Sunday, May 30, 2010

තිතට මත

මතට තිත වැනි වැඩසටහන් ඉතා යහපත් වුවද එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අපට සෑහීමකට පත්විය නොහැකිය. ඇතැම් ඇමතිවරු පහුගිය කාලයේ චයිනීස් යන නාමය යටතේ නව පන්නයේ තැබෑරුම් විවෘත කළ අතර මතට තිත, තිතට මත විය. සෑම අයවැයකින් ම මත්ද්‍රව්‍යවලට පනවන බදු මුදල් ඉහළ දැම්ම ද භාවිතයේ විශාල අඩුවක් දක්නට නොලැබේ. කෙසේ වුවද ගමේ කසිප්පු මුදලාලිට නම් මේ ආණ්ඩුව එතරම් යහපත්වී නැත. මේ නිසා අහළ පහළ තැබෑරුම්වල ආදායම් ඉහළ ගොස් තිබේ. මෙය කසිප්පුකාරයින්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කැයි ඇතැම් බ්ලොග්කරුවන් ලියන්නට බැරිකමෙක් ද නැත.

ආණ්ඩුව යැපෙන්නේ මත්ද්‍රව්‍ය මත පනවන බදුවලින් යැයි කීව ද එසේ බදු ලෙස ලැබෙන්නේ ද.ජා.නි. 12%කි. මත්ද්‍රව්‍ය භාවිතය නිසා රෝගී වන අයට ප්‍රතිකාර කිරීමට ද.ජා.නි.22%ක් වැය වන නිසා එහි සත්‍යයක් නැති බව පැහැදිළි වෙයි. මේ නිසා අයවැයෙන් මත්ද්‍රව්‍යවල බදු ඉහළ දමන අතර මත්ද්‍රව්‍ය භාවිතය අධෛර්යමත් කිරීමට තවත් පුළුල් ක්‍රියා මාර්ගවලට යා යුතුය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට පටහැනිව යන ඇමතිහොරු ගැන තීන්දුවක් ගත යුතුය. මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති ආදීනව ජනතාව අතරට ගෙන යාමට මීට වඩා පුළුල් ක්‍රමවේද අනුගමනය කළ යුතුය. ඉස්සර මෙන් දැන් බස්වල සිගරට් උරන්නන් නැත. සිගරට් තව දුරටත් සමාජ තත්ත්වය නිරූපණය කරන දෙයක් ද නොවේ.

දුම්වැටියේ එක් කෙළවරක ගිනි දැල්වී ඇතැයි ද අනෙක් කෙළවර මෝඩයෙක් එල්ලී ඇතැයි ද කීවේ මහත්මා ගාන්ධිතුමාය. මේ මෝඩයෝ අතර ආචාර්ය මහාචාර්යවරු, ගුරුවරු, චීවරධාරීහු ඇතුලු උගත් නූගත් සමස්ත සමාජයේ සියලු පැතිකඩ නියෝජනය කරන උතුමෝ ම වැජඹෙති. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කර එසේ කරන අය නීතියේ රැහැනට හසු කර ගැනීමට බලය පවරා ඇති පොලිස් රාලහාමිලා තැන් තැන්වල හොරා දුම් උරමින්, දුම් උරන්නන් නීතියේ රැහැනට හසු කර ගැනීමට බලා සිටිනු අප දැක තිබේ. මේ සියලු දෙනාට මරුවාගෙන් ගැලවීමක් නැත. මරුවා මේ සියලු දෙනා අකාලයේ සිය වසඟයට ගනී. කෙසේ වුව ද දුම් නොඋරන අය අක්‍රිය දුම්පානයට ගොදුරු වීම භයානකය. ඊට එරෙහිව ඔබ සැම විටම ක්‍රියාත්මක විය යුතුය.

Saturday, May 29, 2010

දළඳා පෙරහැර නවතව්!

විනයෙන් තොර දැනුම භයානකය. එතැන බුද්ධිය ද නැති වූ කල අතිභයානකය. මිනිසා අතට පත් දැනුම සිය බුද්ධිය නමැති කෝවෙහිලා උණුකර, විනය නම් පෙරහන් කඩින් පෙරාගත යුතුය. එකලය ඒ දැනුම සමාජයට හිතකර වන්නේ. විනයක් නැති අනුවණයින් ලබන දැනුම සෑම කල්හිම විනාශකාරී වන්නේ පෙරකී ක්‍රියාවලිය සිදු නොවන හෙයිනි. ඒ දැනුම වඳුරාට දැළි පිහිය අහුවීමට නොදෙවෙනිය.

උක්ත කාරණාව මැනවින් පැහැදිලි වන්නේ;ඇතැම් බ්ලොග් අඩවි බලන විටය. මොවුන්ට අනුව දුටුගැමුණු රජු කළේ ආගමික යුද්ධයකි. මහායානික අභයගිරිය විනාශ කිරීම ආගමික සංහාරයකි. ඒ නයින් සෙසු ආගමිකයින් තම ආගම ව්‍යාප්ත කිරීමට කරන ලද සියලු ආක්‍රමණ, සංහාර බෞද්ධයින් ද කර තිබේ. ළමුන් මහණ කිරීම ළමා අයිතිවාසිකම් උල්ලංඝයකි. සිය මානසික විකෘතිවලට ගැළපෙන මතවාද නොදරන්නන් අන්තවාදීන් යැයි හංවඩු ගසන මොවුන්ට තමන් සිටින අගාධය නොපෙනේ. තමන් කරපින්නා ගෙන සිටින අන්තවාදය නොපෙනේ. තම දැනුම් දරිද්‍රතාව කිසි කලෙක නොපෙනේ.

බටහිරින් ගලා එන ඕනෑම කසිකබල් මතවාදයක් කරගසා ගෙන අප නම් ප්‍රබුද්ධයින් වම්හයි පාරම් බෑම පමණි; මේ කූප මණ්ඩුකයින්ට කළ හැක්කේ. මොවුන්ට සිය ස්වාමිවරුන් උගන්වා ඇත්තේ 'තම මතවාද දරන්නා මිනිසෙකි; අනෙකා ත්‍රස්තවාදියෙකි' කියාය. ඉතින් බටහිර මානව අයිතීන්, ළමා අයිතීන් දිවි හිමියෙන් 100% ආරක්ෂා කළ යුතුය. නැත්නම් අපි අසමත්ය. ආක්‍රමණයකට එරෙහිව සටන් වැදීම ද අපරාධයකි. එය ආගමික සංහාරයකි.

ඉදිරියේදී මොවුන් සත්ව අයිතිවාසිකම් උල්ලංඝනය වන හෙයින් ජාතික කොඩියෙන් සහ සඳකඩ පහනින් සිංහයා ඉවත් කළ යුතුයැයි කියනු ඇත. අලි ඇතුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට දළඳ පෙරහැර නවතන්නැයි කියනු ඇත. ඉන් නොනැවතී කාන්තා අයිතිවාසිකම් සුරැකීමට ළමා ප්‍රජනන කාර්යය තමන් වෙත පවරන්නැයි කීවත් අප පුදුම විය යුතු නැත.

තායිලන්තයේ මෙන් සියලු බෞද්ධයින් කලක් සිවුරේ සිටීමේ සම්ප්‍රදායක් මෙරට නොතිබීම මෙවන් අසංස්කෘතික මිනිසුන් බිහිවීමෙහිලා කළ බලපෑම සුළුපටු නැත. ඉතිහාසය, සාහිත්‍යය උදුරාගත් මුල් සිඳුණු පරපුරකින් මීට වඩා යමක් ලැබීය හැකිද කියා වරෙක සිතෙයි.

Friday, May 28, 2010

තරු සහ මෙරු

මේ රටේ රූපවාහිනී ජාලය සිය ප්‍රමුඛ මාධ්‍ය වගකීම ලෙස සලකන්නේ ගායක තරු තේරීමය.මේ සංදර්ශන ගොන්න දකින පිටරැටියෙකුට ඉතිහාසය පුරා ලංකාවේ කිසිදු ගායකයෙක් බිහිව නැතැයි ද එහෙයින් මෙසේ වහා වහා ගායකයින් තෝරනු ඇතැයි ද සිතෙනු ඇත. මේ තරු තේරීම ඇරඹී දැන් වසර කිහිපයක් ගතව ගොස්ය. රුපියල් මිලියන ගණනින් වපුරමින්, රටක් කළඹමින් තේරු එකදු sms තරුවක් නව පරපුරේ කසුන් කල්හාර අසලටවත් ළං වේද? අද ආපසු හැරී බලන අප හමුවේ නැගෙන ප්‍රශ්නය, මේ තරගවලින් අපට එකදු ප්‍රතිභාසම්පන්න ගායකයෙක්, සංගීතවේදියෙක් බිහි කරගත හැකි වීද යන්න නොව, එසේ කළ නොහැකි වූයේ ඇයිද යන්නය.

මූලිකව මේ මාධ්‍ය ආයතන සඳහා අවැසි වූයේ සංගීත ක්ෂේත්‍රයට ඵලදායි නිෂ්පාදයක් බිහි කරනට නොව තම වෙළඳ අභිලාෂ ඉටුකර ගැනීමටය.එහෙයින් ඒ තරුවල සංගීත හැකියාව, ප්‍රතිභාව, පසුබිම හැර සෙසු සියල්ල විනිශ්චය කෙරිණි.යෞවනෝන්මාදයට අවැසි සරාගී රූපසපුව, පේක්ෂක අනුකම්පාව දිනාගත හැකි දුප්පත්කම,වෛද්‍ය වැනි රටේ සම්භාවනාවට ලක්වන විෂය හැදෑරීම ආදිය එහිලා ප්‍රමුඛ විය.මේ ඔස්සේ පේක්ෂක මනස සන්තර්පණය කරමින්, sms,වෙළඳ දැන්වීම් හරහා එම ආයතන මිලියන සිය ගණනින් ආදායම් ලැබීය.

ඇඟ ලොමු ඩැහැ ගන්වන මේ ත්‍රාසජනක ක්‍රීඩාව අවසන තරුවක් තෝරා උපයාගත් මුදලින් සොච්චමක් තෑගී කෙරිණි. මේ බොහෝ තරු දුප්පත්ය. ඉතින් අනේක හේතු නිසා සිහින ජයගත නුහූ පිරිස් තම සිහින දිනූහයි මේ සිහිනයේ වැද ස්වයං තෘප්තියක් ලබති.ඒ සිහිනයේ පරමායුෂ කෙළවර වන කල තව අලුත් සිහිනයක් ඔබේ ආලින්දයට එළඹෙනු ඇත.

මේ මාධ්‍ය ආයතනවලට සැබෑවටම රටේ සංගීත ක්ෂේත්‍රයට යමක් කිරීමේ අවංක අභිලාෂයක් ඇත්නම් කළ යුතු වැඩ කොතෙක්ද? නැති බැරි අය ඇති හැකි කරන ජනසවිය, සමෘද්ධිය පන්නයේ මේ මුදල්, නිවෙස්, වාහන වෙනුවට සැබෑ දක්ෂයෙක් තෝරා දෙස් විදෙස් සංගීත සම්ප්‍රදායන් උගැන්මට, දෙස් විදෙස් අධ්‍යාපනය ලබනට අවැසි සියලු පහසුකම් දිනිනම් කෙතරම් අගේද? එහෙත් මුදලාලිලාට ලාභ මිස අනෙකක් කුමටද? එහෙයින් ඔබට තව කලක් වහා පියාපත් ලැබ අහසට ඉගිළ ඊට වැඩි වේගයෙන් බිමට වැටෙන මෙරු දකිනට වාසනාව ලැබෙනු ඇත.
 
සිය රට දේ සිරි සැප දේ !