Friday, October 18, 2024

පුහුල් හොරා කරෙන් දැනෙන පාස්කු නාටකේ...!

පාස්කු කොමිසම් සභා වාර්තාව ජනාධිපතිගේ පවුලේ ඉඩම් ආරවුලක් පිළිබඳ නොව කෝටි ගණනක් මහජන ධනය වැය කොට මේ රටේ ජනතාවගේ ජීවිත පිළිබඳ කළ විමර්ශනයක් හෙයින් ඒවා වහාම පුසිද්ධ කළ යුතු බව ප්‍රකාශ කළේ එවක විපක්ෂ මන්ත්‍රී, වත්මන් ජනාධිපතිතුමා විසිනි. 

එපමණක් නොව පාස්කු ප්‍රහාරය බල පෙරළියක් උදෙසා දියත් කළ ම්ලේච්ඡ කුමන්ත්‍රණයක් බවත් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේ එම ප්‍රහාරය නිසා බවත් පවසමින් මාලිමා ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂක ඊබ්‍රාහිම් නානාගේ පුතුන් රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කළ බවටත් ප්‍රවාද ජනගත කරමින් එම ප්‍රහාරයෙන් ඉස්ලාම් අන්තවාදීන් ගලවා ගැනීමට උත්සාහ කළ අයුරු ද අමතක නැත.

එසේම පාස්කු විමර්ශන වාර්තා ප්‍රසිද්ධ නොකරන්නේ එම ප්‍රහාරයට එවක ජනපති ගෝඨාගේ මෙන්ම අනතුරුව රනිල්ගේ සමීපතමයන් සමග ඇති සබඳතා එළිවන නිසා බවට ද නේක කතා සමාජගත කළ අයුරු ජනතාවට අමතක වන්නට හේතුවක් නැත. ඒ මල් වට්ටියට වර්තමාන සජබ කණ්ඩායම් ද අත ගැසූහ.

එවැනි පසුබිමක වර්තමාන ජනාධිපතිතුමා බලයට පත්ව කළ යුතුව පැවති පළමු රාජකාරිය මෙම විමර්ශන වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමය. තමන් විපක්ෂයේ සිය කළ සියලු චෝදනා නිවැරදි වන බව තහවුරු කර පාස්කු කුමන්ත්‍රණය දියත් කළ අපරාධකරුවන් කුරුසයේ ඇණ ගැසීමය. 

එය නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස සිදු කරන බවට සහරාම් හෂීම් විනාඩි 40කට අධික කාලයක් තිස්සේ සිදුකරන පාපෝච්චාරණය බොරු කිරීමය.

එහෙත් බලයට පත්ව ඒ කිසිවක් නොකර පාස්කු විමර්ශන වාර්තා කොළ ගැලවී සුළ⁣ඟේ ගියා යැයි රට්ටු හිනස්සමින් වැල්  බයිලා ගසමින් තව දුරටත් එම වාර්තා සඟවා ගෙන සිටීම මෙම ආණ්ඩුවට කිසිසේත්ම සදාචාරාත්මක නැත. 

ඒවා ගම්මන්පිල අභියෝග කිරීමට පෙර පුසිද්ධියට පත් නොකිරීම ම ආණ්ඩුවේ දරුණු පරාජයකි. අනාගත විමර්ශන කටයුතුවලට එම වාර්තා ප්‍රසිද්ධ කිරීම ගැටලුවක් යැයි කීම ද විහිළුවකි.

එසේම දැන් පෙරළා කිසිවෙකුට මාලිමාවේ කණ්ඩායම්වලට පාස්කු ප්‍රහාරය⁣ සමග ඇති සබඳතා හෙළිවන නිසා මෙම වාර්තා සඟවන බවට චෝදනා කළ හැකිය. එම අනාවරණය ඉදිරි මහා මැතිවරණය⁣ට අවාසිදායක ලෙස බලපෑ හැකි නිසා මෙසේ ආණ්ඩුව කට්ටි පනිනවා යැයි චෝදනා කළ හැකිය. 

කොටින්ම විජිත හේරත් සඳහන් කළ වාර්තාවල ගලවන ලද කොළ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රාහිම් සහ ඔහුගේ පුතුන් සම්බන්ධ කොටස්, රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර සම්බන්ධ කොටස් විය හැකි බවටත් යමෙකු චෝදනා කරන්නට බැරි නැත. 

ඒ නිසා ජාතික ආරක්ෂාවට බලපාන කොටස් හැර මේ වාර්තා වහාම ආණ්ඩුව ප්‍රසිද්ධියට පත්කළ යුතුයි. ආණ්ඩුව තව දුරටත් කෝඳුරු තෙල් හත් පට්ටයයි තවත් ටිකක් ඉල්ලමින් ඊට පසුබට වන්නේ නම් ගම්මන්පිල පළා නොයා කී ආකාරයට අදාළ වාර්තා ප්‍රසිද්ධ කළ යුතුමය. 

පාස්කු ප්‍රහාරය දේශපාලන පාපන්දුවක් කරගැනීම ඒ දිවිදුන් ජනතාවට කරන බලවත් අසාධාරණයකි. ඔවුන් නැවත නැවත මරා දැමීමකි. ප්‍රහාරයකින් නොව ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකළ පිරිස පස්සේ පමණක් සොයන අය එදා දළදා මැදුර, ශ්‍රී මහා බෝධිය, අරන්තලාව, මහ බැංකුව, දෙහිවල ⁣දුම්රිය ආදී ප්‍රහාර හමුවේ එසේ කටයුතු කළ බවට සාධක නොමැත.

එසේමබආණ්ඩුව සිය සෞඛ්‍ය සහ ආයුෂ ගැන සිතන්නේ නම් වහාම පරීක්ෂණ කළ යුත්තේ ගම්මන්පිල ගැන නොව ජනපති අනුර බලයට පත්ව සති තුනක් ඉක්ම යන්නටත් මත්තෙන් මෙම වාර්තා ලීක් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කවුද යන්න ගැනය. එවැන්නක් සැබවින්ම සිදුව ඇත්නම් එය ජාතික ආරක්ෂාවට මෙන්ම ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට ද තර්ජනයකි.

Monday, October 14, 2024

කො⁣රහේ කිඹුලන් දකිනු!

ඊයේ අනුර දිසානායක ජනාධිපතිතුමා සිය පක්ෂයේ මහා මැතිවරණ අපේක්ෂක පිරිස අමතා කතා කළා. එහි දී ඔහු කීවා, උතුරේ නායකයෙක් තමා හමු වී මහා මැතිවරණයට පසු ආණ්ඩුව සමග වැඩ කරන්න සූදානම් බව ප්‍රකාශ කළා කියලා.

ඊට පෙර ජනාධිපතිතුමා රාමාඤ්ඤ සහ අමරපුර නිකා⁣ මහානාහිමිවරුන් බැහැදුටු මොහොතේ නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ දැයි විමසූ විට ඔහු ප්‍රකාශ කළා සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඉදිරි කටයුතු කරන බව.

අප පුල පුලා කිහිප වරක් කී පරිදිම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 පිටුවේ තමයි, 2015 ආණ්ඩුව ගෙන ඒමට සැලසුම් කළ ව්‍යවස්ථාව කඩිනමින් ගෙන එන බව කියන්නේ. ඒ රට ප්‍රාන්ත ආාණ්ඩුවලට බෙදන ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව.

මේ වෙලාවේ මහා මැතිවරණයේ දී මාලිමාවට ආණ්ඩුව බලය දිය යුතුයි. ඒ කියන්නේ ආසන 113ක් දිය යුතුයි. රටෙි සංවර්ධන කටයුතු කරන්න, හොරු අල්ලන්න ඒ හොඳටම ප්‍රමාණවත්. මහින්ද රාජපක්ෂ කොටි පරාද කළෙත් ආසන 113ක් තියාගෙන.

හැබැයි කිසිසේත් ඊට වඩා ප්‍රබල බලයක් දිය යුතු නෑ. විශේෂයෙන් දෙමළ සන්ධානය සහ ආණ්ඩුව ලබා ගන්නා ආසන ප්‍රමාණය 150ට ආසන්න නොවන තැනක තැබීමට ජනතාව වගබලා යුතුයි.  ජනාධිපතිවරණය අවස්ථාවෙත් ජනතාව කිරලා මැනලා 42%ක සීමිත ජන වරමක් දීම පූර්වාදර්ශයක් කරගත යුතුයි.

දැන් ජනාධිතුමා ප්‍රකාශ කරන පරිදිම සුමන්දිරන්ලා ආණ්ඩුව එක්ක එකතු වෙලා වැඩ කරන්න සූදානම් වෙන්නේ අර ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව සම්මත කරගැනීම මිස වෙන කෙංගෙඩියක් නෙමෙයි. 

අනික් අතට නව ආණ්ඩුව තමන්ගේ පළමු මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිය ලෙස ඉන්දු ලංකා පාළම තැනීම ගැන අවසන් සාකච්ඡා පටන් අරගෙන. එදා ජවිපෙ කතා කළ ඉන්දියානු ව්‍යාප්තවාදය අද මාලිමාවේ කුනු බක්කියෙත් නැති බව පැහැදිලියි.

වැරදිලාවත් මාලිමාවට විශාල බලයක් ලැබුණොත් එය රට තවත් අර්බුදයකට ඇද දමන අවාසනාවන්ත යුගයක සමාරම්භය වෙන්න පුළුවන්. එය රට ආර්ථික අර්බුද කබළෙන් දේශපාලන අර්බුදය නම් ගින්නට ඇද දැමීමක්. එය රට වගේම ආණ්ඩුවේ ආයුෂත් කෙටි කරවන්න පුළුවන්. ඒ දෙකම විය යුතු නෑ.

එහෙත් අවාසනාවට මේ ප්‍රකාශවල යටිපෙළ මගින් කියැවෙන භයානක අනතුර කෙරෙහි මහා සංඝරත්නය හෝ ජාතිකත්ව කඳවුරේ පිරිස හෝ ජාතික සංවිධාන හෝ එතරම් අවදානයක් යොමු කළ බවක් පේන්න නෑ. එය රට පැත්තෙන් ඉතාම බරපතළ තත්ත්වයක්. රටේ සාමාන්‍ය ජනතාවට මේ අනතුර පහදා දෙන්න ඒ කණ්ඩායම් නිදිගැට හැර පෙරට ආ යුතුයි.෴

නාමල් උඩලමත්ත

Sunday, October 6, 2024

මහා මැතිවරණය සහ ජාතික ව්‍යාපාරයේ වගකීම...

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාමාඤ්ඤ සහ අමරපුර නිකායේ මහනාහිමිවරුන් බැහැදැක ප්‍රකාශ කළේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව කටයුතු කරන අතර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ද කටයුතු කරන බවයි. 

ජාතික ජන බලවේග 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි 230 පිටුවේ සඳහන් ආකාරයට ඔවුන් 2015 යහපාලනාණ්ඩුව සමයේ ගෙන ඒමට නොහැකි වූ ව්‍යවස්ථාව කඩිනමින් ගෙන එයි.

එකල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ලාල් විජේනායක කමිටුව මගින් ජනතා අදහස් යැයි යෝජනාවලියක් ගෙන ආ අතර එමගින් ඒකීය ශ්‍රී ලංකාව වෙනුවට ප්‍රාන්ත ආණ්ඩුවලින් සමන්විත එක්සත් රාජ්‍යයක් නැතහොත් ඔරුමිත්තනාඩුවක් යෝජනා කොට තිබිණි.

එම ඔරුමිත්තනාඩු රාජ්‍යයෙහි බුදු දහමට හිමි ප්‍රමුඛතාව ඉවත් කළ යුතු බව යෝජනා කරනු ලැබ තිබුණේ වත්මන් අගමැතිනී හරිනි අමරසූරිය මැතිනිය විසිනි.

ජාතික බලවේග මේ ගැන දැඩිව ප්‍රශ්න කරන විට ජනාධිපතිවරණය ආසන්නයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන සමුළුවකට ගිය විජිත හේරත් කළේ බුදු දහමට ඇති ප්‍රමුඛතාව ඉවත් ඉවත් නොකරන බවත් රටේ ඒකීයභාවය සුරකින බවත් පවසා පක්ෂ යෝජනාවලිය පිළිබඳ ගෙවිඳු කුමාරතුංග මහතා ඇතුළු පිරිස ප්‍රශ්න කිරීමට පෙර සභාවෙන් පළා යාමය.


එහෙත් අවාසනාවන්ත ලෙස දැන් ජනාධිපතිවරයා මහා සංඝරත්නය ඉදිරියේ පවසන පරිදි වලංගු බෞද්ධ මහා  සම්මේලනයේ කළ විජිත හේරත්ගේ ප්‍රකාශය නොව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එන ප්‍රකාශයයි. ඔරුමිත්තනාඩු ව්‍යවස්ථා යෝජනාවලියයි.

වර්තමාන ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන මෙම ව්‍යවස්ථාව බලාත්මක වුවහොත් වසර 2500කට අධික කාලයක් ආරක්ෂා කරගත් අපගේ රාජ්‍යයේ අවසානය සනිටුහන් තරන බවට නම් සැකයක් නැත. 

එහෙයින් එම යෝජනාවලිය නැවත ගෙන එන්නේ නම් එය 2016-2017 සමයෙහි මෙන්ම නැවත පරාජය කරලීමට ජාතිමාමක බලවේග පෙරට ආ යුතු අතර ඒ සඳහා එළඹෙන මහා මැතිවරණයේ දී ජනතාව බලගැන්විය යුතුය.

ජනාධිපතිවරණයේ දී 50% පවා නොදී 42% සුළුතර ජන වරමක් වත්මන් ජනාධිපතිවරයාට ලබා දුන් ආකාරයටම මහා මැතිවරණයේ දී මාලිමාවට ආසන 113ක ආණ්ඩුවක් පමණක් ලබා දීමට ජනතාව දැනුම්වත් කළ යුතුය.

ඊටත් වඩා වැදගත් වන්නේ බෙදුම්වාදයට එරෙහි මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිගන්නා වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමය. ජනාධිපති වී සිය පියාවත් නොකළ 13 වන ව්‍යවස්ථා ⁣සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බව කී කිසිම දේශපාලන විඥානයක් ජාතිකත්වයක් නොමැති සජිත් ප්‍රේමදාසට එය කළ නොහැකිය.

ඔහු වටා සිටින හකීම්, මනො, මුජ්බර්, මරික්කාර් වැනි බෞද්ධ විරෝධීන් ඊට ඉඩ දෙන්⁣නේ ද නැත. එහෙයින් බෙදුම්වාදී ව්‍යවස්ථාව යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් දෙමළ ජාතික සන්ධානය සමග සජිත් පාර්ශ්වය ඊට අත එසවීමේ විශාල අවදානමක් ඇත.

එහෙයින් මේ අවස්ථාවේ ජාතිකත්වයට බර බෙදුම්වාදයට එරෙහි බලවේගයක් ශක්තිමත් කිරීම ජාතික බලවේගවල වගකීමයි. 

නාමල් රාජපක්ෂලා ඉදිරියේ දී බොරු නඩුවල පටලවමින් උසාවි බන්ධනාගාරවලට කොටු කිරීමේ වැඩි ඉඩක් ඇත. එවිට ඔවුන්ට රටේ ආරක්ෂාව ගැන නොව සිය පෞද්ගලික ආරක්ෂාව ගැන සිතීමට වද වීමට කාලය ගත කිරිමට සිදුවනු ඇත. 

රාජපක්ෂලා තමන්ට එරෙහිව අතිශයෝක්තියට නගා එකල එල්ල කළ බොහෝ චෝදනාවලට පිළිතුරු නොදී ඊට එ⁣රෙහිව නීතිය හමුවට නොගොස් ජනතාව අතර ඒවා කිඳා බසින තුරු නිහඬව සිටීමේ වරද ද රාජපක්ෂලාගේමය. ඔවුන් සිතන ආකාරයට ජනතාව ඉක්මනින්  සත්‍ය වටහා නොගන්නා අතර ඒ සඳහා කාලයක් ගතවනු ඇත. ජනතාව ද colombo motor show එක මෙන් ගිනි කන වැටී ඒවා දැක සතුටු වන අතර ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව ඉදිරියට එනු ඇත.

එහෙයින්  මේ අවස්ථාවේ දිලිත් ජයවීර ප්‍රමුඛ මව්බිම ජනතා පක්ෂය ඇතුළු සර්වජන බලයෙන් වැඩි නියෝජනයක් පාර්ලිමේන්තුවට පත්කොට යැවීම රටේ ආරක්ෂාවට යහපත්ය. ඔවුන් ඉදිරිපත් කරන ව්‍යවසායකත් රාජ්‍යය යෝජනාව ද මම බෙහෙවින් අගය කරමි.

පසුගිය සමයේ බෙදුම්වාදයට ත්‍රස්තවාදයට අන්තවාදයට එරෙහි වූ ගෙවිඳු කුමාරතුංග, චන්න ජයසුමන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වසන්ත බණ්ඩාර, ගුණදාස අමරසේකර ආදී වැඩි පිරිසක් එම කඳවුර නියෝජනය කරති. මේ ඇතැමුන් ගැන පෞද්ගලිකව මට යම් ගැටලු තිබුණ ද ඒවා රටට වඩා ලොකු නැත.

මෙම පිරිස වර්තමාන ආණ්ඩුවේ රටට හිතැති යෝජනා සඳහා සහයෝගය ලබා දෙන අතර නිවැරදි මාවතේ යාමට ආණ්ඩුවට බල කරන අතර රටට අහිතකර ඕනෑම යෝජනාවක් බලපෑමක් පරාජය කිරීමට පෙරමුණ ගන්නා බව සිය අතීත භාවිතයෙන් තහවුරු කර ඇත.

Friday, October 4, 2024

ශක්තිමත් ආණ්ඩුවක් සහ ප්‍රබල විපක්ෂයක්...!

 සජිත් ප්රේමදාස නාමික විපක්ෂ නායක මිස එහි කාර්යභාරය ඉටු නොකළේ යැයි කේ.ඩී. ලාල්කාන්ත සිදු කළ ප්රකාශයට සජිත්ලා බෙහෙවින් කලබල වී ඇති බව තහවුරු වන්නේ එම චෝදනාවට එරෙහිව වහාම ජනමාධ්ය වෙත නිවේදනයක් නිකුත් කිරීමෙනි.

ලාල්කාන්ත එය නොකීව ද පහුගිය ජනාධිපතිවරණයෙන් තහවුරු වන්නේ සජිත් සිය විපක්ෂ නායක භූමිකාව ඉටු නොකළ බවය. අවම වශයෙන් ඔහු සිය භුමිකාව ඉටු කළේ යැයි ජනතාව පිළිනොගත් බවය.
ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරණය තුන් කොන් සටනක් වන්නේ ද තරඟ වැදුණු විපක්ෂ නායකයා පරාජය වන්නේ ද සජිත් සිය විපක්ෂ නායක භූමිකාව ඉටු නොකීම මූලික හේතුවක් කරගෙනය.
ඊට සජිත්ට දොස් පවරා පලක් නැත. ඔහු සිය උපරිම ජවයෙන් වැඩ කරයි. නමුත් ඔහුගේ හැසිරිම, උපක්රම තේරීම, ජාතික දේශපාලන අනවබෝධය, අපරිණත කතාව, දේශපාලන සංවාද භීතිකාව ඔහුට පය බරවයක් වී ඇත. ඒ නිසාම සජිත් නව පරම්පරාව අතර විහිළුකාරයෙක් වී ඇත. ඔහුත් සමග රටට දැන් ගමනක් නැත.

මෙය කිසිසේත් රටට හිතකර නැත. රටේ ප්රජාතන්ත්රවාදය නීරෝගීව පවතින්නට නම් ශක්තිමත් ආණ්ඩුවක් මෙන්ම ශක්තිමත් විපක්ෂයක් ද දක්ෂ ජනාධිපතිවරයෙක් මෙන්ම දක්ෂ විපක්ෂ නායකයෙක් ද අවශ්ය වෙයි.
සජිත් එහිලා දිගින් දිගටම අසාර්ථක වන චරිතයක් හෙයින් ඉදිරි මහා මැතිවරණයේ දී ශක්තිමත් ආණ්ඩුවක් පමණක් නොව ඊට මුහුණ දිය හැකි ශක්තිමත් විපක්ෂයක් ද විපක්ෂ නායකයෙක් ද තෝරා ගැනීමේ අභියෝගය රට ඉදිරියේ ඇත.
අලුත් ආණ්ඩුවට මුහුණ දිය හැකි සාධනීය විවේචනයෙන් ආණ්ඩුව නිවැරදි කරගත හැකි විපක්ෂයක් ද ගොඩනැගිය යුතු අතර ජනාධිපති අනුර දිසානායකට විකල්පය විය හැකි විපක්ෂ නායකයෙක් ද අප තෝරගත යුතුය.

Saturday, September 28, 2024

අගමැතිනිය වැඳ ගත්තයි දළදාව...

නව අගමැතිනිය දිවුරුම් දී දින කිහිපයකට පසු වුව ද අපේ චිරාගත සම්ප්‍රදායට හිස නමමින් මහනුවර දළදා මාළිගයට ගොස් ආශීර්වාද ලබා ගෙන මහනාහිවරුන් බැහැදැකීම මම අගය කරමි. 

මේ රටේ පාලන වගකීම භාරගත් පසු රටේ සම්ප්‍රදායට ගරු කිරීම යනු එම ජනවරම ලබා දුන් ජනතාව සමග සිට ගැනීමකි. එය ඉදිරි මහා මැතිවරණය ඉලක්ක කළ ගරු රඟපෑමක් හෝ වංචාවක් ලෙස හුවා දැක්වීමට ඉක්මන් වීමට වඩා එය අගය කිරීමට මම කැමැත්තෙමි.

2015 යහපාලනාණ්ඩුව සමයේ ගෙන ආ කුප්‍රකට ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවට බුදු දහමට ව්‍යවස්ථාවෙන් හිමි ප්‍රමුඛතාව ඉවත් කිරීමට යෝජනා කළ හරිනි අමරසූරියට අවසානයේ ජනතාව ඉදිරියෙහි රඟපෑමට හෝ මේ රටේ මුල්බැස පවතින අපේ සිංහල බෞද්ධ සංස්කෘතික උරුමයට හිස නැමීමට සිදුවීම ම රට ලද ජයග්‍රහණයකි.

කවර පාලකයා වුව ද ඔහු හෝ ඇයගේ පෞද්ගලික ඇදහිලි විශ්වාස පැත්තක තබා රටේ මුල්බැස ඇති සංස්කෘතියට අනුගත වීම අත්‍යවශ්‍ය වෙයි. එසේ නොමැතිව ජනතා විශ්වාසය දිනාගෙන රට පාලනය කළ නොහැකිය. එය යටත්විජිත සමයේ සුදු පාලකයන් ද දැන සිටි සත්‍යයකි. එසේම මහනුවර යුගයේ අපේ රට පාලනය කළ වඩුග රජවරු ද එය මැනවින් දැන සිටියහ.

කිසියම් සුළු කල්ලියක් විසින් ලියා පළකළ මැතිවරණ ප්‍රකාශනයෙහි කවර වල්පල් තිබුණ ද අනුර දිසානායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව දළදා මාළිගාව වැඳපුදාගෙන මහනාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. අන්‍යාගමික පූජකවරු ද හමුවිය. අටමස්ථානය වැඳපුදා ගෙන එහි නාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා ලබාගත්තේය.

මෙය ඉබේම සිදුවූවක් නොවේ, මාලිමාව සහ ඒ වටා සිටින බෞද්ධ විරෝධී කණ්ඩායම් පසුගිය සමයේ සිදුකළ ප්‍රකාශ සහ හැසිරීම්වලට එරෙහිව ගොඩනැගෙන විරෝධයට දක්වන ලද ධනාත්මක ප්‍රතිචාරයකි. එසේම අනුර හරිනි මෙලෙස අපේ සංස්කෘතික උරුමය සමග සිට ගන්නා විට එතෙක් ඔවුන් සමග සිටි සංස්කෘතික විරෝධී පිරිස අතරින් මතු වන විරෝධය ද සුළුකොට තැකිය යුතු නැත. එවිට ඔවුන්ට ශක්තියක් වීම අප වගබලා ගතයුතුය. සුද්දා වෙනුවෙන් සටනට ආ කැප්පෙටිපොළ අවසානයේ ස්වදේශික හමුදාවට එකතු වී ඊට නායකත්වය දුන් ඉතිහාසයක් අපට ඇත.

කවර බලවේග සමග සිටිය ද පාලකයා සිය සංස්කෘතික උරුමය සමග බැඳ තැබීම මේ රටෙි මහා සංඝ රත්නයේ ද ජාතිමාමක බලවේගවලද වගකීමයි. එය මෙවර සිදුකළේ හරිනිලා⁣ගේ අනුරලාගේ උපාධි වර්ණනා කළ වන්දිබට්ටයන් නොව එම කඳවුරේ සංස්කෘතික විරෝධයට එරෙහිව අවි එසවූ පිරිස විසිනි. සමාජ මාධ්‍ය ඔස්සේ මතු වූ ජනතා විරෝධය ද දිලිත් ජයවීර කලකට පෙර හරිනි ගැන සිදුකළ ප්‍රකාශයක් නැවත මතුවීම ද ඊට ප්‍රබල පිටුවහලක් විය.

තව ද මේ ආණ්ඩුව බලයට පත් කළේ ගෝඨාභය බලයට ගෙන ආ 69 ලක්ෂයේ ජනතා බලයම බව මැතිවරණ ප්‍රතිඵල සිතියම නිරීක්ෂණයෙන් තහවුරු කරගත හැකිය. එය ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ද තරයේ මතක තබාගත යුතුය. 

ඔවුන් බෙදුම්වාදීන්ගේ සිංහල බෞද්ධ වි⁣රෝධීන්ගේ හොරි කැසීමට කවර ප්‍රකාශ කළ ද සුමන්දිරන්ලාගේ ඉල්ලීම අනුව ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව තඩිනමින් ගෙන එන බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 පිටුවේ ලියා සපථ කළ ද උතුරු නැගෙනහිර හෝ උඩරට හෝ සුළු ජාතික බලප්‍රදේශවල සැලකිය යුතු ජයක් අනුර ලබා නැත. 

මේ නිසා ඉතිහාසයේ බහුතරය නොමැති පළමු ජනාධිපතිවරයාට සිය ජනපදනම පුළුල් කරගත හැක්කේ එම ජනතා විඥානය සමග සිට ගැනීමෙනි. ඔවුන්ගේ සංස්කෘතික උරුමය රැකදෙන බව තහවුරු කිරීමෙනි. තම හිස මත පටවා ඇති බෙදුම්වාදී න්‍යාය පත්‍ර විසි කර දැමීමෙනි.

එහෙයින් සිය ඡන්ද පදනමෙහි ජන විඥානය අවබෝධ කරගෙන කටයුතු කිරීම මත ආණ්ඩුවේ ආයුෂ තීරණය වන බව අවධාරණය කරමි. මේ රටේ සංස්කෘතියට අනුගත බව ජවිපෙ සිය ක්‍රියාවෙන්ම තහවුරු කරනු දැකීම ඒ ජනතා අභිලාෂයයි. රටේ සංස්කෘතියට සභ්‍යත්වයට ස්වෛරීත්වයට එරෙහි නොවන රටේ යහපත උදෙසා ගන්නා ඕනෑම තීන්දුවක් වෙනුවෙන් අපි පෙනී සිටිමු.

නාමල් උඩලමත්ත


පාසල් උත්සම සඳහා දෙමාපියන්ගෙන් මුදල් අය නොකළ යුතුයි...!

පාසල් උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් අය නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමිය කළ නියෝගය අගය කරමි. ආණ්ඩුවේ එම තීන්දුව ද අගය කරමි.

කෙසේ වුව ද මෙම තීන්දුව මෙයට පෙර ද බොහෝ ඇමැතිවරු ගත්ත ද එය ක්‍රියාත්මක වූයේ නැත. දිගින් දිගටම දෙමාපියන් අපහසුතාවට පත්කරමින් පාසල්වල මුදල් එකතු කිරීම සිදුවිය.

ගුරුවරු ඇතුළු බහුතර රාජ්‍ය සේවක කැමැත්ත දිනා බලයට පැමිණි ආණ්ඩුවෙි මෙම තීන්දුව අනුව කටයුතු කිරීමට ඔවුන් බැඳී සිටියි. එය කඩ කරන්නේ නම් ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතුය. 


මෙවැනි අකටයුතු සිදුවන්නේ නම් රටේ ජනතාවට ඍජුවම පැමිණිලි කිරීම සඳහා දුරකතන අංකයක් විවෘත කිරීමට හැකි නම් එය තවත් විධිමත් කළ හැකිය. එසේම ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහි වන පිරිසට විනයානුකූලව කටයුතු කළ යුතුය.

කුමන හේතු මවපාමින් පාසල්වල මුදල් එකතු කිරීම නිසා අසරණ වන්නේ දුප්පත් දෙමාපියන්ය. ඔවුන්ගේ දරුවන්ය. එහෙයින් මම ඊට එරෙහිව බොහෝ අවස්ථාවල ලීවෙමි. ඒ වෙනුවෙන් පෙනී සිටියෙමි.

සිස්ටම් චේන්ජ් කළ හැක්කේ මෙවැනි තීන්දු මහ පො⁣ළොවේ ක්‍රියාත්මක කර බැවින් වෙනසක් ඉල්ලු සැම ද වෙනසට ලැබුණු ජන වරමට හිස නමා වෙනසට එරෙහි වූ අය ද දැන් ඊට අනුගත විය යුතුය.

කලින්ම යන්න ගිය කුමාර වෙල්ගම...

 කුමාර වෙල්ගම අද අභාවප්‍රාප්ත වෙලා කියලා අහද්දි මගේ මතකය එක පාරටම ඇදිලා ගියේ 2022 මැයි 9 ප්‍රහාරයට පසු ඔහු කළ ප්‍රකාශයකට. මැයි 09 අරගලකරුවන්⁣ගේ මාරාන්තික ප්‍රහාරයට පසු සුවය ලබා පැමිණි වෙල්ගම කීවා, තව අවුරුදු 20ක් මට ජීවත් වෙන්න තිබුණා නම් මේ ප්‍රහාරය නිසා ඒක 10ට බැස්සා කියලා. ඒත් වෙල්ගම ප්‍රහාරයෙන් අවුරුදු 2කට පස්සේ නොඑන්නම ගිහින්.

වෙල්ගම මහ උගත් උපාධ් සහතිකලාභී දේශපාලනඥයෙක් නෙමෙයි. ඔහු ජනතාව එක්ක මහ පොළොවේ දේශපලනය කළ මිනිහෙක්. 2015  රට ඔසවා තැබූ මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කරලා යහපාලනාණ්ඩුව බලය⁣ට පත්වෙලා රට හැම අතින්ම ආගාධය කරා අරන් යද්දි පොහොට්ටුව හදන්න ඔහු විශාල වැඩ කොටසක් කළා.

අවසානයේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ගෝඨාභය නම් කරද්දි වෙල්ගම තමයි, ඊට විරුද්ධව කඳවුර තුළ අභීතව සටන් කළ මිනිහා. ඔහු කීවේ ප්‍රාදේශීය සභාවකවත් නොහිටි දේශපාලනය නොදන්න ගෝඨාට රට කරන්න බෑ කියලා. 


මම එදා අවංකවම ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටියත් සමහරු ඇත්තටම ගෝඨාභය ඉස්සුවේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගන්න බව පසුකාලීනව තහවුරු වුණා. ඒ පිරිසට උවමනා වුණේ ගෝඨාභය ජනාධිපති කරවීමට වඩා ගෝඨා ලවා තම සතුරා වන බැසිල් පලවා හරින්න. 

එතන දී ගෝඨාභයගේ සමත් අසමත්කම් ඒ අයට එතරම් වැදගත් වුණේ නෑ. 2015 ජනාධිපතිවරණ සම්බන්ධීකරණය බැසිල්ට නෙමෙයි, ගෝඨාභයට දෙන්න කියලා මහින්දට කීවෙත් මේ අවස්ථාවාදීන් තමයි. ඒක වෙනම කතාවක්.

අවසානයේ ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වුණාම වෙල්ගම ඊළඟ ජනාධිපති බිහිවන දැවැන්ත කඳවුර අතහැර ගියා. ඊට පසු ඔහු නැවත විවිධ තැන්වල හිටගත්තා. 2020 සජබෙන් පාර්ලිමේන්තුවට ආවා.

ඔහු දිගටම සිය මතවාදයේ හිටියා. අවසානයේ ආර්ථික අර්බුදය උස්සන්න වුණා. කාබනික පොහොර වැනි අත්තනෝමතික තීන්දු එක්ක කඳුවුරේ ගැමි ජන පදනම නාය ගියා. අවස්ථාවෙන් ප්‍රයෝජනගත් දෙස් විදෙස් බලවේග ජනතාව පාරට බස්සලා ගෝඨාභය පළවා හැරියා.

එදා ගෝඨාභයට මුලින්ම විරුද්ධ වුණ ඒ වෙනුවෙන් සටන් කළ වෙල්ගමත් ගෝඨා විරෝධී අරගලයේ ගොදුරක් වුණා. හරියට නම් ඔහු එම අරගලකරුවන්ගේ වීරයෙක් විය යුතුව තිබුණා. තම වාසිය වෙනුවෙන් සියලු පාවදීම් කරන දේශපාලනඥයන් සහ මිනිස්සු අතර වෙල්ගම නියම දේශපාලනඥයෙක්. 

කුමාර වෙල්ගමට නිවන් සුව! 

කලම්බු මෝටර් ෂෝ 2024....!

 මෑත කාලයේ පශ්චාත් ජනාධිපතිවරණ යුගය වර්ණවත් කරන සුවිශේෂ අංගයක් විදිහට කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ 1994 වසරේ දී. එතෙක් පැවැති 17 වසරක එජාප පාලනය රටේ ජනතාවගේ බදු මුදලින් සුරසැප වින්ද විදිහ ජනතාවට කියන්න තමයි, කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ.

ඊට පස්සේ නැවත මේක කරළියට එන්නේ 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ යහපාලනාණ්ඩුව බලයට ආ වෙලාවේ. අවුරුදු 10ක් තිස්සේ රාජපක්ෂලා රටේ මහජන බදු මුදලින් සුරසැප වින්ද හැටි කියාපාන්න තමයි, එදා කලම්බු මෝටර් ෂෝ එක කළේ.

අපට ආයේම කලම්බු මෝටර් ෂෝ එක දකින්න ලැබුණේ 2024 අනුර දිසානායක ප්‍රමුඛ මාලිමාණ්ඩුව බලයට පත්වුණ වෙලාවේ. 75 වසරක් තිස්සේ මේ රටේ ජනතාවගේ බදු මුදල් ගසා කමින් පාලකයෝ සුරසැප වින්ද හැටි තමයි, මෙවර කලම්බු මෝටර් ෂෝ එකෙන් රටට ප්‍රකාශ කළේ.

මේ රටේ පශ්චාත් ජනාධිපතිවරණ සමය වර්ණවත් කරන අංගයක් විදිහට කලම්බු මෝටර් ෂෝ එක නොකළේ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණ අවස්ථාවේ සහ 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණ අවස්ථාවේ විතරයි.


මහින්ද ඒ ෂෝ එක නොපෙන්නුවට 2015 ගෙදර ගියේ තිස් වසරක යුද්ධය අවසන් කරලා ඩොලර් බිලියන 20ක රටේ ආර්ථිකය ඩොලර් බිලියන 80 කරලා. රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 07කට නග්ගලා ඒක පුද්ගල ආදායම තුන් ගුණයක් එනම් 3800ක් කරලා.

ඒ වගේ රටට අධිවේගී මාර්ග, ගුවන් පාළම් හඳුන්වා දීලා, රට පුරා මාර්ග කාපට් කරලා 80%ක් විතර ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කරලා විදුලි බලය නිවාස 97%ට විතර දුන්නා. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, නෙළුම් පොකුණ, නෙළුම් කුලුන, වරාය නගරය, රටේ වැඩිම විදුලි උත්පාදනය සපයන නොරෙච්චෝලේ වගේ දැවැන්ත වැඩ කළේ ඒ කාලේ තමයි.

ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ තමයි, මේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න මුල පිරුවේ. 2019 ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ නඩත්තු කළ වාහන 1600 අතරින් 50%ක් රටේ සෙසු අමාත්‍යංශවල යොමු කළේ ගෝඨාභය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක පිරිස 2500 සිට 250ට අඩු කිරීමට නියෝග නිකුත් කළා.ඩිපෝවල දිරමින් පැවැති බස් 280ක් විතර අලුත්වැඩියා කරලා ආයේම පාරට දැම්මා. ඒ විතරක් නෙමෙයි, කිසිදු රාජ්‍ය ආයතනයකට 2023 වසර තෙක් අලුතින් වාහන නොගන්නා ලෙස නියෝග කළා. හැබැයි කලම්බු මෝටර් ෂෝ එක නම් කළේ නෑ.

පහුගියදා කළ කලම්බු මෝටර් ෂෝ එකේ ප්‍රදර්ශනය කළ සියලු ම වාහන වගේ 2015-2019 කාලයේ රටට ගෙන ආ වාහන වීම තමයි, වඩාත් උත්ප්‍රාසජනක වෙන්නේ. මොකද ඒ ආණ්ඩුව හදන්න එජාපය වගේ ම මාලිමාවත් වැඩ කළා. ඒ ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ ලේකම් තමයි, දැන් අපේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්තුමා.

ඒ වගේම හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කියනවා, ජනාධිපති ලේකම් කාර්යාලයේ තම වාහනය ඇතුළු සියලු වාහන නිල වශයෙන් භාරදුන් බව. ඉතින් දැන් මේ ෂෝ කළා ඇති. රටේ ආර්ථිකය ශක්තිමත් කර රට ගොඩනගන සැලැස්ම ක්‍රියාත්මක නොකර මේ වගේ ෂෝ පෙන්න පෙන්න හිටියෝත් එදා ෂෝ පෙන්නපු ආණ්ඩු වගේ අවාසනාවන්ත ඉරණමකට තමයි, මේ ආණ්ඩුවටත් මුහුණ දෙන්න වෙන්නේ. ඒ නිසා ජනතාව බොහෝම ලොකු අවදානමක් අරන් මාලිමාවට බලය දුන් එකේ ප්‍රතිඵල ඒ ජනතාවට ලබා දීම තමයි, මේ වෙලාවේ ආණ්ඩුවේ වගකීම.

Thursday, September 26, 2024

වාහන අවභාවිතය සහ බොරුව...

 ජනාධිපතිවරයෙක් ඉවත් වෙද්දි ඔහුගේ වාහන, ඔහු යටතේ වැඩකළ නිලධාරීන්ගේ සහ ඔහු යටතේ ක්රියාත්මක වූ ආයතනවල වාහන භාර දෙනවා.

ඒවා කවුරුවත් ගෙදර අරන් යන්නේ නෑ. ඒ වාහන ඊළඟ ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල භාවිතයට ලබා ගන්නවා. අලුතින් උපන් facebook දේශපාලන උගත්තු නොදැන හිටියට 2005, 2015 වගේම 2019ත් මේක මේ විදිහටම වුණා.
එහෙම නැතිව වර්තමාන ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය හෙට ඉඳලා බස් එකේ එන්නේ නෑ. කෝච්චියේ එන්නෙත් නෑ. ත්රීවිල්වල එන්නෙත් නෑ. කරත්තවල එන්නෙත් නෑ.
ඉතින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩලේ වාහන ගෙදර අරන් ගිහින් අලුත් ජනාධිපති කාර්ය මණ්ඩලේ ටුක් ටුක්වල වැඩට ආව නම් ඔන්න ඒක නිව්ස් එකක් තමයි.
ඊයේ වීඩියෝ කරලා මහා අපරාධයක් විදිහට ප්රදර්ශනය කළ වාහන වර්තමාන ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය අද හෙට අරන් යනවා. ඒ අයට රාජකාරි කරන්න තමයි, මේ වාහන ඇනිය තියෙන්නේ.

2019 බලය⁣ට ආ ගෝඨාභය ජනාධිපති කාර්ය මණ්ඩලය 2500 ඉඳලා 250ට අඩු කළා. වාහන සිය ගණනක් නැවත මුදල් අමාත්යංශයට භාර දුන්නා. හැබැයි ඒවා වීඩියෝ කරලා ප්රදර්ශනය කළේ නම් නෑ.

Tuesday, September 24, 2024

අනාගමික රාජ්‍යය සහ අගමැති හරිනි...!

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ බුදු දහමට හිමි ප්‍රමුඛතාව ඉවත් කොට මේ රට අනාගමික රාජ්‍යයක් විය යුතු බව 2015 යහපාලනාණ්ඩුව යටතේ ගෙන ආ ලාල් විජේනායකගේ රට බෙදන ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවට යෝජනා කළේ හරිනි අමරසූරිය. පහත ඡායාරූපයේ 9 වැනි පාද සටහනේ ඒ විස්තරේ තීනවා.

එදා මහා සංඝරත්නය සහ ජාතික සංවිධාන එක්ක එකතු වෙලා රටේ ජනතාව දැනුම්වත් කරලා මේ යෝජනාවලිය පරාජය කරනවා. ඒ සම්මන්ත්‍රණවලට මමත් එදා රට පුරා ගියා. 2018 ප්‍රාදේශීය සභා ඡන්දෙන් එවක ආණ්ඩුව අතුගා දමන තැනට ජන රැල්ලක් හදාගන්න එහි බලපෑම විශාල දායකත්වයක් දැක්කුවා.


අපට වසර 2500ක් බුදු දහම රැකගන්න පුළුවන් වුණේ එය රාජ්‍යත්වය සමග බැඳ තැබූ නිසායි. මහරජ ගැමුණු, ආක්‍රමණික එළාර පරාජයට සටන් වැදුණේ මාගේ මේ ව්‍යායාමය හුදෙක් රට සැප පිණිස නොව බුදු දහමේ චිරස්ථිතිය පිණිසයි කියලා ජාතියට ප්‍රතිඥාවක් දීලා. 

දළදා සමිඳුගේ භාරකාරත්වය හිමි පුද්ගලයා රටේ රජු විදිහට සලකන සම්ප්‍රදාය අපේ මුතුන් මිත්තන් ගොඩනැගුවේ බුදු දහමේ ආරක්ෂාවට. "බුදු දහමට උඹලා ආරක්ෂා කොරන්න ඕන නෑ, බුදු දහම උඹලාගේ ආරක්ෂාවටයි" කියන නිරාගමික පල්ලි කපුටන්ගේ පෝස්ට් ෆේස්බුක් එකේ ශෙයාර් කරන පුස්සෝ ඉතිහාසය දන්නේ නෑ. 

අවිහිංසාවාදී බුදු දහමට රාජ්‍ය ආරක්ෂාව අහිමි වුණ පැරණි බෞද්ධ රාජ්‍යය වුණු ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව අද අබෞද්ධ රටවල්. ඇෆ්ගනිස්ථානයේ සුවිශාල බාමියන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරලා ඒවාට පුද පූජා කළ ඇෆ්ගන් බෞද්ධ මුතුන් මිත්තන්ගේ අබෞද්ධ මුනුබුරෝ තමයි, ඒ ප්‍රතිමා බෝම්බ දාලා බිමට සමතලා කළා.


අපි ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව පරාජය කරලා වසර කිහිපයක් ගතවෙද්දි 1815 ඉංගිරිසිකාරයා උඩරට ගිවිසුමට දාන්නත් බයවුණ මේ අනාගමික රාජ්‍යය යෝජනාව ගෙන ආ හරිනි රටේ අගමැති පුටුවට එන එක අහම්බයක් ද?

කවදාවත් ජවිපෙ නොහිටි මාලිමා ජාතික ලැයිස්තුවෙන් ආ හරිනි කාගේ අතකොළුවක් ද? අමරපුර නිකායේ ගිහි ලේකම් හෝ භාණ්ඩාගාරික බව කියන විජිත හේරත් අගමැති ධුරයට නුසුදුසු ඇයි?

මාලිමා ප්‍රතිපත්තිය අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා අනුර දිසානායක, විලියම් ගොපල්ලව පන්නයේ රූකඩයක් කරලා, රට පාලනය කරන්නේ අනාගමික හරිනි ද? 

Sunday, September 22, 2024

අලුත් ජනාධිපතිතුමාගේ වගකීම...

ආර්ථික අර්බුදය කියන කුණාටුව මැද ලංකාව කියන ගුවන් යානය රනිල් කියන පළපුරුදු නියමුවා ආරක්ෂිතව ගමනාන්තය කරා රැගෙන යන ලකුණු දැක දැක, ඒ යානයේ ඉකොනොමි ක්ලාස් සීට් දෙකකට වෙලා පොර ටෝක් දිදී හිටි කවදාවත් ගුවන් යානා ධාවනය නොකළ දෙන්නෙකුට යානයෙේ නියමු කටයුතු බාරදෙන්න මම කැමති වුණේ නෑ.

නමුත් රටේ බහුතරය එම තීන්දුව ප්‍රතික්ෂේප කරලා. යානයේ මගීන් 50%ක බහුතරය අර ඉකොනොමි ක්ලාස් ගිය දෙන්නාගෙන් කිසිවෙකුටවත් කැමති නැතත් තව දුරටත් යානය පළපුරුදු රනිල් ඉදිරියට රැගෙන යනවාට කැමති වෙලා තිබු⁣ණේ 17%යි. බහුතරයේ කැමැත්ත නියමුවා මාරු කරන්න. ඒක මමත් පිළිගන්නවා. ඒක තමයි, ප්‍රජාතන්ත්‍රවාදය. 

දැන් අපි සියලු දෙනා ඉන්න ගුවන් යානය අනුර කියන අලුත් නියමුවා අතට ලැබිලා. ගමන අතරමග නිසා අවදානම් කියලා යානයෙන් පනින්නත් බෑ. පැනලා ඉතින් කිප දෙනෙක් විතරක් බේරුණත් වැඩක් නෑ. අලුත් නියමුවාට කැමති වුණ 42%කගේ වගේම අනික් නියමුවට කැමති වුණ 32%කගේ ජීවිතත් දෙන්නාටම විරුද්ධ වුණ 17%කගේ ජීවිතත් දැන් අලුත් පයිලට්ගේ අතේ. කොටින්ම අලුත් නියමුවාට විරුද්ධ වුණ 58%කගේ ජීවිතත් ඔහු අතේ.


ඉතින් යානය අපි කැමති කෙනාට නොලැබුණා කියලා දෙස් දෙවොල් තියලා අනේ මේක කඩා වැටියං කියලා කොඩිවින කරලා වැඩක් නෑ. මොකද වැටුණොත් වැටෙන්නේ අපි හැමෝම එක්ක අපේ රට කියන යානාවම මිසක් අලුත් පයිලට්ගේ ටීම් එක විතරක් නම් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. එහෙම දෙස් තියන පිරිස මෙවර අලුත් නියමුවාට පක්ෂපාතී වීමත් එක අතකින් ර⁣ටේ වාසනාව.

ඒ නිසා අපි සියලු දෙනා එක්ක මේ යානාව ආරක්ෂිතව තොටුපළකට ගෙන එන්න අලුත් පයිලට්තුමාට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ❤️ හැබැයි පයිලට් මනා සිහියෙන් වැඩ නොකළොත් අපි එහෙම ප්‍රාර්ථනා කළා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒ වගේම පයිලට් පිස්සු කෙළින කොට අපට ගංජා බීලා නන්දාගේ පවන අහ අහ ඉන්නත් බෑ.

මේක විපක්ෂයේ ස්ටේජ්වල හිටං ආර්ථික අර්බුදයෙන් බැට කෑ අසරණ ජනතාවට ගැලරි චූන් කරන්න කී සුරංගනා කතා අත්හදා බලන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. එහෙම වැඩ කළොත් 2015 යහපාලනාණ්ඩුව රට ඇදලා දැම්මාට වඩා ආගාධයකට, මරියානා ආගාධයටම රට වැටෙන්න පුළුවන්. ඒ අවධානම තේරුම් ගන්නම වෙනවා.

හොරු ඇල්ලීම, හොරා කෑ ධනය රාජසන්තක කිරීම, උගන්ඩාවේ සඟවා ඇති ධනය ගෙන ඒම, නාස්තිය වංචාව දුෂණය අවම කිරීම, මන්ත්‍රී විශ්‍රාම වැටුප, වාහන පර්මිට් අහෝසි කිරීමේ කිසිම වරදක් නෑ. ඉතාම හොඳයි. හැබැයි රටේ හිටපු මුල් පුරවැසියන් වන හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව ඇතුළු යම් වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දිය යුතුයි. මොකද ඒ අය හමුවෙන්න විදෙස් රාජතාන්ත්‍රික කණ්ඩායම් එනවා. එවිට ඔහු ගතකරන ජිවිතය අපේ රට ගැන යහපත් ප්‍රතිරූපයක් ලෝකයට දියයුතුයි. ඒක කවදා හෝ වත්මන් ජනපතිටත් අදාළයි.

මේ වෙලාවේ වඩාත් වැදගත් රටේ ආර්ථික සුරක්ෂිතතාව. රටේ භෞතික අඛණ්ඩතාව, ඒකීයභාවය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්න නම් ආර්ථික සුරක්ෂිතතාව සාතිශය වැදගත්. පහුගිය කාලේ සුනිල් හඳුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න, හරිනි අමරසූරිය, චතුරංග අබේසිංහ, හර්ෂණ සූරියපෙරුම ඇතුළු පොතේගුරු ආර්ථික මහාචාර්යලා කළ කී කතා අනුව ආර්ථිකය ගෙනියන්න උත්සාහ කළොත් මේ යානයේ ඉන්ධන  ඉවර වෙනවා, ගුවන්තොටුපළට ළං වෙන්න කලින්ම.

අපි ඉන්නේ IMF විරෝධී, විදෙස් ආයෝජන විරෝධී කියුබානු, උතුරු කොරියානු පන්නයේ මාරාන්තික අත්හදා බැලීමක් තරමක කාලයක් හරි දරාගන්න පුළුවන් 2015 වගේ සුරක්ෂිත ස්ථානයක නෙමෙයි. 

ඒ නිසා වෙන වෙන මොන වෙනස්කම් කළත් වර්තමාන මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා තමන්ගේ අගසව්වන් කරගෙන අලුත් නියමුතුමාට ලක්ෂ 220ක් මගී ජීවිත එක්ක අපේ රට නමැති ගුවන් යානය ආරක්ෂිත තොටුපළ දක්වා රැගෙන යාමට ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

 
සිය රට දේ සිරි සැප දේ !