Sunday, November 21, 2010

අයවැයට පෙර වදනක්

අද හවස අයවැය සභාගත වනු ඇත. රටට ආදරය කරන සමස්ත රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ සංවර්ධනාත්මක අයවැයකි. ඔවුන් තම කුස දෙස නො ව අනාගත ලංකාවේ සංවර්ධනය දෙස බලා සිටිති. තම කුසගින්න ගැන නොසිතා රටේ සංවර්ධන අභියෝග ජය ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග මෙවර අයවැයෙන් ඔවුහු බලාපොරොත්තු වෙති. රටක් සංවර්ධනය කිරීමට නම් රටේ පරම්පරාවක් දුක්විඳිය යුතු බව කිසියම් කැප කිරීමක් කළ යුතු බව ඔවුහු දනිති. අද අප විඳින දුක හෙට අපේ දුවා දරුවන්ගේ සතුට උදෙසා බව ඔවුන්ට සිහිපත් කළ යුතු නැත.

එහෙත් තව පිරිසක් ආණ්ඩුවෙන් නිකන් කා බඩ පුරවා ගන්නට බලා සිටිති. ඔවුන්ට රටෙන් හෝ රටේ සංවර්ධනයෙන් වැඩක් නැත. අනාගත පරපුරට හෙන ගැහුවත් එයාලාට කම් නැත. අපට ඕන කන්න ය. කෑවා ම හොඳට ම ඇති ය. එසේ කන්න ඕනෑ අතපය නො සොල්ලා ය. කන්න දෙනවා නම් අපට බොන්න දෙනවා නම් වෙන මොන කෙන්ගෙඩියක්වත් අපට ඕනෑ නැත. ඒ නිසා පඩි වැඩි කළ යුතු ය. සහනාධාර වැඩි කළ යුතු ය. බදු අඩු කළ යුතු යුතු ය. බඩු මිල අඩු කළ යුතු ය.

මේ බඩගෝස්තරවාදීන්ට උල්පන්දම් දෙන්නේ එජාප සහ ජවිපෙ බලලෝභි දේශපාලන මුස්පේත්තුවෝ ය. එයාලාට අනුව රටේ කිසිම සංවර්ධයක් සිදු වී නැත. සිදු වී ඇත්තේ රට පස්සට යාම පමණි. සැබවින් ම සිදු වී ඇත්තේ රටේ සංවර්ධනය නිසා මේ අමන දේශපාලන රැළ ආපස්සට යාම ය. වේගයෙන් දුවන රියක සිටින විට මහපොළව ආපස්සට දුවන්නා සේ පෙනෙන ලෙස ම දේශපාලන කනත්තට දුනව මේ අයට රට පස්සට යනවා සේ පෙනේ. ඒ ගැන අප කලබල විය යුතු නැත.

රටට අවශ්‍ය සහනාධාර පොදි පිනට බෙදන පිංගුත්තරයින් බිහි කරන අයවැයක් නොවේ. අනාගත සංවර්ධන ඉලක්ක ජයගත හැකි අයවැයකි. 2009 '10 000 එපා අපට 2500ක් ඇති' යයි ජනතාව කීවේ එහෙයිනි. මේ ආණ්ඩුව පිහිට වූයෙත් සතරවරම් දෙවියන් සේ මේ ආණ්ඩුව රකින්නේත් අප මුලින් සඳහන් කළ බහුතර ජනතාව මිස අගුපිල්වල ලගින පාන් බකුස්සන් හෝ පිදේනි යදින්නන් නොවෙති.

2 comments:

රංචාගොඩ මුදියන්සේ said...

අනාගත සංවර්ධන ඉලක්ක ජයගත හැකි අයවැයකි
==================================

අනාගත සංවර්ධන ඉලක්ක ජයගැනීම ඉර හඳවගේ විස්වාස බව, පනස් ගානක් පිංගුත්තරයින්ට බඩකට පිරෙන්න කන්න බොන්න වියදම් කරන්න, වාහන ගන්න පුලුවන් විධියට ඇමතිකම් බෙදාදීමෙන්ම පේනවා. කෘශිකර්මාන්තෙට විතරක් ඇමතිකම් තුනකයි වාරිමාර්ග හා වතුර වලට දෙකකුයි බැගින් 5ක් ම දීලා තියෙනෙනි එකනෙ. ප්‍රයිවෙට් බස් වලට යි ලංගම බස් හා කෝච්චිවලටයි දෙන්නෙක් දාලා ඉන්නවා. ත්‍රීවීල් බාර ඇමතිකම කාටද? ඒක පබා කුමාරිට දුන්නොත් නරකද?

නාමල් උඩලමත්ත said...

අප කතා කළේ අයවැය ගැන මිස, ඇමති මණ්ඩල සංශෝධන ගැන නොවේ. මෙවන් ආවේගශීලි කතාවලින් තම විපක්ෂ මන්ත්‍රීවරු ආණ්ඩුවට එක් වන විට කණ්ඩුල ලා තුළ ඇති වන අපේක්ෂා භංගත්වය ප්‍රකට වේ. පබාලාට ඡන්දය දී පාර්ලිමේන්තුවට යැවූ අයට ම ඊට විරුද්ධව කතා කිරීමට සිදුවීම දෛවයේ සරදමකි.
ඇමති මණ්ඩලය තව කුඩා වූවා නම් හොඳ ය. එහෙත් මේ රටේ 110ක ඇමති මණ්ඩලයක් තිබුණු රටකි. එහි කාර්යභාරයක් නොමැති ඇමතිවරු ද වූහ. ඊට සාපේක්ෂව දැන් තත්වය හොඳ ය. අනෙක ඇමති මණ්ඩලයේ ලොකු වීම නිසා ම අන් සියලු සංවර්ධන යෝජනා නොපෙනී යාමේ රෝගයට අප ගොදුරු වී නැත.
රටේ දියුණුව අබියස කුහක දේශපාලනයේ යෙදෙන අය කණ්ඩුල වැනි නමක් ගැනීම අපට ගැටලුවකි. කණ්ඩුල යනු දුටුගැමුණු රජතුමාගේ මගුල් ඇතු ය. ඒ ජාතික වීරයාගේ නම ගත් පමණින් කිසිවෙකු වීරයෙකු නොවේ. මෙය හරියට රවී කරුණානායක ජාතික ඇඳුමෙන් කොටි පුල්ලි වසා ගැනීමට නො දෙවෙනි ක්‍රියාවකි. එහෙත් කට ඇරි වහා වැලි යට හිස සඟවා ගත් පැස්බරෙකු සේ ලෝකය හමුවේ තිත්ත ඇත්ත නිරුවත් වේ.

 
සිය රට දේ සිරි සැප දේ !