Sunday, August 16, 2015

ජවිපෙට සමහරක් උගත්තු ආස ඇයි?

බෞද්ධ විරෝධි, සිංහල විරෝධි එහෙයින් ම මහින්ද විරෝධි උගතුන් සහ කලාකරුවන් යැයි කියා ගන්නා අයට බෞද්ධ විරෝධි සිංහල විරෝධි නායකත්ව කල්ලියක් විසින් පාලනය කරන හෙයින් ම ඔවුන් ආකර්ශනය වන එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන ලෙස එම පක්ෂයේ වියරු පාලන ඉතිහාසය පිළිබඳ සවිඥානික මේ රටේ ජනතාවට ඍජුව කිව නොහැකි වී තිබේ. මාස 8ක පමණ කාලය තුළ ඔවුන් ගෙන ගිය ප්‍රජාතන්ත්‍ර විරෝධි යහ පාලන විරෝධි පාලනය නිසා එසේ කිවහොත් මේ ඊනියා බුද්ධිමතුන්ගේ සහ කලාකරුවන්ගේ සිංහල සහ බෞද්ධ විරෝධය නිසා ම කොළ පැහැ ගත් හෘද සාක්ෂියේ නිරුවත හෙළි වනු ඇත. අනෙක් අතට මොවුන්ගේ කරුමයට රත්තරන් අශ්යින්, ලැම්බෝගිනි, මාළිගා එකතු කොට ගැයූ ප්ලැටිනම් වටිනාකමක් සහිත බොරු සියල්ල හෙළි වී තිබේ. එහෙයින් මේ පිරිස දැන් එක පෙළට ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලෙස ජනතාගෙන් ඉල්ලා සිටිති. එයට හේතුව කුමක් ද යන්න ඔවුන් නොපැවසුව ද අපට අවබෝධ කරගත හැකි ය.

සාම්ප්‍රදායික වමට විකල්පයක් ලෙස රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කළේ සෙසු මාක්ස්වාදීන් මෙන් මේ රටේ ජාතිකත්වය ප්‍රතික්ෂේප කර ඊනියා පන්තිය පදනම් කර ගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස නොවේ. ආරම්භයේ සිට ම ජනතා විමුක්ති පෙරමුණ අධිරාජ්‍ය විරෝධි දේශපාලන පක්ෂයක් විය. එමෙන් ම මාක්ස්වාදයේ සහ දේශප්‍රේමයේ සංකලනයක් විය. සාම්ප්‍රදායික වමේ පක්ෂ ත්‍රීවිල් පක්ෂ බවට පත් වෙද්දී දෙවරක් මර්දනය කළ ද එම පක්ෂය 2004 වන විට පාර්ලිමේන්තු ආසන 41ක් සහ පලාත් පාලන ආයතන මන්ත්‍රී ධූර 580ක් ලබා ගන්නා තැනට පත් වූයේ එහෙයිනි. 

එහෙත් 2007 පමණ වන විට එම ව්‍යාපාරය වල්මත් විය. ත්‍රස්තවාදය කෙළවර කිරීමේ සටන අවස්ථාවේ එනම් 2007 අයවැය පරාජය කර මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා ජවිපෙ සුදානම් විය. ඒ සමඟ ජාතිකත්වය නියෝජනය කළ විමල් වීරවංශ ඇතුළු පිරිස ආණ්ඩුවට සම්බන්ධ වී ඒ මර උගුලින් රට ගලවා ගත් අතර එහි ප්‍රතිඵලය ලෙස අද අප ත්‍රස්තවාදය කෙළවර කළ රටක නිදහසේ වෙසෙමු. 

එයින් අනතුරුව පක්ෂය තුළ මාක්ස්වාදී නැඹුරුව නියෝජනය කළ කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිස වෙන්ව යන අතර අවසානයේ පසුගිය මැයි මාසය වන විට එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ද පක්ෂයෙන් ඉවත්ව යයි. දැන් සැබවින් ම ජනතා විමුක්ති පෙරමුණ යනු කුමක් ද?

දැන් ජනතා විමුක්ති පෙරමුණ යනු සැබවින් ම මාක්ස්වාදය ද නොමැති දේශප්‍රේමය ද නොමැති එක්සත් ජාතික පක්ෂයට කුලියට වැඩ කරන අනුර කුමාරගේ බූදලයකි. ඒ සත්‍ය දැක බලා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව කදිම කැඩපතකි. 

එහි ජාතික ලැයිස්තුවේ තුන් වැන්නා එනම් නීතිඥ උපුල් කුමාරප්පෙරුම එක්සත් ජාතික පාක්ෂිකයෙකි. සෝමවංශ කියන පරිදි මංගල සමරවීරගේ හොඳ කකුලකි. ඔහු එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විජේදාස රාජපක්ෂගේ පමණක් නොව උපුල් ශාන්ත සන්නස්ගලගේ ද මැතිවරණ වේදිකාවල සුලබ දසුනකි. සෝමවංශ අමරසිංහ පවසන පරිදි ම අනුර කුමාරලා අලියාගේ බෙල්ලේ සීනුව ගැටගසා අවසන් ය. 

එම ලැයිස්තුවේ දෙවැන්නා වන නීතිඥ අරුණ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ඇමරිකා එක්සත් ජනපදයට සම්බන්ධ ආයතනයක සේවය කළ CIAකාරයෙකි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව කටයුතු කළ අයෙකි. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණ සිය අධිරාජ්‍ය විරෝධය ද ඇමරිකන් අධිරාජ්‍යවාදය හමුවේ නිර්ලජ්ජිත ලෙස පාවා දී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ආසන 3ක් දිනා ගත හොත් එයින් දෙකක් ම එක්සත් ජාතික පක්ෂයට ලැබෙයි. මේ වන විට අනුර කුමාර දිසානායක නිල නොවන එක්සත් ජාතික පක්ෂ හොඳම කථිකයා බවට පත් වන්නේ සියලු එජාප කථිකයින් අභිබවා මහින්ද රාජපක්ෂ විවේචනය කිරීමෙනි. ඔහුට ඒ සඳහා විජේදාස රාජපක්ෂලා යහමින් ගෙවන බව කීවේ අප නොව විජේදාසලා ම ය. 

ජාතිකත්වයෙන් ඈත් වුණු මාක්ස්වාදයෙන් ඈත් වුණු අලියා ගිලපු දිවුල් ගෙඩියක් බවට පත් වුණු ජනතා විමුක්ති පෙරමුණ වටා මෙතෙක් එක්සත් ජාතික පක්ෂය වටා රොක්ව සිටි NGO කල්ලි රොද බැඳ ගන්නේ මේ නිසා ය. පසු ගිය යහ පාලන ආණ්ඩුය ගැන කලකිරී ආපසු හැරෙන ජනතාව රවටා මෙවර ද ඡන්දය ඩැහැ ගැනීම සඳහා JVP කෙමන අතරමඟ අටවා තිබේ. ඔවුන් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය විශ්වාස කළ නො හැකි වුව ද ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කළ යුතු බව ය. 

එහෙත් යහ පාලන ආණ්ඩුව කළ සියලු වැරදිවලට අනුර කුමාරලා වගකිව යුතු අතර එයින් ඔහුට කිසිසේත් මිදිය නො හැක්කේ කැබිනට් අනුමැතියෙන් පත් කළ මූල්‍ය අපරාධ සොයන ආයතනයේ ප්‍රධානියා ඔහු හෙයිනි. එහෙත් ඔවුන් නොකියන්නේ එක්සත් ජාතික පක්ෂය මෙන් ම ජාතිකත්වයෙන් වියෝ වූ ස්ථාවරයක මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ පසු වන හෙයින් ඔවුන්ට ඡන්දය ලබා දෙන ලෙස ය. එහි අරමුණ මේ මොහොතේ රටේ බෙදුම්වාදයට එරෙහිව ලැබෙන ඡන්ද ප්‍රමාණය කිහිපයකන් හෝ අඩු කිරීම හැර අනෙකක් නො වේ.

ඒ නිසා ජනවාරි 08 රෑ වැටුණු වලේ අගෝස්තු 17 මහ දවල් නොවැටී සිටීම ඒ ජනතාවගේ වගකීම ය. 1815 යහ පාලන සීතාම්බර සළුවට රැවටී අපේ රජු සුද්දාට පාව දුන් ප්‍රභූන් නිසා අපට වසර 150ක් බටහිර යටත් විජිත වැසියන් ලෙස අනන්ත දුක් විඳින්නට සිදු විය. මෙවර එවැනි වරද්දා ගැනීමක් සිදු වුවහොත් අපේ මතු පරම්පරා ගණනාවකට සියවස් කිහිපයක් එහි රුදුරු ප්‍රතිඵල භුක්ති විඳින්නට සිදු වනු නො අනුමාන ය. එහෙයින් සියලු පක්ෂ, පාට, ආගම් පසෙකලා රට වෙනුවෙන් මේ අවස්ථාවේ ගතයුතු නිවැරදි ම තීන්දුව ගනිමු. 

3 comments:

Unknown said...

2004 ජවිපෙ ගත්තු ගාන සන්ධානගත වීම නිසා ලද දෙයක් මිස..... ඔවුන් අතීතයේ සිට අා ගමනින් ලද දෙයක් නොව.... ඒ දිහා බලා දැන් තත්වය සංසන්දනය කළ නොහැකිය.... ජවිපෙන් පහුගිය ටිකේ ඉවත් වූ අන්තගාමීන් ටික සහ සෝමවංශ නිසා මෙවර ඔවුන් ඉතිහාසයේ තනි පක්ෂයක් ලෙස ලබන ඉහළම ජයග්‍රහණය ලබනවා නියතයි......

නාමල් උඩලමත්ත said...

දැන් ඔබට ඔබේ තක්සේරුව පිළිබඳ නැවත විමසා බැලීමට අවස්ථාව ලැබී තිබේ.

Amila Chathuranga said...

ප්‍රභූන් නිසා අපට වසර 150ක් බටහිර යටත් විජිත වැසියන් ලෙස අනන්ත දුක් විඳින්නට සිදු විය


එතකොට ඔය වැසියො සෙට් එකම රජකාලෙ රජතුමා යටතේ කිසිම නීතියක් රීතියක් ක්‍රමයක් නැති කාලෙක බොහොම සනීපෙන් යටත් වැසියො විදියට ඉන්න ඇති නේද?

 
සිය රට දේ සිරි සැප දේ !