Thursday, August 1, 2013

එක ප්‍රශ්නයකට එක බිල්ලක් ඉල්ලන ආණ්ඩුවක් !!!

ඉස්සර අපේ ගම්වල යක්කු සිටියහ. උන් නිතර ගැමියන්ට වැහුණු අතර යද්දෙස්සෙකු පැමිණ මන්ත්‍ර කියා වැහුණු යකාට වහා ආතූරයාගේ ශරීරයෙන් පිටව යන්නැයි පවසයි. එවිට බෑ කියන යකාට කැමති වරයක් ඉල්ලන්නැයි කී කල ඌ මිනිස් බිල්ලක් ඉල්ලයි. එවිට "තොට මොන මිනිස් බිලිද බොල අල්ලලා බැඳලා මුහුදට දාන්න කලින් මං දෙන කුකුළ බිල්ලත් අරන් වහාම ආතුරයා අතහැර පලයන්" යැයි යක්දෙස්සා යකාට තරවටු කරයි. අනතුරුව ආතුරයාගේ ආරක්ෂාවට කැප නූලක් ආතුර ගෙලෙහි බැඳෙයි. ගිවිසගත් පරිදි නොබෝ දිනකින් තොවිලයක් නටා බිල්ල දුන් පසු යකා ආතුරයා අතැර යයි.

මේ ලෙසම අද වන විට ලංකාවේ ජනතාවට සිය ප්‍රශ්න විසඳා ගැනීමට ආණ්ඩුවට බිල්ලක් දීමට සිදුව තිබේ. රොමේෂ් චානක, ඇන්ටනී ප්‍රනාන්දු ලැයිස්තුවට ඊයේ තව තරුණ නමක් එක් විය. ඒ තරුණයා මිය ගියේ ආණ්ඩුවෙන් රැකියාවක් ඉල්ලා නොවේ. වාහන පෝමිට් ඉල්ලා නොවේ. ඉල්ලා සිටියේ තමන්ට බීමට පිරිසිදු වතුර ටිකකි. ජල පෝෂක දූෂණය කරන කර්මාන්ත ශාලාව වසා දැමීමට ආණ්ඩුවේ බලධාරීන් ක්‍රියා කළේ නැත. ජනතාව හඬ තුට්ටුවකට මායිම් කළේ නැත. බැරිම තැන මහා සංඝරත්නය මරාන්තික උපවාසයකට එක් විය. ජනතාව වියරු වැටී මහා මාර්ග අවහිර කරමින් විරෝධතා පෑහ.

එවිට මේ තකතීරු ආණ්ඩුව කළේ හමුදාව ලවා අවම බලය පාවිච්චි කර බීමට ජල බිඳක් ඉල්ලා සිටි අසරණ ජනතාවට පන්න පන්නා පහර දීමය. මිනිසුන්ගේ අතපය කඩා දැමීමය. රතුපස්වල ජනතාව නුවර කොළඹ මාර්ගය වසා දැමීම නිසා මහා අර්බූදයක් නිර්මාණය වන බව කිව යුතු නොවේ. එහෙත් ප්‍රශ්නය ඔඩු දුවන තුරු කල් ඇරියේ ආණ්ඩුවයි. දයාසිරි කැන්දා ගෙන විත් ආණ්ඩුව නිදි වැද්දා මිස ජනතා දුකට ඇහුන්කන් දුන්නේ නැත. මේ ප්‍රදේශයේ දේශපාලන ප්‍රධානීන්ට විළිලැජ්ජාවක් ඇත්නම් උන් වහා ගෙදර යා යුතුය. එහෙත් විළිලැජ්ජාවක් නැති නිසා එය කිසිදා සිදු නොවනු ඇත.

උතුරේ කොටි ත්‍රස්තවාදය පරාජය කළ නිසා වියරු වැටී සිටින බෙදුම්වාදීන්ට සහ යූඇන්පී හුජ්ජ කොල්ලන්ට ආණ්ඩුව ලබා දී ඇත්තේ නියම කට ගැස්මකි. දැන් ඒ නිවට අවස්ථාවාදීහු හමුදාව සහ ජනතාව අතර ඇති සබඳතාව බිඳ දැමීමට මේ සිද්ධිය පාවිච්චි කරයි. මේ ෆේස්බුක් සිශාචයින් හමුදාවට අණ දුන් ආණ්ඩුවට නොව පහර දුන් හමුදාවට බැණ වදිති. ඔවුන් මේ ගන්නේ පරණ වාඩුවක් බව අපට පෙනේ. එහෙත් හමුදාව කර ඇත්තේ සිය රාජකාරිය පමණි. ඔවුන් වග කියන්නේ ආණ්ඩුවටය. හමුදාව ඊට බැඳි සිටිති. හමුදාව ප්‍රශ්න විසඳන්නේ එලෙසය. ඔවුහු මහත්මා ගාන්ධිගේ අනුගාමිකයෝ නොවෙති. හමුදාව වෙත කැට මුගුරුවලින් පහර දී කර ගන්නේ ප්‍රශ්නය තවත් කුරුවල් කර ගැනීම පමණි.

 එහෙයින් මේ ප්‍රශ්නයට සම්පූර්ණ වගකිව යුත්තේ ආණ්ඩුව බව ජනතාව අවබෝධ කරගත යුතුය. හමුදාවට අණ දුන්නේ ආණ්ඩුවයි. කොටින්ට පහර දීමට මෙන්ම රතුපස්වල ජනතාවට ද පහර දීමට තීන්දු කළේ ආණ්ඩුවයි. ඇතැම් විට මේ ප්‍රශ්නයට හමුදාවේ සහ පොලිසියේ කිහිප දෙනෙකුට සිය රැකියාවලින් වන්දි ගෙවීමට සිදුවනු ඇත. එහෙත් මේ වරදට වගකිව යුත්තේ ඒ ප්‍රශ්නය මේසා ඔඩු දුවන තුරු බලා සිටි කාලකන්නි ආණ්ඩුවයි. 

මේ බිල්ල ගත්තේ ආණ්ඩුවය. දැන් බිල්ල ගත් ආණ්ඩුව අර යකා මෙන් ප්‍රශ්නය නිරාකරණය කර තිබේ. අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමටත් ඒ පිළිබඳ සොයා බලා කටයුතු කිරීමටත් දැන් ආණ්ඩුව කඩිමුඩියේ වැඩය. මේ කඩිමුඩිය කලින් තිබිණි නම් අර තරුණයා අදත් ජීවතුන් අතරය. අත පය කඩා දැමූ මිනිසුන් යහතින් ජීවත් වනු ඇත. හමුදාවට බැනුම් අහන්න සිදුවන්නේ ද නැත. එහෙත් මේ ආණ්ඩුව දැන් ඉතා සුළු ප්‍රශ්න විසඳන්නේ ද හත්පොලේ ගා ගෙනය. ආණ්ඩුව වහා බිලි ඉල්ලන යකාගේ භූමිකාව අතහැර දැමිය යුතුය. නැතහොත් ජනතාවගේ ඊළඟ තෝරාගැනීම වනු ඇත්තේ මීටත් වඩා භයානක යකෙකි. එහෙයින් දන්න යකා නිවැරදි කර ගැනීම බුද්ධිමතුන්ගේ වගකීමයි.    

2 comments:

සැමට මිතුරු said...

අලුතින් හිතන්න වෙනව හැමෝටම.විජාතික බලවේග ,ජාත්‍යාන්තර කුමන්ත්‍රන කීවට සුද්ද හිටියෙ නැත්නම් මොකකින් මොකක් වෙයිද කියන්න බෑ.යුධ අපරාධ ,චැනල් 4 වගෙ ඒවටත් ජනතාව නිශ්ශබ්ද වෙයි මීට පස්සෙ

Maathalan - Priyantha Hewage said...

ආඩම්බරයක් මෙහෙම දෙයක් ලියපු එක...

 
සිය රට දේ සිරි සැප දේ !