Tuesday, January 5, 2016

සුනිලනුවන් දිගු කල් දිනේවා!

සුප්‍රකට ප්ලේබෝයි සඟරාව පෙන්වා දෙන පරිදි ලියෝ ටෝල්ස්ටොයිට පසුව සිය සාහිත්‍ය කලා නිර්මාණවලින් පීඩිත පන්තියේ ජනතාවට සුවිශාල මෙහෙවරක් කළ විශ්වීය කලාකරුවා සුනිල් පෙරේරා ය. එය අපට මහත් ආඩම්බරයකි. පසු ගිය වර ජනතා විමුක්ති පෙරමුණු මහ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සුනිලනුවන් තෝරා ගත්තේ ද එහෙයිනි. සුනිලනුවන් මෙරට වැටී තිබුණු ආගාධයෙන් ගොඩ ගැනීම සඳහා යහ පාලන යුගයක් ගෙන ඒමට පාන් තරුවක් මෙන් ජනතාවට පාර කියූවේ ය.

අඩ සියවසකට එහා දිවෙන කලා දිවියෙහි සුනිලනුවන් හෙළ කලා කෙත අස්වද්දන්නට කළ දෑ අපමණ ය. වරක් ඔහු කොළඹ රෝයල් කොලිජියේ පැවති සංගීත සුයාමයක පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් කළ මෙහෙවර ඉන් ඇබින්දක් පමණි. දහසක් සිහින සැබෑ කරමින් උදා වූ මේ යහ පාලන කේතුමති යුගයේ තව තවත් මෙවැනි නිර්මාණ කරමින් පීඩිත පන්තියට සේවය කිරීමට සුනිලනුවන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.

November 4, 2015 

සිසුන්ට පහර දීම විපක්ෂයේ බොරුවක්....!

එදා මහින්ද රාජපක්ෂ රෙජිමය මේ රටේ යුක්තිය සාධාරණය ඉල්ලා සිටි සරසවි සිසුන්ගේ ඔලු කටු පළා අත පය කඩා මර්දනය කළ ආකාරය දැක්වෙන පැරණි වීඩියෝ මේ දිනවල ශුද්ධ වූ යහ පාලන ආණ්ඩුව අපකීර්තියට පත් කිරීම සඳහා ප්‍රචාරය කරන ආකාරය දැකගත හැකි ය. යහ පාලන ආණ්ඩුව පත් කළ මේ රටේ උගත් බුද්ධිමත් තණ කොළ නොකන ජනතාව මෙවැනි ප්‍රචාරවලින් රැවටිය නොහැකි බව මෝඩ බයියන් තේරුම් ගත යුතු ය. ඒ ගැන අපට ඇත්තේ කනගාටුවකි.

යහ පාලන පංචවිධ ක්‍රියාවලියත් සමඟ තම දුවා දරුවාට හොඳ අනාගතයක් අත්වන බව උගත් දෙමාපියෝ දනිති. එමෙන් ම දහම් බේබි ජිනීවා ගොස් ෆේස් බුක් එකේ සටහන් කළේ ඊළඟ වාරේ රටේ තව තරුණ පිරිසක් එවැනි සමුළුවලට රැගෙන යන බව. ඒ අවස්ථාව ලැබෙන්නේ චතුරිකා සිරිසේනට, චතුර සේනාරත්නට, රඛිත රාජපක්ෂට හෝ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට නොව මේ රටේ සාමාන්‍ය ජනතාවගේ උගත් බුද්ධිමත් දරුවන්ට ය.
එහෙයින් බලය අහිමි වී වියරු වැටී බොරු වපුරන මාධ්‍ය සංදර්ශනවලට නොරැවටී යහ පාලනය විශ්වාස කරන්න. බයියන්ගේ මෝඩ සංදර්ශනවලට නොරැවටෙන්න. ඔබේ රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය නතර කර යහ පාලන වීඩියෝ බැලීමට හුරුවන්න. මෙලොව සත්‍යයක් ඇත්නම් ඒ සියල්ල එම වීඩියෝවල ගැබ්ව තිබේ.
දිනූ දේ රැක ගන්නට එන්න
රැකගමු අපි දිනු දේ එන්න.....

October 30, 2015 

ලංකාව ලොව ධනවත්ම රාජ්‍ය කිරුළට අතේ දුරින්..

ශ්‍රී ජනාධිපති මන්දිරයේ භූගත මාළිගාව පිළිබඳ සියලු තොරතුරු ඡායාරූප සමඟ මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වේගයෙන් ශක්තිමත් වීමට පටන් ගෙන තිබේ. පසු ගිය දිනවල රුපියල් 143ක් පමණ වූ ඇමරිකානු ඩොරලය මේ වන විට ශ්‍රී ලංකා රුපියල් 98කි.
කොටස් වෙළඳපොළ ගනුදෙනු වේගයෙන් ඉහළ ගොස් ඇති අතර අපනයන ආදායම් පෙරනොවූ විරූ ලෙස ඉහළ ගොස් ඊට සාපේක්ෂව ආනයන වියදම් පහත වැටී තිබේ. භාණ්ඩ මිල වේගයෙන් පහත වැටීම නිසා උද්ධමන අනුපාතය පහත වැටී ඇත. සංචාරකයින් රැගෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි ගුවන් යානා ගණනාවක් නැවත හරවා යැවීමට ගුවන් තොටුපළ බලධාරීන්ට සිදුවූයේ බලාපොරොත්තු නොවූ ලෙස සංචාරක පැමිණීම වැඩි වූ හෙයිනි.

නැෂනල් ජෝග්‍රෆි සඟරාවේ දකුණු ආසියානු වාර්තාකරු පෙන්වා දෙන ආකාරයට ජනාධිපති මන්දියේ භූගත මාළිගාව ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව ලොව ධනවත් ම රාජ්‍ය බවට තත්ත්වයට ඔසවා තබන යානාව බවට පත්වනු ඇත. වර්තමාන ආණ්ඩුවේ ඉතා දියුණු ආර්ථික දැක්ම නොවන්නට ශ්‍රී ලංකාවට මෙවැනි වේගවත් සංවර්ධනයක් ලබා ගැනීම දහවල් සිහිනයක් පමණක් වනු ඇති බව ඔහු තව දුරටත් පවසයි.

මේ අතර ලොව බලවතුන් වොෂින්ටන්හි රැස්ව ඇමරිකානු ඩොලරය වෙනුවට ශ්‍රී ලංකා රුපියල ජාත්‍යන්තර මුදල් ඒකකය බවට පත් කිරීමට කළ සාකච්ඡා බොහෝ දුරට සාර්ථක වූ බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා CNN වෙත සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබේ.

ලොව ඇතැම් රටවල් භූගත තෙල් සම්පත නිසා දියුණු වූ ආකාරය පිළිබඳ අපට උදාහරණ ඕනෑ තරම් තිබේ. එහෙත් භූගත මාළිගා සම්පත නිසා දියුණු වූ ලොව එක ම රට ලෙස අපේ ආදරණීය මාතෘ භූමියේ ශ්‍රී නාමය සදා ලොව ජන හදවත්හි වොරැඳෙනු ඇත. මේ වන විට ලොව දස දෙසින් රාජ්‍ය නායකයින්ගේ සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන්ගේ සුබ පැතුම් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත ගලා ඒම නිසා ජාත්‍යන්තර දුරකතන ජාලා අධික ලෙස කාර්යබහුල වී ඇතැයි BBC ආයතනය වාර්තා කර තිබේ.

October 29, 2015 
 
සිය රට දේ සිරි සැප දේ !