොරොව්ව වසා දමා ඇත.

මේ අවස්ථාවේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් අනාගත දරු පරපුර වෙනුවෙන් දැඩි තීන්දුවක් ගතයුතුය. දරුවන්ගේ අධ්‍යාපන අයිතිය රැක දෙන්නට වහාම පාසල් ආරම්භ කළ යුතුය. රාජකාරිය සඳහා වාර්තා නොකරන සියලු දෙනාගේ පඩි කපා දැමිය යුතුය.

පාසලට පැමිණෙන ගුරුවරුන් සහ නව තාක්ෂණය ද භාවිතයෙන් අධ්‍යාපන කටයුතු ස්ථාපිත කළ යුතුය. කිසියම් දිනයක් ලබා දී එදිනට පෙර සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවයෙන් පහකර අවශ්‍ය නම් නව උපාධීධාරීන් බඳවාගත යුතුය. 

පිං පඩිපිට, වෘත්තීය සමිති බලහත්කාරය මගින් දියත් කර ඇති මේ අශිෂ්ට කුමන්ත්‍රණය දැන් වහා ම පරාජය කළ යුතුය. දරුවන්ගේ අයිතිය වෙනුවෙන් මේ කුමන්ත්‍රණය පරාජය කිරීමට දෙමාපියන් සංවිධානය වී පෙරට ආ යුතුය.

Thursday, October 14, 2021

දුරකතන අංක හිමිකම....

දුරකතන අංකයේ අයිතිය එහි හිමිකරුට ලබා දෙමින් තමන්ට උවමනා ඕනෑ ම දුරකතන සේවා ජාලයක සේවාව ලබා ගැනීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සැකසීම ඉදිරිගාමී ක්‍රියාවකි. මෙය ඉන්දියාවෙි සිදුව ඇත්තේ දශකයකට පමණ පෙරය.

එය කිසියමි දුරකතන ජාලයකට ග්‍රාහකයා බැඳ තබා ගෙන සූරාකෑමේ අනියම් හිමිකම අහෝසි කරයි. ඒ සමග ම දුරකතන සේවා සපයන සමාගම්වලට ද ගුණාත්මක සේවාවක් සපයන අතර තරඟකාරී අයකිරීම් වෙත යාමට ද සිදුවෙයි.



කෙසේ වුව ද මා නිවැරදි නමි මේ සමග ම 071 හෝ 070 යනු මොබිටෙල් 077 හෝ 076 යනු ඩයලොග් වශයෙන් මෙතෙක් ග්‍රාහකයාට අනෙකාගේ දුරකතන අංකය හඳුනා ගැනීමේ ඉඩ ඇහිරෙනු ඇත. 

එහි දී ඒ ඒ දුරකතන ජාලය තුළ ඇමතුම් සහ කෙටි පණිවිඩ සඳහා අය කරන ගාස්තුවට වැඩියෙන් එම ජාලයෙන් පිටත  වෙනත් ජාලයකට ගන්නා ඇමතුම් සඳහා අය කරන්නේ නම් පාරිභෝගිකයා නැවත වටයකින් අමාරුවෙි වැටෙනු ඇත.

එහෙයින් මේ සමග ම කිසියම් ජාලයක් තුළ සහ ඉන් පිටත යැයි අයකිරීම් දෙකක් පවත්වා ගෙන යාම ද අහෝසි විය යුතුය. එය මේ සමග සිදුවන්නේ දැයි මම නොදනිමි. එසේ වන්නේ නම් සතුටු වෙමි. නොඑසේ නම් එය ද මේ නව නීති බලාත්මක වන විට සිදුවිය යුතු බව අවධාරණය කරමි.

Sunday, October 10, 2021

ගෑස් මිලේ නොකියූ කතාව....

ගෑස් මිල ඉහළ ගියේ යැයි විපක්ෂ කණ්ඩායම් අමන්දානන්දයට පත්ව බුකියේ ජයපැන් බොති. ඒ ගෑස් මිල ඉහළ යාම නිසා ජනතාව පීඩාවට පත්වීමේ සතුට බෙදාගන්නා හැටිය. ඔවුන් සිතන්නේ ගෑස් මිල ඉහළ ගිය විට ජනතාව ආණ්ඩුව පෙරළා සජිත් ජනාධිපති කර පිහිටුවන ආණ්ඩුව මගින් අනුර නැවතත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත්කරනු ඇතැයි කියා විය යුතුය.

මේ වන විට ලෝක වෙළෙඳපො⁣ළේ ගෑස් මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙි. කලාපයේ ඉන්දියාව, පාකිස්ථානය ආදී රටවල ගෑස් මිල පවා පැවැතියේ ලංකාවේ ගෑස් මිලට බෙහෙවින් ඉහළිනි. එහෙත් ජනතාවගේ පහසුව තකා ආණ්ඩුව මුරණ්ඩු ලෙස ගෑස් මිල ඉහළ දැමීමට ඉඩදුන්නේ නැත.

මේ නිසා මෙතෙක් රජයට අනුබද්ධිත ලිට්‍රෝ සමාගම දිනකට ලක්ෂ 800ක් පාඩු ලද අතර දිගින් දිගට ම පාඩු ලද ලාෆ් සමාගම ගෑස් ආනයනය අතහැර දැමුවේය. ඒ නිසා හටගත් අර්බුදය තවම නිමක් නැත. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යන විට ඊට සාපේක්ෂව මිල ඉහළ දැමීමට කටයුතු කළේ නම් එවැනි අර්බුදයක් ඇති නොවේ. 


එමගින් රටට කෙතරම් පාඩුවක් වුව ද ලිට්‍රෝ ගෑස් මිල මේ මොහොතේ ඉහළ දැමීම නොව මෙතෙක් ඉහළ නොදමා සිටීමේ මෝඩ තීන්දුවට ජනතාව ආණ්ඩුවට ස්තූති කළ යුතුය. එය කෙතරම් දුර්වල වුව ද ජනතාව වෙනුවෙන් ගත් අවංක තීන්දුවකි. එසේ නොවන්නට ගෑස් මිල ඉහළ යන්නේ බොහෝ කලකට පෙරය.

කෙසේ වුව ද එසේ වී නම් ගෑස් පෝලීම් ඇති වන්නේ නැත. කිරිපිටි ආදී අනෙකුක් ආනයන සඳහා ද ඒ මූලධර්මය අනුව කටයුතු කළේ නම් කිරිපිටි පෝලීම් ද නැත. 

සහල් ප්‍රශ්නය ද ගෑස් ප්‍රශ්නය ද කිරිපිටි ප්‍රශ්නය ද ආණ්ඩුව හුදෙක් ජනතාව පැත්තෙන් පමණක් සිතාගත් හැඟීම්බර එහෙත් ප්‍රඥාගෝචර නොවන තීන්දුවල ප්‍රතිඵලය. එහෙයින් ආණ්ඩුව මේ අවස්ථාවේ හෝ ලෝක යථාර්ථයට රටේ ජනතාව අභිමුඛ කිරීම හොඳය. 

නොඑසේ නම් සිදුවන්නේ රට තුළ අිවිශාල භාණ්ඩ හිඟයක් ඇති වී ජනතාව මීට වඩා ප්‍රකෝප කරවන අන්තයක් වෙත ඇදගෙන යාමය.  ජනතාව බොහෝ විට තමන්ට ලද මේ නො අගයන අතර නොලැබුණු දේ පිළිබඳ මැසිවිලි නගති. 

එසේ ම ආණ්ඩුව ලිට්‍රෝ සමාගමට දිනකට ලක්ෂ 800ක් පාඩු ලබන පසුබිමක ගෑස් අඩු මිලට ලබා දීම ඔස්සේ සිදුවන්නේ එම පාඩුව දර ළිපේ උයන මිනිහාගෙන් ද නැවත අයකර ගැනීම නැතහොත් සියලු ජනතාව සමග සම සේ බෙදා ගැනීම බව ද නොකියා ම බැරිය. එක අතකින් එය අයුක්ති සහගතය. ගෑස් ලිපේ උයන අපේ බර දර ළිපේ උයන මිනිහා සමග බෙදා ගැනීම කෙතරම් යුක්තිසහගත ද?

මේ අවස්ථාවේ ජනතාව තේරුම්ගත යුත්තේ අප පසුගිය  සමයේ රු. 1500ට ලබාගත්තේ එවැනි දෙගුණයක් වටිනා ගෑස් බවය. අප අසල්වැසි රටවල ජනතාව එම සම්පූර්ණ මිල ගෙවා ගෑස් ලබා ගන්නා විට මෙරට ආණ්ඩුව රාජ්‍ය සමාගමට දවසට ලක්ෂ 800ක පාඩුවක් දරා ගනිමින් ජනතාවට සහන මිලට ගෑස් ලබා දුන් බවය. එහෙත් තවත් ඉදිරියට ඒ ගමන යාම යථාර්ථය නොවේ. 

මගේ යෝජනාව නම් අප රට තුළ යථාර්වාදී නොවන මිල පාලන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම කිසිසේත් නොකළ යුතු බව ය. ව්‍යාපාරිකයා ජනතාව සූරා කන තත්ත්වයක් තුළ මිස රජය ඊට මැදිහත් නොවිය යුතුය. පසුගිය අත්දැකීම්වලින් ආණ්ඩුව උගත යුත්තේ එයයි. අද පැවතියේ යහපාලනාණ්ඩුව  නම් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යන්නේ ලංකාවේ මිල ඉහළ ගිය පසු බව නම් නිසැක ලෙස ම කිව හැකිය.

©නාමල් උඩලමත්ත

 
සිය රට දේ සිරි සැප දේ !