Friday, March 23, 2012

මානව හිමිකම් පසුපස එන ආක්‍රමණය හමුවේ ගත යුතු මග

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ගෙන ආ යෝජනාව යන්තම් සම්මත කර ගන්න ඇමරිකාවට හැකි වුණා. ඇත්තට ම අවසානයේ බොහෝ රටවල් මේ යෝජනාවට පක්ෂ වුණේ විවිධ රාජතාන්ත්‍රක බලපෑම් සහ අභ්‍යන්තර දේශපාලන හේතු නිසා. ඉන්දියාව වුණත් එහෙමයි. යුරෝපා සංගමයේ රටවලුත් එහෙමයි.

ඉන්දියාවට නැගී එන චීනය අබියස ආරක්ෂාවට සිටින ඇමරිකාව ද බෙදුම්වාදය දිශාවට යාමේ අවධානම ඇති තමිල්නාඩුව ද ආරක්ෂා කරගත යුතු වුණා. මධ්‍ය ප්‍රදේශ මැතිවරණවලදී කොංග්‍රසය ලද පසුබෑම ද තමිල්නාඩුවේ න්‍යෂ්ටික බලාගාර ප්‍රශ්නය ද ඊට බලපෑම් කළා. අවසානයේ නවදිල්ලි පාලනය ද්‍රවිඩ අන්තවාදයට සහ ඇමරිකානු බලපෑමට සිය සෛරීබාවය උගස් කළා යැයි කියන්න පුළුවන්.

මේ අය කවුරුවත් අදාළ කාරණය ගැන නෙමේ හිතුවේ. මානව හිමිකම් ප්‍රශ්නය යටගොස් ලෝකයේ ඇමරිකන් බලය උරගාන ඡන්දයක් තමා තිබුණේ. ඔවුන් සමග තරඟ කොට අපි අන්ත පරාජයක් නොලබා ගෞරවය රැක ගැනීම සතුටක්. යෝජනාවට පක්ෂව ඡන්ද 24ක් ලැබෙද්දි අපිට පක්ෂව ඡන්ද 15ක් ලැබුණා. ඡන්දය දීමෙන් වැළකුණු රටවල් ගණන 8ක්. එතකොට යන්තම් ඡන්දයකින් තමා ඇමරිකා මේ යෝජනාව සම්මත කරගත්තේ.

අපට ලොකුම පාඩුව වුණේ ඉන්දියාව අපට විරුද්ධවීමටත් වඩා විරුද්ධ වන කලින් ප්‍රකාශ කිරීම. එහෙම නොකර ඔවුන් නිහඬව සිට අවසානයේ විරුද්ධව ඡන්දය දුන්නා න්ම තීරණය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.

මේ අවස්ථාවේ රජය වඩා අවධානයෙන් රට මුහුණ දී ඇති අවධානමෙන් ගලවා ගත යුතුයි. විශේෂයෙන් බලය බෙදීම පිළිබඳ යෝජනාවේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. අති මහත් කැප කිරීමක් කොට දිනාගත් නිදහස සහ රටේ ඒකීයභාවය විනාශ කිරීමට සතුරන්ට කිසිසේත් ඉඩදිය යුතු නැහැ. ඒ සඳහා කළ යුත්තේ ගම් සභා දක්වා බලය බෙදා හැරෙන ක්‍රමයක් සම්පාදනය කොට විධිමත් ලෙස පුරවැසියා දක්වා බලය විමධ්‍යගත කළ කිරීම. ජන සභා, ගම් සභා, නගර සභා ඔස්සේ මධ්‍යම ආණ්ඩුවේ බලය පුරවැසියා අතට ගෙන යා යුතුයි.

ඊට සමගාමීව අප මත 1987 බලෙන් පැටවූ පලාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුයි. එමගින් රට දෙකඩ වීමෙහිලා ඉතා ම පහසු මග බවට පත්ව ඇති පලාත් සභා ක්‍රමය අහෝසි වේ. 2/3 බලය හිමි මේ ආණ්ඩුවට එය කිරීම කිසිදු ප්‍රශ්නයක් නොවේ. මෙවන් ශක්තිමත් ආණ්ඩු අනාගතයේ බිහිවෙතැයි සිතිය නොහැකි නිසා‍ ඒ සඳහා ඇති අවසාන අවස්ථාව මෙය වේ. එහෙයින් ඒ අවස්ථාව ජාතියට දිනා දීම ආණ්ඩුවේ වගකීමයි. එහෙත් ජාත්‍යන්තර බලපෑම්වලින් මිදීමට වඩා ක්‍රමානුකූලව උපක්‍රමශීලීව රාජ්‍යතාන්ත්‍රිව කටයුතු කළ යුතුය. ඒ සඳහා ගත යුතු මූලික පියවර ගම්සභා ක්‍රමය යෝජනා කර අනතුරුව පලාත් සභා ක්‍රමය අහෝසි කර දැමීමය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !