Thursday, September 10, 2015

මේ රටේ ජාතික විඥානය තීරණය කිරීම බටහිර පරවේණිගත අයිතියක් ද?

සුපුරුදු පරිදි නිර්මාල් රංජිත් දේවසිරි මහතා සම්බන්ධ විපක්ෂ නායක වීමට මම අකමැති මන්ද යන්න විස්තර කළ මගේ ලිපියකට සිය වෝලයේ ප්‍රතිචාර දක්වමින් මා ඉන් අදහස් නොකළ දෑ මතු කර සතුටු වෙයි. ඒ දැක තවත් පිරිසක් පිනා ගොස් තිබේ. ඒ සතුටට මම බාධා නොකරමි. ඔහු සඳහන් කරන පරිද මා එහි දෙමළා සම්බන්ධ සිංහල විඥානය ඉතා කදිමට ගොණු කරනු ලැබ ඇත. "අපි කැමති වන්නේ අපිට අභිමත දෙමළෙකුටයි. දෙමළා සිය දෙමළභාවය නිර්වචනය කරගත යුත්තේ සිංහලයාගේ පරිකල්පනයට ගැලපෙන ආකාරයටයි." නිර්මාල් මහතාගේ තර්කය නිවැරදි නම් ආනන්ද කුමාරස්වාමි, ලක්ෂ්මන් කදිරගාමර්, ආනන්ද සංගරි, ඩග්ලස් දේවානන්ද, ආරුන් තම්බිමුත්තු ආදීන් සිය දෙමළ භාවය නිර්වචනය කර ඇත්තේ සිංහලයාගේ පරිකල්පනයට ගැලපෙන ආකාරයටයි. එහෙයින් එය දෙමළ විඥානය නොවේ. එය ව්‍යාජ විඥානයකි. එහෙයින්  නිර්මාල් මහතා ඒ වෙනුවෙන් පෙනී නොසිටියි.

එය නියත ලෙස ම ව්‍යාජ විඥානයක් බව තමන්ට ලැබී ඇති කුමක්දෝ බලයක් ඇසුරින් නිගමනය කරන නිර්මාල් මහතා සම්බන්ධන් ප්‍රමුඛ සැබෑ දෙමළ විඥානය නියෝජනය කරන පිරිස දෙසට මලට ඇදෙන බමරෙකු මෙන් සතුටින් ඉගිල යයි. එලෙස තමා ඊට ආශක්ත වන්නේ ඔවුන්ගේ දේශපාලන දැක්ම තමන්ගේ දැක්ම හා සමපාත වන හෙයින් බව ඔහු නොකියයි. සම්බන්ධන්ලා මෙන් ම නිර්මාල් රංජිත් මහතා ද දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින්නෝ වෙති. දෙමළ විඥානය බෙදුම්වාදයට ලඝු කරන්නෝ වෙති. ඔවුහු බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින්නෝ වීරත්වයෙහි ලා දේවත්වයෙහි ලා සලකති. බෙදුම්වාදය ප්‍රතික්ෂේප කළෝ දෙමළ අභිලාෂය පවා දුන් ජුදාස්ලා ය. ආනන්ද කුමාරස්වාමි, ලක්ෂ්මන් කදිරගාමර්, ආනන්ද සංගරි, ඩග්ලස් දේවානන්ද, ආරුන් තම්බිමුත්තු පමණක් නොව මුරලිදරන් වුව ජුදාස් කෙනෙකි. ඒ ජුදාස් ලා අගයන අප පව්කාරයෝ ය. පව්කාරයින්ට කිසිදා පවක් නොකළ ශාන්ත පිලිප් වැනි ශාන්තුවරුන් සමඟ එක්ව ගල් ගැසිය යුතුය.

යම් දිනෙක සම්බන්ධන් බෙදුම්වාදය අත හැරියහොත් (එසේ මොහොතකට උපකල්නය කරමු) නිර්මාල් මහතාට එතැන් සිට ඔහු සිංහල විඥානයට සමපාත ලෙස සිය දෙමළභාවය නිර්වචනය කරගත් ජුදාස් කෙනෙකි. කෙසේ වුව ද දෙමළ බෙදුම්වාදය ප්‍රතික්ෂේප කළ දිනක සම්බන්ධ මෙන් ම නිර්මාල් මහතා ද බටහිරට හප කළ නොවටිනා උක් දණ්ඩක් පමණි. කෙසේ වුව ද තමන් සේවය කරන්නේ එදා යටත්විජිතවාදීන් සිය කොලනි පසුවෙන් පාලනය කිරීම සඳහා හඳුන්වා දුන් බෙදා වෙන් කර පාලනය කිරීමේ ක්‍රමවේදයට බව මේ යටත්වජිත විරෝධි මාක්ස්වාදී උගතුන් නොදැන සිටීමට කිසිම හේතුවක් නැත. එහෙත් තමන් තුළ පවතින සිංහල බෞද්ධ වෛරය පිරිමසා ගැනීමට ඔවුහු ඕනෑ ම ආයුධයක් භාවිත කරති. එවන් පිරිස් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා බටහිර විසින් නියමින් හා අනියමින් පාවිච්චි කෙරති. සිය පැවැත්ම වෙනුවෙන් රටවල් ජාති, ආගම්, ගෝත්‍ර ලෙස බෙදා වෙන්කර ඒ රටවල් අස්ථාවර කිරීමේ තම උවමනාව ඉටු කරන මේ දේශීය ඒජනත්වරු බටහිර රටවල් ඔවුන්ගේ මෙහෙයුම් ඔස්සේ මහා බුද්ධිමත්තු ලෙස හුවා දක්වති. 

අනෙක් අතට නිර්මාල් මහතාට, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අනේක බාධා කිරීම් මැද ලැබුණු ආසන 95ක් නොතකා හරිමින් ඒ ජනවරම එජාප ආණ්ඩුවේ පාවඩයක් ලෙස සලකමින් ඒ ජනවරම යටපත් කර ආසන 15ක් දිනා ගත් සම්බන්ධ මහතා විපක්ෂ නායක කිරීම පැහැදිලි කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවායේ කවර මූලධර්ම අනුව ද? නිර්මාල් මහතා 1983 UNP මැරයින් සමඟ දෙමළ කඩ කොල්ලකෑවේ අපට වඩා හොඳින් ඉතිහාසයේ සිට ම දෙමළ විඥානය තේරුම් ගෙන ඇති නිසා ද? අද දෙමළ පිළිබඳ කිඹුල් කඳුලු හෙළන නිර්මාල් මහතා සැබවින් ම ඉටු කරන්නේ මේ රටේ අපේක්ෂා නොව අවම වශයෙන් දෙමළ සමාජයේ අපේක්ෂා නොව බටහිර අවශ්‍යතා ය. ටිමෝරය, යුගෝස්ලෝවියාව, කොසෝවෝ, දකුණු සුඩානය, හයිටිය, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, සිරියාව ආදි රටවල් මේ පාර දිගේ ටික දිනකට කලින් මහත් උජාරුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දෙවොල වෙත රැගෙන ගිය අයුරු අපි දුටිමු. දැන් ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ද යහ පාලනය ද මානුෂික අයිතිවාසිකම් ද මාධ්‍ය නිදහස ද සුළු ජන අයිතීන් ද මදි නොකියන්න ලැබී තිබේ. කෙතරම් ලැබී ඇත්ද කිවහොත් ඒ රටවල් අමු සොහොන්, මස්කඩ බවට පත්විණි. දහස් ගණනින් මැරී වැටිණි. පළා යමට ගොස් දහස් ගණනින් මුහුදේ ගිලී මැරුණි. ඉන් මිදුණු දහස් ගණනක් සිය මව්බිම අතැර දිවි පරදුවට තබා යුරෝපයට පළා යති.

කෙසේ වුවද මේ රට ඒකීය රටක් ලෙස පැවතිය යුතු බව සිතන, බටහිර බෙදුම්වාදී උවමනාවන්ට ඉඩ නොතැබිය යුතු බව සිතන, මේ රට තවත් අමු සොහොනක් නොකළ යුතු බව සිතන සිංහලයින් පමණක් නොව දෙමළ, මුස්ලිම් මිනිස්සු ද මේ රටේ ජීවත් වෙති. ඔවුන්ට බටහිර උවමනාව විසින් මෙහෙය වන ඇතැම් දෙමළ පිරිස්වලට සහ නිර්මාල මහතාට මෙන් මේ රටේ වෙනම කොටසක වෙනම ජීවත්වීමේ ආශාවක් නැත. විශේෂයෙන් හින්දු ජනතාවට එවැනි ප්‍රශ්න නැත. (මතවාදිමය ආධිපත්‍යට ඔවුන් මෙහෙයවීමට හැකි වීම වෙනම කරුණකි.) පෙර වසරක ජිනීවා වෙත පෙත්සමක් අත්සන් කර යැවූ උතුරේ ආගමික පූජකවරු අතර කිසිඳු හින්ද පූජකයෙකු සිටියේ නැත. එහෙයින් නිර්මාල් මහතා අවංක නම් මගේ ප්‍රකාශය දෙමළ සම්බන්ධ සිංහල විඥානය ලෙස නොව මේ රටේ ඒකීයභාවය අගය කරන බටහිර න්‍යාය පත්‍රයට එරෙහි සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ විඥානය ලෙස තේරුම්ගත හැකිව තිබිණි. එහෙත් දෙමළ විඥානය බෙදුම්වාදී, සිංහල බෞද්ධ විරෝධි එකක් විය යුතු බව ද එය දෙවියන් වහන්සේගේ නියමය බව ද ඊට කිසිසේත් සිංහල විඥානය සමඟ සමපාත වීමට ඉඩ නොතැබිය යුතු බවත් ද ප්‍රකාශ කෙරෙන සිය බටහිර හාම්පුතුන්ගේ උවමනාව, ආශාව ඇඳලි බැඳ දෝත් මුදුන් දී පිළිගන්නා තැනින් ආරම්භ කොට දිවි හිමියෙන් ඊට සේවය කිරීමේ දේශපාලන දේව කාර්යයට අත ගසා සිටින නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඒ සඳහා කිසි දිනක සුදානම් නොවනු ඇත. මන්ද මේ රටේ ජාතික විඥානය ද තීරණය කිරීමේ පේටන්ට් අයිතිය බටහිර සහ බටහිර නියෝජිතයින්ගේ පරවේණිය යැයි ඒ මහතා සිතන හෙයිනි. 

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !