Sunday, December 5, 2010

ගලේ පැහැරූ ආණ්ඩුවට වෙච්චි දේ . . .

ජනාධිපතිතුමා සුදු කොටි ගුහාවට රිංගා සහ හිස් අතින් යළි ඒම ගැන දෙස් විදෙස් සක්කිලි ද්‍රෝහීන් උදම් අනන අතර ආණ්ඩුව ගලේ පැහැරූ බළලාගේ තත්ත්වයට පත්ව තිබේ. රටේ නැති මනස්ගාත රජය පැත්තෙන් ගලා එයි. තම වරද පිළිගෙන යළි මෙවන් වැරදි සිදු කොවීමට කටයුතු කිරීම රජයේ වගකීම බව ප්‍රකාශ කරමින් මේ ටික ද ලියා තබමි.

මේ ගමන කිසිම රාජතාන්ත්‍රික ගමනක් නෙමේ. බ්‍රිතාන්‍ය රජය හෝ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිල වශයෙන් අපේ ජනාධිපතිතුමාට ආරාධනා කරලත් නැහැ. මේක ඔක්ස්ෆර්ඩ්වල ඉගෙන ගන්න සිංහල සිසුන් කිහිප දෙනෙකුගේ උවමනාවට කරපු වැඩක්. අනෙක ශ්‍රීලනීප ලන්ඩන් ශාඛාව ජනාධිපතිතුමාට මේ ලන්ඩන් ඒමට තරම් හොඳ වෙලාවක් නෙමේ කියලා දැනුම් දීලා තිබුණා.

මේ ඔක්කෝට ම වඩා බ්‍රිතාන්‍යය කොටි තිප්පොළක් බව අපි දන්නවානේ. ඒ වන විට කොටි ජනාධිපති අත්අඩංගුවට ගන්න එහේ අධිකරණයකින් නියෝගයකුත් අරගෙන. මේ කිසිවක් ගැන හොයා නොබලා මේ වගේ ගමන් යාම අන්තිම භයානකයි. මේ ගමනේ දි මහින්දට යම් අනතුරක් වුණා නම් දකුණේ ජනතාව නැවත කුපිත වෙලා 1983ක් ආයේ එන්න ඉඩ තිබුණා. ඒ නිසා වසර 100න් විතර අපේ රට ආපස්සට යන්න ඉඩ තිබුණා.

අවසානයේ එතුමා යහතින් මෙරටට පැමිණීම ගැන මම සතුටු වෙනවා. (සෝම හාමුදුරුවෝ වැඩියේ නෑ ආපහු.) ඒ වගේ ම මේ වගේ හුදු ජනප්‍රියත්වය උදෙසා කරන වැඩවලට, අනවශ්‍ය අවදානමක් ගැනීමේ වැඩවලට මගේ විරෝධතාව නැවත පළ කරනවා.

එංගලන්තේ ඉඳන් කොටි ආවොත් අල්ලනවා කීවා පළියට සරම කැහැපොට ගහ ගෙන එහේ දුවන්න ඕනද අපේ රටේ නායකයා? එදා ප්‍රභාකරන් කිලිනොච්චියේ ඉඳන් එහෙම තර්ජනය කළා නම් එයා කිලිනොච්චි දුවනවා ද? ඕක අභියෝග භාර ගැනීමක් නෙමේ. මෝඩ විදිහට සතුරාගේ අරමුණ ඉටු කර ගැනීමට අවස්ථාවක් දීමක්. සතුරාගේ කටට රිංගීමක්.

පංචතන්ත්‍රයේ සිංහයාගෙයි ඌරාගෙයි කතාව දන්නවා නේද? ඔන්න දවසක් විල අයිනේ සිංහයා ලැගලා උන්නා. කාලා බීල බඩ පිරිලා. ඉතින් ඌරත් වතුර බොන්න විලට ආවා. ළඟට එනකම් ම ඉන්නවා සිංහයා දැක්කේ නෑ. ඒ වුණාට සිංහයා ඌරා ආවා කියලා ගණන් ගත්තෙත් නෑ. මොකද සිංහයා හොඳට ම කාලා හිටියේ. ඌරා හිතුවා මේ සිංහයා මට බයයි කියලා. එහෙම හිතලා සිංහයාට සටනට අභියෝග කළා. ඉතින් සිංහයාගේ බඩත් හොඳට ම පිරිලා. ඒ නිසා ඊළඟ සතියේ දිනයක් දා ගමු කියලා සිංහලා ඇහුවා. ඌරත් ඒකට කැමති වෙලා රංචුවට ගිහින් කීවා හපන්කම.

වැඩිහිටි ඌරෝ ඔලුවේ අත තියා ගත්තා. කල්පනා කරලා මේ මෝඩ ඌරා‍ගේ ජීවිතේ බේරගන්න ඕන නිසා උපදෙසක් දුන්නා. සතියක් අශූචි වලක බැහලා ඉඳලා නියමිත දවසේ සටනට යන්න කියලා. ඌරත් එහෙම කළා. දැන් මුළු පළාතම ගඳ ගස්ස ගෙන ඌරා එනවා සටනට. සිංහයාට මේ ගඳ උහුලන් ඉන්න බැහැ. සිංහයා කීවා 'උඹ දිනුම්! උඹ දිනුම්! මේ පලාතකවත් ‍එන්න එපා' කියලා. සිංහයා පරාජය භාර ගත්තා. සටන් කරන්න ඕන තමන්ට ගැළපෙන ප්‍රතිවාදියෙක් එක්ක. එහෙම නොවුණා ම අශූචි නාන්න වෙනවා. මේ ඊනියා සංචාරය නිසා මහින්ද විතරක් නෙමේ අශූචි නෑවේ මුළු රට ම.

2 comments:

දේශපාලුවා said...

මට නම් පේන්නෑ මෙතන ජනාධිපතිට අපහාසයක් හරි දේශපාලන වශයෙන් පාඩුවක් හරිවිනේ කොහොමද කියලා. එහෙම කියන්නේ, ඩීබීඑස් ජෙයරාජ් වගේ දෙමල ජාතිවාදීන්, අපි ඒ උගුලේ වැටෙන්න නරකයි, මෙතන ඇත්තම පාඩුව වුනේ දෙමල ඩයස්පෝරාවට, ඒ අය, කිසිම විනයක් නැති, නිදහස් අදහස...් නොඉවසන අන්තවාදී ප්‍රජාවක් කියන හැගීම මේකෙන් ලොකෙට එනවා.

නාමල් උඩලමත්ත said...

දේශපාලුවා,

අපි මේ ආණ්ඩුව පත් කරගත්තා. එක් ඇත්ත. ඒක ආරක්ෂා කරගන්න ඕන. ඒකත් ඇත්ත. ඒක කරන්න කියලා ආණ්ඩුව කරන හැමදේම හරි කියලා ඒක සාධාරණීකරණය කරන්න අපට බැහැ. මේක නිසා රටට සහ ජනාධිපතිතුමාට ලොකු හානියක් වුණා. ඒකට වග කියන්න ඕන තමන්ට ලකුණු දා ගන්න මේ ගමන සංවිධානය කරපු අය. ජෙයරාජ් දෙමළ ජාතිවාදියා ‍තමා. එතකොට ලන්ඩන් එන්න එපා කියපු ශ්‍රිලනීප ලන්ඩන් ශාඛාවවත් කොටි ද? එයාලත් කොටි උගුලට අහුවෙලා ද?

ජනාධිපතිට යම් අනතුරක් වුණා නම් වගකියන්නේ කවුද? එහෙම වුණා නම් වෙන රටක රාජ්‍ය නායකයෙක් ආරක්ෂා කරගන්න බැරි රටක් කියන පණිවිඩය ලෝකයට ගියා කියලා අපට සතුටු වෙන්න පුළුවන් ද?

ජනාධිපතිට හිස් අතින් ලංකාවට එන්න සිදුවීම නිසා හානිය වුණේ කොටින්ට කියන එක මහ විහිළුවක්නේ. ඔයා හිතන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව මේකට මැදිහත් නොවී කොටින්ට ඕන විදිහට වැඩ කරන්න දුන්නේ කොටි ගැන ඔයා කියන මතය ජාත්‍යන්තරයට යවන්න ද? කොටි යුරෝපය පුරා ඉන්න අය එකතු වෙලා මේක වගේ විරෝධතාවක් පල කළේ ඒ වගේ මතයක් ලෝකයට යවන්න ද? මොන මාධ්‍යය ද මේක ඒ විදිහට දැක්කේ?

එහෙම නම් ආණ්ඩුව ඒකට නිදහස කරුණු හොයන්නේ නෑනේ. ඇත්ත කතාව උන් දිනුවා. අපි අඩියක් පස්සට තිබ්බා. ප්‍රභාකරන් මැරුණට පස්සේ උන් ලබපු ලොකුම ජය මේක. උන්ට නව පණ දීමක් මේ නිසා වුණේ. ප්‍රභාකරන් මැරුණට, ලංකාවේ බලයක් නැති වුණාට අපි ලෝකයේ තවම බලවත් කියන පණිවිඩය නම් ලෝකයට විතරක් නෙමේ අපේ රටටත් දෙන්න කොටින්ට පුළුවන් වුණා.

මම මේ ටික කියන්නේ උගුලකට අහුවෙලා නෙමේ. උගුලට අහුවුණේ ආණ්ඩුව. මේක හීනමාන රෝගේ ප්‍රතිඵලය තමා. දැන් තියෙන්නේ ආයේ මේ වගේ දේවල් සිදුවන්න ඉඩ නොතැබීම.

 
සිය රට දේ සිරි සැප දේ !