Friday, July 26, 2013

මම රාජකුමාරයෙක් නෙමේ, ගමේ කොල්ලෙක් !

සිරි පැරකුම් නැරඹීමි.

මගේ පවුලේ අය මෙන් ම බොහෝ නෑ මිතුරන් ද සිරි පැරකුම් නරඹා දැන් බොහෝ කල්ය. කාර්යබහුලත්වය නිසා මා ප්‍රමාද විය. එහෙත් ඊයේ සන්ධ්‍යාවෙහි මම සිරි පැරකුම් දකිනු පිණිස සිනමාහලට ගියෙමි. පසුගිය සමයෙහි ළදරු වලිප්පුකාරයින් පිරිසක් සෝමරත්න දිසානායකට මඩ ගසනු පිණිස අවලාද ව්‍යාපාරයක් ගෙන ගියේ මන්දැයි සහ සිංහල බෞද්ධ විරෝධි Colombotelegraph ඒවා තලු මරන්නේ මන්දැයි මම පසක් කර ගතිමි.

පළමුව චිත්‍රපටය ගැන යමක් කියා දෙවනුව අනතුරුව වලිප්පුවට හේතු ද කියමි. සිරි පැරකුම් ජනප්‍රිය සිනමාවට අයත් දැවැන්ත සිනමා පටයකි. එය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි සම්භාව්‍ය සිනමාකාරයින්ගේ නිර්මාණ සමඟ සැසදීම නිශ්ඵල ක්‍රියාවකි. 13 වන සියවසේ 3 වන විජයබාහු රජුගේ පුත් 2 වන පැරකුම් රජුගේ ළමා කාලය චිත්‍රපටය සඳහා පසුබිම් වෙයි. ඔටුන්න හිමි කුමාරයා ඝාතන කුමන්ත්‍රණය, සෝළීන්ට එරෙහි යුද්ධ, සතුරාට එරෙහිව රට සුදානම් කිරීම අතරමැද කුමාරයා පසල් ගමක ගැමි කොලුවෙකු ලෙස රහසේ වැඩෙයි. පන්සලෙන් අධ්‍යාපනය ලබන ඔහු කෙතේ කමතේ වැඩෙහි යෙදෙයි. සිංහල බෞද්ධ රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා භික්ෂුවගේ කාර්යභාරය ගලා යන අතර අති සුන්දර ප්‍රේමයක කුමාරයා පැටලෙයි.

සිනමාකෘතිය නොව එහි අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලිකත්වය ප්‍රශ්න කරමින් ඇතැම් රෝගීන් සිරි පැරකුම් යටපත් කරනට උත්සාහ කළේ ඇයි ද යන්න ඔබට දැනටමත් පැහැදිලි වී බව නිසැකය. එය තවත් සුළඟ එනු පිණිසක් නොවේ. තනි තටුවෙන් පියෑඹීමක් ද නොවේ. අඩු තරමින් ඉනියවන් වැනි චිත්‍රපටයක් වී නම් මොවුන් වර්ණනා නොකළ ද නිහඬව සිටිනු ඇත. අවසනාවට සිරි පැරකුම් මේ රටේ උගතුන්ගේ දේශපාලන චින්තනයට සරිලන්නේ නැත. ඔවුන්ට තලු මැරිය හැකි සිංහල බෞද්ධ විරෝධී, සිංහල සංස්කෘතිය විකෘති කළ කිසිවක් මෙහි නැත. එපමණක් නොව එය නැවත සිංහලයා ජාතිකත්වය වෙත කැඳවයි. සිය ඉතිහාසය පිළිබඳ අභිමාණයෙන් සිතන්නට සිංහලයා යොමු කරයි. ගම සහ පන්සල, ගම සහ රාජ්‍යත්වය අතර පැවති සබඳතාව අප අබිමුව තබයි. සිංහල බෞද්ධ භික්ෂුවගේ දේශපාලන කාර්යභාරය මැනවින් පිළිබිඹු කරයි.

ඉතින් නිවට උගතුන් කළ යුත්තේ කුමක් ද? භික්ෂුව පන්සලට ගාල් කොට නිවනට දක්කන්නට නන් දොඩවන්නන් කළ යුත්තේ කුමක්ද? ඔවුන්ට නේක අවලාද කියමින් වෛරය වැපිරීම හැර කළ හැක්කක් නොමැත. මේ උඩුබුරන්නේ සංස්කෘතික මුල් සිඳගත් පොතේ උගතුන් මිස බුද්ධිමතුන් නොවේ. මල පොතේ අකුරක් නූගත් ගැමියෝ මොවුන්ට වඩා බුද්ධමත්ය. ඔවුහු ව්‍යවහාර ඥානයෙන් සිය රට සංස්කෘතිය ආගම අවට ලෝකය පිළිබඳ උගනිති. මේ උගතුන් ලද අධයාපනය විසින් කර ඇත්තේ කිසියම් විෂයක් උගන්වා අර කී සියලු උරුමයන් අහිමි කොට අනාථයින් පිරිසක් බිහි කිරීම පමණි.

මේ සියල්ල මැද මට පණ්ඩුකාභය කුමාරයාගේ කතාව, අබා චිත්‍රපටය, ගැමුණු කුමාරයාගේ කතාව, මහරජ ගැමුණු නවකතාව ආදියෙහි ඇතැම් කොටස් සිහියට නැඟෙයි. ඇතැම් කොටස් පෙරකී කතාවලින් සිරිපැරකුම් අධ්‍යක්ෂවරයා අහුලා ගෙන ඇතැයි ද මට සිතෙයි. එවැනි නොගැඹුරු දෑවලින් ඈත් වී නම් මේ කෘතිය තවත් සාර්ථක වීමට ඉඩ තිබිණි. එහි එන ගීත කිහිපය ද ඉතා සාර්ථක නිර්මාණ බව කිව යුතුමය. ඒවා තනි තනිව ගෙන රස විඳිය හැකි නිර්මාණ වෙයි. මෑත කාලයේ බොහෝ සිනමා කෘති ඔස්සේ සාර්ථක ගීත බිහි වූයේ නැත. එහෙත් මේ ගී නිර්මාණ කිහිපයක්ම රසිකයින් අතර ජනප්‍රිය වනු ඇතැයි මම සිතමි.

මේ වූකලී මේ රටේ ඉතිහාස කතන්දරයෙහි එක් ජවනිකාවකි. යටත්විජිතවාදී පරාධීන්තවයෙහි ගිලී සිටින නූතන සිංහලයාට සිරිපැරකුම් කදිම විරේකයක් වනු ඇත. නැවත දෑ අභිමාණි ජාතියක් ගොඩ නැගීමට අවශ්‍ය ජවය, ශක්තිය ඉන් සිංහලයාට ලැබෙනු ඇත. එය ජාතියේ ඉතිහාසය පිළිබඳ කතාවක් පමණක් නොව සුන්දර ප්‍රේම වෘත්තාන්තයකි. සිනමාහල් අතැර යන පේක්ෂකයා නැවත සිනමාහලට කැඳවිය හැකි ආකර්ශනය සහිත සුන්දර සිනමාපටයකි. එහෙයින් තවමත් සිර පැරකුම් නැරඹීමේ භාග්‍ය නොලද ඔබ වහා එය නැරඹිය යුතුය.

4 comments:

නාමල් උඩලමත්ත said...

Samantha Wijesiri Gunawardhana මම යුරෝපයේ ජීවත්වන අයෙකු බැවින් කවදා සිරිපැරකුම් නැරඹීමට ලැබේදැයි කියා මම නොදනිමි.නමුත් මට ලැබෙන පළමු අවසුථාවෙන්ම එය නැරඹීමට මම උත්සහ කරමි.මම ඔබට එක දෙයක් කියමි,ප්‍රසන්න විතානගේ නැමති පාදඩ සිංහල සිනමා අධ්‍යක්ෂවරයාගේ නවතම නිර්මානයවන ඔබනැතිව ඔබත්එක්ක චිත්‍රපටය ලංකාවේ තිරගතකිරිමට ඉඩලබාදුන්නොත් එය නරඹන්න. මම බලාසිටිමි ඔබගේ ඒ ගැන අදහස.

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta මම හැමදාම සිනමාහලට යන්නේ වේදිකා නාට්‍යයක් බලන්න රඟහලට යන්නේ පොතක් අතට ගන්නේ හරිම නිදහස් මනසකින්. මගේ අදහස් සියල්ල මා දකින විඳින නිර්මාණය මත පදනම් වෙනවා. මා මම හඳගම, විමුක්ති, ප්‍රසන්න, බෙනට් ආදී සියලු දෙනාගේ නිර්මාණ බලනවා. මං ප්‍රසන්නගේ සියලු චිත්‍රපටි බලලා තියෙනවා. ඉදිරියේ ඔබ කියූ එකත් බලනවා. ඒක බලලා මගේ අදහස මේ විදිහේ කෙටි ලිපියකින් හරි ලියනවා. ඔව් ඔබට ලැබුණු පළමු මොහොතේම පවුලේ සියලු දෙනාම එක්ක සිරි පැරකුම් බලන්න. ඒක හොඳ සිනමා අත්දැකීමක් වේවි.

නාමල් උඩලමත්ත said...

Chatura Wellage මේක මෙච්චර උඩ දාන්නෙ ඇයි දැයි මට තෙරෙන්නෙ නැත මොකක හරි කසිකබලකට ගමෙ කම දවටා දුන් විට සුවඳ හමනවා යැයි සිතා සිටීමද එක්තරා ෆැන්ටසි වාදයකි ..ඇරත් පැරකුම්බා යනු රාජ්‍යයත්වය උදෙසා සෑහෙන කල්පනාවෙන් සූක්ෂමව වැඩ කල අයෙකි ..අවාසානාවට අපෙ ඉතිහාසය උගන්වන්නෙ ගවේෂනයට නොව ආගමක් මෙන් ඇදහීමය ..අනේ සාධු කීමටය

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta ඔබ නිවැරදි නැත. මේ රටේ ඉතිහාසය ළමයින්ට උගන්වන්නේ ඊට වන්දනාමාන කිරීමට නම් නොව අප ශිෂ්ටාචාරගත කළේ සුද්දා බව අඟවා සුද්දාට වන්දනාමාන කිරීමටය. ඇත්තටම මේ විදිහට ඉතිහාසය ඉගැන්වීමට වඩා එය නොකර සිටීමෙන් සෙතක් අත්වනු නියතය.

සැබවින්ම රටක ඉතිහාසය උගැන්විය යුත්තේ අභිමාණවත් ජාතියක් තැනීමටය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීමටය. ගවේශනය කළ යුත්තේ ඒ සඳහාය. රටට ආදරය කරන වැසියෙක් නිර්මාණය ක හැක්කේ එලෙසය. ඉතිහාසය නොදන්නා එකා කිසිවක් නොදනී යනු ප්‍රකට කියමනකි.

මේ චිත්‍රපටය සම්භාව්‍ය සිනමා කෘතියක් නොවන බව ද එය ජනප්‍රිය සිනමාවට අයත් නිර්මාණයක් බව ද මම පෙර ද කීවෙමි. එය සැසඳිය යුත්තේ ද එවන් ජනප්‍රිය සිනමාකෘති සමඟය. ශ්‍රී සිද්ධාර්ත ගෞතම වැනි ඒවා සමඟය. සුන්දරයි ජීවිතේ වැනි ඒවා සමඟය. ශ්‍රී සිද්ධාර්ත ගෞතමට වඩා සිරි පැරකුම් සාර්ථක නිර්මාණයක් බව මගේ අදහසයි.

අනෙක් අතට පරාක්‍රමබාහුගේ ළමා කාලය මිස එහි ඔහුගේ දේශපාලන ජීවිතය පිළිබඳ චිත්‍රපටය තුළ නොකියවෙයි. ඔහු රාජ්‍යත්වයට පත් විගස තමන් වැඩුණු ගමට ගොස් ක්‍රියා කළ අයුරින් ඔහුගේ දේශපාලන උපායශීලි බව ප්‍රකට වෙයි. ඉන් එහා ගිය දේශපාලන විග්‍රහයක් සෝමරත්න දිසානායකගේ බලාපොරොත්තු වීම විහිළුවකි. ඒ සඳහා සුදුස්සා ජයන්ත චන්ද්‍රසිරිය.

නැවතත් කිවහොත් මෙය ජනප්‍රිය සිනමාවකි. එයින් මේ රටේ ළමයින්ට ඉතිහාසය උගන්වන දියාරු ක්‍රමයට වඩා කිසිවක් ගතහැකි බව මගේ අදහසයි. නිවට බවින් ඔද්දල් වී ඇති ජනතාවට නැවත කිසියම් ජීවයක් ඉන් ලැබෙනු නියතය. අනෙක් අතට එය ඒ සියල්ල පසෙකලා සුන්දර නිර්මාණයක් ලෙස ඕනෑම කෙනෙකුට රසවිඳිය හැකිය. එහෙයින් එය සියලු දෙනා නැරඹිය යුතු නිර්මාණයකියි මම නැවත කියමි.

 
සිය රට දේ සිරි සැප දේ !