Wednesday, June 30, 2010

මෙහෙව් ආණ්ඩුවක් !

ආණ්ඩුව ගැන විපක්ෂයට ප්‍රධාන විවේචන තුනක් තිබේ. එකක් නම් සුද්දන්ට සිංහලෙන් බැණ ඉංග්‍රීසියෙන් දණ ගසා කන්නලව් කරන බව ය. සුද්දාට සිංහල නොතේරෙයි. එහෙයින් බැන්නාට සුද්දා තරහා නොවේ. සිංහලයාට ඒ බැනුම් තේරෙයි. එහෙයින් ඔහු සිතන්නේ සුද්දාට ද එය තේරි ඇති බව ය. ඉන් සිංහලයා අමන්දානන්දයට පත් වෙයි. එහෙත් ඉංග්‍රීසියෙන් සුද්දාට වැඳ වැටී කරන කන්නලව් බොහෝ සිංහලයින්ට නොතේරෙයි. එහෙයින් ඔහු සිතන්නේ සිංහලෙන් මෙන් ම ඉංග්‍රීසියෙන් ද සුද්දාට පලු යන්න බැන්නා කියා ය. මේ විග්‍රහයෙන් විපක්ෂය උත්සාහ කරන්නේ ආණ්ඩුව මෙරට ජනතාව ඉදිරියේ පුරන් අප්පු චරිතය ද පිට රැටියන් ඉදිරියේ නිවට චරිකයක් ද රඟපා ජනතාව ගොනාට අන්ඳවන බව පෙන්වීම ය.

දෙවන විවේචනය ආණ්ඩුව ලෝක බලවතුන් ඉදිරියේ ගමේ හංදියේ චණ්ඩියෙකු ලෙස හැසිරෙන බවය. යුරෝපය අපට ලබා දෙන බදු සහනය ලබා ගන්නට උවමනාවක් නැත්තේ එහෙයිනි. ඔවුන් සමග කතා බස් කර එම බදු සහනය ලබා ගැනීමටවත් මේ ආණ්ඩුවට හැකියාවක් නැතැයි ඉන් කියවේ. මේ නිසා පහර වදින්නේ ලක්ෂ සංඛ්‍යාත ඇඟලුම් සේවක පිරිස් වැනි දුප්පත් අසරණ ජනතාව වෙත යැයි විපක්ෂය චෝදනා කරයි.

තෙවන විවේචනය මේ ආණ්ඩුව ලෝක බලවතුන් ඉදිරියේ දණ ගසන නිවට ආණ්ඩුවකි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල කොන්දේසි ඉටු කරමන් රජය මහජන සුබ සාධන අරමුදල් කප්පාදු කරමින් රට අගාධයට ගෙන යයි. මෙවර අයවැයෙන් ඒ බලවතුන්ගේ කොන්දේසි ඉටු කළ නිසා ණය මුදලක් ද ලැබිණි. ඒ අනුව සුද්දා ඉංග්‍රීසියෙන් ලියා දුන් අයවැය සිංහලෙන් කීම පමණි ආණ්ඩුව කර ඇත්තේ. එහෙයින් මේ නම් බටහිර ආධිපත්‍ය දොහොත් මුදුන් දී පිළිගත් ආණ්ඩුවකි.

සමස්ත කතාවෙන් කියවෙන්නේ ආණ්ඩුව දෙබිඩි නොව තෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවය. රට යම් ආධාර මුදලක් ගතහොත් ඒ සුද්දාට වැඳ වැටිමෙනි. යම් සහනයක් නොලද හොත් ඒ ආණ්ඩුවේ දඩබ්බරකමක් අසමත්කමක් නිසා ය. මේ පරස්පර විරෝධි අදහස් අනුව ලංකාවේ අඩු තරමින් ආණ්ඩු තුනක්වත් තිබිය යුතු ය. නැත්නම් විපක්ෂය මේ ආණ්ඩුව කුමක් කළත් එය විවේචනය කරන අන්ත පටු තැනකට පිරිහී තිබිය යුතුය.

මේ සත්‍ය දකිනවුන් ආණ්ඩුවේ බත් බැලයෝ ය. ITN බලමින් රජයට කඩේ යනවුන් ය. උන්ට ආණ්ඩුවෙන් බ්ලොග් ලියන්න සල්ලි ලබා දෙයි. එහෙත් විපක්ෂය කියන මේ සියලු කතා යළි වමාරන්නේ ලෝකය අතැඹුලක් සේ දත් මහා ප්‍රාඥයෝ ම ය .

Tuesday, June 29, 2010

ඊළමේ සිංහල හඬ

පහුගිය දිනක මම බීබීසී සංදේශය වැඩසටහනට සවන් දුනිමි. එවිට එම සංවාදයේ මුල් කොටස විකාශය වී තිබිණි. නිවේදක රජයේ උතුරු නැගෙනහිර පුනරුත්තාපන වැඩසටහන් ජපන් විශේෂ නියෝජිත යශුෂි අකාශි පසසා ඇතැයි කී විට අදාළ පුද්ගලයා කීවේ, යශුෂි අකාශි ගම්බිම්වලට නොගිය බවත් ඔහුට රජය පෙන්වූ දේවල් බලා එසේ නිගමනය කළ නොහැකි බවත් ය. කොටින් ම උතුරේ පුනරුත්තාපන වැඩ කිසිවක් රජය කර නැත යන්න ඔහුගේ අදහස විය. මම එකවර ම සිතුවේ මේ නම් කොටි රූකඩ ටීඑන්ඒ කාරයෙක් බව ය. එහෙත් එතරම් චතුර ලෙස ඔවුන්ට සිංහල කතා නොකළ හැකි බව සිහි වූ මම විපිලිසර වීමි. වැඩසටහන අවසන ඔහු ජවිපෙ විජිත හේරත් බව ඇසූ මම ගැල් ගැසුනෙමි.

ඊට පසු එක්සත් ජාතීන්ගේ මහ (ලොකු) ලේකම් මූන් කී බෑන් මෙරට යුද අපරාධ සෙවීමට කමිටුවක් පත් කිරීම ගැන ජවිපෙ ටිල්වින් සිල්වා මහත් ප්‍රසාදයෙන් කතා කළේ ය. එය ඔවුන් සලකා ඇත්තේ තමන් ලද වරප්‍රසාදයක් ලෙස ය. මෙසේ රටට හිතකර ප්‍රකාශයක් වෙත් නම් එය ප්‍රතික්ෂේප කර රටට අහිතකර ප්‍රකාශවලට අත් පොළසන් දී විසිල් ගැසීම අද ජවිපෙ දේශපාලනය වී තිබේ. මේ කටයුත්ත එදා කළේ ටීඑන්ඒකාර‍යෝ ය. ඒ හඬ සිංහල බසින් ලොවට ගෙන ගියේ වික්‍රමබාහු කරුනාරත්න, සුනන්ද දේශප්‍රිය ආදි ත්‍රිවීල් වමේ පක්ෂ සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ප්‍රජාව ය. අද මේ සියල්ලෝ ඉතිහාසයේ කුණු බක්කියට විසි වී ගොස් හමාර ය. ඒ හඬ නිහඬ වූ තැන දැන් ජවිපෙ බෑඟිරි තළයි.

ඊළාම්වාදී දෙමළ ඩයස්පෝරාවේ හඬ සිංහලට නැගීමේ තුප්පහි වැඩේ අද ජවිපෙ භාරගෙන ඇත්තේ ඉතිහාසේ කුණු බක්කියේ සිට ම ය. ඔවුන් කුණු බක්කියට විසි වූයේ 2005 පසු ගත් අමන දේශපාලන තීන්දුවලට පිං සිදුවන්නට ය. මේ රටට ආදරය කරන පිරිසක් තවමත් ජවිපෙ බිම් මට්ටමේ සිටිති. ඔබේ නායකත්වය ඔබ මේ ගෙන යන්නේ දේශපාලන කනත්තට ය. මේ නායකත්වයට ඔබ යුෂ උරා විසි කළ හැකි උක් දණ්ඩක් පමණි. එහෙයින් අවදියෙන් සිටින්න. සැබෑ සතුරා හඳුනාගන්න. දුර සිටින සතුරාට වඩා මිතුරු වෙසින් ළඟ සිටින සතුරාගෙන් පරිස්සම් වන්න. ඊළමේ සිංහල හඬට එරෙහිව නැගී සිටින්න.

Tuesday, June 22, 2010

විපක්ෂ නායක ධූරය 10 වරකට සීමා කරයි!

ව්‍යස්ථාව කඩිමුඩියේ වෙනස් නොකරන්නැයි ගයන්ත කරුණාතිලක මහතා රජයට තර්ජනය කළේ ය. 1978 ව්‍යස්ථාව තනා වසර 10ක් ගත වන විට, එනම් 1988 වන විට, එය 16 වරක් සංශෝධනය කළේ එජාපයයි. මේ ව්‍යස්ථාව තැනූ එජාපයයි. තමන් ම ව්‍යස්ථාව තනා වසර 10ක් තුළ සංශෝධන 16ක් ගෙනා පිරිස, ඒ ව්‍යස්ථාවට වසර 32ක් පිරුණු විට කරන සංශෝධන කඩිමුඩියේ කරනවා යැයි කීම තරම් තවත් විහිළුවක් ඇද්ද?

77, ඇට අටක් දීමටත් ධර්මිෂ්ට සමාජයක් උදාකිරීමටත් ජේ.ආර්. උතුමා බලය ඉල්ලුවා මිස, ව්‍යවස්ථාවක් තැනීමට බලය ඉල්ලු බවක් නම් අප අසා නැත. ජනාධිපති තනතුරක් ගැන ද කීවේ නැත. මැතිවරණයේ දී ව්‍යවස්ථාවක් ගැන නොකී නිසා පසුව තැනූ ව්‍යස්ථාව බල රහිත වීද? ජනාධිපතිකම බල රහිත වීද? නැත. ඒ කිසිවක් වූයේ නැත.

රටේ පරමාධිපත්‍ය හිමි ජනතාවට ය. ඔවුන් කැමති නායකයෙක් පත් කර ගැනීමට ජනතාවට අයිතියක් තිබේ. ඒ නායකයා නරක නම් ඔහු ගෙදර යැවීමට ද ජනතාවට අයිතියක් තිබේ. එසේ ම යම් නායකයෙකුට ජනතාව කැමති නම් ඔහු දෙවරක් නොව ඕනෑම වාරයක් සිය නායකයා වශයෙන් පත් කර ගැනීමේ අයිතිය ද ජනතාවට තිබිය යුතු ය. ජනතාව සතු ඒ අයිතිය අහිමි කිරීම වැරදි ය. එසේ අහිමි කර ඇති ජනතා පරමාධිපත්‍ය අයිතිය නැවත ලබාදීමට ජනතාව ලෙස අප කැමති ය. එය ජනතාවට අහිමි වූ අයිතියක් නැවත ලබා දීමකි.

එහෙත් ජනතාව 20 වරක් ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක් විපක්ෂ නායක ධූරයේ සිටීම නම් මහ අවුලකි. රටක විපක්ෂ නායක යනු ඊළඟ ආණ්ඩුවේ නායකයා ය. එහෙත් අපේ විපක්ෂ නායක ඊළඟ ආණ්ඩුවෙත් විපක්ෂ නායකයාම ය. මේ නිසා රටට ප්‍රබල විපක්ෂයක් නොලැබේ. විපක්ෂයේ හොඳ නායකත්වයක් බිහි නොවේ. ජනතාව පවතින ආණ්ඩුවට වඩා මේ විපක්ෂ නායකයාට අකමැති හෙයින් ද්වි-පක්ෂ ක්‍රමය තුළ නැවත පවතින ආණ්ඩුවට බලය දෙනු විනා වෙන විකල්යක් ජනතාවට නැත.

එහෙයින් 'කෙනෙකුට රටේ විපක්ෂ නායක දූරය දැරිය හැක්කේ 10 වරක් පමණි' කියා ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු ය. 20 වාරයක් රටේ නායකත්වයට සුදුස නැතැයි ජනතාව තීරණය කළ පුද්ගලයෙක් නැවත නැවත ඊළඟ ආණ්ඩුවේ නායකයා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීම ජනතා පරමාධිපත්‍ය හෑල්ලුවට ලක් කිරීමකි. එහෙයින් විපක්ෂ නායක ධූරය 10 වරකටවත් සීමා කර, එය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කරන්නැයි අපි ඉල්ලා සිටිමු.
 
සිය රට දේ සිරි සැප දේ !