Wednesday, March 14, 2012

වැඩ බැරි ටාසන්ගේ කතාව

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව භාර සහකාර ලේකම් රොබර්ට් ඕ බ්ලේක් වෝෂින්ටන් නුවරදී පවසා ඇත්තේ ලංකාවේ නැවත ගැටුම් වර්ධනය විය හැකි බවකි. ශ්‍රී ලංකා හමුදාව යුද්ධය අවසන් වී වසර තුනක් ගත වී ඇතත් වාර්ගික ප්‍රශ්න අලුත් කරමින් සිටින බව ද යුද්ධව අවසාන අදියරේ දහස් ගණන් සිවිල් වැසියන් ඝාතනය වීම හමුවේ ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනය හමුවේ ලංකා ආණ්ඩුව අප්‍රසා‍දයෙන් සිටින බව ද ඔහු තව දුරටත් පවසයි. ලංකාවේ වගවීම සම්බන්ධයෙන් ඇමරිකාව අවදියෙන් සිටින බව ද එය රටේ සාමය සඳහා අවශ්‍ය බව ද ඔහු තව දුරටත් පවසයි.

බ්ලේක් මහතාගේ විලි ලැජ්ජා නැති ප්‍රකාශය අපි තරයේ හෙළා දකිමු. ගිය සතියේ ළමයින් ගැහුනුන් ඇතුලු නිරායුධ ඇෆ්ගන් වැසියන් පිරිසක් මරා දැමුවේ ඇමරිකන් භටයෙකි. ඊට පෙර නේටෝ කඳවුරක කුරානය ගිනි තිබ්බේය. ගුවන්ටනාමෝ කඳවුරේ තවමත් සිය ගණනකට වඳ හිංසා පමුණුවමින් රඳවා ගෙන සිටියි. ඔවුන්ගේ ගජ මිතුරා ඊශ්‍රායලය පසු ගිය සතියේ බෝම්බ දමා පලස්තීන වැසියන් 20ක් මරා දැම්මේ ය. ළමයි විශාල ගණනක් තුවාල විය. මේ සියල්ලට ම ඔබාමා කරන්නේ තමන් මේ අපරාධ ගැන සලිත වූ බවත් සොරි යැයි කීමත් පමණි. ඉතිහාසයේ සිට බැලුවහොත් ලෝකයේ සිටින භයානකම මිනිමරුවා තම ඇසේ පොල් පරාල ති‍යාගෙන අනුන්ගේ ඇස්වල රොඩු සෙවීමට යාම කවර නම් විහිළුවක් ද?

එරික් නෝල්ටන් නමැති ඇමරිකන් නීතිපති පවසන පරිදි සිය රටට සතුරු වන අය ලොව කොතැන සිටියත් මරා දැමීමටත් පැහැර ගෙන ඒමටත් ඔබාමාට බලතල තිබේ. එය දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට ලබා දී ඇති බලයක් ද? එහෙත් අපේ රට වසර 30ක් ලේ විලක් කළ ත්‍රස්තවාදීන් විනාශ කිරීමට අපට බලයක් නැත. යුද්ධය අවසානයේ සිදු වූ ඝාතන ගැන කතා කරන ඔවුහු වසර 30ක් තිස්සේ කොටි කළ ඝාතන ගැන කිසිවක් නොදොඩති. බිහිසුණු මිනිස්‌ ඝාතන 860 ක්‌ සමූල මිනිස්‌ ඝාතක 300 හා දේශපාලකයන් 160 ක්‌ හිටපු අගමැතිවරයකු, ජනාධිපතිවරයකු සහ විදේශ ඇමැතිවරයකු ඝාතනය කිරීම ඇතුළු අපරාධකාරී ක්‍රියා 6780 ක්‌ කොටි සංවිධානය විසින් සිදු කර තිබේ. ඔවුන් විසින් මරා දමා ඇති සිවිල් වැසියන් ගණන 9365කි.

එසේ ම 2009 වෙල්ලමුල්ලවයිකාල්හිදි ප්‍රභාකරන් ඇතුලු කොටි රංචුව ඝාතනය නොවන්නට මේ මරණ ලැයිස්තුව තව කෙතරම් ඉහළ යා හැකිව තිබිණි ද? කොටි විසින් අමු අමුවේ මරා දැමු ජනතාවගේ මානව හිමිකම් ගැන ඇමරිකාව ජිනීවාවලට යෝජනාවක් ගෙන ආවේ නැත. ඒ ඝාතන නවතාලන්නට නේටෝ හමුදා සහාය දුන්නේ නැත. සැබවින් ම කොටි විනාශ කිරීම හරහා කළේ රටේ බහුතර ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කර දීමයි. ජීවත්වීමේ නිදහස ආරක්ෂා කර දීමයි. යුද්ධය සුන්දර නැත. එහිදී යම් යම් වැරදි සිදුවිය හැකිය. එහෙත් ඒ දෙස බැලිය යුත්තේ පරමාර්ථය කුමක්ද යන්නය. හමුදාව ක්‍රියා කළේ කොටි විනාශ කිරීමට ය. සිවිල් ජනතාව මිය ගියේ නම් ඒ කොටි යුද මුක්ත කලාපවලට පැන සිවිල් ජනතාව සමග සිටිමින් ප්‍රහාර එල්ල කිරීම නිසා ය.

කොටි ග්‍රහනයේ සිටි ලක්ෂ තුනක් දෙමළ ජනතාව ආරක්ෂිතව බේරා ගත්තේ හමුදාව විසිනි. එහෙත් මේ ගැන ඇමරිකාව කිසිවක් නොකියයි. කොටි දිනා අප යුද්ධයෙන් පරාජය වී නම් මේ කිසිවෙක් අප ප්‍රශ්න නොකරනු ඇත. ඒ මරණවලට ද වගවීමක් නැත. මන්ද මැරුවේ කොටි විසිනි. සැබවින් ම ඇමරිකාවට ඇත්තේ ඉරිසියාව මුසු වෛරයකි. ඔවුන්ගේ අනුමැතිය නොමතිව ඊට පටහැනිව යුද්ධ කිරීමත් එය ජයග්‍රහනය කිරීමත් නිසාය. ඇමරිකාව ඉතිහාසයේ කළ කිසිම යුද්ධයක් දිනා නැත. වියට්නාමය කාම්බෝජය ඇෆ්ගනිස්ථානය ඉරාකය ලිබියාව ආදි යුද්ධවල ඔවුන් ලද ජයක් නැත. බෞද්ධ රටක් වන වියට්නාමයේ දී ලක්ෂ ගණනක් ඝාතනය කළ ද ඇමරිකාව ඉන් ලැබුවේ අන්ත පරාජයකි. එය කෙතරම් දරුණු වීද යත් වියට්නාම් යුද්ධය ඇමරිකන් ඉතිහාස පොත්වලින් ඉවත් කර තිබේ.

ඉරාකයේ සහ ලිබියාවේ තෙල් සම්පත් කොල්ල කෑමට හැකි වූ බව සැබෑ ය. එහෙත් ඒ රටවල් සම්පූර්ණයෙන් විනාශ වී ලේ ගංගා ගලා යන විශාලා මහනුවරවල් බවට පත් ව තිබේ. ගෝත්‍ර අතර ගැටුම් සදාතනික වී තිබේ. ලිබියාව දෙකඩ විය. මේ රටවල බෝම්බයක් පුපුරන්නේ නැති ඝාතනයක් නොවන දවසක් නැත. එසේ ලොව පුරා ගොස් ඇනගත් ඇමරිකාව සිය පරාජයන් සාධාරණීකරණය සඳහා කදිම න්‍යයාක් ද ප්‍රයෝජනයට ගනී. ඒ යුද්ධයෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බවය. එහෙත් අප අපේ ප්‍රශ්නය ඔවුන් බැරි යැයි කී මාවතේ ගොස් විසඳා ගත් විට දැන් ඊට වග උත්තර බැඳීමට සිදුව තිබේ. සැබෑව නම් එයයි. මේ චෝදනා ඇමරිකාව සිය විලි ලැජ්ජාව වසා ගැනීමට දරණ ප්‍රයත්නයකි.

ලංකා හමුදාව වසර 30ක් පැවති ත්‍රස්තවාදය විනාශ කළා පමණක් නොව ඊට පසු උතුරු නැගෙනහිර රතිඤ්ඤයක් පවා පත්තු නොවන තරමට ආරක්ෂාව තහවුරු කිරීමට සමත් විය. එවන් හමුදාවකට වාර්ගික ප්‍රශ්න අලුත් කරන බව පවසන බ්ලේක්ගේ කුලි හමුදාව ඇෆ්ගනීස්ථානයේ කරන්නේ ගැටුම් සමනය කරන වැඩ ද? ශුද්ධ වූ කුරානය ගිනි තබා මුස්ලිම් ජනතාවගේ ආගමට කළ නිගරුව කෙතරම් ද? එය කෙතරම් ම්ලේච්ඡ ද? නිරායුධ සිවිල් වැසියන් මරා දමා ඔවුන් ගොඩ නගන්නේ වාර්ගික සහයෝගිතාවද? ඔවුන් කෙළවර කළ යුද්ධයක් නැත. දිනූ යුද්ධයක් ද නැත. ගිය හැම තැනම වූයේ ඒ ඒ රටේ සම්පත් කොල්ලකා රටම ප්‍රශ්න ගොඩකට ඇද දමා කා පසුබැස යාම පමණි.

ඇමරිකාව නැමති වැඩ බැරි ටාසන්ගේ උපදෙස් අපට අවශ්‍ය නැත. අප උදව් ඉල්ලා නැති අවස්ථාවක උදව්වීමට බලෙන් එන්නේ කුමට ද? ඔවුන් විසින් විනාශ කළ රටවල මෙන් අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වන්නේ ද නැත. දැන් ද්‍රවිඩ ජනතාවට සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් විය හැකිය. එසේ සමගියෙන් ජීවත්වීම ඔවුන්ට ප්‍රශ්නයකි. නැවත ලංකාවේ යුද ගැටුම් ඇති විය හැකි යයි බ්ලේක් කියන විට ම දැන් කිසිම ගැටුමක් නැති බවද කියවේ. අපේ රට මේ තත්ත්වයට ආවේ ඇමරිකාවේ ආධාර උපදෙස් අනුව නොවේ. එහෙයින් ලංකා ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට සැබෑ කැක්කුමක් ඇත්නම් ඇමරිකාව කළ යුත්තේ තමන්ගේ වැඩක් බලා ගැනීමය. නැත්නම් තමන් කළ සහ කරන යුද අපරාධවලට තමන් ම ජාත්‍යන්තර යුද අධිකරණයේ නඩුවක් දමා ගෙන එල්ලී මැරීම ය.

මේ රටේ විපක්ෂය (ආණ්ඩුවේ නොවේ) අද ක්‍රියා කරන්නේ 1815 උඩරට ප්‍රභුවරු ක්‍රියාකළ අයුරිනි. එදා ඒ රදළයින් සිතුවේ රජු සුද්දා කුදලා ගෙන ගොස් පාලනය තමන්ට ලබා දේ යැයි කියා ය. මේ ප්‍රභූවරු ඒ වන විටත් රටේ ඒ ඒ කොටස් තමන් පාලනය කරන අයුරු පවා සැලසුම් කර තිබිණි. එහෙත් අවසන වුයේ සමස්ත රට සුද්දාට යටත් වීම ය. වසර දෙදහස් ගණනක් අප ආරක්ෂා කර ගත් නිදහස මේ රදළයින් විසින් පාවා දෙන ලදි. අද අපේ විපක්ෂය ද කරන්නේ ඒ ටිකමය. එහෙයින් රටේ දේශප්‍රේමී ජනතාව සිය රට ගැන අවදියෙන් සිටිය යුතුය.




Monday, March 12, 2012

තමාරාට කැපිල්ලක්, ජිනීවා මෙහෙයුම අඩාලයි

ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය තාමාර කුගනායගම් මහත්මිය මෑත ඉතිහාසයේ ලංකාව වෙනුවෙන් විශාලතම සේවයක් කළ නාතාපතිනිය ලෙස ඉතිහාසගත වී හමාරය. රට ගිනිගෙන දැවෙද්දි රට වෙනුවෙන් ඉටුවිය යුතු සිය තානාපති වගකීම් තඹයකට මායිම් නොකර යුරෝපයට වී සැප ගන්නා හරක් පට්ටියක් බවට පත්ව ඇති ලංකා තානාපති සේවයට මේ ද්‍රවිඩ කත පරමාදර්ශයකි. වයසට යාම, මැතිවරණයෙන් පරාදවීම, පවතින රජයේ ප්‍රබලයින්ගේ ඥාති හිතමිත්‍රාදීන් වීම සිය සුදුසුකම් කොට ගෙන තානාපතිවරු ලෙස පිට රටවලට යහපත් වන මේ හැත්ත ඒ රටවල නිවාඩුගත කරති. රාජතාන්ත්‍රික සැප ගනිති. සමහරු කොටි ඩයස්පෝරාව සමග ද නිදි වදිති.

මේ වන විට රටේ හතුරන් සමග මාරාන්තික සටනක නියැලෙන තමාරා කුගනායගම් මහත්මියට අදාළ තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් අවශ්‍ය සහාය නොලැබෙන බව වාර්තා වී තිබේ. මෙය ඉතාම භයානක තත්ත්වයකි. සිය පුද්ගලික අරමුණ වෙනුවෙන් මේ තීරණාත්මක මොහොතේ මෙවැනි කටයුතුවල යෙදීම තරම් දේශද්‍රෝහී ක්‍රියාවක් තව ඇද්ද? තමාරා පෙනී සිටින්නේ සමස්ත රට සහ එහි අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙනි. ඒ බව අවබෝධ කරගෙනඇයට අවශ්‍ය සහය ශක්තිය ලබා දීම සමස්ත රට වැසියාගේ වගකීමයි. තමන් තානාපති තානාපති වරප්‍රසාද ලබන්නේ රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට බව සෙසු නිලධාරීන් ද අව‍බෝධ කරගත යුතුය. එසේ නොකරන උන් වහාම මේ රටට කැඳවා දෙහිවල සත්තු වත්තට යවා මිනිසුන් අදාළ පුටුවලට පත් කිරීම රජයේ වගකීමයි. නැතහොත් මේ කඳ පණුවන් ඉහඳ තබන්නේ තමාරාට නොව අපේ මව් බිමේ අනාගතයට බව අවබෝධ කරගත යුතුය.

මේක කොහොම බැලුවත් බරපතළ කාරණයක්. තමාරා කුගනායගම් වැනි තානාපතිවරු මේ රට වෙනුවෙන් සේවය කරන්න වැඩි වැඩියෙන් අවශ්‍ය මොහොතක් මේක. ඒ වගේ වෙලාවක මුළු රටම ඇයට ශත්තියක් විය යුතුයි. ඒ සඳහා මේ රටේ මුදලින් තානාපති කාර්යාලයට අනුබද්ධ කර ඇති කිසිවෙක් ඒ සේවය පැහැර හරී නම් හුදු පෞද්ගලික ලාභ පතා වැඩ කරයි නම් වහාම එවන් කැනහිලුන් මෙරටට කැඳවා රටට දැයට හිතැති නිලධාරීන් වහා යැවීම රජයේ වගකීමක්.
රටට දැයට හිතැති කියන්නේ අර ඇමතිගේ දූ මේ ඇමතිගේ පුතයි ඇමතිතුමාගේ හොර ගෑණියි නෙමේ. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ දැනුම ඇති දේශප්‍රේමී නිලධාරීන්. අපි වහාම ද්‍රවිඩ ජාතිය මේ රටට හිතැති පිරිසක් කිරීමේ කටයුතු ආරම්භ කළ යුතුයි. තමාරා කුගනායගම්, ආරුන් තම්බිමුත්තු, පී. උදය රාසා වැනි අය රජයේ වැදගත් නිලතලවලට පත් කොට ඔවුන්ට අවශ්‍ය අභිමාණය ලබාදිය යුතුයි. ඔවුන්ගෙන් රටට ප්‍රයෝජන ලබාගත යුතුයි. ඒ ඔස්සේ සාමාන්‍ය දෙමල ජනතාවට අපට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන්. බෙදුම්වාදීන් බටහිර අධිරාජ්‍යවාදීන් NGO මුදලාලිලා මොනවා කීවත් අපි මේ රටේ ඔබට නිසි තැන ලබා දෙනවා කියලා.
ඒත් මේ ටික අපේ ආණ්ඩුවේ ඉන්න එවුන් තේරුම් අරගෙන නෙමේ වැඩ කරන්නේ. මේ රටට විශාල සේවයක් කරපු රටටම අභිමාණයක් වෙච්චි ආනන්ද කුමාරස්වාමී මහතා වෙනුවෙන් නම් කොට තිබූ මාවත 'නෙළුම් කුළුණ මාවත' කිරීමෙන් පැහැදිලි වෙන්නේ ඒ තකතීරු අමනභාවයයි. සැබවින් ම කළ යුතුය තිබුණේ මේ මාවත නෙළුම් කුළුණ මාවත කිරීම නෙමේ අර කුළුණ "ආනන්ද කුමාරස්වාමි අනුස්මරණ කුළුණ" කිරීමයි. ඒ වගේ සුළු දෙයකින් අපට රටට ලෝකයට දිය හැකි ආදර්ශය කෙතරම් ද? එහෙත් මේ රටේ කිහිප දෙනෙක් හැරුණු විට මැති ඇමතිවරු ඉහළ රාජ්‍ය නිලධාරීන් සියල්ලන් ම ජනාධිපතිතුමා මුරුංගා අත්තේ තබා යමක් කඩා වඩා ගැනීමට මිස රටේ අනාගතය ගැන හිතා යමක් කරන පිරිසක් නොවේ. රටේ අවාසනාව ද එයම වේ.

Sunday, March 11, 2012

මට මඩ ගහන්න හදනවා – ජෝන් සෙනෙවිරත්න

කහවත්ත මිනිමරුම ගැන තමන් කිසිවක් නොදන්නා බවත් මිනිමරුවන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව තමා කිසිවක් නොකළ බවත් සිය ලේකම්වරයා මෙය දැනගත් වහා ඉවත් කළ බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති පවසා තිබේ. මේ තොත්ත බාබා ඇමතිතුමා සිය ලේකම්වරයා තනතුරෙන් ඉවත් කළ පමණින් ප්‍රශ්නය විසඳේද?

යකෝ මේක මාර කතාවක්නේ. සම්බන්ධීකරණ ලේකම් කියන මිනිහා දැන් අවුරදු 20ක් මෙයා එක්ක වැඩ. සම්බන්ධීකරණ ලේකම්ගේ පුතාට ජොබ් එක දුන්නේ මෙයා. ඌ බන්ධනාගාරයට කුඩු ඇදලා හිරේ. එතකොට ලේකම්ගේ මල්ලි කසිප්පු පෙරනවා කුඩු විකුණනවා ගංජා ගහනවා. මෙයා බාබා. මුකුත් දන්නේ නෑ. මිනී මැරුම වෙලාත් මිනිමරුවා කවුද කියලා පලාත ම දැන ගෙනත් සති ගාණක් මිනිමරුවා නිදැල්ලේ හිටියේ අර කසි කබල් ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ බලයට ද? ප්‍රදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට පුළුවන් ද මේ රටේ පොලිසියට ඒ තරම් බලපෑම් කරන්න?

අවුරුදු 20ක් තිස්සේ ගරු ඇමතිතුමාගේ දේශපාලන හෙවනැල්ලට මුවා වී මේ සුනඛ රංචුව කෙතරම් ජඩකම් මැරකම් කරන්නට ඇද්ද? රටට කෙතරම් කුඩු පොවන්නට ඇද්ද? ඇමතිතුමා බන්ධනාගාර රැකියාව දුන් කුඩුමුදලාලි කෙතරම් කුඩු ඇතුළට අදින්න ඇද්ද? සම්බන්ධීකරණ ලේකම්ට ලබා දුන් කැබ් රථයේ කෙතරම් කුඩු නිල බලය පෙන්වා පලාත පුරා ප්‍රවාහනය කරන්න ඇද්ද? ඒ උතුමා මේ සියලු පව් මැදින් ගොස් 'මතට තිත' ප්‍රතිපත්තිය වෙනුවෙන් කෑ ගසන්නට ඇත.

තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්ගේ වතගොතවත් නොදන්න මිනිහෙක් තමා මේ රටේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති. අර කාලකන්නි මූසලයෝ තුන්දෙනා ලංකාවෙද නැද්ද? ස්වදේශ කටයුතු කියන්නේ පිට රට වැඩද? දැන් ලංකාවේ පාතාල කුඩු බිස්නස් කරන මැරයෝ ස්ත්‍රී දුෂකයෝ ඔක්කෝම ඉන්නේ පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ. නැත්නම් ප්‍රාදේශීය සභාවල. උන් ඒවයේ ඉඳ ගෙන ප්‍රභූ ආරක්ෂාව යටතේ සියලු බලු වැඩ කරනවා. මොවුන්ට දේශපාලන රැකවරණ දෙන අයට ඇත්තේ දේශපාලන ප්‍රතිරූපයක් නොව මිනීමරු පතාළ කුඩු ප්‍රතිරූපයක් බව රටට නම් අරුමයක් නොවේ.

මතට තිත කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගහලා ඡන්දේ අර ගෙන රටටම කුඩු බෙදන කුඩුකාරයෝ සම්බන්ධිකරණ ලේකම්වරු කර ගෙන තව කුඩුකාරයෝ බන්ධනාගාරයට දාලා කැබිනට් ඇමතිකම් දරන්න පුළුවන් පුදුම රටක් මේක. දැන් මේ රටේ තියෙන්නේ කුඩුපාලනය මැරපාලනය පතාලපාලනය මිසක් දේශපාලනය නම් නෙමේ. ප්‍රධාන පක්ෂ දෙකේ ම ඉන්නේ නීතියෙන් වහන් වෙන්න පක්ෂවලට රිංගපු දරුණු අපරාධකාරයෝ, පතාලකාරයෝ සහ උන්ගේ කර මතින් දේශපාලනය කරන මැරයින් ය. ඌරෙකුට මඩ ගැසීමෙන් අත්වන සෙත කුමක්දැයි මගේ මිතුරෙක් මගෙන් ඇසුවේ ඇමතිතුමාගේ උක්ත ප්‍රකාශය දැකලා ය.
 
සිය රට දේ සිරි සැප දේ !