Saturday, November 20, 2021

ආනන්දගේ තෙල් හිඟය සහ රූපවාහිනී පුවත්...

තෙල් සංස්ථාවේ සේවය කර විශ්‍රාම ගිය ආනන්ද පාලිත පසුගිය මාස කිහිපයේ තෙල් හිඟයක් ඇති වන බවට බොරු කියා ජනතාව හතර වරක් පිරවුම්හල් අසල පෝලිම් ගැස්සවූයේය.

ජනතාව ආණ්ඩුවට කුනු බැනුම් බනිමින් වාහනවලට තෙල් ෆුල් ටෑන්ක් ගසා ගෙන ගැලුම්වල ද පුරවා ගෙන ගෙදර ගියේ සියලු වැඩ අතහැර පැය ගණන් පෝලිම්වල තපිමිණි. 

මෙලෙස එකවර තෙල් අසාමාන්‍ය ලෙස මිලට ගැනීම නිසා මතු වන කෘත්‍රිම හිඟයක් මිස රටේ මෙි කිසිදු අවස්ථාවක තෙල් හිඟයක් ඇති නොවිණි. රට පුරා සුපුරුදු ලෙස තෙල් බෙදා හැරිණි. 



ජනතාව අපහසුතාවට පත් කරමින් අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීම පිළිබඳ ආනන්ද පාලිත වරක් අත්අඩංගුවට ද පත් වුව ද පසුව නිදහස් විය. 

මෙලෙස බොරු කියා ජනතාව රැවටීම ඔස්සේ ආණ්ඩුව අපහසුතාවට පත්කළ හැකි බව දැනගත් සජිත්, ආනන්ද පාලිත සජබෙ වෘත්තීය සමිති ප්‍රධානී සහ මාධ්‍ය ප්‍රකාශක කළේය.

තව දින කිහිපයකින් ආනන්ද පාලිත සජබෙට උවමනා ආකාරයේ ජනතාව කුපිත කරන තවත් තෙල් බොරුවක් දෙසනු ඇත. ජනතාව නැවත පෝලීම්වලට පෙළ ගැසෙනු ඇත.

ජනතාව ද මෙම තත්ත්වය පිළිබඳ මීට වඩා සවිඥානික විය යුතුය. එසේ ම ආනන්ද පාලිතගේ තෙල් හිඟයට සිය ප්‍රවෘත්තිවල ඉඩක් දෙන රූපවාහිනී නාළිකා ඒ කරුණු බලශක්ති ඇමැතිවරයා හෝ තෙල් සංස්ථාව ලවා තහවුරු කර ගැනීමට තරම් වගකීම් සහගතවිය යුතුය.

මන්ද  ආනන්ද පාලිතට වඩා ජනතාව විශ්වාස කරන්නේ තමා ප්‍රවෘත්ති බලන නාළිකාවය. ආනන්ද පාලිත යනු කවුද කියා මේ රටේ ජනතාව දන්නේ ද නැත. එහෙත් රූපවාහිනීය ඇත්ත කියන්නේ යැයි ජනතාව සිතති. ඒ ජනතාව අසරණ නොකිරීම රූපවාහිනී නාළිකාවල වගකීමය.

Thursday, November 18, 2021

සඳහිරු සෑය සඳ හිරු පවතින තුරු ජාතියට දෙන පණිවිඩය කුමක් ද?

මහරජ ගැමුණු ආක්‍රමණිකයාට එරෙහිව දියත් කළ සටන මෙන් ම මහින්ද රාජපක්ෂ ද දියත් කළේ ප්‍රභාකරන් යොදා ගෙන බටහිර සහ ඉන්දියාව විසින් සිදුකළ ආක්‍රමණයට එරෙහි සටනකි. එළාර මෙන් ම ප්‍රභාකරන් ද පරාජයට පත් නොවන්නට අපේ රටේ ද ජාතියේ ද බුදු දහමේ ද ඉරණම විසඳෙන්නට ඉඩ තිබිණි. 

2009 නන්දිකඩාල්වල දී පරාජයට පත් කළේ, යාපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, යාපෙන් නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ද අනතුරුව මිනි මරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය බස්තියන් පිල්ලේ නම් දෙමළ පොලිස් නිලධාරියා ද ඝාතනය කරමින් ආරම්භ කළ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය මිස දෙමළ ජනතාව නොවේ. 

කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන්, පිල්ලෙයාන් හෙවත් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු නැගෙනහිර දෙමළ තරුණයින්ගේ සහය නොවන්නට කොටි ත්‍රස්තවාදය පරාජය තවත් දුෂ්කර වන්නට ඉඩ තිබිණි. එසේ ම අර්ජුනන් ශිවකුමාර නම් මගේ පාසල් මිතුරකු ඇතුළු දකුණේ බොහෝ දෙමළ තරුණයින් හමුදාවට බැඳී කොටි පරාජය කිරීමට සටන් කළ බව අභිමානයෙන් යුතුව කිව යුතුමය. එහෙයින් දෙමළ ජනතාව කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ ජයග්‍රහණයේ කොටස්කරුවෝ වෙති.

එසේ ම කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා වැඩි ම ප්‍රතිලාභ ලැබුවේ උතුරේ දරුවන් බව අද බොහෝ දෙනෙකු පිළිනොගත්ත ද අනාගතයේ එම සත්‍ය බැහැර කරලීමට නොහැකි වනු ඇත. ප්‍රභාකරන් විසින් කරේ සයනයිට් කරල් පළඳා දෑතට අත්බෝම්බ සහ තුවක්කු දුන් තරුණයින් අතර නැවත පොත පැන ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ විසිනි. ප්‍රභාකරන් විසින් මිනිස් බෝම්බ බවට පත්කළ උතුරේ දරුවන්ට සාපෙළ උසස් පෙළ විභාගවලින් ලංකාවේ පළමු දෙවන ස්ථාන ලබාගත හැකි ලෝකයක් නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ විසිනි.

මේ සියල්ල මෙන් ම ප්‍රභාකරන් විසින් රාජයප්පු ජෝෂප් රදගුරුගේ අනුදැනුම මත අපේ හින්දු සංස්කෘතිය බුල් ඩෝසර් කරමින් ගොඩනැඟූ ක්‍රිස්තියානි වතිකානුව බිමට සමතලා කළේ මහින්ද රජපක්ෂ විසිනි. උතුරේ ජනතාවගේ හින්දු සංස්කෘතිය රැකදුන් මහා වීරයා මහින්ද රාජපක්ෂ බව අනාගතයේ උතුරේ ජනතාව අවබෝධ කරගනු ඇත.

මෙවැනි පසුබිමක රටම ලේ විලක් කළ ලොව දරුණුතම ත්‍රස්වාදය ලෙස හැඳින්වූ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ පරාජය සමස්ත දෙමළ ජනතාවගේ පරාජයක් ලෙස අර්ථ ගැන්වීමට අප එරෙහි විය යුතුය. මෙවැනි අතාර්කික විකාර දොඩවන පුස් උගතුන්ට අප අනුකම්පා කළ යුතුය. ප්‍රභාකරන්ගේ පරාජය සමස්ත දෙමළ ජනතාවගේ පරාජයක් නම් රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ ත්‍රස්ත කල්ලියේ පරාජය සමස්ත සිංහල ජනතාවගේ පරාජයක් විය යුතුය. 

බෙදී වෙන්ව දෙරටක් වන්නට නියමිතව පැවැති අපේ රට කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් එක්සේසත් කළ ඒ අභිමානී විජයග්‍රහණය මේ රටේ උතුරේ ද දකුණේ ද මතු මතු උපදින දරුවන්ගේ ජයග්‍රහණයකි. මැදින් සීමා ඉරක් ගසා ගෙන අවි අමෝරා ගෙන යුද වදින රටක් වෙනුවට මහ මුහුදින් වට වූ රටක් මහින්ද රාජපක්ෂගේ ආයෝමය නායකත්වයෙන් සහ විරෝදාර ත්‍රිවිද හමුදාවේ අතිමහත් කැපකිරීම් මතින් ඔවුන්ට ලැබී තිබේ. ඒ රට ඒ ජයග්‍රහණය රැකගැනීම ඒ සියලු දරුවන්ගේ උර මත ද පැටවෙන වගකීමකි.

එම විජයග්‍රහණය මෙන් ම එම වගකීම ද සිහිපත් කරමින් ඉදි වූ සඳහිරු සෑය යුද්ධයේ පරාජයේ සංකේතයක් නොව සාමයේ විජයග්‍රහණයේ සංකේතයකි. එහි පරාජිතයින් වන්නේ ත්‍රස්තවාදය මිස දෙමළ ජනතාව නොවේ. ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා, බස්තියන් පිල්ලේ, ලක්ෂ්මන් කදිරගාමර් නියෝජනය කරන දෙමළ ජනතාවගේ ද ජයග්‍රහණයකි. එමගින් සංකේතවත් කරන්නේ කෘරතර යුද්ධයේ නිමාව සහ මධුරතර සාමයේ උදාවය. බුදු දහමේ සුරක්ෂිතතාවය. සඳහිරු පවතින තුරු පැවතිය යුතු එක්සේසත් ලංකාවය. එදා මහරජ ගැමුණු රන්වැලි මහසෑය ඉදිකරමින් ද මහින්ද රාජපක්ෂ සඳහිරු සෑය ඉදිකරමින් ද සංකේතවත් කරන්නේ එයයි.

ඊයේ සඳහිරු සෑය අබියස සිට මහින්ද රාජපක්ෂ එය තහවුරු කළේ මෙසේ ප්‍රකාශ කරමිනි.

"යාපනේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්න ගිහින් මන්නාරමේ දී ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරි බස්තියන් පිල්ලේගේ සිට 1981 යාපනේ දී ත්‍රස්තවාදීන් අතින් ඝාතනයට ලක් වූ කෝප්‍රල් හේවාවසම්ගේ සිට නන්දිකඩාල්වල අවසාන දිනයේ මියගිය සෙබළා දක්වා සියලු රණවිරුවන්ට සහ අපේ රටට සාමය උදා කරන්න කැප කිරීම් කළ සියලු ම රණවිරුවන්ටත් ඒ වාගේ ම යුද්ධයේදී මිය ගිය සියලු පාර්ශවයන්ටත් මේ සෑය නමදින මොහොතක් පාසා පින් අනුමෝදන් වේවා! යැයි මම ප්‍රාර්ථනා කරනවා.‍ මියගිය සියලු ම දෙනා අපේ ම රටේ අපේ ම අය."

මෙවැනි උදාරතර අරමුණු පෙරදැරිව ඉදිකළ සඳහිරු සෑය නිසා කිසිවෙකුගේ සිත පෑරෙන්නේ නම් ඒ ත්‍රස්තවාදියෙකි. නොඑසේ නම් ත්‍රස්තවාදයේ සහයකයෙකි. නොඑසේ නම් පටු කුහක දේශපාලනය නිසා රට එක්සේසත් කිරීමේ ගෞරවය තම දේශපාලන පක්ෂයට හිමි නොවන නිසා ඇති වන ඉච්ඡාභංගත්වයෙන් කටමැත දොඩවන්නෙකි. සඳහිරු සෑයේ නිදන් කිරීමට රත්තරන් ලබා දුන් රේගු නිලධාරීන්ගෙන් පවා පළිගනිමින් පහුගිය යහපාලනාණ්ඩුව ගෙන ගිය අධාර්මික පාලනය කෙළවර වූයේ එම පවට කරගැසූ එජාපයට මෙන් ම ශ්‍රීලනිපයට ද දිට්ඨධම්මවේදනීය කර්මය පළ දීමෙනි. එවැනි අන්තවාදීන් පුනරුත්ථාපනය කරනු මිස කළ හැකි දෙයක් නැත.

මෙම මිත්‍යාව සමාජගත කරමින් සමාජයේ නොමැති වෛරයක් බෙදීමක් ඇති කිරීමට, කූරගලට විදුලිය ලබා දීමට එරෙහි වූ සකලවිධ බෞද්ධ විරෝධී බලවේගවලට අද නායකත්වය සපයන සජිත් ප්‍රේමදාසට පිරිත් නූල් බඳිමින් රජ පුටුවට ගෙන යන්නට බලා සිටින භික්ෂූන් වහන්සේලා අතලොස්සක් ද මේ අතර සිටිනු දැකීම කනගාටුවට කරුණකි. 

Wednesday, November 17, 2021

මන්ත්‍රී විශ්‍රාම වැටුපට වසර 10ක් අනිවාර්ය කළ ආණ්ඩුව ගෙදර යවනු..!

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් සඳහා හිමි වන විශ්‍රාම වැටුප රුත 15000කින් ඉහළ නැංවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙයි.

1971 මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත අනුව වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපින් 1/3ක් හෝ 2/3ක් සමග ජීවන වියදම් දීමනාව විශ්‍රාම වැටුප ලෙස මන්ත්‍රීවරයෙකුට හිමිය. ඒ අනුව එම විශ්‍රාම වැටුප රු. 18 500කි. එයට ජීවන වියදම් දීමනාව ද එකතු කළ විට වැටුප රු. 25100කි. විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට දීමනා ගෙවීමට හැකියාවක් නැතත් මෙයට පෙර මසකට රු. 10 0000ක දීමනාවක් ද ඊට එකතු කර ඇත. ඒ අනුව වැටුප 35 100කි.

මේ අනුව වසර 05ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ඕනෑ ම අයකුට මාසිකව රු. 35 100ක විශ්‍රාම වැටුපක් සිය ගිණුමට බැරවෙයි. මෙම සංඛ්‍යාව කෙතරම් දැයි කිව නොහැකි වුවත් 1970 දශකයේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ 454 දෙනෙක් 2019 වන විට මෙම විශ්‍රාම වැටුපට හිමිකම් කීහ. 2020 අගොස්තු 17 වෙනි දිනට පෙර එනම් මාර්තු මස 02 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ නිසා තවත් 64 දෙනෙකු මෙම ලැයිස්තුවට එකතු වීම වැළැක්විණි.

කෙසේ වුව ද මෙම විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නැතැයි තීන්දු කළ පසුගිය යහපාලනාණ්ඩුව 2019 වසරේ මුල මෙම විශ්‍රාම වැටුප තවත් රු. 15 000කින් ඉහළ නැංවීමට යෝජනාවක් ගෙන ආ නමුත් මහජන විරෝධය හමුවේ එය ඉටු කළ නොහැකි විය. යහපාලනාණ්ඩුව වසර 05ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට පඩි වැඩි කරන මෙම යෝජනාව ගෙන ආවේ එම ආණ්ඩුව මගින් ම 2016 වසරේ රාජ්‍ය සේවයට බැඳී වසර 45ක් පමණ සේවය කරන රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කපමිනි. 

එදා යෝජිත විශ්‍රාම වැටුප් වැඩි කිරීම ද හිටපු මන්ත්‍රීවරුන්ට ලැබිණි නම් එම විශ්‍රාම වැටුප රු. 50100කි. මේ වන විට මන්ත්‍රී විශ්‍රාම වැටුප ලබන පිරිස 454ක් නම් මාසිකව රු. 27 745400ක් (50100×454) මුදලක් ඒ සඳහා වැයවෙයි.

කෙසේ වුව ද 2022 අයවැය මගින් පාර්ලිමේන්තුව අඛණ්ඩව දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් නියෝජනය කළ වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් මන්ත්‍රී ධූරයක් දැරූ අයට පමණක් විශ්‍රාම වැටුප හිමි වනු ඇත. ඒ සමග 500කට අධික විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රී පිරිස සැලකිය යුතු ලෙස අඩු වනු ඇත. 

2019 වසරේ යහපාලනාණ්ඩුව මන්ත්‍රී විශ්‍රාම වැටුප වැඩි කිරීමට උත්සාහ කරන විට එම පක්ෂයේ සිටි වර්තමාන සමගි ජන බලවේගය නියෝජනය කරන කිසිවෙකු ඊට එරෙහි වූයේ නැත. එම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටත් ඉහළ විධායක සභාව නියෝජනය කළ එම ආණ්ඩුව විසින් ම පත්කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක ද ඊට එරෙහි වූයේ නැත. රතු කොළ සියලු දෙනා එකාවන්ව ඊට පක්ෂ වූහ. 

එම යෝජනාව ගෙන ආවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් ගෙවන ගෙවීම ද ඉහළ නැංවීමට කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල විය යුතුය. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ අසීමිත කැපකිරීමක් කොට පාලනය කළ කොවිඩ් වසංගත තත්ත්වය නැවත රට පුරා බෝ කිරීම සඳහා ජනතාව කැඳවන, බලය වෙනුවෙන් ඕනෑ ම පහත් ක්‍රියාවක නිරත වන පිරිසකගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ද කිව යුතුය.

මෙම යෝජනාව මෑත කාලයේ දේශපාලනඥයකු විසින් ආණ්ඩුවක් විසින් යෝජනා කළ ඉතා ම ප්‍රගතිශීලී යෝජනාවක් වන අතර මෙරට දේශපාලනය මහත්මා දේශපාලනයේ සිට බලු පොරයක් දක්වා ඇද දැමූ මැති ඇමැති වරප්‍රසාද තව තවත් අඩු කිරීමට සමාජ මතයක් නිර්මාණය කළ යුතුය. අප බලවත් කළ යුත්තේ සිය මල්ල තර කරන යෝජනා සම්මත කරගන්න දේශපාලන බලවේග නොව ජනතාව වෙනුවෙන් එම වරප්‍රසාද පවරා දෙන බලවේගයක් වෙනුවෙනි.

 
සිය රට දේ සිරි සැප දේ !