Saturday, March 13, 2010

රට සංස්කෘතික කාන්තාරයක් වන්නට පෙර ...

මේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය ගැන ජනතාව තුළ ඇත්තේ බලවත් අප්‍රසාදයකි. අවිශ්වාසයකි. උතුම් ගුරු වෘත්තිය අද අන්තිම බිංදුවට බාල්දු වී තිබේ. 90%ක් ගුරුවරු ළමයි ටියුෂන් කඩවලට දක්කන කෙවිටි පමණි. ටියුෂන් නොගිය ළමයෙකු රටේ ප්‍රධාන විභාගයක් සමත් වීම ඇසීම කන කැස්බෑවා විය සිදුරින් එළිය බැලීමට වඩා දුෂ්කර ක්‍රියාවකි.

එහෙත් රටේ ඇත්තේ නිදහස් අධ්‍යාපනයකි. රජය විෂය මාලා සකස් කර, ගුරුවරු පත් කර උගන්වා, අදාළ විෂය මාලාවෙන් ප්‍රශ්න පත්‍ර සකසා ළමයින්ට උත්තර ලිවීමට දුන් කල ඔවුන්ට ටියුෂන් නොගියහොත් පිළිතුරු දෙන්නට බැරිය. එහෙත් පෙර සඳහන් කළ ගුරුවරුන්ට එකී විෂය මාලා ඉගැන්වීම සඳහා වසරකට රුපියල් කෝටි ගණනක වැටුප් ගෙවනු ලැබේ. මේ ගඟට ඉණි කැපීමක් නොවන්නේ ද?

මේ රටේ ඇත්තේ නාමික නිදහස් අධ්‍යාපයකි. සෑම ළමයෙකු ම ටියුෂන් ගොස් මුදල් ගෙවා ඉගෙන ගන්නා බව පැහැදිළිය. එසේ නම් මේ පද්ධතිය තුළ ලොකු අර්බුධයක් ඇති බව පැහැදිළිය. එහෙයින් තව දුරටත් පාසැල් පවත්වා ගෙන යන්නේ නම් ශක්‍යතා අධ්‍යනයක් කර රජය ඒ වෙනුවෙන් වියදම් කරන මුදලට රටට යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට කටයුතු කළ යුතුය. නැතහොත් ටියුෂන් කඩ මීට වඩා විධිමත් කර, රජයෙන් ඔවුන්ට යම් සහනාධාරයක් ලබා දී ළමයින්ගේ ටියුෂන් ගාස්තු අඩු කිරීමට ක්‍රියා කිරීම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගන්නා යහපත් ක්‍රියා මාර්ගයක් වනු ඇත. එයින් පසු රටේ පාසැල් පද්ධිතය සහ ගුරු පිරිස රටට ඵලදායි කටයුත්තක් සඳහා යොදා ගැනීමට හැකිය.

නැතහොත් නොබෝ කලකින් මේ රට සංස්කෘතික කාන්තාරයක් වනු ඇත.

3 comments:

budhajeewa said...

එකඟයි!

budhajeewa said...

මාතෘකාව ලිපියට අදාළ ද?

නාමල් උඩලමත්ත said...

බුද්ධජව, මම ලිපියට මාතෘකාව දැම්මේ ලිපියේ කියැවෙන දේ ගැන හිතලා නෙමෙයි. එහි අවසාන ප්‍රතිඵලය සහ දිවයින කතුවැකිය ගැන හිතලයි. අදහස දැක්වුවාට සතුතියි.

 
සිය රට දේ සිරි සැප දේ !