Sunday, October 30, 2011

මුං ඇට, කව්පි, කුරක්කන් වවන්න යල-මහ දෙකන්නයට අතරමැද කන්නයක් - පුවතක්

ඔන්න කරනවා නම් වැඩ. හැබැයි කටින් බතල හිටවලා වැඩක් නැහැ. ඒ නිසා කිව්වා නම් ඒක කරන්න ඕන. මොකද ඔයාලා කියන දේවල් දැන් ජනතාවට නිකන්ම අමතක වෙනවා අඩුයි. ඊළඟ පාර ඡන්දේ ළංවෙන කොට ජනමාධ්‍ය මේ ඔක්කෝම පොරොන්දු නැවත ජනතාවට සිහිපත් කරනවා.

වවන්න ඕන. හැබැයි මේ පොළව හූරං කාලා විනාශ කරන එක හරි නැහැ. අපි අපේ ඊ ළඟ පරම්පරාවටත් මේ පොළව පාචිච්චි කරලා මොනා හරි වවාගෙන කන්න ඉඩ තියන්න ඕන.

ඒ නිසා මේ භූමිය ආරක්ෂා කරගෙන ඉන් ප්‍රයෝජන ගැනීම අපේ යුතුකම. කොහොමද ඒක කරන්නේ. ඒක අපේ මුතුන් මිත්තෝ අගේට කළා. පරිසර හිතකාමී ගොවිතැන. වස බෙහෙත් නෑ. වස පෝර නෑ.

ඒ නිසා තමා අපට අදත් කරදරයක් නැතිව ‍ගෙදර වත්තේ හරි මඤ්ඤොක්කා නට්ටක් පොළවට යට කරලා තියලා අලයක් කන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා තමා අදත් මේ පොළව කාන්තාරයක් නොවී තියෙන්නේ.

ඒ නිසා මේ වගාවන් සම්පූර්ණයෙන් ම කාබනික පොහොර භාවිතයෙන් කරන්න දිරිමක් කරන්න. ඒ සඳහා අවශ්‍ය ආධාර දෙන්න. එහෙම කළොත් අපි පොළවෙන් යමක් ලබා ගෙන පොළවට කෘතගුණ සැලකුවා වෙනවා. අනාගත පරපුර වෙනුවෙන් ලොකු ආයෝජනයක් කළා වෙනවා.

නැත්නම් ඉතින් දවසට රත්තරන් බිත්තරයක් දාන කිකිළි‍ මරලා ඔක්කෝම බිත්තර එක පාර ගන්න ගිය මිනිහාට වෙච්චි දේ තමා වෙන්නේ. ඇමතිතුමා රත්තරන් බිත්තර දාන කිකිළි මරන්න නෙමේ නේද යන්නේ?

Thursday, October 27, 2011

ප‍්‍රභූ ආරක්‍ෂාවට වෙනම නිළ ඇඳුමක්-පුවතක්

මේ කට්ටියගේ මේ යෝජනාව ඇතුළේ තව කොටසක් තියෙනවා. ඒ තමා මැරයින්ට පොලිස් ඇඳුම අන්දන්න බෑනේ. ඒත් ප්‍රභූ ආරක්ෂක ඇඳුම හෝ ඊට සමාන ඇඳුමක් ඇඳගන්න කරදරයක් නෑනේ. ඉතින් දැන් මේ හදන්නේ කබරයා තලගොයා කරගෙන කන්න නේ. මොනවා වුණත් මුන් සුදානම් නැහැ වටේ ඉන්න ‍පතාළ සෙට් එක අයින් කරන්න. ඒක තමා ප්‍රයෝගික ගැටලුව.

පොලිස් නිලධාරීන්ට තරම්වත් දැන් දේශපාලකයන්ට ජනතාව සලකන්නේ නැහැ. පොලිසිය ජනතාවගෙන් දුරස් වුණේ දේශපාලකයින් පොලිසිය තමන්ට ඕන විදිහට නටවන්න පටන් ගැනීම නිසා. පොලිසිය දේශපාලනීකරණය වීම නිසා. දේශපාලකයින් ජනතාවට එපා වුණේ එවුන්ගේ හොර, මැර, වංචා, දූෂණ නිසා. මහජන මුදල් කාබාසිනියා කරන නිසා.

දැන් කොටි තර්ජන නැහැ. කොටි හිටියත් ඔය කියන ප්‍රභූන් වෙනුවෙන් උන් උණ්ඩයක් වියදම් කරන්නේ නැහැ. මේ රටේ ආරක්ෂාව ඕන ප්‍රභූවරු මේ පොලිස් ඇඳුමට බය වෙන්නේ නැහැ. ඒත් හීනමානෙන් පෙළෙන එවුන්ට වාහන 10-12ක් නැතුව වටේ මැරයෝ 20-30 නැතුව පාරේ යන්න බෑනේ.

හොඳ පතාළය නරක පාතාළය කියලා බෙදීමක් නොකර, ආණ්ඩුවට පක්ෂ පතාළය සහ එසේ නොවන පතාළය කියලා බේධයක් නැතිව පතාළය මර්දනය කරලා සියලු අවි ආයුධ රජය භාරයට ගැනීම තමා කළ යුත්තේ. උතුරු නැගෙනහිර දැන් කිසි සද්දයක් නැත්තේ ඒ අවි ආයුධ බහුතරයක් රජය භාරයට ගත් නිසානේ. දකුණෙත් කළ යුත්තේ එයමයි.

මේ රටේ පතාළය සම්පූර්ණයෙන් දේශපාලකයෝ තමා පෝෂණය කරන්නේ. තමන්ට ආරක්ෂාව සැපයූ දේශපාලකයා රෝහල්ගත කළ සැනින් කරාටේ ධම්මික පළා යනවා. ඒත් පළක් නැහැ. මිනිහා ඉස්සුවා. ඒත් මේච්චර කල් කොළඹ ඉඳලත් උස්සන්න බැරි වුණු මිනිහා. පොලිසියට අල්ලන්න බැරුවුණු මිනිහා.

ජනාධිපතිතුමාට මේ නීතියත් හකුළගෙන, එහෙම නැත්නම් තමන් කියන හැම දේම හිස් මුදුනින් පිළිනොගන්න එවුන්ට විතරක් මේ නීතිය අකුරට ක්‍රියාත්මක කරලා රටට ලොකු ආදර්ශයක් දෙන්න පුළුවන්. ජනාධිපතිතුමා වටේ ඉන්න මේ තක්කඩි හැත්ත නිසා ආණ්ඩුව කෙරෙහි බුර බුරා නැගෙන ජනතා අප්‍රසාදයට තව පිදුරු ටිකක් දාන්නත් පුළුවන්.

බිරිඳ ගෘහ මූලිකයා විය යුතුයි – විජිත් විජයමුණි - පුවතක්

අපේ රටේ කවුරුත් පිරිමි හිතා ඉන්නේ ගෙදර රජා තමන් කියලා. ඇත්තට ම ගෙදර ගෘහමූලිකයා කාන්තාව තමා. සියලු තීරණ ගන්නේ එයා. මොනවා කතා කළත් අවසානයට සිද්ධ වෙන්නේ එයාලට ඕන දේ එයාලට ඕන විදිහට.රණ්ඩුවෙලා හරි, චාටුනේ හරි 64 මායමෙන් හරි එයාලාගේ අරමුණ ජය ගන්න විදිහ එයාලා දන්නවා.

හැබැයි පිරිමියා ගෘහ මූලික වෙන තැනකුත් තියෙනවා. ඒ තමා ඡන්ද හිමි නාම ලේඛනය. ඒක හරියට විලියම් ගොපල්ලවගේ ජනාධිපතිකම වගේ. නිකන් ගරු තණතුරක් විතරයි.

ඇත්තට ම ගෙදර සබ්බ සකල මනාවක් වැඩ කෙරෙන්නේ ඇගේ අතින්. පිරිමි ඉස්සර ගෘහ මූලික වුණේ රැකියාව කළේ එයා නිසා. දැන් දෙන්නාම රස්සා කරනවා. සමහර පවුල්වල බිරිඳ රට. සැමියා ගෙදර වැඩ සහ දරුවන්ගේ වැඩ කරනවා.

දෙන්නාම රස්සා කරන පවුල්වල බිරිඳ රැකියාවට අමතරව ගෙදර සියලු වැඩත් කරනවා. බොහෝ විට සැමියා මත පැටවෙන බර අඩුයි. ඔහු පවුලේ අඩු වගකීමක් දරන්නේ.

ඥාතීන් සමග සබඳතා පැවැත්වීම වගේ දේවල් කෙරෙන්නේ ඇගේ ප්‍රධානත්වයෙන්. විවාහයෙන පස්සේ දෙදෙනා සමීප වෙන්නේ සැමියාගේ පවුලට නෙමේ බිරිඳගේ පවුලට. දරුවෝ පවා වඩා සමීප වෙන්නේ බිරිඳගේ පවුලට. මේ තත්ත්වය වෙනස් වෙන්නේ ඉතාම කලාතුරකින්. මමත් අයිති එහෙම පවුලකට.

ඒ නිසා මට නම් හිතෙන්නේ මේක අලුතින් කළ යුතු දෙයක් නෙමේ. දැනටමත් බිරිඳ තමා ප්‍රධානියා. ඒක සමහරු පිළිගන්නේ නැහැ. සමහරු පිළිගන්න කැමති නැහැ.

ස්වභාවයෙන් ම ගැහැනිය නම්‍යශීලියි. ඇය පිරිමියා තරම් දරදඩු නැහැ. ඒ නිසා ඇයට පහසුයි සිය ආධිපත්‍ය රැක ගන්න. හිනාවෙන්, චාටුවෙන්, කඳුලින්, තොදොල් බසින් මේ ආධිපත්‍ය ඇය රැගෙන යනවා. අපි ඒකට කැමති නැත්නම් අපි ඒක පිළිනොගෙන ඉමු. හැබැයි අපි පිළිනොගත්තා කියලා ඉර වටේ පෘථිවිය කරකැවෙන එක නතර නේනේ නැහැ. පෘථිවිය වටේ ඉර කැරකෙන්නෙත් නැහැ. හැබැයි බැලූ බැල්මට අපි වටේ ඉර කැරකෙනවා නේද?
 
සිය රට දේ සිරි සැප දේ !