Monday, December 12, 2011

උතුරට, නැගෙනහිරට දෙමළ බසින් වැඩකළ හැකි පොලිස් නිළධාරීන්- වාසුදේව

මේ රටේ පල්ල හැලිච්චි කොමියුනිස්ට් මාක්ස්වාදීන් දෙස සමාජය වපරැහෙන් බැලීම පුදුමයක් නෙමේ. මොකද මේ රට බෙදා පාලනය කිරීමේ සුද්දාගේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනි යන්න උන් බෝ කරපු ඇම්බැට්ටයෝ ටික තමා මේ.

හැබැයි උන්දැලා බෝතල් කළ වතුර නොබී අධිරාජ්‍යවාදයට බනිනවා රූපවාහිනියට ඇවිත්. දෙමළ ජනතාවට තමන්ගේ බසින් වැඩ කිරීමේ අයිතියට අපි ගරු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. ඒ නිසා රාජ්‍ය සේවයට දෙමළ භාෂා දැනුම විශේෂ සුදුසුකමක් කිරීම වගේ ම මේ විදිහට දෙමළ භාෂාව දන්න පොලිස් නිලධාරීන් බඳවා ගැනීමත් වැදගත්.

ඒ අය සිංහල දෙමළ මුස්ලිම් වෙන්න පුළුවන්. හැබැයි මේ අය සමස්ත රටේ පොලිස් නිලධාරීන් විදිහට ක්‍රියා කරන අය විය යුතුයි. බෙදුම්වාදයට පක්ෂපාති අය මේ සේවා සඳහා බඳවා නොගත යුතුයි. එහෙම වුණොත් අතීතය ආපහු වර්තමානය බවට පත් වීමේ අවදානමක් තියෙනවා. කොටි උතුරු නැගෙනහිර පොලිස් නිලධාරීන් 600 ගණන් මරා දමද්දි ඒ සඳහා කොටින්ට ඔත්තු සැපයූවේ බෙදුම්වාදයට පක්ෂපාතී දෙමළ පොලිස් නිලධාරීන් බව අමතක නොකළ යුතුයි.

ඒ වගේ ම දෙමළ දන්නා සිංහල පොලිස් නිලධාරීන් ද උතුරට යැවීම ඉතා වැදගත්. ඒ වගේ ම ඒ ජනතාවට ආදරයෙන් සලකන ඔවුන්ගේ අනන්‍යතාවට ගරු කරන වැදගත් මිනිසුන් මේ රාජකාරී සඳහා යැවීම වැදගත්. දකුණට දෙමළ පොලිස් නිලධාරීන් යැවීමත් වැදගත්.

අප දන්නා පමණින් දැනටමත් දෙමළ පොලිස් නිලධාරීන් 600ක් පමණ ද කොස්තාපල්වරු 1500ක් පමණ ද පොලිසියට බඳවා ගෙන තිබේ. එය ඉතා වැදගත්ය. පොලිසිය යනු තමන්ගේ ආයතනයක් ලෙස දෙමළ ජනතාවට හැඟෙන්න නම් එය කළ යුතුය. වසර 30ක් සිවිල් නීතියක් නොමැති පරිසරයක සිටි පිරිසකට සිවිල් නීතිය හඳුන්වා දීමේ දී එය ඉතා වැදගත්ය.

Wednesday, December 7, 2011

තේරීම් කාරක සභාවට ප‍්‍රධාන පක්‍ෂ නොපැමිණේ නම් ව්‍යවස්ථා සංශෝධනයක් - වාසුදේව

කාල් මාක්ස් ‍යුරෝපීය සමාජ දේශපාලනය ව්‍යුහය සලකා බලා ඒකී සංස්කෘතිය අනුව එක්තරා පරමාදර්ශී සමාජ දේශපාලන ක්‍රමයක් යෝජනා කර තිබේ. මාක්ස්වාදය නැමති මේ අදහස දේව වාක්‍යයක් ලෙස අදහන්නට වූ පිරිසක් බිහි වුයේ අප රටවලය.

සුළු ජාතික අයිතීන්, ස්වයං නිර්ණය අයිතිය ආදී කුණු හරුපවලින් මොලේ ආසාධනය වූ මේ පිරිස් හැම විට ම බලය බෙදීම වෙනුවෙන් පෙනී සිටියි. සෙසු ජාතීන් මහ ජාතියට සම්බන්ධ කර ගනු වෙනුවට ඔවුන් වෙන් කර තැබීම සඳහා විවිධ අදහස් ඉදිරිපත් කරයි. සෙසු ජාතීන්ට අවශ්‍ය වන්නේ මේ පල්ල හැලුනු වළව්කාරයින්ගේ අනුකම්පාව නොව ගෞරවය ආදරය කරුණාව බව මොවුන් වැටහෙන්නේ නැත.

බලය බෙදීම ඉඩම් පොලිස් බලතල ආදි සියල්ල දෙමළ ජාතිවාදී නායකයින් උතුරේ රජවීම සඳහා ඉල්ලා සිටින දොළ පිදේනි මිස අනෙකක් නොවේ. දකුණේ අපට පළාත් සභාවලින් ලැබී ඇති දෙයක් නැත. එහි එකම වාසිය තවත් බූරුවන් පිරිසකගේ බර ජනතාවගේ කර මත පැටවීම පමණි.

ඒත් මේ මාක්ස්වාදියෝ එදා ඉඳලා උත්තර හොයනවා. හැබැයි ප්‍රශ්නයක් නෑ. සියබලාණ්ඩුවේ සිරිසේන මාමාටයි යාපනේ සිද්ධාර්ථන් මාමටයි තියෙන්නේ එකම ප්‍රශ්න. ඒ ප්‍රශ්න විසඳන්න කළ යුත්තේ රටේ ආර්ථික තත්ත්වය ඉහළ දැමීම. හොරු නොවන ජීවත් වෙන්න යමක් කමක් ඇති පිරිසක් පාලකයින් ලෙස පත්කර ගැනීම මුලින් ම කළ යුතුයි.

රට බෙදලා කෑලිවලට කඩලා ඊනියා බලය බෙදීම් ෆෙඩරල්වලින් මේ ප්‍රශ්නවලට උත්තර සෙවීම කෙසේ වෙතත් නිය පොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන්වත් කපන්න බැරි තත්ත්වයට පත් කරන්න නම් පුළුවන්. ඒ නිසා මේ පිස්සු විකාර පළාත් සභා අහෝසි කරලා පෙර පැවති ගම් සභා ක්‍රමය ගෙන ආ යුතුයි. එය ගම දක්වා බලය බෙදී යන ක්‍රමයක්. ඒ නිසා මාක්ස්වාදී බරවයෙන් ගැලවී මේ පොළවේ පය ගසා ජීවත් වන මිනිසෙකු මෙන් ප්‍රශ්න දෙස බැලීමට සියලු ම මාක්ස්වාදීන් හුරු විය යුතුය.

Tuesday, December 6, 2011

බස් ගැමුණු බොරු කියයි

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගරු සභාපති තැන්පත් ගැමුණු විජේරත්න මහතා මෙදා ටොම් පචයක් ඇද බා තිබේ. ලංගම, දුම්රිය, කාර්යාල සේවා රිය, පෞද්ගලික වාහන, ත්‍රීරෝද රථ ආදි විකල්ප සේවා නිසා මගී ජනතාව දිනකට ලක්ෂයක් පමණ සිය බස් සේවා අතහැර යන බව ය. කොටින් ම කියනවා නම් මගී ජනතාවගෙන් 49%ට පෞද්ගලික බස් සේවය එපා වී තිබේ.

මෙය ටොම් පචයක් වන්නේ අන් දෙයක් නිසා නොව මගී ජනතාවට 100%න් පෞද්ගලික බස් සේවය අරහං වී ඇති නිසාය. 51%ක් පෞද්ගලික බස්වල යාමෙන් හෙළි වන්නේ ඔවුන් එය ප්‍රිය කරන බවද? ඒ අසරණයින්ට වෙන කිසිම විකල්පයක් නැති බවද?

1977 සිට ලංගමය විනාශ කර පෞද්ගලික බස් සේවය ආරම්භ කළේ අති උතුම් සද්ගුණවත් ජේ. ආර්. උතුමාය. ඒ ඉතිහාසය දන්නා මගීන් දිනපතා උදේ හවා ජේ. ආර්. උතුමාට සහ එතුමාගේ මව්පියන්ට පවා පුණ්‍යානුමෝදනා කරන බැවින් මම ඒ ගැන වැඩි යමක් නොලියමි.

කෙසේ වුව ද සිදුවූයේ ගැමුණු කියන දෙය නොව එහි සපුරා අනිත් පැත්ත ය. එනම් ඔහු පවසන පරිදි විකල්ප සේවා නිසා මගීන් බස් හැර ගියා නොව තක්කඩි අශික්ෂිත පෞද්ගලික බස් සේවය ගැන කලකිරී ජනතාව වෙනත් නේවා සොයා ගිය බවය. ඒ ඉල්ලුම සපුරාලන්නට අනෙක් සේවා බිහි වූ බවය.

මෙසේ පෞද්ගලික බස් සේවය පිරිහීමේ රෝග නිධානය හඳුනා නොගැනීම නිසා සිදුවන්නේ තව තවත් එම කර්මාන්තය ප්‍රපාතයට ඇද වැටීම පමණි. නිතරම අතීසාරයට අමුඩේ ගසන ගැමුණු ලංගම බස් ඇනිය වැඩි කිරීම පිළිබඳ වර්ජන තර්ජන කළේ වරක් දෙවරක් නොවේ. මිනිසුන් ලංගමයට ප්‍රිය කරන්නේ, දූවිලි වැකි මළ කෑ ලදරන් බස්වල එල්ලී යන්නේ එහි රියදුරු කොන්දොස්තර ළඟ තවමත් මානව ගති ඇති නිසාය.

එහෙයින් ගැමුණු කළ යුත්තේ පය බරවාට පිටිකර බෙහෙත් බැඳීම නොවේ. සිය බස්වලට ශික්ෂිත, අවම මානව ගතිවත් ඇති මිනිසුන් රියදුරන් සහ කොන්දොස්තරවරුන් පත් කිරීමය. හැමදාම කියන දිනකට මිලියන ගාණක් කප්පම් ගන්නා එවුන්ට විරුද්ධව ආණ්ඩුව ක්‍රියා මාර්ග නොගනී නම් ඊට එරෙහිව වර්ජනයක් කිරීමය.

එහෙත් ඔලුවෙන් හිට ගෙන ප්‍රශ්නය දෙස බලන ගැමුණු කරන්නේ වහාම ත්‍රිරෝද රථ ගෙන්වීම නවතනු කියා උඩු බෙරිහන් දීමය. ලංගමයට බස් නොගෙනනෙනු නැතහොත් ලංගමය විනාශ කොට මගීන් සිය මරු කටේ ලා ගැනීමට ඉඩ දෙනු කියා උඩු බිරීමය. එසේ කිරීමෙන් තව නොබෝ කලකින් පෞද්ගලික බස් දුටු තැන මගී ජනතාව ගල් මුගුරු කැට කැබිලිතිවලින් සංග්‍රහ කරන තත්ත්වයට පත්වීමේ භාග්‍ය උදා වනු ඇත.

 
සිය රට දේ සිරි සැප දේ !