විධායක ජනපති ධූරයට තරග කළ හැකි වාර ගණන 2ට සීමා කර ඇති ව්‍යවස්ථා නීති වෙනස් කිරීමට ආණ්ඩුව ඉදිරියේ දී කටයුතු කරනු ඇත. මෙය ඉතිහාසයේ සිදුවිය හැකි භයානකම ව්‍යවස්ථා සංශෝධනන බැව් විපක්ෂයේ අදහසයි. මේ සංශෝධනයත් සමග රටේ සියලු ප්‍රශ්න දූරිභූත වී තව්තිසාව මෙරට උදාවනු ඇති බව ආණ්ඩුවේ අදහසයි.
මහින්ද ප්‍රමුඛ රජය ඊට කැමැති මේ සංශෝධන සමග තව බොහෝ කලක් රට පාලනය කළ හැකිය යන අදහස නිසා ය. විපක්ෂය ඊට අකමැති වන්නේ ද ඒ නිසා ය. මේ අදහසේ ඇත්තක් නැත්තේ නොවේ. දැනට මහින්ද ගොඩ නගා ගත් දේශපාලන පෞරුෂයට කිට්ටු කළ හැකි කිසිවෙකු මෙරට නැත. ඒ නිසා තව දෙතුන් වරක් වුව ඔහුට ජනාධිපතිවරණයකින් ජය ගැනීම කජ්ජක් නොවේ. ඒ සඳහා අවශ්‍ය කායික මානසික ශක්තිය ද ඔහුට තිබේ.
එක නායකත්වයක්, ප්‍රතිපත්තියක් යටතේ දශක කිහිපයක් රට පාලනය වීම එහි දියුණුවට හේතු වෙයි. එයට ලෝක දේශපාලනයෙන් නිදසුන් දිය හැකි ය. එමෙන් ම මහින්දට ඒ සඳහා දැඩි උවමනාවත් ඇති බව ද පෙනේ. රට පුරා සිදුවන සංවර්ධන ක්‍රියාදාමයෙන් එය පැහැදිළි වෙයි. එහෙත් වාහන අමතර කොටස්වල බදු අඩු කර දේශීය රථ වාහන නිෂ්පාදනය දිරිගන්වනු වෙනුවට වාහන බදු අඩු කිරීමෙන් එහි ඇතැම් සීමා ද දිස්වෙයි. අප වැනි රටවලට යම් විධායක බලතල සහිත නායකත්යක් අවැසි බවත් එහි වැදගත්කමත් පහුගිය යුද්ධය කෙළවර කරනට ඉන් සිදුවූ සේවයෙන් පැහැදිළි වෙයි. විධායක ජනපතිකම කදිම කඩුවකි. එය නිසි පුද්ගලයා අතට දීමට ජනතාව තීරණය කළ යුතුය. ඒ සඳහා අවැසි දේශපාලන විඤානය මෙරට ජනතාවට ඇති පහුගිය ජනාධිපතිවරණයෙන් පැහැදිළි වෙයි.
එහෙත් ජනාධිපති ධූරය සිය වරක් දැරිය හැකි වුව ද ඊට පත්වි හැක්කේ මහජන කැමැත්තෙනි. ඉතිහාසයේ දෙවන වර ප්‍රථම වාරයට වඩා ඡන්ද ලබා ගෙන ඇත්තේ මහින්ද පමණි. එහෙයින් එසේ රැඳී සිටීම ලෙහෙසි නොවන බව පෙනේ. මහජන කැමැත්ත රඳවා ගැනීම පහසු නැත. ඒ සඳහා ඔහු රටට වැඩ කළ යුතු ය. මේ මගේ අවසන් වාරය යැයි සිතා කිසිදු වැඩක් නොකර ධූර කාලය ගෙවා දැමූ චන්ද්‍රකා පන්නයේ ජනපතිවරු නව සංශෝධන යටතේ බිහි නොවනු ඇත. තණ්හාව තිබූ පමණින් කිසිවෙකුට ජීවිතාන්තය තෙක් ජනපති විය නොහැකි ය. ඒ සඳහා වැඩ කළ යුතු ය. එසේ වැඩ කිරීමය රටට අවැසි. ඒ බව පක්ෂ විපක්ෂ හැම සිහිතබා ගත යුතුය.
Monday, June 14, 2010
Saturday, June 12, 2010
විපක්ෂයට මල් මිටක්
රටට අහිතකර, අවාසිදායක සීපා ගිවිසුම රටට ම සඟවා අත්සන් කිරීමට එජාපය විරුද්ධ යැයි කබීර් හෂීම් මහතා කීවේ ය.හිරිකිත රෝෂාන්ලා මෙරටට ගෙන ආ අයිෆා වෙනුවෙන් අත්සන් කළ ගිවිසුම වහා හෙළිදරව් කර ඒ ගැන අවබෝධයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය ආරක්ෂා කරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිංහනාද කළේ ය.ආණ්ඩුව කරන හැමදේට ම පක්ෂවීමට නම් විරුද්ධ පක්ෂයක් අවශ්‍ය නැත. එමෙන් ම ආණ්ඩුව කරන හැමදේට ම විරුද්ධවීම ද වගකිව යුතු විපක්ෂයක ලක්ෂණයක් නොවේ.
විරුද්ධ පක්ෂයක් විරුද්ධ විය යුත්තේ ආණ්ඩුවේ වරදකට ය.එසේ විරුද්ධ වීම සාධාරණීකරණය සඳහා ජනතාව අබිමුව ඔවුන්ට තැබිය හැකි ප්‍රබලතම සාක්ෂිය තමන් ආණ්ඩු කරන සමයේ ද මේ වැරදි නොකළ බව නැතහොත් ඊට විරුද්ධ වූ බව පෙන්වා දීම ය.මෙදා විරුද්ධවීමේ පදනම එදා තමන් බලය හොබවන කල ආරක්ෂා කර තිබිණි නම් කිසිවෙකුට විරුද්ධ පක්ෂය අවස්ථාවාදී යැයි කිව නොහැකිය.අතීතය අමතක නැති අය ඉදිරියේ මේ සිංහනාදය, උඩුබිරුමක් වන්නේ ද නැත.රටේ දැයේ විරුද්ධ පක්ෂය වෙනුවෙන් ලියන තුප්පහි රෑන ආතක් පාතක් නැතිව අසරණ වන්නේ ද නැත.එහෙත් අවාසනාවට සිදු නොවන්නේ එයමය.
මේ විරුද්ධ පක්ෂ නායකයා එදා මෑත ඉතිහාසයේ රාජ්‍ය නායකයෙකු අත්සන් කළ වඩාත් රටට අහිතකර ගිවිසුම අත්සන් කළේ ය.ඒ රනිල් වික්‍රමසිංහට දොන් ජුවාන් ගෞරව උපාධිය දිනාදුන් ඊනියා සටන් විරාම ගිවිසුම ය.මොහු ජේ.ආර්.ඉන්දියාව සමග ගිවිසුම් ගසා ඉන්දිය හමුදාව මෙරටට ගෙන්වූ ආණ්ඩුවේ ද සිටියේ ය.තව ම බල පවත්වන ඉන්දු-ලංකා ගිවිසුම තම පාලන කාලය තුළ පවත්වා ගෙන ගියේ ය.මේ සියල්ල සිදුවන කල කබීර් හෂීම් මහතා ද යහතින් එජාපයේ සිටියේ ය.ඒ කිසිවකට මොවුන් විරුද්ධ වූ බවක් දන්නෙක් නැත.
රට දෙකඩ කිරීමේ අවසන් මොහොතට රට දක්කා ගෙන ගිය සටන් විරා ගිවිසුම අත්සන් කළ, රටේ ස්වෛරීත්වයට අභියෝග කළ ඉන්ද-ලංකා ගිවිසුම අනුමත කළ මේ අයට විරුද්ධවීමට තරම් බරපතළ ගිවිසුමක් මේ රජය අත්සන් කර තිබේ ද? එසේ අත්සන් කර ඇත්නම් විරුද්ධ වීමට හැක්කේ එදා අර ගිවිසුම්වලට ද විරුද්ධවූ අයට ම නොවෙද? ඒ පව්වලින් අපිරිසිදු වූ නොවු අත්වලට නොවෙද? රජය ගැසූ ගිවිසුම් හෙළි කරන්නැයි පැවසීමට නම් තමන් ගිවිසුම් ගැසීමට පෙර ඒවා රටට ඉදිරිපත්කර තිබිය යුතු නොවෙද? අනුන්ට ඇඟිල්ලක් දිගු කරන විට තමන් වෙත ඇඟිලි ගණනාවක් දිගු වී ඇතැයි සිතිය යුතු නොවද?මේ අවස්ථාවාදී හැසිරීම් ගැන අප සවිඥානික වීම සහ ඒවා හෙළිදරව් කිරීම ආණ්ඩුවට කඩේ යාමකැයි කීම කෙතරම් යුක්ති සහගත දැයි බුද්ධිමත් පාඨකයින් සිතා බැලිය යුතුය.
කෙසේ වුව ද ජනතාවට රටට ජාතියට මහත් ඵල මහත් ආනිසංස ගෙන දෙන ජයග්‍රහණයක් දිනා ගැනීමට පක්ෂ විපක්ෂ බේද ඉවතලා සියලු දෙනා එක්වීම මෑතදී අපට දැකිය හැකි විය. ඒ සිය මන්ත්‍රී වරප්‍රසාද යටතේ ගෙන එන සුඛෝපභෝගී රථයේ බදු වරප්‍රසාදය ඇ.ඩො.35000 සිට ඇ.ඩො.50000 දක්වා ඉහළ දැමීමට ය.එසේ ආණ්ඩුව රට වෙනුවෙන් ගත් තීරණය අනුමත කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පරයා විපක්ෂ මන්ත්‍රීවරු පෙරමුණ ගැනීම ගැන ද අපි සතුටු වෙමු.
මෙසේ බලන කල විපක්ෂය සැම විට ම රටට අහිතකර සීපා වැනි ගිවිසුම්වලට විරුද්ධ බවත් රටට හිතකර බදු වරප්‍රසාද වැනි දේට පක්ෂ බවත් අප අවබෝධ කරගත යුතුය. දැන් අප සීපා ගිවිසුමට පක්ෂ බව කීවේ යැයි යමෙක් මෙහි ලිවීමට සැරසේ නම් යළි මගේ ලිපිය කියවන්නැයි අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි.
Thursday, June 10, 2010
ආදරණීය සිරස !
රූපවාහිනී නාළිකාවකි; සිරස. මේ අඩුපාඩුව ශ්‍රී ලාංකේය ජාතියට ඉදිරියට යාමට ඇති විශාලතම බාධකය වශයෙනි; සිරස සලකන්නේ. අපේ රටේ ළදරු මරණ අනුපාතය, ගැබිනි මරණ අනුපාතය ඉහළ ගියේ එහෙයිනි. උද්දමනය ඉහළ ගියේ එහෙයිනි. ගෑස්, පාන් පිටි, කිරි පිටි මිල ඉහළ ගියේ එහෙයිනි. කොටින් ම 1505 පෘතුගීසි මෙරටට පාත්වූයේත් 1815 සුද්දා මුළු රට ම යටත් කරගත්තේත් අපට හරිහමන් ගායකයෙක් නොසිටි නිසා බව සිරස දැඩිව විශ්වාස කරයි. 1971 සහ 89 දකුණේ සහ 1983 සිට උතුරේ ඇරඹි ත්‍රස්ත ක්‍රියා සඳහා ද බලපෑවේ මේ ඛේදවාචකයයි.
ජාතියේ අවාසනාවට අපට හරිහමන් ගායකයෙක් තවමත් පහළ ලැබුණේ නැත. ඒ නිසා සිරස අපට ගායකයෙක් තෝරාදීමට දිවා රෑ වෙහෙසෙයි. මෙසේ රට ගැන හිතා කටයුතු කරන සිරසට, දේශද්‍රෝහි ආණ්ඩුව මහත් කෙනහිලිකම් කරයි. ගායකයන් තෝරන්නට සුගතදාස ක්‍රිඩාංගණය ලබා නොදෙයි. එය ලබා දෙන්නේ අයිෆා වැනි දෙකේ පංතියේ වැඩවලට බව ප්‍රකාශ කළේ එම නාළිකාවේ සිටින කිංස්ලි රත්නායක නම් උතුමා ය. ඒ කතාවේ ඇත්තක් තිබේ. අපේ රටේ ගායකයින් තේරීමට සාපෙක්ෂව අයිෆා මොන කෙහෙම්මලක් ද?
එහෙත් මට ඇති ප්‍රශ්නය එය නොවේ. මෙවර අයිෆා උළෙලේ හොඳ ම සිනමා කෘතිය ලෙස ලද සම්මාන සහ අයිෆා ලාංචනය ද යොදා ගනිමින් තමන් මෙදා 3 Idiots පෙන්වන බවට සිරස දිවයිනනේ දැන්වීමක් පළ කළේ ය. තමන් වැනි ලොව ශ්‍රේෂ්ඨතම වැඩසටහන් පෙන්වන ආයතනයක් අයිෆා වැනි තුච්ච පහත් වැඩකින් ප්‍රචාරය ලබා ගැනීම තමන්ට තරම් නොවන බව සිරසට නොපෙනුණේ ඇයි? මෙය මට තේරුම්ගත නොහැකි ය. එහෙත් අයිෆා ගැන අනුකම්පාවෙන් ඊට ද යම් ප්‍රචාරයක් ලබාදීමට සිතා සිරස ආයතනය මේ දැන්වීම පළ කළේ යැයි සිතා අවසන මම හිතා හදාගතිමි.
Subscribe to:
Posts (Atom)

