Sunday, October 10, 2021

ගෑස් මිලේ නොකියූ කතාව....

ගෑස් මිල ඉහළ ගියේ යැයි විපක්ෂ කණ්ඩායම් අමන්දානන්දයට පත්ව බුකියේ ජයපැන් බොති. ඒ ගෑස් මිල ඉහළ යාම නිසා ජනතාව පීඩාවට පත්වීමේ සතුට බෙදාගන්නා හැටිය. ඔවුන් සිතන්නේ ගෑස් මිල ඉහළ ගිය විට ජනතාව ආණ්ඩුව පෙරළා සජිත් ජනාධිපති කර පිහිටුවන ආණ්ඩුව මගින් අනුර නැවතත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත්කරනු ඇතැයි කියා විය යුතුය.

මේ වන විට ලෝක වෙළෙඳපො⁣ළේ ගෑස් මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙි. කලාපයේ ඉන්දියාව, පාකිස්ථානය ආදී රටවල ගෑස් මිල පවා පැවැතියේ ලංකාවේ ගෑස් මිලට බෙහෙවින් ඉහළිනි. එහෙත් ජනතාවගේ පහසුව තකා ආණ්ඩුව මුරණ්ඩු ලෙස ගෑස් මිල ඉහළ දැමීමට ඉඩදුන්නේ නැත.

මේ නිසා මෙතෙක් රජයට අනුබද්ධිත ලිට්‍රෝ සමාගම දිනකට ලක්ෂ 800ක් පාඩු ලද අතර දිගින් දිගට ම පාඩු ලද ලාෆ් සමාගම ගෑස් ආනයනය අතහැර දැමුවේය. ඒ නිසා හටගත් අර්බුදය තවම නිමක් නැත. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යන විට ඊට සාපේක්ෂව මිල ඉහළ දැමීමට කටයුතු කළේ නම් එවැනි අර්බුදයක් ඇති නොවේ. 


එමගින් රටට කෙතරම් පාඩුවක් වුව ද ලිට්‍රෝ ගෑස් මිල මේ මොහොතේ ඉහළ දැමීම නොව මෙතෙක් ඉහළ නොදමා සිටීමේ මෝඩ තීන්දුවට ජනතාව ආණ්ඩුවට ස්තූති කළ යුතුය. එය කෙතරම් දුර්වල වුව ද ජනතාව වෙනුවෙන් ගත් අවංක තීන්දුවකි. එසේ නොවන්නට ගෑස් මිල ඉහළ යන්නේ බොහෝ කලකට පෙරය.

කෙසේ වුව ද එසේ වී නම් ගෑස් පෝලීම් ඇති වන්නේ නැත. කිරිපිටි ආදී අනෙකුක් ආනයන සඳහා ද ඒ මූලධර්මය අනුව කටයුතු කළේ නම් කිරිපිටි පෝලීම් ද නැත. 

සහල් ප්‍රශ්නය ද ගෑස් ප්‍රශ්නය ද කිරිපිටි ප්‍රශ්නය ද ආණ්ඩුව හුදෙක් ජනතාව පැත්තෙන් පමණක් සිතාගත් හැඟීම්බර එහෙත් ප්‍රඥාගෝචර නොවන තීන්දුවල ප්‍රතිඵලය. එහෙයින් ආණ්ඩුව මේ අවස්ථාවේ හෝ ලෝක යථාර්ථයට රටේ ජනතාව අභිමුඛ කිරීම හොඳය. 

නොඑසේ නම් සිදුවන්නේ රට තුළ අිවිශාල භාණ්ඩ හිඟයක් ඇති වී ජනතාව මීට වඩා ප්‍රකෝප කරවන අන්තයක් වෙත ඇදගෙන යාමය.  ජනතාව බොහෝ විට තමන්ට ලද මේ නො අගයන අතර නොලැබුණු දේ පිළිබඳ මැසිවිලි නගති. 

එසේ ම ආණ්ඩුව ලිට්‍රෝ සමාගමට දිනකට ලක්ෂ 800ක් පාඩු ලබන පසුබිමක ගෑස් අඩු මිලට ලබා දීම ඔස්සේ සිදුවන්නේ එම පාඩුව දර ළිපේ උයන මිනිහාගෙන් ද නැවත අයකර ගැනීම නැතහොත් සියලු ජනතාව සමග සම සේ බෙදා ගැනීම බව ද නොකියා ම බැරිය. එක අතකින් එය අයුක්ති සහගතය. ගෑස් ලිපේ උයන අපේ බර දර ළිපේ උයන මිනිහා සමග බෙදා ගැනීම කෙතරම් යුක්තිසහගත ද?

මේ අවස්ථාවේ ජනතාව තේරුම්ගත යුත්තේ අප පසුගිය  සමයේ රු. 1500ට ලබාගත්තේ එවැනි දෙගුණයක් වටිනා ගෑස් බවය. අප අසල්වැසි රටවල ජනතාව එම සම්පූර්ණ මිල ගෙවා ගෑස් ලබා ගන්නා විට මෙරට ආණ්ඩුව රාජ්‍ය සමාගමට දවසට ලක්ෂ 800ක පාඩුවක් දරා ගනිමින් ජනතාවට සහන මිලට ගෑස් ලබා දුන් බවය. එහෙත් තවත් ඉදිරියට ඒ ගමන යාම යථාර්ථය නොවේ. 

මගේ යෝජනාව නම් අප රට තුළ යථාර්වාදී නොවන මිල පාලන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම කිසිසේත් නොකළ යුතු බව ය. ව්‍යාපාරිකයා ජනතාව සූරා කන තත්ත්වයක් තුළ මිස රජය ඊට මැදිහත් නොවිය යුතුය. පසුගිය අත්දැකීම්වලින් ආණ්ඩුව උගත යුත්තේ එයයි. අද පැවතියේ යහපාලනාණ්ඩුව  නම් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යන්නේ ලංකාවේ මිල ඉහළ ගිය පසු බව නම් නිසැක ලෙස ම කිව හැකිය.

©නාමල් උඩලමත්ත

1 comment:

ජසොන් said...

2009-2015 කාලේ පෙනෙන නොපෙනෙන කිසි ආදායමක් නොගෙනෙන ව්‍යාපෘති වලට නය ගෙවීම නිසා රටේ ඩොලර් නැති වුනා.මේ ආන්ඩුව ආපු ගමන් සල්ලි තියෙන අයගෙ බදු අඩු කරලා රටේ ආදායම නැති කර ගත්ත . වැඩි ගානට එන්නත් ගෙනත් තව සල්ලි නැති කලා. ගෑස් විතරක් නෙමෙයි හැම බඩුවම ගනං. සමහර බඩු ඇත්තේ නෑ. කලින් ආන්ඩුව කාලෙ යන්තම් මෙහෙම වෙනකොට ආන්ඩුව මොකටද දැන් සැපද කියලා ඇහුවෙ. V8 ගත්ත අපේ පිං බත් ගිලින හොර ගණ හැත්ත දැන් කතා නෑ.

 
සිය රට දේ සිරි සැප දේ !