Tuesday, January 3, 2012

උඳු වපුරා මුං පැතීම

යුද්ධයේදී රණවිරුවන් කළ කැපවීමම සංවර්ධන යුද්ධයේදී රාජ්‍ය සේවකයින් සිදුකළ යුතු යැයි නව වසරේ ආරම්භ කරමින් විමල් වීරවංශ ඇමතිවරයා තමා මෙහෙම කීවේ. දැන් ඉතින් යුද්ධය කළේ කවුද? කොහොමද කියලා ටිකක් පැහැදිලි කරන්න ඕන.

මේ යුද්ධය කවදාවත් දිනන්න බෑ. සාම සාකච්ඡාවලින් මිස විසඳුමක් නෑ කියන මතයේ තමා 2005 වන තුරු මේ රට සිරකරලා තිබුණේ. ඒත් මේ රටට ආදරය කරන දෑ හිතැති විද්වත්තු දශක ගණනාවක් තිස්සේ කීවා මේ සඳහා එක ම විසඳුම ත්‍රස්තවාදය විනාශ කිරීම කියලා. ඒ මතය 2005 පස්සේ අතු ඉතිලා වැඩිලා විශාල වෘක්ෂයක් වුණා.

මහින්ද රාජපක්ෂ මේ මතවාදී කඳවුරේ නායකයා බවට ජනතාව විසින් පත්කර ගත්තා. ඊට පස්සේ සාම සාකච්ඡා බිඳ දමා කොටි මාවිල්ආරූ සො‍රොව්ව වැහීමත් එක්ක ම ඔහු ජනාධිපති, ආරක්ෂක ඇමති සහ සේනාධිනායකයා ලෙස ත්‍රස්තවාදය විනාශ කරන සටනට නායකත්වය දුන්නා.

ගෝඨාභය ආරක්ෂක ලේකම් කරලා චන්ද්‍රික, රනිල් විසින් විශ්‍රාම යන තැනට වැඩ සලස්වා තිබූ ෆොන්සේකා හමුදාපති කළා. හමුදාවට අවශ්‍ය ආයුධ පහසුකම් දුන්නා. අවශ්‍ය චිත්ත ධෛර්යය දුන්නා.

ජනතාව අතර ත්‍රස්වාදය යුද්ධයෙන් විනාශ කළ යුතුව කියන මතවාදය තව තවත් තහවුරු කරන්න මාධ්‍ය ඔස්සේ කටයුතු කළා. ජනතාව එකපෙළට රජය සහ හමුදාව සමග හිට ගත්තා. තරුණයෝ සිය දහස් ගණනින් හමුදාවට බැඳුණා. සෙබළු රණවිරුවන් ලෙස ඔසවා තැබුවා.

මේ අතර කොටි ගැති මාධ්‍ය සහ විවිධ NGO මේ ඒකාත්මිකභාවය බිඳින්න කළ හැකි සියල්ල කළා. බටහිර රටවල් ඒකට උදව් කළා. කොටි වියරුවෙන් මහ මග මිනී මැරීම දෙගුණ තෙගුණ කළා. මේ වෙලාවේ UNP නායකයෝ හමුදාවට හිනාවෙමින් ගරහමින් මේ රටේ විපක්ෂය (ආණ්ඩුවේ නොවේ රටේ) විදිහට තමන්ට කළ හැකි දේ කළා.

ආණ්ඩුවේ මැති ඇමතිවරුත් සිය පඩියෙන් කොටසක් නැවත ආණ්ඩුවට යැව්වා. (සුළු ගාණක් තමා. හැබැයි ඒක ආදර්ශයක්.) ජනතාව නොසැලි හිටියා. තමන්ට හැකි පමණිත් තම පෞද්ගලික වස්තුව පවා හමුදා සෙබලුන්ගේ සුභ සාධනයට දුන්නා. රෝහල්වලට ගිහින් ඔවුන්ට උදව් උපකාර කළා. පන්සල්වල බෝධි පූජා තිබ්බා. හමුදුරුවරු යුද බිමට ගිහින් සෙබලුන්ගේ අතේ පිරිත් නුල් ගැට ගැහුවා.

යුද්ධය අතරමග නතර කොට කොටි රංචුව බේරා ගැනීම සඳහා බටහිර ප්‍රමුඛ බෙදුම්වාදීන් කළ හැකි සියල්ල කළා. රජය ඒ සියල්ල මැනවින් කළමනාකරණය කරමින් හමුදාවට නිදහසේ යුද්ධය කෙළවර කරන්න අවස්ථාව ලබා දුන්නා. හමුදාව තම රුධිරය, අත පය, ජීවිත මව්බිමේ නිදහස වෙනුවෙන් පූජා කරමින් රටට නිදහස ලබා දුන්නා. මෙය සුළුපටු දෙයක් නෙමේ.

හමුදා ඇඳුම දාගත් සොල්දාදුවාට යුද්ධය භාර දීලා ජනතාව වෙන දෙයක් කළා නෙමෙයි. හැමෝම ඒ වෙනුවෙන් කැපවුණා. තමන්ට කළ හැකි දේ කළා. ඒ නිසා මේක හමුදාවේ ජයග්‍රහණයක් නෙමේ ආණ්ඩුව, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, පොලිසිය පෙරටු කරගත් දේශමාමක ජනතාවගේ ජයග්‍රහණයක්. ඒ වෙනුවෙන් කැපවුණු සැමගේ ජයග්‍රහණයක්. රටේ ජයග්‍රහණයක්. මේ සියලු පෙරමුණු එකමුතුව එකාවන්ව නැගී නොසිටින්න අපට අදටත් ත්‍රස්තවාදය පරාජ කිරීම සිහිනයක් විතරයි.

ඒ නිසා රටක් විදිහට ලද යුද ජයග්‍රහණය ආදර්ශයට ගෙන රට ගොඩ නඟන්න නම් ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය රජය ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් ජන මතයක් ගොඩ නැගිය යුතුයි. ඒ සඳහා රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය දැනුම සම්පත් ආකල්ප ලබා දිය යුතුයි. මුළු රට ම ඒ වෙනුවෙන් පේ විය යුතුයි.

එහෙත් මේ වන විට ආණ්ඩුව ඒ සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාද? ආණ්ඩුවේ ප්‍රධානීන් මහ දවල් වෙඩි තබා මරා ගැනීම, රටට පැමිණෙන සංචාරකයින් ප්‍රාදේශිය දේශපාලකයින් විසින් මරා දැමීම, පළාත් සබ මැති ඇමතිවරුන්ගේ වාහන බලපත්‍ර වටිනාකම ඉහළ දැමීම, ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය වැනි රටට ඉතාමත් වැදගත් තීන්දු තීරණ පවා ආණ්ඩුව සහ ජනතාව අතර අරගල ඇති වන ආකාරයට ක්‍රියාත්මක කිරීම. ඒ විතරද?

නෑ නෑ. හම්බන්තොට වරායේ ගල, විභාග ප්‍රතිඵල ආදී ආණ්ඩුව සහ වගකිව යුතු අංශ අතින් සිදුවූ යම් යම් වැරදි පවා පිළි නොගෙන ජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ කොට ජනතා කෝපයට සහ අවඥාවට ලක්වීමට කටයුතු කිරීම. මෙවන් ගොන් තකතීරුකම් කරමින් කරනු ලබන උක්ත වර්ගයේ ප්‍රකාශවල උඳු වපුරා මුං පැතීමට එහා දෙයක් ඇතැයි අපට නොසිතේ. එහෙයින් ආර්ථික යුද්ධය ද ජය ගන්ට නම් ආණ්ඩුව සිය වැරදි නිවැරදි කරගෙන ජනතාවට ආදර්ශයක් දිය යුතුය. ඒ සඳහා ලැබුවා වූ 2012 වසර හොඳ අවස්ථාවකි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !