Monday, January 9, 2012

අප උගත යුතු පාඩම්!!!

උගත් පාඩම් හා සංහිඳියා කොමිසම සිය වාර්තාව නිකුත් කර තිබේ. එහිලා ඔවුන් කරන ඇතැම් යෝජනා සිය බලය ඉක්මවා යාමක් ලෙස ද විවේචනයට ලක්ව තිබේ. කෙසේ වුව ද ඔවුන් කරන එක් යෝජනාවක් නම් ස්වාධීන පොලිස් කොමිසම සහ ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම යළි ස්ථාපිත කළ යුතු බවය. ඒ යෝජනාව ඉතා කාලෝචිත බව නොකිවමනා ය.

මේ වනි විට පොලිසිය ශක්‍රයා පොලිස්පති ධුරයට පත් කළ ද ගළවා ගත නොහැකි තරමට දේශපාලනීකරණය වී තිබේ. මෙකී දේශපාලන අතපෙවීම් කෙතරම් ද කුඩු කාරයින් මැරයින් පාතාළයින් නීතිය හමුවට පැමිණිවීමට ඇති පොලිසියට උන් ආරක්ෂා කරන්නට ද උන්ට පුද සත්කාර කරන්නට ද සිදුව තිබේ. එසේ නොකළහොත් වහාම දැනට සේවය කරන පොලිස් ස්ථානයට දුර ම පොලිස් ස්ථානයට මාරුවිමට අදාළ පොලිස් නිළධාරියා සිය ඇඳුම් මල්ල සුදානම් කරගත යුතුය.

රාජ්‍ය සේවය ද මේ වන විට ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට සිය ගෝළ බාලයින්ට රැකියා ලබා දෙන ස්ථාන බවට පත්ව තිබේ. කෙතරම් සුදුසුකම් සපිරුව ද දේශපාලන මුක්කුවක් නැතිව රාජ්‍ය ආයතනයක කසළ ශෝධක තනතුරක්වත් ලබා ගත නොහැකි බව ජනතාවගේ පරම විශ්වාසයයි.

මේ නිසා උගත් බුද්ධිමත් තරුණයින් පවා සිය ආත්ම ගරුත්වය බල්ලාට ගියාදෙ‍න් කියා අට අසමත් පළාතේ දේශපාලකතුම‍ගේ පෝස්ටර් ඇලවීමට පාප්ප බාල්දී ඔසවා ගෙන යති. ඔහු වෙනුවෙන් විපක්ෂයේ අපේක්ෂකයින්ගේ පෝස්ටර් ඉරීමට නිවසට ගල් ගැහීසට පමණක් නොව අවශ්‍ය නම් ඔහුට අතින් පයින් සප්පායම් කිරීමට ද තරුණයෝ නොපසු බට වෙති. ඒ කිසිවක් නිසා නොව තමන් ඉල්ලාම් කරන රැකියාව සඳහා අවශ්‍ය දේශපාලන මුක්කුව ගසා ගැනීමටයි.

මේ සමාජ ඛේදවාචකය අවසන් කිරීමට නම් වහා ම උක්ත කොමිසයන් සභා දෙක ස්ථාපිත කළ යුතුය. එය අකර්මන්‍ය විමට බලපෑ සාධක සලකා බලා ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතු ය. එසේ නොකර තාක් අපට අසන්නට ලැබෙනු ඇත්තේ "මුලින් ම වෙඩි තබා ඇත්තේ මළ එකාය" වැනි විහිළුය.

මෑත දී හම්බන්තොට මරා දැමූ විදේශිකයා මුලින් ම ප්‍රාදේශීය සභා සභාපතිතුමා ඇතුළු පිරිසට එළව එළවා පහර දී ඇති බවත් කෙතරම් ආයාචනා කළ ද පළා යාමට උත්සාහ කළ ද ගැළවීමක් නොවූ තැන සිය ජීවිත ආරක්ෂාව සඳහා පිරිස අසල හෝටලයේ තිබූ පිරිත් පැන් බෝතලයක් කඩා ඉන් සුදු ජාතිකයාට පහර දී ඇති බවත් පොලිසිය සොයාගත හොත් පුදුම නොවන්න.

එමෙන් ම ලිංගික අතවරවලට ලක්ව ඇතැයි සැක කරන ඔහුගේ පෙම්වතිය සිය ඇඳුම් ගළවා දමා පිරිස කුපිත කොට ඇතැ ද ඉන් නොනැවතුණු ඈ මේ දේශපාලක උතුමාගේ හිරිඔතප් බිඳ ඇතැයි ද පොලිසිය කිවහොත් පුදුම නොවන්න. එහෙත් පොලිසිය සමග උරණ නොවන්න. එය පොලිසියේ වරද නොව ඔවුන්ට නිදහසේ රාජකාරී කිරීමට පරිසරයක් නිර්මාණය නොකිරීමේ වරදය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !