Tuesday, August 30, 2011

හීනමානය, ආගම සහ දේශපාලන

එක්තරා වෙබ් අඩවියක කතෝලික පල්ලියේ දේශපාලන මතවාදය විවේචනය කර ලියූ ලිපියක් පළවිය. මේ ලිපිය දුටු ඇතැම්හු සාතන් සේ මාරාවේශ වී බුදුන්ටත් බුදුදහමටත් පලුයන්න බැන්නේ කිසිදු විචාරයකින් තොරවය. එකල ඉන් හැඟුම්බර වූ බෞද්ධයෝද පෙරලා එසේ කළෝය. ආගම් සහ ආගමික ශාස්තෘවරුන්ට ගැරහීම ශිෂ්ට නැත. ඒ ගැන මගේ කිසිදු ප්‍රසාදයක් ද නැත. කෙසේ වුවද ආගම සහ දේශපාලන පටලවාගත යුතු නොවේ. පල්ලිය දේශපාලනය විවේචනය කර ලියූ ලිපියට ප්‍රතිචාර පළ කළ යුත්තේ එහි දේශපාලනය පදනම් කරගෙනය. එහි බොහෝ දෙනා නොකළේද එයමය.

එහි තමා 'සත්‍ය' යැයි හණ ගසා ගත්තෙක්ගේ ප්‍රතිචාරය කියවූ මට සන්ෆලවර්ලාගේ 'පිං මාළු වලේ කුසල්හාමි මාලු බානවා' කියන බයිලය සිහිවූයේ නිතැතිණි. මන්ද එහි සියල්ලෝම කරන්නේ තමන්ගේ නමට නොගැළපෙන දේය. මේ පුද්ගලයාද එසේමය. ඇත්ත කියලා හිතාගෙන බොරු කියයි. නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නේ මෙවැනි වැඩවලටය.

ඔහුගේ ප්‍රතිචාරය මෙසේ සංක්‍ෂිප්ත කළ හැකිය. ඉන්දියාවේ බෞද්ධයින් නැත. ලංකාවේ දෙමළ බෞද්ධ මහ නායක හිමිවරු නැත. හාමුදුරුවරු දුශ්හීලය. සිංහලයා කිසි දෙයක් කළ නොහැකි සුද්දා මත යැපෙන ජාතියකි. සිංහලයින් මල්ටි බැරල් ඒසී මැෂින් හදා නැත. ඔහු අන්තර්ජාලයක් නැත. මේ සියලු කාරණාවලින් පැහැදිලි වන්නේ වර්තමාන වන විට ජාතිය කෙතරම් හීනමානයකින් පෙළෙන්නේද යන්නය. අනෙක් අතට මෙරට පුස්සන් බිහි කරන අධ්‍යාපන ක්‍රමය ජාතියට හෙන ගෙඩියක් වී ඇති බවය.

ඉන්දියාවේ බුද්ධාගම නොමැති බව ඔහුට කීවේ කවුදැයි පැහැදිලි නැත. එයද දෙයියන්නාන්සේ කීවා විය හැකිය. උන්වහන්සේ කිව්වා නම් ඒ ඇත්තකි. මන්ද ඔහු මැවූ පෘථිවිය වටේ ඉර අදද කැරකෙන හෙයිනි. බෲනෝලා, ගැලීලියෝලා බොරු කී බව පසක් වී හෙයිනි. ඉන්දියාවේ බෞද්ධයෝ සිටිති. යුරෝපයේ, ඇමරිකාවේද බෞද්ධයෝ සිටිති. එහෙත් ඒ ඉතා සුළු පිරිසකි. එයට හේතු ගණනාවකි. එය දර්ශනයක් මිස ආගමක් නොවන අතර අවබෝධකර ගැනීම එතරම් පහසු නැත. ප්‍රාථමික මිනිසාගේ නොදැනුම, බය, පදනම් කරගත් මැවුම්වාදය, විශ්වාසය, භක්තිය වැනි දෑවලට එහි ඉඩක් නැත. එම දර්ශනය ඇසුරින් පසුව ආගමක් බිහිවුවද එය ඉතා අවිහිංසාවාදී ආගමකි. එය මිනිසා මත බලෙන් පටවන ආගමක් නොවේ. මිනිස් ජීවිත, රුධිර ගංගා මතින් ව්‍යාප්ත නොකළ එකම ආගම බුදුදහමයි.

තුවක්කු බයිබල් දෑතට ගෙන බටහිර ආක්‍රමණිකයින් කළා දෑ බෞද්ධයෝ කිසි දිනක කළේ නැත. ලංකාවේ දෙමළ ජනතාව බෞද්ධ කිරීමට කිසිවෙක් උත්සාහ නොගනී. බෞද්ධයෝ සිය ආගම බත් පැකට්, සිල්ලර බඩු මලු සමග දෙන්නේ නැත. සුපර්මාර්කට්වල සමහර බඩු සමග තව එකක් නොමිලේ දෙයි. ඇතැම් ආගම් ව්‍යාප්ත කරනට මේ ක්‍රමවේද භාවිත කළද බුදුදහම ව්‍යාප්ත කිරීමට බෞද්ධයෝ එසේ නොකරති.

මෙරට වැසියාට බුදුදහම දෙසීමට පෙර මිහිඳු මහරහතන් වහන්සේ තිස්ස රජු බුද්ධි පරික්ෂණයකට ලක්කළ සේක. ධර්මය දේශනා කළේ ඉන් සමත් වූ පසුය. දහම් අසා පැහැදී බුදුදහම වැළඳ ගන්න අවසර ඉල්ලූ උපාලි ගෘහපතියාට බුදු රජුන් මෙන්න මෙහෙම අවවාද කළා.
"කලබල වෙන්න එපා හොඳට කල්පනා කරලා බලන්න. හෙමිහිට හිතලා බලන්න. පස්සේ තීරණයක් ගන්න. නමුත් ඔබ දිනපතා නිඝන්ඨනාථපුත්ත වෙනුවෙන් ඔබේ නිවසේ ලබාදුන් දානය නතර කරන්න එපා"
ඒ බුදුමග. ඒ මග තමා ධර්මාශෝක රජු ගියේ. බෞද්ධයෝ යන්නේද ඒ මගමය. එහෙත් පෙරකී ෆැසිට්වාදී ක්‍රමය බෞද්ධයින් අනුගමනය කළේ නම් මේ රටේ දෙමළ බෞද්ධයෝ මිසක් හින්දුවරු නැති වනු ඇත. කතෝලිකයින්ද නැතිවනු ඇත. දෙමළ හෝ වෙනත් අය බෞද්ධ වුණා නම් ඒ බුදුදහම හැදෑරිමෙන් පසුවය. ඒ ඉතා සුළුතරයකි. වීරසෝළියම් නම් වියරණය කළේ දෙමළ ප්‍රාදේශීය රජෙකි.
පාළි බසින් බෞද්ධ පොත් ගණනාවක් ලියූ බුද්ධමිත්‍ර හිමි දෙමළ ජාතිකයෙකි. ත්‍රිපිටකයට අටුවු ලියූ මහා විහාරවාසී බදරතිත්ථ ධර්මපාල හිමි, කලක් අභයගිරියේ විසූ වජ්‍රබෝධි, අමෝඝවජ්‍ර හිමිවරුද දෙමළ ජාතිකයෝය. ආනන්ද වනරතන හිමි වෙතින් ත්‍රිපිටකය උගෙන පසුව බෞද්ධ කෘති ලියූ චෝළි දීපංකර හිමි ද දෙමළය. මෙසේ අද ද දෙමළ බෞද්ධයෝ සිටිති. ඒ ඉතා සුළුතරයකි.
ඒ අයට වඩා ක‍තෝලික දෙමළ අය වැඩිය. ඒ මන්දැයි නැවත පැහැදිලි කළ යුතු නැතැයි සිතමි.

මේ රටේ ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහිය හැකිය. අපි දෙමළ අයට පන්සල ළඟම කෝවිලක් තනා දී තිබේ. බෞද්ධයෝද එහි යති, එති. දෙපිරිසම එකට ගොස් කතරගම වන්දනා කරති. ලන්දේසි ඇවිත් පෘතුගීසි පල්ලි විනාශ කරන විට බෞද්ධයෝ තමන්ගේ පන්සල් ළඟින් කතෝලික අයට පල්ලි හදාගැනීමට අවසර දුන්හ. අනුරාධපුර යුග‍යේ මේ රටට වෙළඳාම පිණිස ආ ක‍තෝලික වෙළඳුන්ට වන්දනාමාන කරගැනීමට ස්ථාන දුන්හ. මේ රටේ 1505ට පෙර ක‍‍තෝලිකයින් උන්නා යැයි ඉතිහාසය විකෘති කිරීමට දතකන අය අද ඒවා තම පටු අරමුණු වෙනුවෙන් භාවිත කරති.

මේ රටට ‍කෝපි වැවීමට, දුම්‍කොල වැවීමට බටහිර ආක්‍රමණිකයෝ දෙමළ කම්කරුවෝ ගෙන ඒමට කලින් මේ රටට පැමිණි අය පරම්පරා දෙකකින් සිංහල බෞද්ධ වුහ. ඒ නිසා ඒ අයගෙන් පැවත එන අයත් සිංහල මහානායක හාමුදුරුවරු ලෙස මිස දෙමළ යැයි නොහඳුන්වයි. අප ජාතියට විවිධ ජාතීන් පැමිණ සම්මිශ්‍රවීම නතර කළේ අධිරාජ්‍යවාදීන්ය. අප අතර බේද ඇති කළේ ද ඔවුන්ය.

අපේ සංඝ සමාජයේ වැරදි කරන අය සිටිති. එදත් දෙව්දත් සුභද්‍ර වගේ අය සිටියහ. අදත් සිටිති. සමහරු ඇත්තටම චීවරධාරියෝය. මේ අය භික්ෂූහු නොවෙති.එවැන්නෝ හැම ආගමකම සිටිති. ඇතැම් ආගම්වල පූජකයින්ට තරම් බාලාපචාර ‍‍දූෂණ චෝදනා, රටවල් දඩයමේ යන ඇමරිකන් යුරෝපා කුලී හමුදාවටවත් එල්ල වී නැත.

වළගම්බා රජ්ජුරුවෝ මල්ටි බැරල් හංගලා නොතිබුණාට ජාතිකත්වය, රටේ ඒකීයත්වය වෙනුවෙන් සටන් කරන්න අවශ්‍ය ශක්තිය හංගා තිබුණි. ඒ මේ රටේ ජාතිමාමකයින්ගේ සිත්වල. එය මල්ටි බැරල්වලට වඩා ප්‍රබලය. මල්ටි බැරල් හැදු අය ලොව යුද්ධයක් දිනා ඇත්තේ කොහිද? ඔවුන් ගිය හැමතැනම අසාර්ථක වී තිබේ. සෑම රටක්ම විනාශ කළා විනා, ඒ රටවල සම්පත් කොල්ල කෑවා මිසක් ලද දිනුමක් ඇද්ද? එහෙත් අපට ලොවම දිනන්න බෑ කියූ ත්‍රස්තවාදය පරාජය කළ හැකි විය. එහෙයින් දැන් මල්ටිබැරල්කාරයින්ට තම තියරි අලුතින් ලියන්නට සිදු වී තිබේ.

සීගිරිය පමණක් නොව අපේ පැරණි මාළිගා බොහොමයක් වායුසමනය කරලා තිබුණි. එහෙත් ඒ සියලු වාකුහර හිරු එළියට යවට මෙන් රත්වන වීදුරුවලින් වසා සිය දහස් ගණන් මුදල් වියදම් කර විදුලි මැෂින්වලින් නොව, රටේ දේශගුණයට සරිලන සේ වා කවුළු තැබීමෙනි. මැටියෙන් කළ ගඩොලින් පළල බිත්ති බැඳීමෙනි. වහළයට මැටි උළු භාවිතයෙනි. උස් වහළවල් සැදීමෙනි. සිය උද්‍යානවල පරිසරය සිහිල් කරන ගස්වැල් වැවීමෙනි. සුළං හමන දිශානති අනුව ජල පොකුණු තැනීමෙනි. අපේ ඒ පරිසර හිතකාමී ක්‍රමවේදවලට පයින් ගසා නූතනත්වය යැයි අප බදාගත් දෑ දැන් ලෝකයට බරක් වී තිබේ.

පරිගණකය හෝ නව තාක්ෂණ දැනුම ප්‍රතික්ෂේප කිරීම බෞද්ධ සම්ප්‍රදාය නොවේ. එසේ විද්‍යාවට බුදුදහම බිය නොවන්නේ විද්‍යාවේ දියුණුව නිසා බුදුදහමට හොඳක් මිස නරකක් නොවන නිසාම නොවේ. අන්මතවලට ගරු කිරීමට එම දහම තුළ උගන්වන බැවිනි. චින්තකයින්, විද්‍යාඥයින් මරාදමා දැනුමට එරෙහි වූයේ බෞද්ධයින් නොවේ. එසේ ඇතැම් ආගම් නූතනත්වයට විද්‍යාවට එරෙහි නොවන්න පරිගණකය මීට වසර 500-600ට පෙර බිහිවන්නට හොඳටම ඉඩ තිබිණි.

අනෙක් අතට අප කිසිවක් නොකළ ජාතියකැයි ගැරහීම හෝ ප්‍රශ්න කිරීම යකඩ ගිනි ගත් ගේ පුළුං සෙවීමකි. මේ රටවල දැනුම විනාශ කළෝ, පොත්ගුල් ගිනි තැබුවෝ, පොතපත සිය රටවලට රැගෙන ගියෝ කවරහුද? සුද්දා සිය කාර්යාලවල පියන්වරු මෙරට බෝ කරනට ඇති කළ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන පුස්සන්ගෙන් එවන් නව දැනුමක් පැතීම වඳ ගැහැනියකගෙන් දරුවන් පැතීමක් නොවන්නේද?

සැබැවින්ම මේ රටට ආදරය කරන මිනිසුන් කළ යුත්තේ අප යා යුතු මග සොයා පාදා ගැනීම මිස පිර රට දේ සුර සැප දේ යැයි සීතාම්බර සළු හැඳ හඬලෑම නොවේ. ආක්‍රමණිකයා ජාතියට මග වැරැද්දු තැන සොයාගෙන නිවැරදිවීමට කාලයයි මේ.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !