Tuesday, March 31, 2015

අන්තරයට කඳුලු ගෑස් දන්සැලක්!


කොල්ලුපිටිය මංසංදිය අසල දී නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා යැයි කියා නිතර කෑ ගසන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට යහ පාලන ආණ්ඩුවේ අණින් යහ පාලන පොලිසිය විසින් යහ පාලන කඳුලු ගෑස් රථවල සිට යහ පාලන කඳුලු ගෑස් දන්සැලක් ලබා දී සාදරයෙන් පිළිගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ද අකිල විරාජ් කාරියවසම් තරුණයා ද මේ අවස්ථාව වන විට බටලන්ද ප්‍රදේශයේ බේකරියකින් ගෙනා උණු උණු බනිස් ධවල පත්‍රිකාවල ඔතා වෙහෙසට පත් තරුණයින් අතර බෙදා දෙමින් ඔවුන්ගේ සැප දුක් අසමින් තරුණයින් අතර සැරිසරණ බව දැන ගන්නට තිබේ. කිරි තේ රැගෙන විත් ඇත්තේ බත්තරමුල්ල ජවිපෙ මහා ගෙදරිනි. පොලිස් නිළධාරීහු ද වෙහෙසට පත් තරුණයින්ට පවන් සලමින් ද පවසට පැන් දෙමින් ද හරි හරියට වෙහෙසෙමින් සිටිති. සෝභිත හිමි සහ රතන හිමි ළමුන්ට ලබා දීමට විශේෂ ජල ප්‍රහාරක රථවලින් එවා තිබූ පිරිත් පැන් ප්‍රීති ඝෝෂා මැද සියලු දෙනාට නොමද ලබා දුනි.

මේ දන්සැල නිසා සතුටින් ඉපිල ගිය තරුණයෝ "අහෝ සැපකි!, අහෝ සැපකී! යහ පාලනය නුඹ මේ තරම් සොඳුරු යැයි අපි සැබවින් තබා සිහිනෙනුදු නො සිතුවෙමු. අපි යහ පාලනය තොල ගෑමට තරම් වාසනාවන්ත වීමූ" යැයි කියා පාර දෙපසට වී ප්‍රීති ඝෝෂා කරති.
අනතුරුව සියලු තරුණ තරුණියෝ මහත් අභිමාණයෙන් සහ දරා ගත නො හැකි සතුටින්
"රටකට ඕනේ අපමණ අගයක්
හෙටක ඕනේ මෛත්‍රී යුගයක්!!!" යැයි ප්‍රශස්ති ගී ගයමින් යහ පාලන ආණ්ඩුවේ නායක ඇත්තන් පමණක් නොව ඒ ඇත්තන්ගේ දෙමාපියන් ද යහ පාලනයට ඡන්දය දුන් තමන්ගේ දෙමාපියන් ද සිහිපත් කරමින් හතර අතේ පිං අනුමෝදන් කරමින් සිටින බව තව දුරටත් වාර්තා වෙයි.

(පසු සටහන: මේ දන්සැල පිළිබඳ හරයාත්මක, විශ්ලේෂණාත්මක, ස්වයං වින්දනීය, කුඩා අන්ත්‍රමය එළඹුමක් ඔස්සේ බහිස්‍රාවීය පසුබිමක සිට කෙරෙන අපක්ෂපාති මධු මේහයමය අභිසාරි විග්‍රහක් යහ පාලන බුද්ධිමතෙකු විසින් කරනු ලබත්වා!!!)

අවසරයි අපේ හාමුදුරුවනේ,

සාධාරණ සමාජයක්, පිවිතුරු හෙටක් උදා කර ගන්න නම් අපේ ඇමති මණ්ඩලය සීයක්වත් වෙන්න ඕනෑ. යුධ ජයග්‍රහණය සඳහා තීරණාත්මත කාර්යභාරයක් ඉටු කළ හමුදා නායකයින් ඇතුළු සියලු දෙනාට හොරා, දූෂිතයා, මැරයා වගේ නම්බු නාම ලබා දෙන්න ඕනෑ. රටේ ඒකීයත්වය වෙනුවෙන් පෙනී ඉන්න සිංහල නායකයින්ට ජාතිවාදී අන්තවාදී දූෂිත හොර තක්කඩි හංවඩු ගහන්න ඕනෑ. ඒකී්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ දෙමළ නායකයෙක් නම් ඔහුට කොටි ලේබලය ගහන්න ඕනෑ. එහෙම නොකර කවදාවත් සාධාරණ සමාජයක් හරි පිවිතුරු හෙටක් හරි උදා කර ගන්න එක හීනයක් නේද අපේ හාමුදුරුවනේ?

කොහොම හරි එදා කැප්පෙටිපොළ ලා රාජසිංහ රජතුමා සුද්දාට අල්ල ලා දුන්නා වගේ මහින්දයි, ගෝඨාභයයි අල්ල ලා ජාත්‍යන්තර යුද අධිකරණයට භාර දුන්නා නම් සාධාරණ සමාජයක්, පිවිතුරු හෙටක් උදා වෙයි නේද අපේ හාමුදුරුවනේ? මොකද අපි දැන් ආයේ ඇවිත් නතර වෙලා ඉන්නේ 1815. ඉතින් 1818 වගේ ම 1848ත් අපි ඉතා ම පිවිතරු සර්ව සාධාරණ සමාජ අත්දැකීම්වල රස බලපු ජාතියක් විදිහට ආයේ වසර 200කට පස්සේ ඒ පාර දිගේ අපි ආයේ යන්න ඕන නේද ආපේ හාමුදුරුවනේ ? ඒක නේද සාධාරණ සමාජයක තුළ පිවිතුරු හෙටක අරණළු ද දකින්න තියෙන එක ම මඟ? නො දන්නකමට අහන්නේ හාමුදුරුවනේ, තරහා අවසරයි පැහැදිලි කරලා දෙනවා ද?

Friday, March 27, 2015

හැංගි හැංගි වෙස් බඳින අනුර කුමාරයා..

වර්තාමන ආණ්ඩුව ද නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂයක නායකයෙකු වන දිනේශ් ගුණවර්ධනට විපක්ෂ නායක ධූරය ලබා නොදිය යුතු බව අනුර කුමාර දිසානායක පවසා තිබේ. මේ වන විට විපක්ෂ නායකයා වන නිමල් ද සිරිපාල ද සිල්වා ඒ සන්ධානයේ බව අනුරට අමතක වී තිබේ. නැත්නම් සිරිපාල විපක්ෂ නායක ධූරයට පත් කරන අවස්ථාවේ ඔහු ඊට විරුද්ධ විය යුතුව තිබිණි.

අනෙක් අතට ආණ්ඩුවේ ප්‍රජාන්ත්‍රවාදය පිළිගත් කැබිනෙට්ටුවට උඩින් සිට රට පාලනය කරන ජාතික විධායක සභාව නම් දඩයම් සභාවේ සම්බන්ධන්, වික්‍රමබාහු ද සමඟ අනුර කුමාර සිටියි. ඒ අනුව අනුර කුමාර ද ආණ්ඩුවේ බව අනුර කුමාරට ම අමතකව තිබේ. නැත්නම් ඔහු තමාට විපක්ෂ නායක ධූරය නොදිය යුතු බවට ද තර්ක කරනු ඇත. සම්බන්ධන් විපක්ෂ නායක ධූරය ඉල්ලු විට ඒ තර්කයෙන් ම පහර දෙනු ඇත.

කෙසේ වුව ද මේ වන විට රටේ පවතින ප්‍රධාන ආණ්ඩු විරෝධි දේශපාලන මතවාදය නියෝජනය කරන්නේ දිනේශ් ගුණවර්ධන ප්‍රමුඛ පිරිස මිස අනෙකෙක් නොවේ. ඔවුන් ආණ්ඩුවට විරුද්ධ පක්ෂය පමණක් නොව මේ වන විට ආණ්ඩුවට ඇති බලවත් ම තර්ජනයයි. එහෙයින් විරුධ පක්ෂ නායකකම ඔවුන්ට හිමි විය යුතු ය. එය ලැබුණ ද නොලැබුණ ද ජනතාව අතර ඔවුන් විපක්ෂ නායකත්වය රැගෙන අවසන් ය. දැන් අනුර කුමාර කළ යුත්තේ ලාල් කාන්ත ලාගේ විරෝධය පැත්තකට විසි කර යහ පාලන ආණ්ඩුවේ ඇමතිකමක රස බැලීම ය. එජාප පිළිකන්නේ ළගිමින් හැංගි හැංගි වෙස් බැන්ද ද අනුර නටන්නේ එජාප වේදිකාවේ මිස වෙන දිල්ලියක නොවේ.
 
සිය රට දේ සිරි සැප දේ !