Friday, July 26, 2013

බුද්ධගයා ප්‍රහාරයට වගකියන්න ඕනෑ ලංකා ආණ්ඩුවයි. - හේමකුමාර නානායක්කාර

හේමකුමාරයෝ වාසුදේවයන්ගේ කුස ඔත් සහෝදරයාය. වාසුදේවයෝ සිය නූතන දේශපාලන භාවිතය නිසා නිතර මාගේ ගෞරවට ප්‍රශංසාවට භාජනය වන්නාහ. ඊර්ෂ්‍යා පර්ශව සිය සහෝදරයා ලබන ගෞරවය නොරිස්සා ඊට වෙර බැඳගත් හේමතුමාරයෝ මාගේ ගෞරවයට පාත්‍රවීමට නේක කටයුතු කරමින් සිටිති. ඒ සඳහා එතුමා ලෝක දේශපාලන විග්‍රහය වෙත යොමු වී තිබේ. එතුමා ඉන්දියාවේ බුද්ධගයාවට මුජහ්දීන්ලා එල්ල කළේ යැයි කියන ප්‍රහාරයට වගකිව යුත්තේ ලංකා ආණ්ඩුව බව පවසා තිබේ.

මේ ප්‍රකාශය ඇසූ මගේ සිත තුළ වාසු කෙරෙහි තිබූ ගෞරවය හිරු දුටු කදෝපැණියෙක් බවට පත් කරමින් හේමකුමාරයන් පිළිබඳ ගෞරවය නාප තල් කඳක් සේ අහසට පැන නැංගේය. අහෝ මා මේ දකින්නේ සිහිනයක් ද? එසේ නැත්නම් මගේ රටින් ලෝක දේශපාලන දැනුම අතෑඹුලක් කොට ගත් විස්මැති චින්තකයෙක් පහළ වීද? තුන් කල් දකින ඉසිවරයෙකු බදු මහා පුරුෂ රත්නයක් පහළ වීද? මෙය නම් අරුමයකි. කෙසේ වුවත් සතර වරම් දෙවියන්ට ස්තුතිවන්ට එහි ගෞරවය අපේ රටටම නොවෙද?

මෙවන් මහා ප්‍රාඥයින් පහළ වන්නේ ජාතියේ පිනටය. එවන් උතුමන් පහළ වන පිංබර යුගයක උපදින්නට උන්ගේ සුස්ම පොද මුසුවන සුළං රැලක සිසිල ලබනට, උන්ගේ පා ගැටෙන පොළවෙහි දුහුවිලි පොදක් සිප ගන්නට අපද සුළුපටු පිනක් නොව කර ඇත්තේ. මෙවන් උතුමන් දෑස මෙන් රැක ගැනීම අපේ සමස්ත ජාතියේ වගකීමකි. එතුමා ගෙරවුම් සහිතව වැසි වසින දිනවලට එළියට පහළියට නොයවා අකුණු සන්නායක සවි කළ නිවසක රඳවා ආරක්ෂා කිරීම ආණ්ඩුවට භාරය.

සැබවින්ම හේමකුමාරයන් මීට පෙර ලෝක දේශපාලන තතු විග්‍රහයට බටුයේ නම් 9/11 ඇමරිකානු ප්‍රහාරය, 2005 ලන්ඩන් බෝම්බ ප්‍රහාරය සහ 2011 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය පසුපස සිටින්නේ ලංකාණ්ඩුව බව අනාවරණය වීමට ඉඩ තිබිණි. එපමණක් නොව භාරතයෙහි ඉතිහාසය පුරා සියලු ප්‍රහාර එල්ල කොට ඇත්තේ ලංකාවය. 1993 බොම්බේ ප්‍රහාරයට සහ 2002 දුම්රිය ප්‍රහාරයට මෙන්ම තවත් බොහෝ ප්‍රහාරවලට වගකිව යුත්තේ ලංකාවය.
සාමාන්‍යයෙන් ඉන්දියාවට වසරකට ප්‍රහාර 4-5ක් එල්ල වෙයි.

එහෙත් වසර 30ක ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ ලංකාව තුළ මේ වන තුරු චීන පටස් එකක්වත් පත්තු වූයේ නැත. එසේ තමන්ගේ රටේ බෝම්බ පිපිරවීමට ඉඩ නොදෙන ලංකා ආණ්ඩුව සිය අසල්වැසි රටේ බෝම්බ පිපිරෙන විට ඇස් කන් පියා ගෙන ඉන්නේ ඇයි ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් හේමකුමාරයන් තුළ ඇති වීම අතිශය සාධාරණය. දැන් ඉතින් එතුමාගේ මහා නැණැසට වැලි ගසා ලංකා ආණ්ඩුව හැංගෙනු බොරුය.

එම්බා ලංකා ආණ්ඩුව වහා අප වියත් පඬිවර හේමකුමාරයන්ට පිළිතුර දෙනු ! නැතිනම් අකුළාගෙන ගෙදර යනු !

3 comments:

නාමල් උඩලමත්ත said...

Kapila Mahesh Rajapaksha elakiri ayya mokada malli mokada gon part pappala dennek

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta අනෙක් අතට 'සුව දේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණු බුද්ධ ගයාවේ' ගීතය ගයන මොහිදීන් බෙග් මුස්ලිම්ය. බුද්ධගයාව කෙරෙහි මුස්ලිම්වරුන් තුළ ඇති භක්තිය ඒ ගීයෙන්ම ඔප්පු වන බවද ඉන්දීය බුද්ධි අංශ මේ ප්‍රහාරයේ වගකීම මුජහදීන්ලා මත පටවන්නේ මුස්ලිම්වරුන් සමඟ ඇති වෛරය පිරිමසා ගැනීමට බව අපේ හේමකුමාරයන්ගේ මහා ප්‍රඥාවට ගෝචර වන්නට ඇත. රෝ සේවාවෙහි ඉහළ තනතුරු හොබවන්නේ හින්දූන්ය. ලංකාව වගකිව යුතු ප්‍රහාරය මුජහ්දීන්ලාට පටවන්නට රෝලා දත කන්නේ එහෙයිනි.

නාමල් උඩලමත්ත said...

Aruna Lakmal ලස්සනට කියල තියෙන්නේ...

 
සිය රට දේ සිරි සැප දේ !