Monday, December 10, 2012

උතුරේ ජනතාවට මළවුන් සැමරීමට ඉඩ දෙනු !!!

උතුරේ වැසියන්ට සිය මළවුන් සැමරීමට ඉඩදිය යුතු යැයි කණ්ඩායම් කිහිපයක් තැනින් තැන උද්ඝෝෂණ කරනු දැකිය හැකිය. මේ උද්ඝෝෂණ පිටුපස සිටින්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය, පෙරටුගාමි පක්ෂය සහ මනෝ ගනෝෂන් වැන්නවුන් සහ නිමල්කා ප්‍රනාන්දු වැනි NGO කාඩරයින්ය. ඔවුන්ගේ දේශපාලන මතවාද කෙසේ වුව ද මේ සටන් පාඨය අප එකවර ඔවුන් හා එකඟ කර ගැනීමට තරම් සංවේදී වූද මානව හිතවාදී වූද එකකි.

අපේ සමීප ඥාතීන් අපට අහිමි වූ විට අපි මහත් ශෝකයට පත් වන්නෙමු. ප්‍රිය විප්පයෝග දුක්ඛයෙන් නොකා නොබී හැඬූ කඳුලින් දවස ගත කරමු. වාර්ෂිකව ඔවුන් සිහිපත් කරමින් දානමාන දෙමින් ඒ දුක තුනී කරගනිමු. 'සියලු සංස්කාරයෝ අනිත්‍යයයි!' යැයි දේශනා කරමින් මහ සඟ රුවන ඒ සඳහා අපට මානසික ශක්තිය  ලබා දෙයි. එසේ නම් එම නිදහස උතුරේ වැසියාගෙන් උදුරා ගැනීම කෙතරම් නරුම ක්‍රියාවක් ද? එය මානව සාරධර්ම අමු අමුවේ උල්ලංඝණය කිරීමක් නොවෙ ද? ඒ සඳහා බාධා පමුණු වන ලංකා ආරක්ෂක අංශ සිදු කරනුයේ අහිංසක ද්‍රවිඩ ජනතාවගේ මානව අයිතිවාසිකම් තුවක්කුවේ බලයෙන් යටපත් කිරීම නොවෙද?

මේ නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වූයේ පසුගිය දා යාපනේ විශ්වවිද්‍යාලයේ බෙදුම්වාදී ශිෂ්‍ය පිරිසක් පොංගු තමිල් උත්සවයක් සැමරීමට උත්සාහ කිරීමත් සමඟය. පොංගුතමිල් උත්සවය යනු උතුරේ වෙනම රාජ්‍යයක් තැනීම වෙනුවෙන් මිය ගිය පිරිස් සැමරීම සඳහා ප්‍රභාකරන් ආරම්භ කළ උත්සවයයි. එහිදී මූලික වූයේ උතුරින් ඉන්දීය හමුදාව පිට විය යුතු බව පවසමින් උපවාස කර මිය ගිය කොටි ත්‍රස්තවාදියෙකු සිහි කිරීම සහ ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමයි. 2001 - 2003 සමයේ අතිගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට පිං සිදුවන්නට වරක් ජාතික රූපවාහිනය ඔස්සේ සජීවී ව පොංගු තමිල් උළෙලක් නැරමීමේ වාසනාව දකුණේ ජනතාවට ද ලැබිණි. 




පොංගු තමිල් උළෙල එවකට උතුරේ පැවැත්වූයේ මහා සැණකෙළියක් වශයෙනි. එහි සන්නිවේදිත අරමුණ ඊළම වෙනුවෙන් මළවුන් සැමරීම වුව ද සැඟවුණු අරමුණ වූයේ මිය ගිය එකාගෙන් ගිලිහෙන තුවක්කුව අතට ගැනීමට අනෙකෙක් සුදානම් කිරීමය. කොටින්ම කිවහොත් ඊළම වෙනුවෙන් ඊළඟ බිල්ල සුදානම් කිරීමය. ප්‍රභාකරන් සහ අද ප්‍රභාකරන්ගෙන් යෂ්ටිය රැගෙන අද ඊළම වෙනුවෙන් දුවන ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු බෙදුම්වාදී කල්ලියේ ඊළාම් සිහිනය වෙනුවෙන් අහිංසක දෙමළ තරුණයින්ගේ මොළ සෝදා සයනයිට් කරල ගෙල බැඳ ශුද්ධ වූ මරණයකට සුදානම් කිරීමය. 

ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය නන්දිකඩාල් කලපුවේ ගිල්වා දමන විට උතුරේ බෙදුම්වාදී සිහිනය සමඟ පොංගු තමිල් උළෙල ද එහි වැළලිණි. දැන් නැවත බෙදුම්වාදී මිනී වළෙන් ගොඩ ගෙන පණ පිඹීමට දත කන්නේ ඒ පොංගු තමිල් උළෙලටයි. බෙදුම්වාදී සිහිනයටයි. කොළඹ ද්‍රවිඩ  ඡන්ද 5000ක් තොරොම්බල් කරන මනෝ ගනේෂන් නමැති බෙදුම්වාදීයා පවසන පරිදි ජනතා විමුක්ති පෙරමුණට සිය මිය ගිය නායකයින් සැමරීමට හැකි නම් උතුරේ ජනතාවට ද සිය නායකයින් සැමරීමට අවස්ථාව තිබිය යුතු බවය. එසේ නොවුණ හොත් උතුරට කිසිදා සාමය අදා නොවනු ඇති බවය. එය ද අප එකවර නිරුත්තර කරවන සුළු තර්කයකි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ඔවුන් එතෙක් අනුගමනය කළ අවි බලයෙන් ආණ්ඩු පෙරලන මතවාද වෙනස් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස තිබේ. ඔවුන් සිය ඉල් මහේ විරුවන් සමරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ සිටය. එහෙත් උතුරේ තවමත් බෙදුම්වාදය ක්‍රියාත්මක වෙයි. තමන්ට ඊළම අවශ්‍ය යැයි ඔවුහු යාපනේ ද ලන්ඩනයේ ද උද්ඝෝෂණ කරති. ඒ වෙනුවෙන් ලෝක ජන මතයක් ඇති කිරීට උත්සාහ කරති.

යුදමය ක්‍රියා මාර්ග ඔස්සේ විනාශ කළේ එහි ත්‍රස්තවාදී හිස පමණි. බෙදුම්වාදය නමැති ඔලු දෙකේ යක්ෂයාට ත්‍රස්තවාදී හිස අහිමි වුව ද තවමත් ප්‍රජාතන්තවාදී හිස හිමිය. දැන් නැවත පොංගු තමිල් උළෙලවල් පවත්වා ත්‍රස්තවාදී හිසට පණ නල පිඹින්නට වලිකන්නේ ප්‍රජතන්ත්‍රවාදී බෙදුම්වාදීන්ය. බෙදුම්වාදය ත්‍රස්තවාදී වුව ද ප්‍රජාතන්ත්‍රවාදී වුව ද එහි භයානක කමෙහි කිසිදු වෙනසක් නොමැත. එහෙයින් සියලු ආකාරයේ බෙදුම්වාදයන් විනාශ කළ යුතුමය. නැවත කිසිදු ආකාරයකින් ඊට හිස එසවීමට ඉඩ දිය යුතු නැත. සිංහලයා දෙමළාගේ  හතුරාය යන බොරුව විකුණා ගෙන ජීවත් වන බෙදුම්වාදී දේශපාලකයින්ට සහ NGO කාඩරයින්ට අවශ්‍ය දැන් ජනතාව බුක්ති විඳින සාමය විනාශ කොට නැවත මේ රට ලේ විලක් කිරීමටය. බෙදුම්වාදය පෝෂණය කිරීමට පොංගු තමිල් සැමරීමට උත්සාහ කරනවුන්ගේ අරමුණ එය මිස අනෙකක් නොවේ.

මළවුන් සැමරීමට මුවා වී මොවුන් නැවත උත්සාහ කරන්නේ අහිංසක දෙමළ තරුණයින් බෙදුම්වාදය වෙත ත්‍රස්තවාදය බිලි දීමටය. උතුරේ ජනතාවගේ ජීවිත වසර 30ක් අපායක සිරකළ ත්‍රස්ත රංචුවක් සැමරීමට උතුරේ සමස්ත ජනතාවට අවශ්‍ය යැයි පැවසීම එක් අතකින් ඒ ජනතාවයට කරන නින්දාවකි. එය ජනතාවගේ සැබෑ අවශ්‍යතාවක් නොව බෙදුම්වාදීන් විසින් කෘත්‍රීම ලෙස මතු කරන අවශ්‍යතාවකි. මළවුන් සැමරීම සඳහා විශ්වවිද්‍යාල භාවිත කළ යුතු නැත. ඒවා සිය නිවෙස්වල හෝ කෝවිල්වල සිදු කළ හැකිය. අපේ සංවේදීත්වය වංචාකාරී ලෙස මංකොල්ල කන මනෝ ගනේෂන්ලාගේ සටන් පාඨයේ ඔතා ඇත්තේ මහා වස ගුලියක් බව දැන් ඔබට අවබෝධ වනු ඇතැයි සිතමි.    

රජයේ වගකීම වන්නේ උතුරේ ජනතාව අද මුහුණ දී ඇති සැබෑ ප්‍රශ්න සොයා විසඳුම් ලබා දීමය. විශේෂයෙන් තමිල්නාඩු ධීවරයින් ලංකා මුහුදු සීමාවට රිංගා උතුරේ ජනතාවගේ මත්ස්‍ය සම්පත කොල්ලකෑම තවමත් නවතා නැත. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රිය මාර්ග ගැනීම වහාම කළ යුත්තකි. එමෙන්ම උතුරේ ත්‍රස්තවාදය පැවති සමයේ සිට විවිධ NGO කල්ලිවලට මුවා වී යාපනේ සාම්ප්‍රදායික් හිංදු ජනතාව විවිධ මූල ධර්මවාදී ආගමික කල්ලි විසින් ගොදුරු කර ගැනීම තවමත් එලෙසම සිදුවේ. අන්‍යාගමීකරණ විරෝධී පනත ගෙන ඒමට මුල් වූ ටී. මහේෂ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ එවකට 7000ක් හිංදුවරු අන්තවාදී ක්‍රිස්තියානි කල්ලි විසින් ගොදුරු කර ගෙන ඇති බවය. අවසානයේ ඔහුට සිදුවූයේ කෝවිලක දේව මෙහෙයට සහභාගී වී පැමිණෙන විට වෙඩි කන්නටය. එහෙයින් හිංදු ආගම සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණය නැවැත්වීමට වහා ක්‍රියා කළ යුතුය. හිංදුවරුන්ට සිය ආගම සංස්කෘතිය අනුව ජීවත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දිය යුතුය. රටේ ඒකීයත්වයට ගරු කරන දෙමළ තරුණයින්ට රටේ ජනාධිපති ධූරය දක්වා යාමට මග හෙලි කළ යුතුය.

එහෙත් බෙදුම්වාදී මනදොල පුරවමින් රට නැවත අගාධයට තල්ලු කිරීමට පොංගු තමිල් උළෙලවල් පැවැත්වීමට නැවත කිසිදා ඉඩදිය යුතු නැත. සියලු බෙදුම්වාදී ක්‍රියා පසුපස සිටින නරුමයින් වහා සොයා ප්‍රශ්නය මතු වූ වහා ඒවා මුලිනුදුරා දැමීමට ආරක්ෂක අංශ යුහුසුළු විය යුතුය. ප්‍රභාකරන් යනු මේ රට වසර 30ක් තිස්සේ විශාලා මහනුවරක් කොට මිනිස් ලේ බොමින් මිනී මස් බුදිමින් ජීවත් වූ යක්ෂයෙකි. රුධිර පිපාසිත බෙදුම්වාදීන්ට එම යක්ෂයා දෙවියකු වුව ද ශිෂ්ට සමාජයක එවන් නරුමයින් සැමරීමට ඉඩදිය යුතු නැත. යාපනේ පුරපති ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ සිට ප්‍රභාකරන්ට ගොදුරු වූ සිය දහස් ගණනක් මිනිසුන්ට කළ හැකි විශාලතම නින්දාව එයයි. ලක්‍ෂමන් කදිරගාමර්, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ, රජිව් ගාන්ධි ආදීන්ට කළ හැකි බලවත්ම නින්දාව එයයි. ඇමරිකාව ඔසමා බින් ලාඩන් සමරන දවසට, ජර්මනිය ඇඩොල්ෆ් හිට්ලර් සමරන දවසට, ඉන්දියාව වීරප්පන් සමරන දවසට මෙරට බෙදුම්වාදී නරුමයින්ට ප්‍රභාකරන් නමැති සාතන් සැමරිය හැකිය. එහෙත් එවන් දවසක් කිසිදා උදා නොවනු ඇත.    





Friday, November 23, 2012

මිත්‍රයිනි, නුඹලා පෙම් කරන්නේ විලංගුවලට නොවෙද?

ගණිකා වෘත්තිය තහනම් කොට පනවා ඇති නීති වහා ඉවත් කළ යුතු යැයි අප ලියූ ලිපිය බලා බොහෝ පිරිසක් පරල වී ඇති බව ප්‍රතිචාරවලින් පැහැදිලිය. ඔවුන් පරල වී ඇත්තේ සිය නිවෙස්වල සිටින කාන්තාවන් ගණිකා තහනමට පිං සිදුවන්නට ඊට යොමු නොවී සිටිනවා වැනි ආවේගයකිනි. ඒ කාන්තාවන් යන්තම් නිවසේ රැඳී ඇත්තේ මේ තහනමට පිං සිදුවන්නටය. එහෙයින් එම නීතිය ආරක්ෂා කරගත යුතු යැයි ඔවුහු සිතති. බොහෝ දෙනා අදහස වෙනුවට කතුවරයා විචාරයට ලක් කිරීමට වෙහෙසී තිබිණි. කොටින්ම ඔවුන්ගේ තර්කයේ හරය 1505 වන තුරු ගැහැනු දුෂණය කරමින් මිනි මරමින් සිටි ම්ලේච්ඡ සිංහලයා බටහිර ආක්‍රමණිකයා පැමිණි නීති පනවා ශිෂ්ටාචාරගත කළ බවය. රටේ උගන්වන ඉතිහාසය අනුව, මොල හෝදන අධ්‍යාපනය අනුව ඔබෙන් ඉන් එහා දෙයක් පැතිය නොහැකිය. උඳු වපුරා මුං පැතීම විහිළුවකි. රත්න ශ්‍රී විජේසිංහ වරක් ලීවා සේ අපට ද කීමට ඇත්තේ සුද්දෝ ආවේ රට කරන්න කියාය.

අප සමාජය යටත්විජිතකරණය සමඟ විකෘති වූයේ, එහි ක්‍රමික විකාශනය ඇණ හිටි බැවිනි. ඔවුන් රාජ්‍ය පාලනය රදළ වැඩවසම් ක්‍රමය පිරිහෙන්නට පෙර අපට ප්‍රජාතන්ත්‍රවාදය තෑගි කළේය. එහෙත් මේ රට තවමත් වැඩවසම්ය. ජනතා මනාපයෙන් වුව බලයට පත්වන්නේ ධනය, බලය හිමි පුද්ගලයාය. ගණිකා තහනම ගෙන ආවේ මෙරට ප්‍රචලිතව පැවති බහු විවාහ ක්‍රම, නිදහස් ජීවන ක්‍රම තහනම් කිරීමටය. ඔවුන් විශ්වාස කළ බයිබලය, දස පනත, වික්ටෝරියානු සුචරිතවාදය අනුව ම්ලේච්ඡ සිංහලයා ශිෂ්ටාචාරගත කිරීමටය. එතෙක් කල් වසර දෙදහස් පන්සියයකට එහා ඉතිහාසයේ සිට ආදරයෙන් බැඳී පවුල් කෑ සිංහලයින් ක්‍රිස්තියානි පල්ලියේ ක්‍රමයට පොතේ ලියා කසාද බැන්ද වූ අතර වික්ටෝරියානු සුචරිතවාදය අනුව ඒක විවාහ ක්‍රමය ප්‍රමිතිය බවට පත් කරන ලදි. බයිබලය සහ තුවක්කුව දෑතට ගෙන පැමිණි ආක්‍රමණිකයා ඒවා සමාජගත කරන ලද්දේ බලෙනි. අපේ මුතුන් මිත්තන්ගේ මිනී මතිනි.



ඔවුන්ට කීකරු වූ අයට විවිධ වරප්‍රසාද ලබා දෙමින් අනෙක් පිරිස් විවිධ හිරිහැර වධ බන්ධනවලට ලක් කරමිනි. උප්පැන්න සහතික ක්‍රමයක් හඳුන්වා දී කසාද නොබැඳ පවුල් කන අයගේ දරුවන් අවජාතකයින් ලෙස හංවඩු ගසන ලදි. කිසිදු පාසැලකට යාමට ඔවුන්ට අවසර නොලැබුණු අතර කිසිදු රජයේ රැකියාවක් නොලැබිණි. මේ සියල්ල කළේ අශිෂ්ට සිංහල ජාතිය ශිෂ්ටාචාරගත කිරීමටය. සමාධි පිළිමය නෙළු, මහ සයුර පරයන වැව් තැනූ, අහස සිඹින චෛත්‍ය තැනූ, සීගිරි ගලේ චිත්‍ර ඇඳ කවි ලියූ, අනුරාධපුරය වැනි විශිෂ්ට නගර තැනූ, සීගිරිය වැනි විස්මය ජනක නිර්මාණ කළ සිංහලයා ශිෂ්ටාචාරගත කිරීමටය. සඳකඩ පහන නෙළු, අවුකන පිළිමයේ බුද්ධ චීවරයේ රැළි නෙළු සිංහලයා ශිෂ්ටාචාරගත කිරීමටය.

මේ ආක්‍රමණිකයා ලංකාවට කඩා වදින තුරු මෙරට පැවතියේ ඉතා ම නිදහස් ජීවන ක්‍රමයකි. සමීප ඥාතීන් අතර ලිංගික සබඳතා නොපැවතිය යුතුය යන සම්මතය සහ විවිධ කුල අතර පැවති තහංචි හැරුණු විට එහි ලිංගික තහංචි තිබුණේ නැත. (සාලිය අශෝකමාලා පෙම් පුවතින් දෙවනුව කී තහංචිය පවා බිඳ දැමූ අයුරු පැහැදිලිය.) රජවරු පමණක් නොව ප්‍රභූවරුන්ට ද අන්තඃපුර තිබිණි. අද අප දන්නා ඉතිහාසය පාලකයින්ගේ ඉතිහාසය හෙයින් සාමාන්‍ය ජනතාව පිළිබඳ තොරතුරු අල්ප වුව ද ඔවුන් ඒක භාර්යා හෝ ඒක පුරුෂ විවාහවලට සීමා වූයේ යැයි සිතීමට කරුණු නැත. නිදසුනක් ලෙස මෑතක් වන තුරුම ප්‍රචලිතව පැවති එක ගෙයි කෑම නිදසුනකි. අනෙක් අතට ලිංගිකත්වය මහා පූජනීය වස්තුවක් ලෙස අහසට නංවා පිදීමක් ඔවුන් අතර නොතිබිණි. එකල ලිංගිකත්වය ජීවිතයම නොව ජීවිතයේ එක් අංගයක් විය. අද සිය උරුමය අහිමි කර ගෙන ජීවත් වන නිවට සිංහලයාට උඩු බුරන්නේ තම විලංගුවලට අත නොතබනු කියා බව තේරුම් ගැනීමට ද පවා හැකියාවක් නොමැත.

අප අතර අදත් ප්‍රචලිතව ඇති ජන කවිවලින් අපේ මුතුන් මිත්තන් ලිංගිකත්වය පිළිබඳ දැරූ ලිහිල් පිළිවෙත පැහැදිලි වේ.

අල්ලා ගෙන නෙරිය අතකින් කිම් ද නගෝ
වසා ගෙන දෙතන අතකින් කිම්ද නගෝ
හිමියා නැති ගමන් තනි මග කිම් ද නගෝ
අම්බලමේ ඉඳලා අපි යමු ද නගෝ

එහෙත් එකල පැවති ඒ නිදහස නිසා සමාජය විනාශයට පත්වීද? නැත. එකල සූරූපි තරුණියකට රන් සෙම්බුවක් ගෙන උතුරු පේදුරු තුඩුවේ සිට දකුණු දෙවුන්දර තුඩුවට තනිව නිරුපද්‍රිතව ඒමට හැකියාව තිබුණේ යැයි රොබට් නොක්ස් පවසයි. ඉන් පැහැදිලි වන්නේ මේ ලිංගික තහංචි පැනවීමට පෙර මෙරට නෂ්ට කාමය සහිත පිරිස් සිටි බව නොවේ. (එය ඉහත කවියෙන් ද පැහැදිලි වේ.) මේ රටේ සිය ලිංගික ආශාවන් විධිමත් ලෙස සපුරා ගැනීමය ක්‍රමවේද තිබුණු බවය. එහෙයින් මග මඟ යන තරුණියක පාළු ලැහැබකට ඇද ගෙන ගොස් දූෂණය කිරීමට තරම් ආත්මය දවන ගින්දරකින් මෙරට වැසියා පෙළුණේ නැත. ඔවුන්ට ඉසුරුමුණි පෙම් යුවළ පන්සලක නිර්මාණය කළ හැකි විය. සීගිරි චිත්‍ර ඇඳ ඒ පිළිබඳ කැටපත් පවුරේ කවි නිර්මාණය කිරීමට තරම් සෞන්දරයාත්මක විය. සිංහලයින් පැවත එන්නේ ලිංගිකත්වය ඉතා සෞන්දර්යාත්මක ලෙස විඳගත් මිනිසුන්ගෙනි. කාමසූත්‍ර ලියූ සංස්කෘතියෙන් පෝෂණය ලබමිනි. එහෙත් ඒ නිදහස තමන්ට එපා යැයි ඔවුහු අද කියති.  

එකල සමාජය සමඟ වර්තමාන සමාජය සැසඳිය නොහැකි බව ද මේ සමාජය මෙපමණින් හෝ ආරක්ෂා වී ඇත්තේ නෛතික තහංචි නිසා බව ද ඇතැම්හු පවසති. මේ ප්‍රකාශය කිසිදු තාර්කික පදනමක පිහිටා නොමැති අතර එය කාලයක් තිස්සේ අදාළ නීතිවලින් පීඩනයට පත්ව අවසානයේ ඒ නීතිවලට පෙම් බැඳීමට යොමුවීමේ ප්‍රතිඵලය පමණි. මාක්ස් කීවේ කල් යන විට වහලා තම දෑත් දෙපා බැඳ ඇති යදම්වලට පෙම් කරන බවය. එය සැබෑවකි. කාන්තාව පීඩනයට ලක් කරන පුරුෂාධිපත්‍ය ආරක්ෂා කරන්නේ කාන්තාවන්ය. ගණිකා තහනම ද එසේය. මෙය එක්තරා ආකාරයක සිංහල ෂාරියා නීතියකි.වර්තමාන කාන්තාව මහ මඟ, බසයේ, සේවා ස්ථානයේ පමණක් නොව සිය නිවසේ පවා මහා අනේක ලිංගික අතවරවලට ලක් වේ. එහෙත් එකී අතවරයන්හි හේතු සාධක සමාජයෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන්නේ ද ඔවුන්මය. අනෙක් අතට මේ නීති ක්‍රියාත්මක වන්නේ ඉතා පහත් මට්ටමේ අසරණයින්ට මිස ඇති හැකි අයට නොවේ. ප්‍රභූ පිරිස් මේ නීති පයිසයකට ගණන් ගන්නේ  නැත. නීති සුරැකිය යුතු යැයි කියන බහුතරය ඉන් පීඩිතවුවන්ය. අවාසනාවට ඔවුන් ඒ බව දන්නේ නැත. 

අප නැවත ඉතිහාසයට ගමන් කළ යුතු බවක් හෝ සුද්දා හඳුන්වා දුන් සියල්ල අධානග්‍රාහීව ඉවත දැමිය යුතු බවක් හෝ මට කීමට අවශ්‍ය නැත. කළ යුත්තේ අප මත බලෙන් පැටවූ දැනට සමාජයට අහිතකර නීති රීති ඉවත් කිරීමය. ඒවා නුතන සමාජයට යාවත්කාලීන කිරීමය. ඇතැම් සුචරිතවාදීන් මේ මහ පොළවේ පය ගසා ජීවත් වන බවක් නොපෙනෙන්නේ ඔවුන් මේ රටේ අද පවතින යථාර්ථයට දෑස් වසා ගෙන සිටින හෙයිනි. ඉරිදා පත්තර අතිරේක පුරා සම්භාහන දැන්වීම් පිරී ගොස්ය. රට පුරා විවිධ මට්ටමේ ගණිකා ක්‍රියාකාරකම් වැසි වසී. බම්බලපිටියේ මැජෙක්ස්ටික් සිටිය ඉදිරියේ සිටින තරුණයෙකු ඔහු අසලින් යන තරුණයින්ට කොඳුරා කියන්නේ "අලුත්ම තායි මසාජ් එක ඕපන් කළා" කියාය. නුගේගොඩදී පිරිමි ගණිකා නිවාසයක් වැටලුවේ ඊයේ පෙරේදාය. මේ ජාත්‍යන්ධයින්ට නොපෙනුණාට අද මුළු රටම හොර ගණිකා මඩුවකි. ස්ත්‍රී දූෂණාගාරයකි. සුද්දාගේ නීතිය තව දුරටත් වලංගු නැත. එය දැන් භාවිතය මගින් අවලංගු වී තිබේ.

අද විවාහය වනාහි දෙදෙනාගේ ආධ්‍යාත්මික බැඳීම් අනුව නොව ධනය, බලය, කුලය, රැකියාව අධ්‍යාපනය ආදී වෙනත් සාධක මත තීරණය වන්නකි. එය ඉතාම යාන්ත්‍රික සම්බන්ධයක් බවට පත්ව තිබේ. ඔවුන් අතර ගැලපීම්වලට වඩා ඇත්තේ නොගැලපීම්ය. බැඳ ගත් නිසා ගහන බෙර වැනි මේ විවාහයන් තුළ ඔවුන් පැතූ සතුට සැනසුම නැත. පොතේ ලියා දෑගිලි හුයකින් බැඳි පමණින් අඹු සැමියන් වන්නේ නැත. මේ විවාහ සංස්ථාවන් ද එක්තරා ආකාරයක ස්ත්‍රී දූෂණාගාර බවට පත්ව ඇත. එය හුදු කායික අවශ්‍යතා සපුරා ගන්නා දරුවන් බෝ කරන මස් මඩු බවට පත්ව ඇත. අප මේ තත්ත්වයන් බුද්ධියෙන් විමසා බලා අපට වැරදුනු තැන් හදාගත යුතුය. ලිංගිකත්වය යනු කතා නොකළ යුතු ප්‍රසිද්ධියේ කතා කළ විට ආනන්තරිය පාප කර්මය සිදුවන දෙයක් නොවේ. එය ඉමහත් සෞන්දර්යයක් සපිරි සොඳුරු ඉසව්වකි.

මා අනුගමනය බුදු හිමි එකල රජුන්ට නගර සෝබනී වෘත්තිය තහනම් කරනු කියා කීවේ නැත. අධික කම්සැප නොවිඳ අන්තඃපුරය විසිරුවා හරිනු කීවේ ද නැත. ඒක-භාර්යා හෝ ඒක-ස්වාමි විම පිනක් බව ද බහු-භාර්යා වීම හෝ බහු-පුරුෂ වීම පවක් බව ද කීවේ ද නැත. අප අවබෝධයෙන් යා යුතු ගමනකි ඇත්තේ. ලිංගිකත්වයට තහංචි පැනවීමෙන් අප වටා කුහක ලිංගික පීඩනයෙන් දැවෙන සමාජයක් නිර්මාණය වනු මිස සැබෑ ආධ්‍යාත්මික සමාජයක් නිර්මාණය වන්නේ නැත. ඒ සඳහා වැට කඩුලු බැඳීම භයානක තත්ත්වයකි. හුස්ම ගැනීමට සීමා පැනවීම වැනි ක්‍රියාවකි. අප අද අත්විඳින්නේ එදා වැපිරූ දෑවල ඵලය. මේ භයානක නීති ඔස්සේ අප සමාජයට එකතු වුණු මහා පීඩනයයි කාන්තා හිංසනය, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ඔස්සේ පිපිරී යන්නේ. බස් රියේ, මහ මඟ, කාර්යාලයේ ගලා යන්නේ. එහෙයින් මේ සිංහල බයිබල් ෂාරියා නීති පිළිබඳ වඩා නිරවුල් ලෙස සිතීමට බුද්ධිය පහළ වේවා යැයි පතමි. සේකරට ඉඩ ඉඩ දී නවතිමි.

එසේ වුව සොහොයුරෙනි!
ඔබ ගැන මා ලියන කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නො වැටහෙන බව මම දනිමි

ලෝකය මීට වඩා යහපත් වන
අනාගතයේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
නියවන බව ද දනිමි 
(ප්‍රබුද්ධ)






Wednesday, November 21, 2012

ගණිකා වෘත්තිය නීති ගත කළ යුතු ද?

පව්කාරයින්ට පළමු ගල ගැසීමට පෙර ....

නැවතත් ලංකාවේ ගණිකා වෘත්තිය නීති ගත කළ යුතු ද නැද්ද පිළිබඳ සංවාදය මතුව තිබේ. මෙය කලින් කලට උඩ යට යන මාතෘකාවකි. මෙවර සංවාදය හදිසියේ ඉස්මතු වූයේ දකුණු පළාත් සභාවේ එක්තරා මන්ත්‍රීවරයෙකු විදෙස් සංචාරයකින් පසු කරන ලද ප්‍රකාශයක් සමඟය. ඔහු පවසා ඇත්තේ ගණිකා වෘත්තිය නීතිගත කොට එය සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා යොදා ගත යුතු බවකි.

මේ ප්‍රකාශය සමඟ පරල වී ඇති සුචරිතවාදී උපාසක මහත්වරු අදාළ මන්ත්‍රීවරයාගේ පවුලේ උදවිය මේ සඳහා යොදා ගත යුතු බව පවසති. ඒ අතර අලි පෙරහැරේ ගෙන යාමෙන් සත්ව හිංසාවක් සිදුවන බව පවසන සතුන් මරා බිලි පූජා පැවැත්වීම පිළිබඳ මුණිවත රකින බෞද්ධ විරෝධීහු ද සිටිති. මේ පිරිස අතරට ඉතා ඉක්මණින් පල්ලිය ද ඇතැම් මංමුලාවූ භික්ෂූන් ද හිටපු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ද එක් වනු ඇත. ඔහු බාල වයස්කාරියක් දූෂණය කිරීමෙන් ප්‍රසිද්ධියට පත්විය. තමන් ගැහැනුන් 100ක් සමඟ නිදිවැදී ඇතැයි උදම් ඇනුවේ යැයි මාධ්‍යවල පළ යූයේ එතුමාය.

පල්ලිය මේ සඳහා විරුද්ධ වීම ආගමික කාරණාවකි. ඔවුහු අද එංගලන්තයේ ද නැති වික්ටෝරියානු සුචරිතවාදය ආරක්ෂා කර ගැනීමට වෙර දරති. පල්ලිය මෙන්ම ගණිකා නිවාස ආඥා පනත හා පාදඩ ආඥා පනත අප රටට යටත්විජිතවාදීන් විසින් හඳුන්වා දුන් නීති මිස මෙරට පැවති ඒවා නොවේ. පුරුෂාධිපත්‍ය රජයන ඔවුන්ගේ සංස්කෘතිය තුළ එසේ කිරීම අපට ප්‍රශ්නයක් නැත. සුදු පිරුවටවලට සහ ජාතික ඇඳුමවලට මුවා වී ස්ත්‍රී දූෂණයෙහි, ළමා අපචාරවල යෙදෙන පව්කාරයින් ද මේ සටනට පෙළ ගැසෙනු ඇත. ආගමින් බෞද්ධ සංස්කෘතියෙන් ක්‍රිස්ත්‍රියානි ඕල්කට් බෞද්ධයින් ද සිය සංස්කෘතිය රකින්නට කැති පොලු ගැනීමට ඉඩ තිබේ.

මේ සුචරිතවාදීන් දකින මට සිහිපත් වන්නේ රන්බණ්ඩා සෙනෙවිරත්න ලියූ ළඳුනේ ගීතයයි.

ළඳුනේ ………. ළඳුනේ ………….

ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ … ළඳුනේ …

තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

පව්කාර ස්ත්‍රියට පළමු ගල ගසන්නට කිසිදු පවක් නොකළ අයෙකුට ඉදිරිපත් වන්නැයි ජේසුතුමා පැවසූයේ මෙලෙස අඳුරේ පව් කොට එළියේ රවන අයටය.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා ගණිකා වෘත්තිය යොදාගත යුතු බව පවසන ඒ මන්ත්‍රීවරයා මෙන්ම ඒ පව්කාරයාට ගල් ගැසීමට සුදානම් වන ශුද්ධ ආත්මධාරීන් ද නොදන්නා දෙය නම් දැනට සංචාරක ව්‍යාපාරය සමඟ ගණිකා වෘත්තිය ගැට ගැසී ඇති බවය. දැනට ලංකාවේ ගණිකාවන් 40 000ක් පමණක් ඇතැයි පැවසේ. මේ ගණන මීට වඩා බෙහෙවින් වැඩි විය හැකිය. මේ රටේ සංචාරයක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ගණිකා වෘත්තියට වඩ යොදා ගත හැකි දේ බොහෝය. එහෙත් එය තහනම් කිරීමෙන් ලබාගත නොහැකි ප්‍රතිලාභයක් තහනම ඉවත් කිරීමෙන් ලබා ගත හැකි වනු ඇත.

ගණිකා වෘත්තිය ලොව පැරණිම වෘත්තිය යැයි පැවසේ. එය වරදක් කොට මරණ දණ්ඩනය පැනවුව ද මිහිපිටින් අතුගා දැමිය නොහැකි බව මගේ අදහසයි. අනෙක් අතට අප එය තහනම් කළ යුත්තේ ඇයි ද යන්න ප්‍රශ්න කළ යුතුය. ගණිකා වෘත්තිය මත් පැන් පානය, කුඩු පානය මෙන් මිනිසුන් විනාශ කරන දෙයක් නොවේ. එය තහනම් කිරීම නිසා සිදුව ඇත්තේ ගණිකා වෘත්තිය විවිධ සමාජ රෝග බෝ කරන සමාජ ව්‍යවසනයක් වීම පමණි.

ඒ වෘත්තියට සමාජය ලබා දී ඇති තත්ත්වය නිසා ඔවුන්ට නිසි සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ඇහිරී ඇත. විවිධ දේශපාලන බලවතුන්ගේ උපකාර ඇතිව ගණිකා මඩම් පවත්වා ගෙන යන්නන්ට මේ නිසා එකී කාන්තාවන් දැඩි ලෙස සුරාකෑමට හැකිව තිබේ. ඉතා අඩු මුදලට සිය ශරීරය විකුණා අදාළ මධ්‍යස්ථාන හිමිකරුවන් පොහොසත් කිරීමට ඔවුන්ට සිදුව ඇත. ඔවුන්ගේ අවම ජීවන තත්ත්වය හෝ සහතික කිරීමට කිසිදු මැදිහත් වීමක් නොමැත. සමාජ පිළිගැනීමක් නොමැත.

මේ රටේ ලිංගිකත්වය සඳහා තහංචි තිබුණේ නැත. මේ රටේ සංස්කෘතික ආගමික වශයෙන් දියුණුම යුගය ලෙස සැලකෙන අනුරාධපුර යුගයේ පවා එවන් තහංචි තිබුණේ නැත. එම තහනම හඳුන්වා දුන් අයගේ රටවල ද අද එවැන්නක් නැත. බුදු දහම තුළ එවන් තහනමක් පිළිබඳ සඳහන් වී නොමැත. ඇතැම් සුප්‍රකට නඟර සෝබනියන් බුදු රජුන්ගේ දායිකාවන් විය. බුදු හිමියන් විසින් උඹලා ගණිකාවන් යැයි ඔවුන් එළාව ගත් බවක් හෝ පිළිකෙව් කළ බවක් අප නම් අසා නැත.

පුරාණ නගර සෝබනී තත්ත්වයේ සිට ගණිකා වෘත්තිය අද පවතින ඛේදනීය තත්ත්වයට පත්වූයේ ද මේ විනාශකාරී තහනම නිසාය. සිය දියණිය විනාශ කරන තත්ත්වය මිනිසුන් පත්ව ඇත්තේ ලිංගික ආශාවන් සපුරා ගැනීමට නීතියෙන් මං ඇහිරීම නිසාය. එහෙයින් කළ යුත්තේ අලුතින් නීති ගත කිරීම නොව පනවා ඇති තහනම ඉවත් කිරීමය. ඊට පසු එය  විධිමත් සෞඛ්‍යාරක්ෂිත සේවාවක් කිරීමය.  
 
සිය රට දේ සිරි සැප දේ !