Friday, August 31, 2012

ඇයි මේ සිංහයො සත්තු මරනවට විරුද්ධ ?

"පසුගිය දවසක හලාවත මුන්නේශ්වරම් කෝවිල පැත්තෙන් මහා කලාගොට්ටියක් ඇහුන මේ කාලගොට්ටියට මුල් වෙලා තිබුනේ වාර්ෂිකව මුන්නේශ්වරම් කෝවිල මගින් පවත්වන සත්ත්ව බීලි පුජාවකට එරෙහිව සැදැහැවත් සිංහල බෞද්ධ පිරිසකගේ උද්ඝෝෂයක්. පසුගිය වසරේද මෙවැනි කාලගොට්ටියක් කරල අධිකරණ නියෝග අරගෙන මෙම පුජාව නතර කරල තිබුනා. සත්ත්ව ඝාතනයට එරෙහිවිම හොද ක‍්‍රියාවකි. මෙතෙන තියෙන ප‍්‍රශ්නෙ මේ බීලි පුජාවට එරෙහි වෙන්නෙ පසුගිය යුධ සමයේ දස දහස් ගණන් මිනිස්සු අමු අමුවේ උතුරේ මැරෙද්දි ඒ මරණ වලට ආශිර්වාද කරමින් පිරිත් කියු පිරිසක් ඔවුන් උතුරේ මිනිස්සු මැරෙද්දි විරුද්ධ නොවුනේ ඇයි ?"

මේ විකල්ප කියලා වෙබ් පිටුවක ලිපියක කොටසක්. මේ වගේ විකාර ලියන අයට සාක්ෂරතාව තියෙන බව ඇත්ත. ඒත් තියෙන්නේ ඒක විතරයි. සතෙකුට වුණත් පුරුදු කරන්න පුළුවන් අකුරු ලියන්න. නමුත් හිතන්න පුරුදු කරන්න බැහැ. මේ රටේ අධ්‍යාපන ක්‍රමයෙ තියෙන ලොකුම වරද මේක. අකුරු උගන්නලා හිතන්න බැරි පිංගුත්තරයෝ ටිකක් හදනවා. උන්ගේ ඔළුවලට මුල ඉඳලා ම අපේ රට ජාතිය ආගම පිළිබඳ හීනමානය එන්නත් කරනවා. සුද්දෝ එදා ලිපිකරුවෝ සහ කළු සුද්දෝ බෝ කරන්න මේ රටට හඳුන්වලා දීපු අධ්‍යාපන ක්‍රමයෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීමත් විහිළුවක් තමා. ඉහත අදහස පිළිබඳ මගේ මතය මේක.

මේ වගේ පුංචි දෙයක්වත් නොතේරෙන එවුන් තමා අද රටේ වැඩි කොටසක් ඉන්නේ. දෙමළ බෙදුම්වාදය පටන් ගත්තේ ලන්දේසී යුගයේ. ඒකට ඉංග්‍රීසි ආශීර්වාද කළා. මොකද ජාතීන් අතර සමගිය උන්ට යටත් විජිත පාලනයට බාධාවක්. ඒ බෙදුම්වාදය අවසානයේ ත්‍රස්තවාදය බවට පත්වුණා. ඒ ත්‍රස්තවාදය පරාජය කිරීමට කෙතරම් කටුක වුණත් තිබුණු එකම විකල්පය යුද්ධය විතරයි. ආයුර්වේදයේ විදිහට නම් විසෙන් විස නැසීම. බෞද්ධයින්ට තීරණය කරන්න සිද්ධ වුණා තමන් ඉක්මනට නිවන් දකින්න යාමේ පෞද්ගලික අරමුණ වෙනුවෙන් මේ රටේ ඊළමක් එහෙම නැත්නම් ඊශ්‍රායලයක් හදන්න ඉඩ දීලා තමන්ගේ අනාගත පරපුර නූතන පලස්තීනුවන් විඳවන අපායට දානවා ද එහෙම නැත්නම් නිවන් දකින පෞද්ගලික අරමුණ රට දැය සමය වෙනුවෙන් කල් දානවාද කියන එක. බෞද්ධයින් යුද්ධ කළේ යුද්ධය ලේ වැගිරීම නතර කරන්න. විනාශය නතර කරන්න. දුටුගැමුණු රජු යුද්ධ කළෙත් ඒ අරමුණින්.

ඒ සඳහා වන්දියක් ගෙවන්න වුණා. හැබැයි ඊට පස්සේ මේ රටේ ත්‍රස්තවාදීන්ට රතිඤ්ඤයක්වත් පුපුරවන්න බැරිවුණා. ඒ විතරක් නෙමේ 2009 ස 2012 දක්වා ත්‍රස්තවාදය තිබුණා නම් මේ රටේ තව ජීවිත කීයක් විනාශ වෙනවාද? රට තව තවත් විනාශය ඔස්සේ පස්සට යනවාද? තවම රටේ මරන බය. ඔය ළිං මැඬි විකල්පකාරයින්ට අන්න ඒ ටික තමා තේරෙන්නේ නැත්තේ.

මම දන්න තරමට හින්දු ආගම අවිහිංසාවාදී ආගමක්. බොහෝ හින්දුවරු නිර්මාංශයි. ඔය බිලි පූජා ඉල්ලන දෙවියෝ කවුද කියලා මම දන්නේ නැහැ. මුන්නේශ්වරම්වල කවුරුවත් නොදැකපු දෙවියෙක් වෙනුවෙන් මරණ මේ සත්තු කොළඹ බෝම්බ පුපුරවන්න ආවේ නැහැ. රටේ ජනාධිපති මැති ඇමතිවරු මැරුවේ නැහැ. දළදා මැදුර, ශ්‍රී මහා බෝධිය විනාශ කරන්න ආවේ නැහැ. උතුරු නැඟෙනහිර සිංහල ජනතාව විනාශ කළේ නැහැ. අහිංසක කිරි කැටි දරුවෝ, භික්ෂූන් පෙති ගැහුවේ නැහැ. අඩු තරමේ අදත් ගොං කතා දොඩවන මුන් වගේ ඒ සත්තු කොටියා වෙනුවෙන් කඩේ ගියේ. සත්තු වුණත් මොලේ නැතත් මුන් වගේ බටහිර පදේට නැටුවේ නැහැ. මේ රට සියලු සත්තවයින්ට අභයභූමියක් වුණේ මිහිඳු හිමි වැඩි දවසේ. ඒ නිසා ඒ සතුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන එක බුද්ධ පුත්‍රයන්ගේ යුතුකමක්. බෞද්ධයින්ගේ වගකීමක් බව සිහිපත් කළ යුතුයි.

10 comments:

Muzain86 said...

අවුල තියෙන්නෙ එතන නෙමෙ....මේක අද ඊයෙ කරපු එකක් නෙමෙයි අවුරුදු ගානක ඉදලා කරපු එකක් හදිස්සියෙම නතරකරන්ඩ වලි කන එකෙයි.

අනික අපෙ සින්හල බෞද්ධයොන්ට පෙන්නෙම අන්‍ය ආගමිකයන් කරන දෙවල්.. තමන්ගෙ ඇහෙ කටු පෙන්නෙම නෑ

නාමල් උඩලමත්ත said...

"අනික අපෙ සින්හල බෞද්ධයොන්ට පෙන්නෙම අන්‍ය ආගමිකයන් කරන දෙවල්.. තමන්ගෙ ඇහෙ කටු පෙන්නෙම නෑ" ඔව්, අර මුල් කතාවට නොදෙවෙනි මේ වගේ කතා තමන්ගේ නම, අනන්‍යතාව එක්ක පළ කරන්න බැරි බව ඇත්ත. එහෙම වුණොත් තමන්ගේ ළිං මැඩි තර්කයේ පල්ල හිල් වෙච්චි බව විතරක් නෙමේ හිස් බෙරයක් වගේ නිකං සද්දේ විතරක් දාන තමන්ගේ ආධ්‍යාත්මයේ හිස් බවත් නිරුවත් වෙනවා. තමන් ජීවත් වන දූපතින් එහා ලෝකය එක්ක සවිඥානිකව ජීවත් නොවන බව වගේ ම එහෙම ගනුදෙනුවකට බුද්ධිමය සංවාදයකට තමන්ගේ තියෙන නුසුදුසුකම තමන් විතරක් නෙමේ ලෝකයත් දැන ගන්නවා.

ලෝකයේ යම් දෙයක් වරදක් විදිහට හඳුනා ගත් විට ඒක සමාජය විසින් ප්‍රතික්ෂේප කරනවා. බැහැර කරනවා. එකල ලෝකයේ පැවති වහල් වෙළඳාම තහනම් වුණේ එහෙම. වර්ණභේදවාදය, පුරුෂෝත්තමාවදය, ජාතිවාදය, ළමා අපචාර මේ විදිහට සමාජයේ පිළිකුළට බඳුන් වෙවි සමාජයෙන් ඈත් වී යන සංකල්ප. වඩා සුන්දර ලෝකයක් නිර්මාණය කරගන්න නම් ශිෂ්ටාචාරය ඉදිරියට යන්න නම් මිනිසා වඩා සංවේදී විය යුතුයි. තම අතීත වැරදි හදාගත යුතුයි.

එදා මිහිඳු හාමුදුරුවන්ගෙන් බණ අහලා බුදු දහම වැළඳ ගත් තිස්ස රජතුමා තමන්ගේ රාජ්‍යයේ විනෝදයට සතුන් මැරීම තහනම් කරනවා. ඔහු කීවේ නැහැ අපි සතුන් මැරුවේ අපේ නත්තා, පනත්තා, කිරි අත්තා කාලේ ඉඳලා. මේවා එක පාරට නවත්වන්න බැහැ කියලා. වරද කොච්චර කල් ඉඳලා කරත් වරද වරදමයි. ඒක අද පටන් ගත්තත් අවුරුදු 2000 නෙමේ 5000ට කලින් පටන් ගත්තත් ඒක නිදහසට කාරණාවක් නෙමේ.

අපරාධකාරයා හැම වෙලාවෙම ශිෂ්ටාචාරයට විරුද්ධයි. ළමා අපචාර කරන එකා, ඒක තහනම් කරනවාට විරුද්ධයිනේ. හැම තක්කඩියාම අපරාධකාරයාම අන්තිමට හැංගෙන්නේ ආගම අස්සේ. ආගම ලයිසන් එකක් කර ගන්නවා උන්ගේ තක්කඩිකම් සාධාරණීකරණය කරන්න. තමන්ගේ අසංස්කෘතික හිංසාකාමී දඩයම් මනස වහ ගන්න. මෙතන වෙන්නෙත් එච්චරයි.

ලෝකයේ කිසිම ආගමකට හානියක් නොකරපු, කිසිම අන්‍ය ආගමිකයෙක් රාජ්‍ය බලය, මර්දනය, හිංසනය, වරප්‍රසාද, වරදාන, දොළ පිදේනි දීලා තමන්ගේ ආගමට නොගනිපු ආගමක් තියෙනවා නම් ඒ බුද්ධාගම විතරයි. ලෝකයේ කිසිම පන්සලක් යටින් පල්ලියක, කෝවිලක නටඹුන් මතුවෙලා නැහැ. ඒක අවිහිංසාවාදී ආගමක්. ඒක ටිකක් තේරුම් ගන්න ඕන නම් ආචාර්ය සුසන්ත ගුණතිලකගේ A 17th Century clash of civilization කියන පොත බැලුවා නම් හොඳයි.

අපේ ආගමික සංස්ථාවල වැරදි තියෙනවා. ඒවා සදාගත යුතුයි. එහෙත් ඉන් කියවෙන්නේ නැහැ සෙසු අයට සත්ව හිංසනය සඳහා අවසර දිය යුතුයි කියලා. ඇතැම් විට වෙන රටවල ඒවා සිද්ධ වෙන්න පුළුවන්. නිදසුනක් විදිහට මුස්ලිම් රටවල ගල් ගහලා මිනිස්සු මරනවා. ඒක අපේ රටේ කරන්නේ නැහැ. ඇමරිකාවේ මරණ දඬුවම දෙනවා. ඒත් මෙහේ නැහැ. අයිස්ටයින් වරක් කීවා දැනුම ගන්න ඕන මෝඩයෙකුට පුළුවන් අවබෝධ කර ගැනීමයි වැදගත් කියලා. මේ රටේ ඔළුවෙන් හිටගෙන දොඩවන පුස්සන්ගේ විකාර අහලා ඒවා ගෙඩි පිටින් ඔළුවට දා ගත්තාම ඔහොම හිතෙන බව මම හොඳටම දන්නවා.

ලෝකය පටන් ගත්ත දවස ඉඳලාම පෘථිවිය වටේ හිරු කැරකෙන බව විශ්වාස කළ ලෝකයට අවුරුදු 600 විතර කලින් මිනිහෙක් කියනවා අපි හිතන් හිටියා වැරදියි හිරු වගේ පෘථිවය කැරකෙනවා කියලා. පල්ලිය මිනිහා පණ පිටින් පුළුස්සලා මරනවා. හැබැයි එහෙම කළා කියලා පෘථිවිය වටේ හිරු ගියේ නැහැ. දියුණු ශිෂ්ටාචාරය කරා යන ගමන අඥානකම අශිෂ්ටත්වය යොදා වළක්වන්නත් බැහැ.

දිමුතු said...

සහරා කාන්තාරය මෙන් වේලෙමින් තිබු නාමල් ගේ බ්ලොගයට වැහි පොදක් මෙන් වැටුනු කමෙන්ටුවට උඩ පැන පොස්ටුවක් මෙන් දිග කමෙන්ටුවකින් පහර දී ලබන ස්වයන්වින්දනයට අප කුමට බාදා කරමුද

නාමල් උඩලමත්ත said...

මගේ ඒ සතුටට බාධා නොකොට දිමුතු යන නමෙහි සැඟවී සිටින ඔබට බොහොම පිං.

දිමුතු said...

දිමුතු යන නමෙහි සැගවීමක් ඔබට පෙනෙන්නේ මන්දැයි නොදනිමි එසේ නම් ඔබ නාමල් යන නමෙහි සැගවී ඇති බව පැවසිය හැක

නාමල් උඩලමත්ත said...

මේ පිළිතුරු ඔබේ හිස් බව පමණක් නොව වංචා සහගත බව ද අනාවරණය කරයි. මම කිසි තැනක නාමල් නමින් ලියා නොමැත.කිතුල් ගහේ නැග්ග මිනිහාගේ පිළිතුරු නොසපයා සිටීම වැදගත්ය.

දිමුතු said...

සංවාදය පසෙක තබා පෙළපත සෙවීමෙන් පෙනී යන්නේ ඔබගේ මතවාදී අසරණකම නොවේද?

නාමල් උඩලමත්ත said...

ඔව්, ඒක තමා. ඔයා දිනුම්.

දිමුතු said...

ප්‍රතිචාර වලට අකමැතිනම් බ්ලොග් පොස්ට් දමන්නේ මන්දැයි සිතාගත නොහැක

නාමල් උඩලමත්ත said...

මෙහි ප්‍රතිචර ඵල කරන අයට සාක්ෂරතාවට අමතරව කතුවරයා පළ කරන අදහස් තේරුම් ගැනීමේ හැකියාව ද සුදුසුකමක් සේ සලකනු ලැබේ.

 
සිය රට දේ සිරි සැප දේ !