Tuesday, December 6, 2011

බස් ගැමුණු බොරු කියයි

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගරු සභාපති තැන්පත් ගැමුණු විජේරත්න මහතා මෙදා ටොම් පචයක් ඇද බා තිබේ. ලංගම, දුම්රිය, කාර්යාල සේවා රිය, පෞද්ගලික වාහන, ත්‍රීරෝද රථ ආදි විකල්ප සේවා නිසා මගී ජනතාව දිනකට ලක්ෂයක් පමණ සිය බස් සේවා අතහැර යන බව ය. කොටින් ම කියනවා නම් මගී ජනතාවගෙන් 49%ට පෞද්ගලික බස් සේවය එපා වී තිබේ.

මෙය ටොම් පචයක් වන්නේ අන් දෙයක් නිසා නොව මගී ජනතාවට 100%න් පෞද්ගලික බස් සේවය අරහං වී ඇති නිසාය. 51%ක් පෞද්ගලික බස්වල යාමෙන් හෙළි වන්නේ ඔවුන් එය ප්‍රිය කරන බවද? ඒ අසරණයින්ට වෙන කිසිම විකල්පයක් නැති බවද?

1977 සිට ලංගමය විනාශ කර පෞද්ගලික බස් සේවය ආරම්භ කළේ අති උතුම් සද්ගුණවත් ජේ. ආර්. උතුමාය. ඒ ඉතිහාසය දන්නා මගීන් දිනපතා උදේ හවා ජේ. ආර්. උතුමාට සහ එතුමාගේ මව්පියන්ට පවා පුණ්‍යානුමෝදනා කරන බැවින් මම ඒ ගැන වැඩි යමක් නොලියමි.

කෙසේ වුව ද සිදුවූයේ ගැමුණු කියන දෙය නොව එහි සපුරා අනිත් පැත්ත ය. එනම් ඔහු පවසන පරිදි විකල්ප සේවා නිසා මගීන් බස් හැර ගියා නොව තක්කඩි අශික්ෂිත පෞද්ගලික බස් සේවය ගැන කලකිරී ජනතාව වෙනත් නේවා සොයා ගිය බවය. ඒ ඉල්ලුම සපුරාලන්නට අනෙක් සේවා බිහි වූ බවය.

මෙසේ පෞද්ගලික බස් සේවය පිරිහීමේ රෝග නිධානය හඳුනා නොගැනීම නිසා සිදුවන්නේ තව තවත් එම කර්මාන්තය ප්‍රපාතයට ඇද වැටීම පමණි. නිතරම අතීසාරයට අමුඩේ ගසන ගැමුණු ලංගම බස් ඇනිය වැඩි කිරීම පිළිබඳ වර්ජන තර්ජන කළේ වරක් දෙවරක් නොවේ. මිනිසුන් ලංගමයට ප්‍රිය කරන්නේ, දූවිලි වැකි මළ කෑ ලදරන් බස්වල එල්ලී යන්නේ එහි රියදුරු කොන්දොස්තර ළඟ තවමත් මානව ගති ඇති නිසාය.

එහෙයින් ගැමුණු කළ යුත්තේ පය බරවාට පිටිකර බෙහෙත් බැඳීම නොවේ. සිය බස්වලට ශික්ෂිත, අවම මානව ගතිවත් ඇති මිනිසුන් රියදුරන් සහ කොන්දොස්තරවරුන් පත් කිරීමය. හැමදාම කියන දිනකට මිලියන ගාණක් කප්පම් ගන්නා එවුන්ට විරුද්ධව ආණ්ඩුව ක්‍රියා මාර්ග නොගනී නම් ඊට එරෙහිව වර්ජනයක් කිරීමය.

එහෙත් ඔලුවෙන් හිට ගෙන ප්‍රශ්නය දෙස බලන ගැමුණු කරන්නේ වහාම ත්‍රිරෝද රථ ගෙන්වීම නවතනු කියා උඩු බෙරිහන් දීමය. ලංගමයට බස් නොගෙනනෙනු නැතහොත් ලංගමය විනාශ කොට මගීන් සිය මරු කටේ ලා ගැනීමට ඉඩ දෙනු කියා උඩු බිරීමය. එසේ කිරීමෙන් තව නොබෝ කලකින් පෞද්ගලික බස් දුටු තැන මගී ජනතාව ගල් මුගුරු කැට කැබිලිතිවලින් සංග්‍රහ කරන තත්ත්වයට පත්වීමේ භාග්‍ය උදා වනු ඇත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !