මේ අවස්ථාවේ මිල්කො ආයතනය පිටිකිරි නිෂ්පාදනය වෙනුවෙන් දියර කිරි, කල්කිරි, රසකළ කිරි, මුදවපු කිරි, අයිස්ක්‍රීම් නිෂ්පාදනය නතර කිරීම හෝ අඩු කිරීම විශාල වරදකි. මේ නිසා පාරිභෝගික ජනතාව අතර මහත් ජනප්‍රිය හයිලන්ඩ් අයිස්ක්‍රීම් වෙළඳපොළ වෙනත් පිරිසක් අතට පත් වනු ඇත. ආයතනයට ලාභ ගෙනා අයිස්ක්‍රීම් නිෂ්පාදනය මේ උත්සව සමයේ අතහැර දැමීම ආයතනයේ විනාශයට මිස යහපතට හේතු වන්නේ නැත.
අනෙක් අතට ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔස්සේ දියර කිරි ප්‍රවර්ධනය සඳහා පොරොන්දු වී ඇති පසුබිමක දශක ගණනාවක් තිස්සේ බහුජාතික සමාගම් විසින් පිටිකිරි පානයට ඇබ්බැහි කළ ජනතාව ඉන් මිදි නැවතත් සියවස් ගණනාවක් හුරුව පැවැති දියර කිරී පානයට යොමු වන පසුබිමක නැවත පිටිකිරි ප්‍රවර්ධනය විශාල අපරාධයකි.
පිටිකිරි නිෂ්පාදනයට වැයකළ යුතු දියර කිරි ප්‍රමාණය අධික නිසා කිරි නිෂ්පාදනය වැඩි නොකර පිටිකිරි නිෂ්පාදනයට යොමු වන විට සෙසු නිෂ්පාදන අඩු කිරීමට සිදුවන අතර එය මිල්කො ආයතනයේ මූල්‍ය තත්ත්වයට ද අහිතකර ලෙස බලපානු ඇත. මේ නිසා නැවතත් ජනතාව දියර කිරි පානයෙන් පිටිකිරි පානයට ඇබ්බැහි වනු ඇති අතර එමගින් අවසානයේ බහුජාතික සමාගම්වල උවමනාව ඉටු වනු ඇත. ජනතාවගේ නීරෝගීභාවය ද අහිමි වනු ඇත.
සැබවින් ම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්නේ නම් දැන් කළ යුතුව ඇත්තේ දියර කිරි තව තවත් ප්‍රවර්ධනය කරන අතර අමාත්‍යංශය සමග එක්ව කිරි නිෂ්පාදන ප්‍රවර්ධනයට කටයුතු කිරීමය. ඒ කිසිවක් නොකර මෙතෙක් වෙළඳපොළේ පැවැති දියරකිරි, රසකළ කිරි, අයිස්ක්‍රීම්, කල්කිරි, යෝගට් ආදී සියල්ල සීමා කර කිරිපිටි ප්‍රවර්ධනය කරන්නේ කාගේ උවමනාවට ද? ඒ මේ රට වෙනුවෙන් ද? නැත්නම් නවසීලන්තය වෙනුවෙන් ද?
හිටපු සභාපතිවරයාට කිරිපිටි නිෂ්පාදනය කළ නොහැකි වුව ද තමන් කිරිපිටි නිෂ්පාදනය කළේ ය යන ස්වයං තෘප්තිය ලැබීම හැර එමගින් මේ රටට අත්වන වාසිය කුමක් ද? කිරිපිටි වෙනුවෙන් සමස්ත මිල්කො නිෂ්පාදන බිලි දීම අවසානයේ ලෙඩා මළත් බඩ සුද්දයි කීමට වඩා වැඩි දෙයක් ඉතිරි කරනු ඇද්ද? නිෂ්පාදන ජනතා ඉල්ලුමට අනුව ලබා දෙමින් බහුජාතික සමාගම් ග්‍රහනයෙන් මේ රටේ ජනතාව මුදා ගැනීමටත් අනාගතයේ නිරෝගී පරපුරක් උරුම කර දීමටත් නව සභාපතිවරයාට විශාල වගකීමක් ඇත. මිල්කො දියර කිරි, රසකළ කිරි, මුදවපු කිරි, අයිස්ක්‍රීම්, යෝගට් ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදනය කර ඉන් අනතුරුව කිරිපිටි නිෂ්පාදනයට යොමු වන්නේ නම් එහි කිසිදු වරදක් නැත. එහෙත් අවාසනාවට සිදුවන්නේ අටුව කඩා පුටුව හැදීමකි.
එසේ ම යහපාලනාණ්ඩුව සමයේ අවසාන අවුරුදු දෙක තුන ඇතුළත මිලියන 2000ක් පාඩු ලැබූ ආයතනය, ඉතා ම දුෂ්කර කාල වකවානුවක වුව ද නැවත වාර්ෂිකව මිලියන 400ක් පමණ ලාභ ලබන තැනට ගෙන ඒමට හිටපු සභාපතිවරයා කටයුතු කළේ ය. එම සියලු ජයග්‍රහණ කෙහෙල්මල් පිටිකිරි වෙනුවෙන් බිලිදීමේ ප්‍රතිවිපාක දෝර ගලා යනු ඇත්තේ වර්තමාන සභාපතිවරයා මතින් නොව ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව මතිනි.
ඒ නිසා මිල්කො වර්තමාන සභාපතිවරයා මීට වඩා වගකීමෙන් සහ අනාගත දැක්මකින් කටයුතු කර මිල්කො ආයතනය ද සෞභාග්‍ය දැක්මෙහි අරමුණු ද මුදුන්පමුණුවා ගැනීමට කටයුතු කරනු දැකීම අපේ අපේක්ෂාවයි.
නාමල් උඩලමත්ත
.jpg)

