Monday, April 26, 2010

හිඟාකෑම තහනම්!!!

මීට කලකට පෙර දුම්රියේ සිඟමන් යැදීම තහනම් කිරීමේ නීති ගෙන ආ අතර දැන් එම නීතිය බලාත්මක වේයැයි සිතමි. අද දිවයිනේ මුල් පිටුවේ පුවතක පැවසෙන පරිදි මැයි 01 දා සිට පෞද්ගලික බස්වල සිඟමන් යැදීම තහනම් ය. එය නිතර බස්වල යනෙන මගීන්ගේ අමන්දානන්දයට හේතු වනු ඇත.

බස්වල හිඟන වේශයෙන් එන බොහෝ දෙනකු විසින් හිඟාකනු වෙනුවට මංකොල්ලකනු දක්නා ලැබේ. මුදල් නොදුන් අයට හිත රිදෙන දෑ පැවසීම, සුළු මුදලක් දුනි නම් එය මුහුණට ම දමා ගැසීම නැතහොත් දුන් මුදල ප්‍රසිද්ධියේ පැවසීම ඉතා සුලබය. පොල් පටවන්නා සේ මගීන් පටවන බස්වල කොන්දොස්තරගේ කන්දොස්කිරියාව ද විඳිමින් කරබා ගෙන හැකිලි ගමන් කරන මගීන් මේ හිඟන කරදරයෙන් මුදවා ගැනීම ගැන ගැමුණු විජේරත්නට අපි ස්තූතිය පළ කරමු.

මේ නීතිය පෞද්ගලික බස්වල පමණක් නොව ලංගම බස්වල ද ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් ක්‍රියා කරනු ඇතැයි අපි විශ්වාස කරමු. මෙරට නීතිය අනුව ප්‍රසිද්ධ ස්ථානවල හිඟාකෑම තහනම් බව ද පොලිසියට ඇත්තේ අදාළ නීති බලාත්මක කිරීම පමණක් බව ද පොලිසියට මතක් කරමු. දේශපාලන බලය ඇති හඟන මුදලාලිලාට මේ නීතිවලට විරුද්ධව ක්‍රියා කිරීමට උල්පන්දම් නොදෙන්නැයි අපි දේශපාලන උතුමන්ගෙන් ඉල්ලා සිටිමු.

නුදුරේදීම සමස්ත රටේ ම හිඟාකෑම තහනම් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. හිඟාකෑම කිසිවෙකුගේ අයිතිවාසිකමකැයි ලිප්ටන් රවුමේ උපවාස කිරීමට ද බැරි නැත. කසිප්පු පෙරීම කුඩු විකිණීම යමෙකුගේ අයිතියක් නම් පමණක් උක්ත අයිතිය ලබාදුන්නාට කම් නැත. එහෙත් ඇතැම් දේශපාලන හෙංචයියලාට අර පහත කී මානව අයිතිය ඇති බව කිවයුතු නොවේ.

Wednesday, April 7, 2010

ඡන්දයට පෙරවදනක්

ඔබ අද ඡන්දය පාවිච්චි කරන්නේ ඉතිහාසයේ අතිශය තීරණාත්මක මහ මැතිවරණයටයි. එහෙයින් ඔබේ වටිණා ඡන්දය භාවිත කරන මෙන් මුලින් ම ඉල්ලා සිටිමි. මැති + වරණය යන්නේ අරුත මන්ත්‍රීවරු තෝරා ගැනීමය. මෙහි දී පිරිසක් තෝරන විට පිරිසක් වාරණයට වෙයි. ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා ගත යුත්තේ කවුද සහ වාරණය කළ යුත්තේ කවුද යන්න ඔබ සිතා බැලුවාද?

මේ මහ මැතිවරණය ඔබට මෙන් ම ඔබටත් වඩා රටේ අනාගත පරපුර එනම් ඔබේ දුවා දරුවා කෙරෙහි තීරණාත්මක වන හෙයින් පෞද්ගලික වරදාන දොළ පිදේනීවලට ඔබේ ඡන්දය බිලිනොකරන මෙන් ඉල්ලා සිටිමි. වියිළි ආහාර පැකට්, රැකියා ඉල්ලුම් පත්වලට ඔබේ ඡන්දය පාවා නොදෙන්න.මේ ඡන්දය මව්බම වෙනුවෙන් එහි අනාගත යහපැවැත්ම වෙනුවෙන් භාවිත කරන්න. ඒ කෙසේද? සමාජ දූෂකයින්,බඩගෝස්තරවාදීන්, ජාති ද්‍රොහීන් පාර්ලිමේන්තුවට නොයැවිමෙනි.

ඔබේ ගමේ කසිප්පුකාරයාගේ වහල උඩ හිනාවෙන අපේක්ෂකයාට කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න. ඔහුට ඡන්දය දීම ඔබේ කුඩා පුතා, නූපන් පුතා බේබද්දෙකු කරන්නට දෙන මනාපයක් නිසාය.

අසල කැලැවේ හොරට ගස් කපන එකාගේ නිවසේ බිත්තියේ හිනාවෙන අපේක්ෂකයාට කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න. එය රටේ වන සම්පත විනාශ කොට අපේ සුන්දර මාතෘ භූමිය මහා කාන්තාරයක් කරනට දෙන මනාපයක් හෙයිනි.

ගමේ ඇළේ දොලේ ගඟේ හොරට වැලි ගොඩදමන එකා ආරක්ෂා කරන අපේක්ෂකයාට කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න.එය මේ රටේ සුන්දර පරිසරය විනාශ කොට අප නිදහසේ භුක්ති විඳින ජල සම්පත ඔබේ දරුවාට අහිමි කරන්නට දෙන මනාපයක් හෙයිනි.

පොලිසියේ රාජකාරියට බාධා කරමින් හොරු, ස්ත්‍රී දූෂකයින්, කුඩු කාරයින්, පතාළ මැරයින් ආරක්ෂා කරන අපේක්ෂකයාට කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න. එය හෙට ඔබේ දරුවා පුරවැසියා වන රටේ අවිනීතිය ආසාධාරණය රජ කරන්නට දෙන මනාපයක් හෙයිනි.

ෆෙඩරල්වාදය, බලය බෙදීම, ස්වයං පාලනය, ගැන නන්දොඩවන සර්පයින්ට කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න.එය නැවත රට මහා යුද්ධයකට ඇද ගෙන යාමටත් ඔබේ දරුවා ඒ යුද්ධයේ ගොදුරක් කිරීමටත් දෙන මනාපයක් හෙයිනි.

යුද සමයේ සැඟවි සිටි මැති ඇමතිවරුන්කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න.එය රටට බයගුල්ලන් සහ පතෝල පාලකයින් බිහි කිරීමේ පාපයට අත ගැසීමකි.

පහුගිය ජනාධිපතිවරණ සමයේ දේවදත්තයාගේ කාකි ෂූට් එකට බියේ සැඟවී සිටි නිවට මැති ඇමතිවරුන්ට කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න.එය අවස්ථාවාදීන් රට වෙනුවෙන් තීරණ ගැනීමට යැවීමේ මහා වරදට අත ගැසීමකි.

අවස්ථාවේ ආණ්ඩුවේ විපක්ෂය ලෙස නොව මාතෘභූමියේ විපක්ෂය ලෙස ක්‍රියා කරන විපක්ෂයට කුමන හේතුවක් නිසාවත් ඡන්දයක් නොදෙන්න.එය අපේ ම දූපුතුන් සොහොයුරන් ලේ හලා දිවි පුදා ලද යුද ජයග්‍රහණය හෑල්ලු කිරීමක් වන හෙයිනි.

ඔබට එජාපයට ඡන්දයක් දිය යුතුම නම් ඒ පක්ෂයේ රටට ද්‍රෝහී නොවූ යුද්ධයට අවමන් කළ අයෙකුට කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න.එය රටට ජාති ද්‍රෝහියෙක් බෝ කිරීමේ මහා පාපයට අත ගසා සදාකල් ඔබට තැවෙන්නට සිදුවන වරදකි. මරණ මංචකයේද ඔබට ඉන් ගැලවීමක් නම් නොලැබෙනු ඇත.

එසේ නම් ඔබ ඔබේ වටිනා ඡන්දය භාවිත කළ යුත්තේ කා වෙනුවෙන්ද? එය ඔබ උපන් ඔබේ දරුවා උපන්, උපදින අපේ උදාර මාතෘභූමිය වෙනුවෙන් භාවිත කළයුතු යැයි අපි යෝජනා කරමු. ඒ රටට දැයට ආදරය කරන ලක්මවගේ සුජාත දරුවන් වෙත ඔබේ ඡන්දය ලබාදීමෙනි.

අප පසු කළ යුද සමයේ රට වෙනුවෙන් පෙනී සිටියේ කවුද? හමුදාව දිරිමත් කළේ කවුද? හමුදා පවුල්‍වල ආරක්ෂාව සුබසාධනය වෙනුවෙන් පෙනී සිටියේ කවුද? ඔවුන්ට ඔබේ ඡන්දය දෙන්න. එය රටට දේශප්‍රේමීන් බිහිකිරීමකි.

ජනාධිපතිවරණ සමයේ රට මුහුණපෑ අභියෝගය තේරුම් ගෙන රට වෙනුවෙන් වැඩ කළ අවංක මිනිසුන්ට ඔබේ මනාපය දෙන්න. එය රටට අවශ්‍ය නායකත්වය දිනා දීමකි.

ත්‍රස්තවාදයට විරුද්ධ වී රටේ ඒකීයත්වය වෙනුවෙන් පෙනී සිටි නායකයින්ට ඔබේ ඔබේ මනාපය දෙන්න.එය රටේ මතු ආරක්ෂාවට රට වටා රන් වැටක් ඉදි කිරීමකි.

මේ සියලු ගුණාංගවලින් හෙබි විමල් වීරවංශ ප්‍රමුඛ පංචායුධ බලකායට, දිනේෂ්, චන්න සුදත් ජයසුමන වැනි සැබෑ දේශප්‍රේමීන්ට ඔබේ මනාපය නොබියව දෙන්න. එය ඔබ රට වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමකි. මව්බිමට ණය ගෙවීමකි.දේශප්‍රේමියෙකු ලෙස උපන්බිමට කළ හැකි විශාලතම යුතුකමක් ඉටුකිරීමකි. ඔබේ පමණක් නොව ඔබේ අනාගත පරම්පරා ගණනාවක අනාගතය සුරක්ෂිත කිරීමකි.

ඉතින් දෑත් ඔසවා අපේ උදාර මාතෘභූමිය ස්වර්ගයටත් ඉහළින් ඔසවා තබමු.ඒ වෙනුවෙන් අද දවසේ අපේ යුතුකම ඉටු කරනට රොද බඳිමු. මාතෘභූමිය දිනේවා! මාතෘභූමිය දිනේවා! මාතෘභූමිය දිනේවා!

Friday, March 26, 2010

ගොනාට ඇඳීම

කටින් බතල සිටවීමට මේ යුගයේ සිටින සුපිරි දක්ෂයා රනිල් වික්‍රමසංහය. ඔහු රටට සාමය ගේන්නට සටන් විරාම ගිවිසුමක් අත්සන් කළ අතර එය කොටින්ගේ අරමුණු ඉටු කළා මිස රට ලද සාමයක් නැත. පඩි වැඩි කරන බව පවසා වසර 2ට ඉලයට ආ වික්‍රමසිංහ උන්නැහේ 2 වන අවුරුද්දේ රු.1000න් පඩි වැඩි කළේ ය. එහෙත් ඡන්ද පොරොන්දුවල නොතිබු පෞද්ගලීකරණය විසින් රට ගිල ගත්තේය. රජයේ සේවය කප්පාදු කළ අතර සේවකයින් බඳවා ගැනීම නතර කළේය. දැන් ඔහු ආණ්ඩුවට බනින්නේ ළමයි ගඟට විසි කරන්න ආණ්ඩුව පාලම් හදනවා කියාය. රටට වරායවල් හදන්නේ ළමයින්ට පෙන්නන්නලු. රටේ සිදුවන සංවර්ධනයේ ඇතැම් දුර්විපාක ගැන අපට ද විවේචන තිබුණ ද වික්‍රමසිංහ උන්නැහේ හදන්නේ ජනතාවට ටොෆි චුවිම්ගම් බේස්ලට් පෙන්වා බලය ඩැහැ ගැනීමටය. රටේ සංවර්ධනය වෙනුවට ජනතාවට මාලු පාන් පෙන්වා රටේ ඉදිරි ගමන අඩාල කිරීමටය. කොටින් ම ජනතාව ගොනාට ඇන්දවීමටය. එහෙත් මෙවරත් ගොනාට අදින්න වෙන්නේ වික්‍රමසිංහ උන්නැහේට ම බව අප්‍රේල් 9 වන දින වෙද්දි සනාථ වනු ඇත. ඒ නිසා දිවයින කතුවරයා මතු කරන සැකය සාධාරණය.
 
සිය රට දේ සිරි සැප දේ !