Tuesday, July 5, 2022

අගමැති පුටුව අනුරට දෙනු...!

 අගමැති ධූරයත් කැබිනට් මණ්ඩලය තේරීමේ බලයත් තමන්ට ලබා දෙන්නේ රට භාර ගැනීමට සූදානම් බවටත් වර්තමාන පාර්ලිමේන්තුව තුළින් ම කැබිනට් මණ්ඩලය තෝරාගෙන මාස 06ක් ඇතුළත රට යථා තත්ත්වය⁣ට පත් කරන බවටත් ජවිපෙ නායක අනුර දිසානායක පසුගිය 26 වෙනිදා ඓතිහාසික අනුරාධපුර නගරයේ දී ඓතිහාසික ප්‍රකාශයක් ක⁣ළේය.

අනුර කුමාරගේ එම ඓතිහාසික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට තමා අගමැති ධූරයෙන් ඉවත් වීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ලොව මෙතෙක් කිසිවෙකු නොකළ මේ මහා හපන්කම කරන්නේ නම් අනුරට නොබෙල් ත්‍යාගය ද හිමි විය යුතු බව රනිල් අවධාරණය කළේය.

74 වසරක ශාපලත් ධනපති ක්‍රමය විසින් රට හෙළු අගාධයෙන් ගොඩගැනීමට අනුර දිසානායකට සහ ජවිපෙට ලැබෙන මේ අනර්ඝ  අවස්ථාව මග නොහරින බව අපගේ බලවත් විශ්වාසයයි. ඒ සඳහා ජනපති ඉවත් විය යුතු යැයි කොන්දේසි දමමින් පළා යන්නට තරම් පහත් මට්ටමට අනුර නොවැටෙන බව ජනතාව දනී. පසුගියදා අනුරාධපුර දේශනාවේ දී ද අනුර එවැනි කිසිදු කොන්දේසියක් ප්‍රකාශයට පත් කළේ නැත.

ඉතින් අවු. 05න් රට හදන බව කියන සජබ ද එවැනි දින වකවානුවක් පවා ප්‍රකාශයට පත් නොකරන පොහොට්ටුව ද අනුරට හය මාසෙන් රට ගොඩගන්නට ඉඩලබා දිය යුතුය. පැත්තකට විය යුතුය. ජනාධිපතිවරයා ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දිය යුතුය. අනුර ඉල්ලන ඕනෑ ම සහයෝගයක් ලබාදිය යුතුය. අනුර හෙට ම අගමැති ධූරය භාරගෙන වැඩේට අතගැසිය යුතුය. අනුර හය මාසෙන් රට ගොඩගන්න ක්‍රියාන්විතයට එරෙහි වන  ද්‍රොහීන්ට එරෙහිව ජනතාව සිටගත යුතුය.

Sunday, July 3, 2022

සිපෙට්කො සභාපතිකම ජනකට...

මහජන උපයෝගීතා කොමිසමේ ජනක රත්නායක පහු ගියදා කිව්වා හරියට වැඩෙි කරනවා නම් පෙට්‍රල් ලීටරයක් රු. 200ට අඩුවෙන් දෙන්න පුළුවන් කියලා. මේ විදිහට තෙල් ගණන් යන්නේ මිස් මැනේජ්මන්ට් නිසා නෙමෙයි, නෝ මැනේජ්මන්ට් නිසා කියලත් කිව්වා.

ඊයේ ඇමැති කාංචන කිව්වා, ජනක රත්නායකට ඉන්ධන ලංකාවට ගෙනැත් රු. 200ට අඩුවෙන් දෙන්න පුළුවන් නම් සිපෙට්කෝ එකේ සභාපතිකම අරගෙන වැඩේ කරන්න කියලා.



මම හිතන්නේ සෑහෙන වැඩ්ඩෙක් වන ජනක රත්නායක මේ අවස්ථාව අතහැරල තමන්ට මේ රටට සේවය කරන්න ලැබෙන්න අවස්ථාව මග ඇරගන්න එකක් නෑ.

ජනක රත්නායක කියන්නේ සිපෙට්කො සභාපතිකම ගන්න එක මග ඇරලා පෙට්‍රල් ලීටරයක් රු. 190කට විතර ගහගන්න මේ රටේ ජනතාවට ලැ⁣බෙන්න යන වාසනාවට පයින් ගහන ද්‍රෝහියෙක් නෙමෙයි කියල අපට විශ්වාසයි.


Saturday, July 2, 2022

ඩොලර් ගේන්න ඩීසල් දියවු...!

 ඇඟළුම් කම්හල සේවය කරන පිරිසක් තමන්ගේ බසයට ඩීසල් ඉල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක විරෝධතාවක් කරනු දැක්කා. ඒ මිනිස්සු කියනවා අපි මේ විරෝධතාවට ගතකරන එක පැයකට රටට රු. ලක්ෂ 5ක ශ්‍රමය අහිමි වෙනවා කියලා.

ඇත්තට ඉතා ම සොච්චම් මුදලකට ශ්‍රමය වගුරමින් මේ රටට ඩොලර් ටික ගෙනෙන ඇඟළුම් සේවය අත්‍යවශ්‍ය සේවයක් නොවී මේ රටට ජනතාවට ශාපයක් වෙච්චි රාජ්‍ය සේවයේ යම් යම් කොටස්වලට අත්‍යවශ්‍ය සේවා ලේබලය ගහගෙන රටට ලැබෙන තෙල් ටිකත් කොල්ල කන්න ඉඩලබා දීම කනගාටුුවට කාරණයක්.

අර ගාමන්ට් මිනිස්සු තමන්ගේ කාලයේ වටිනාකම දන්නවා. කවදාවත් තමන්ගේ පෞද්ගලික වාහනවලට තෙල් ඉල්ලලා විරෝධතා කරල නෑ. ඒ මිනිස්සු සියලු දුෂ්කරතා දරාගෙන වෙනදා යතුරු පැදියක ත්‍රීවිලරයක ගාමන්ට් බස් එක යන පාරට ආව නමි අද පාපැදියක නැත්නම් පයින් ඇවිත් සේවයට එනවා. පණ අදින ආර්ථිකයට ඩොලර් හුස්ම පොදක් දෙන්න සටන් කරනවා.



ඒ අතර අද සමස්ත රාජ්‍ය සේවය ම වාහන හිමියෝ වෙලා සේවයට වාර්තා නොකර පෝලිම්වල ලැගලා ඉන්නවා. ඒ අර ගාමන්ට් යන කාන්තාවන් රටට ගේන ඩොලර් ටිකෙන් එයාලගේ වාහනවලට පෙට්‍රල් ගහගන්න.  හැබැයි මේ අතර රාජකාරිය දේවකාරිය කරගත් වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවක පිරිසක් පාපැදිවල වගේ ම බසයක එල්ලී රෝහලට එන බවත් කෘතවේදීව සිහිපත් කරන්න ඕන.

ඇත්තට ම ගාමන්ට් බස් එකට ඩීසල් නොදී රාජ්‍ය සේවකයින්ට පෙට්‍රල් ගෙනැත් බෙදීම නොකළ යුතු දෙයක්. රටට ඩීසල් ගෙනැත් පොදු ප්‍රවාහනය සක්‍රීය කළා නම් හරි. රටේ ලංගම සහ පෞද්ගලික බස් ඇනිය ම මහා පාරට දැම්මා නම් දුම්රිය ටික දිව්වා නම් මේ අර්බුදය ජය ගන්න පුළුවන්.

මේ දුෂ්කර අවස්ථාවේ පෙට්‍රල් පෝලිම්වල දවස් ගණන් ගතකරන එක මොන තරම් අපරාධයක්ද කියල අර එතරම් උගත් යැයි සිතිය නොහැකි ගාමන්ට් කාන්තාව දන්නවා. මේ ඩීසල් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන පැය පවා රු. ලක්ෂ 5ක් රටට අහිමි කරන එක ගැන ඈට දුකක් තීනවා.

මේ කාලයේ වටිනාකම අපේ කාලකන්නි රාජ්‍ය සේවයට කිසිදා දැනෙන්නේ නෑ. ඔවුන් තරම් කාලය නාස්ති කරන පිරිසක් මේ ලොව තව ඇතැයි මා සිතන්නේ නෑ. ඔවුන් වර්ජනය කරන විරෝධතා කරන කාලය සඳහා මේ රටේ වැඩ කරන මිනිස්සුන්ගේ බදු මුදලින් පඩි ගෙවීම මහා අපරාධයක්. එය කවදා හෝ නිවැරදි විය යුතුයි.

මේ රටේ අධ්‍යාපන සෞඛ්‍ය සේවා රජය යටතේ පවත්වා ගෙන ගියත් ඒ සඳහා පවා පෞද්ගලික පාසල්, විශ්වවිද්‍යාල, රෝහල් හඳුන්වා දෙමින් සියල්ල පෞද්ගලීකරණය කළ යුතුයි. පෞද්ගලික විශ්වවිද්‍යාලයක් නැති ලෝකේ එක ම රට අපි.

අන්තවාදී දේශපාලන පක්ෂ බලය හොබවන වෘත්තීය සමිති මාෆියාවේ අල්ලේ නැටවෙන විදුලිය, ගෑස්, ඉන්ධන ආදී කිසිදු ක්ෂේත්‍රයක් තව දුරටත් පාඩු  ලබමින් රජය යටතේ පවත්වා ගෙන යාමෙන් රටට හෝ ජනතාවට කිසිදු සුගතියක් නෑ. එමගින් රටට ලැබෙන කිසිදු සුරක්ෂිතතාවක් නැති බව මෙි රටෙි රාජ්‍ය සේවකයෝ ජනතාවට කනට ගහලා කියලා දීලා තියෙනවා.

මේ රටට ඩොලර් උපයන ඇඟළුම් ඇතුළු සියලු ක්ෂේත්‍රවලට වගේ ම රට පුරා ආහාරපාන ඇතුළු භාණ්ඩ ප්‍රවාහනය රන වාහන සඳහා ඩීසල් ලබා දෙමින් රටේ ආර්ථිකයේ අවසන් පණනළ රැකගැනීම ආණ්ඩුවේ වගකීම. ඒ වගේ ම පොදු පුවාහන සේවා වහා ම සක්‍රීය කළ යුතුයි.

 
සිය රට දේ සිරි සැප දේ !