Wednesday, December 14, 2011

යුද හමුදාව එළවළු අලෙවියට හා ප‍්‍රවාහනයට සූදානම් - යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

මේ පිළිබඳ ගුවන්විදුලියේ සභාපතිතුමා මැති ඇමති(-)රු සමග කිරීමට නියමිත කෙටි සාකච්ඡා කිහිපයක් මෙසේ ලියා පළ කරමි.

"මහින්ද රාජපක්ෂ එයාගේ සහෝදරයත් එක්ක එකතු වෙලා මේ රට සම්පූර්ණයෙන් මිලිටරීකරණය කරමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය වළ දමනවා. අර ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති හාදයා . . . වැරදුණා වැරදුණා. රට බේරාගත් යුද විරුවා හිරකරලා. ගොවි ජනතාවගේ අරගලය කඩා කප්පල් කරන්න හමුදාව යොදවනවා." මංගල සමරවීර

"එතකොට මේ උත්සව සමයේ රටේ එළවලු හිගයක් ඇති වුණොත් මේ රටේ ජනතාව අපහසුතාවයට පත් වෙනවා නේද? ඔබතුමාට ඡන්දේ දීපු ජනතාව නේද මේ නිසා අපහසුතාවට පත් වෙන්නේ" හඩ්සන් සමරසිංහ

"නෑ නෑ මගේ ඡන්ද දායකයින්ට කිසිම ප්‍රශ්නයක් නෑ. එයාලා කන්නේ තණ කොළනේ" මංගල සමරවීර

"ඔව් ඉතින් නැත්නම් ඔබතුමාට ඡන්දේ දේවිද නේද?" හඩ්සන් සමරසිංහ
-------------------------------------------------------------------------------------------------------------
"මේ දුප්පතාගේ දුක නොහඳුනන ආණ්ඩුවක්. අද මහින්ද රාජපක්ෂ තනිකර ඒකාධිපති ගමනක් යන්නේ. තමන්ට ඡන්දය දුන් ජනතාවට සලකන විදිහ දැන් පැහැදිලියි. මේ වෙලාවේ පක්ෂය ඇතුළේ ගැටුම් ඇති කර ගැනීම ආණ්ඩුවට වාසියි. ඒ නිසා සියලු වාද භේද පසෙකලා රනිල් වික්‍රමසිංහ මහතාගේ අභීත නායකත්වය යටතේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටන අරඹන්න අපි සුදානම් විය යුතුයි. අපි අපේ බලවත් විරෝධය ප්‍රකාශ කරනවා මේ විදිහ‍ට ජන මතයට ඇහුන් කන් නොදී කටයුතු කරන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙතට" තිස්ස අත්තනායක

"ඒත් ගරු ලේකම්තුමනි, මේ උත්සව සමයේ රටේ භාණ්ඩ හිගයක් ඇති වුණොත් ජනතාව අපහසුතාවට පත් වෙනවා නේද?"හඩ්සන් සමරසිංහ

"ඒකට මේ අසාර්ථක ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතුයි. මේක එළවළු ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක්"තිස්ස අත්තනායක
--------------------------------------------------------------------------------------------------------------
"මේ රට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් අපේ විරෝධාර හමුදා විරුවෝ ගිනි අව්වේ කැරට් බොංචි විකුණන්න දාලා. මෙහෙමද මේගොල්ලෝ යුද වීරයින්ට සලකන්නේ. මගේ පපුව හොස් ගාලා යනවා. අපේ සදාදර යුදවිරුවා හිරේ දාලා. මේ ආණ්ඩුව කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යන්නේ" රවි කරුණානායක

"ඒත් මන්ත්‍රීතුමනි, මේ නත්තල් සමය. නව අවුරුස්ස අත ළඟ. උත්සව සමයේ රටේ භාණ්ඩ හිගයක් ඇති වුණොත්....?"හඩ්සන් සමරසිංහ

"නෑ නෑ එහෙම වෙන්න කිසිම විදිහක් නෑ. අපි දුර දිග හිතලා එදා ආරම්භ කළ වැඩ ටික මේ ආණ්ඩුව කරගෙන ගියා නම්. බලන්න මං වෙළඳ ඇමතිවෙලා රට පුරා භාණ්ඩ බෙදා හරින්න සතොස දියුණු කළා. නෑ නෑ වැරදුනා මං මං මං මං ...." රවි කරුණානායක

"එතුමාගේ දුරකථනය විසන්ධි වුණා. අපි ආපහු උත්සාහ කරලා බලමු එතුමා සම්බන්ධ කරගන්න."හඩ්සන් සමරසිංහ
--------------------------------------------------------------------------------------------------------------
"ඇත්තට ම මේක අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැක්ම යටතේ ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමන දිහෑ බලගෙන ඉන්න බැරි එවුන්ගේ කුමන්ත්‍රණයක්. මේ ගොවියෝ, සුළු වෙළන්දො, නට්ටාමිලා විදිහට රඟපාන සුළුතරය මේ රටට විරුද්ධ බලවේගයක අතකොලුවන් පිරිසක් ලෙස ක්‍රියා කරනවාද කියන සාධාරණ සැකය අපට තියෙනවා. මං ඊයෙත් මගේ ගමට ගියා. මග දිගට ම ජනතාව පාරට බැහැලා කෑ ගහලා කිව්වේ මොකක්ද? මේ ප්ලාස්ටික් කූඩ නීතිය ඉතා ම හොඳයි කියලා. හැමෝම ප්ලාස්ටික් කූඩවල එළවලු අරගෙන යනවා. මූණුවල සතුට පිරිලා. ඇයි මාධ්‍යවලින් මේවා පෙන්වන්නේ නැත්තේ. ආණ්ඩුවේ මාධ්‍යවලට ලොකු වගකීමක් තියෙනවා මේ ජනතා මතය රටට පෙන්වන්න." කෙහෙළිය රඹුක්වැල්ල

"ඇත්ත ඇමතිතුමනි, අපි දැක්කා මැනිං මාකට් එක ළඟ කිහිප දෙනෙක් කෑ ගැහුවා. මේ අය විපක්ෂයේ ආධාරකරුවෝ. ඔක්කොම කොළ පාට කමිස ඇඳගෙන හිටියේ. කිහිපදෙනෙක් ඇමරිකන් කොඩි සහිත කමිසත් ඇඳ ගෙන හිටියා. රටේ සතුරු බලවේග දතකනවා ලංකාවත් ලිබියාවක් කරන්න. එහෙම නේද ඇමතිතුමා."හඩ්සන් සමරසිංහ

"ඒක ඇත්ත. යුද්ධය ඉවර වුණාට තවම කොටි සටන අතෑරලා නෑ. මේ රටේ දේශප්‍රේමි ජනතාව සුදානම් විය යුතුයි පරිප්පුයි බතුයි කාලා හරි මේ කැරලිකාරයින් මෙල්ල කරන්න. අපේ හමුදාව ඕන දේකට සුදානම්. ප්ලාස්ටික් කූඩ අස්සේ සැඟවී එන ත්‍රස්තවාදී බලවේග අපි හඳුනාගත යුතුයි." කෙහෙළිය රඹුක්වැල්ල

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !