Sunday, February 13, 2022

වර්ජකයින්ට ජනතාවට දෂ්ට කිරීමට ඉඩදිය යුතු ද?

රෝහල් වැඩ වර්ජන කල්ලිය මේ වන විට ඔවුන්ට පඩි ගෙවන මේ රටේ ජනතාව පිටුපස එළව එළවා දෂ්ට කරමින් සිය ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කරමින් ඇත. කොවිඩ් නිසා ඇද වැටුණු රටේ අනේක අගහිඟකම්වලින් පීඬා විඳින ජනතාව රෝහලට යන විට එතැත වැඩ වර්ජනයකි. වරෙක වෛද්‍යවරුය. තව වරෙක සුළු සේවකයෝ ය. තව වරෙක හෙදියෝ ය. අනතුරුව පරිපූරක සේවා ය. 

මෙලෙස වර්ජනය කරමින්, මාර්ග වසමින් විරෝධතා කරමින් කවර ජවුසමක් නැටුව ද සිය රැකියාවේ වගකීම ඉටු නොකර මහ ජනතාවට කෙතරම් විනාශයක් කළ ද මේ නරුම කල්ලියට මාසය අවසානයේ නියමිත පරිදි මහ ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් පඩි ලෙස ගෙවති. රාජ්‍ය සේවය නිසා ලොව කිසිදු රටක ජනතාවක් මෙවැනි අසරණ ඉරණමකට ගොදුරු කර නැත.

74 වසරක් තිස්සේ මේ රට විනාශ වීමට එක් ප්‍රධානතම හේතුව පාලකයින් යැයි කිවව් ද සැබෑවට ම මේ රට වනසන්නේ ම්ලේච්ඡ වර්ජන පිටුපස සිටින දේශපාලන කල්ලියයි. රටේ ජනතාවගේ මුදල් ගිලින රාජ්‍ය සේවයයි. එම රාජ්‍ය සේවය පුරවන පාලකයින් මෙන් ම පිංපඩි රාජ්‍ය සේවකයෝ ද ඊට වගකිව යුතුය. මේ රටේ රාජ්‍ය සේවකයින් ලබන බොහෝ වරප්‍රසාද පෞද්ගලික අංශයට නැත. 

එහෙත් පෞද්ගලික අංශය මෙලෙස වර්ජනය කරන්නේ නැත. පාරවල් වසාගෙන උද්ඝෝෂණ කරන්නේ ද නැත. වැඩි පඩි ඉල්ලා ආයතනවල වැඩ නතර කරන්නේ ද නැත. ඔවුන්ට විශ්‍රාම වැටුප් ඇත්තේ ද නැත. කොටින් ම රාජ්‍ය අංශය ලබන බොහෝ වරප්‍රසාද ඔවුන්ට නැත. එහෙත් ආණ්ඩුව ද රු. 5000 බැගින් බෙදා දුන්නේ රාජ්‍ය අංශයටය. නමුත් මේ රටේ සමස්ත නිෂ්පාදනයෙන් 80%ක් සිදුවන්නේ පෞද්ගලික අංශය අතිනි. රාජ්‍ය සේවයේ දායකත්වය 20%කි. සමස්ත ආර්ථිකයට 20%ක දායකත්වයක් ලබා දෙන පිරිසක් නඩත්තු කිරීමට මේ රටේ ජනතාවට අපා දුක් විඳීමට සිදුව ඇත.



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ජනතාව විශ්වාසය තැබුවේ මේ ජරාජීර්ණ ක්‍රමය වෙනස් කිරීමටය. එහෙයින් ඔහු දැන් ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුය. පළමුව මේ රටේ වර්ජකයින්ට පඩි ලැබෙන ආකාරයට වෙනස් කර ඇති නීතිය වහාම සංශෝධනය කර වර්ජනය කරන, මහජන සේවය ප්‍රතික්ෂේප කරන කිසිවෙකුට මහජන බදු මුදලින් වැටුප් නොලැබෙන ආකාරයට නව නීති සම්පාදනය කළ යුතුය. ලොව කිසිදු රටක නොමැති වර්ජකයින්ට පඩි ගෙවන ම්ලේච්ඡ නීතිය වෙනස් කළේ නම් මේ වර්ජන කල්ලිය සෑහෙන අඩපණ කළ හැකි ය. 

එසේ ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල මෙන් කිසිදා වර්ජනය නොකරන මහජන සේවය අකුරට ම ඉටු කරන නව රෝහල් පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ සියලු දිස්ත්‍රික්ක මට්ටමින් ස්ථාපිත කළ යුතු ය. එමගින් ජනතාවට වඩා විනීත ආචාරශීලී සේවයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. වර්ජන ත්‍රස්තවාදීන් කිසියම් හේතුවක් මත වර්ජනයක් දියත් කළ ද එවිට සිදුවන මහජන පීඬාව අවම කරගත හැකි ය. සිය වර්ජන කේවල් කිරීමේ හැකියාව අහිමි වන හෙයින් එවැනි ව්‍යාපෘතියක් සඳහා වෘත්තීය සමිති මාෆියාව සෞඛ්‍ය සේවය හමුදාකරණය කරන්නේ යැයි කිඹුල් කඳුලු සලා ගෙන එරෙහි වනු ඇති අතර ඊට කිසිසේත් හිස නොනැමිය යුතුය.

එසේ ම රජයේ රෝහල්වල ආරක්ෂක සේවා සහ ආපනශාලා මෙන් ෆාමසි, පවිත්‍රතා සහ රසායනාගාර පහසුකම් ආදිය පෞද්ගලික අංශයට ලබා දිය යුතුය. එවිට එන එන ආණ්ඩුවලට එන එන සෞඛ්‍ය ඇමැතිට අවශ්‍ය ආකාරයට සිය හෙන්චයියන් ගෙනැවිත් මෙම ආයතනවල පිංපඩි කන රස්සා දීමේ අවස්ථාව ඇහිරෙනු ඇත. එවිට කිසි ම විටක ෆාමසි, පවිත්‍රතා සහ රසායනාගාර සේවා ආදිය වර්ජනය කරමින් ජනතාව පීඩාවට පත්කළ නොහැකි වනු ඇත. කිසිදු රජයේ රෝහලක ආපනශාලාවක් හෝ ආරක්ෂක සේවාවක් වර්ජනය කළේ යැයි අප අසා නැත. ඒ අදාළ ක්ෂේත්‍ර දෙක ම පෞද්ගලික අංශයට ලබා දී ඇති හෙයිනි.

ජනාධිපතිවරයා සිය ජන වරමට යුක්තිය ඉටු කිරීමට මේ සඳහා පෙරමුණු ගත යුතු අතර මෙම වෙනස්කම් කිරීමට ජනතාව ද ජනාධිපතිවරයාට බලකළ යුතුය. මේ මහා අසාධාරණයට එරෙහිව ජනතාව දැන්වත් නැඟී සිටිය යුතුය. මහ ජනතාවගේ බදු මුදලින් පඩි ලබමින් ඒ ජනතාව ම පෙරළා තළා පෙළා දමන තක්කඩින්ගේ ඊනියා කම්කරු අයිතිවාසිකම්වලට වඩා ඉහළින් ඒ කල්ලියට පඩි ගෙවමින් ඔවුන්ගේ පවුල් නඩත්තු කරන ජනතාවගේ අයිතිවාසිකම් තැබීම වෙනුවෙන් සමාජ මතයක් නිර්මාණය කළ යුතු ය.

නාමල් උඩලමත්ත

Wednesday, February 2, 2022

රාගමින් එළියට පනින නවක වධ ත්‍රස්තවාදය...

රාගම වෛද්‍ය පීඨ ගැටුම සඳහා මූලික වී ඇත්තේ නවක වධ සිද්ධියක් බව මේ වන විට අනාවරණය වී තිබේ. මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් නොදියුණු ගෝත්‍රික ම්ලේච්ඡ නවක වධය තුරන් කිරීමට නොහැකි වීම පිළිබඳ අප ජාතියක් ලෙස ලැජ්ජාවට පත්විය යුතුය.

තම පවුල් පසුබිම, පෙනුම ආදිය පදනම් කරගත් හීනමානය සහ ඊනියා සමාජවාදී මාක්ස්වාදී විෂබීජ මනස්ගත වීම නිසා හට ගන්නා වෛරය පදනම් කරගත් තිරිසන් හැඟීම් රිසි සේ පිට කරන තෝතැන්නක් බවට විශ්වවිද්‍යාල පද්ධතිය පත්වීම ඉතා ම අවසානාවන්ත තත්ත්වයකි.

මෙම සිදුවීමට සම්බන්ධ දෙවන වසර සිසුවා නවක වධයට එරෙහි වීම නිසා දිගින් දිගට ම එම ම්ලේච්ඡ හිංසන කණ්ඩායමට ගොදුරක් වී තිබේ. ඔහුට මෙයට පෙර ද ප්‍රහාරයක් එල්ල වුව ද එය මාධ්‍යයට පුවතක් නොවන්නේ ඒ සඳහා ඇමැති සම්බන්ධයක් නොමැති නිසා විකිණිය නොහැකි නිසා විය යුතුය. 

එහෙත් මේ අවස්ථාවේ ඇමැති අරුන්දික ප්‍රනාන්දුගේ සම්බන්ධය නිසා මාධ්‍ය එය තලු මරමින් විකුණනු පෙනේ. ඇමැති හෝ ඔහුගේ පාර්ශ්වය යම් වරදක් සිදුකර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට තර්කයක් නැත. කෙසේ වුව ද ඊට මුවා වී නවක වධ කණ්ඩායමට සමාජ අනුකම්පාව ලබා ගෙන නීතියෙන් ගැළවී යාමට කිසිසේත් ඉඩදිය යුතු නැත. 

ඊනියා විශ්වවිද්‍යාල සම්ප්‍රදායට මුවා වී සිසුන් හිංසනයට ලක් කිරීමට සහ මානසික රෝගී කල්ලිවලට හිංසන කාම සංතෘප්තිය ලබා දීමට එරෙහිව අප නැගී සිටිය යුතුය. මේ රටේ කිසිදු පිළිගත හැකි ජන පදනමක් නොමැති දේශපාලන මතවාදයක දඩබිම් බවට පත්ව ඇති විශ්වවිද්‍යාල භූමිය එම ම්ලේඡත්වයෙන් මුදා ගනු විනා ඊට තෙල් සාත්තු කිරීමට ඉඩ දිය යුතු නැත. 

අනෙකාගේ වද වේදනාවෙන් සහ හිංසනයට ලක් නොවී ඉගෙන ගැනීමේ අයිතියට පවා ගරු නොකරන මෙම ම්ලේච්ඡ බලවේගවලට රටක දේශපාලන බලය ලැබුණහොත් කුමක් වනු ඇති දැයි බුද්ධිමත් ජනතාව සිතා බැලිය යුතු ය. තමන් සමග එකට උගනින සිසුවෙකුගේ හිසට පරිගණක මොනිටරයකින් පහර දී මරා දමන ත්‍රස්ත මානසිකත්වයක් ගොඩනඟන මෙම කල්ලියකින් රටක සමාජයක අභිවෘද්ධිය පැතීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීමකි.

නවක වධ ම්ලේච්ඡත්වයට එරෙහිව උපරිම නීති ක්‍රියාත්මක කළ යුතු අතර ඊට එකඟ නොවන ඕනෑ ම ශිෂ්‍යයකු විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරිය යුතු ය. නවක වධයට පක්ෂපාතී වන අතලොස්සක් විශ්වවිද්‍යාල ගුරුවරුන්ට ද ගව ඝාතකාගාර වැනි ඔවුන්ගේ මානසික මට්ටමට ඔබින රැකියා ලබා දිය යුතු ය.

නාමල් උඩලමත්ත..

Tuesday, February 1, 2022

වැඩ වර්ජන තහනමට එරෙහි විය යුතු ද?

රේගුව, වරාය, ජල සම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව ආදිය රටේ ආර්ථික මර්මස්ථාන වර්ජනයට කිසිදු ඉඩක් ලබා නොදිය යුතු බවත් ඒවා හමුදාව පොලිසිය මෙන් ව්‍යවස්ථාව මගින් ම වර්ජනය කළ නොහැකි ආකාරයට නීති සම්පාදනය කළ යුතු බවත් අධිකරණ අමාත්‍ය අලී සබ්‍රි පසුගියදා ප්‍රකාශ කළේ ය.

වැඩවර්ජනය කිරීම කම්කරු අයිතියක් බවත් එම අයිතිය උදුරා ගැනීමට කටයුතු කිරීමට සූදානම් වුවහොත් දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රැගෙන පාරට බසින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තර්ජනාංගුලිය දිගු කළේ ඉන් අනතුරුව ය.

රටේ ජනතාව කන බත් ඇටයක් ගාණේ බදු ගෙවමින් නඩත්තු කරන රාජ්‍ය සේවය එම ජනතාවගේ අවශ්‍යතා ඉටු නොකරන්නේ නම් එම ජනතාව කබළෙන් ළිපට ඇද දමන්නේ නම් එම ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක වගකීම ඊනියා කම්කරු අයිතීන් රැක ගැනීම ද නො එසේ නම් සමස්ත ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීම ද යන්න අප මෙහි දී සලකා බැලිය යුතු ය.

කිසියම් ඉල්ලීමක් දිනා ගැනීම සඳහා භාවිත කළ යුතු අවසාන අවිය වැඩවර්ජනය වුව ද අද මේ රටේ රාජ්‍ය සේවකයින් ඕනෑ ම ගැටලුවක් සඳහා විසඳුම් සොයන්නේ වැඩවර්ජනයක යෙදෙමිනි. ලොව කිසි ම රටක සේවකයෙකුට නොමැති වැඩවර්ජන කාලය තුළ වැටුප් ලබන සාපරාධී අයිතියට ද හිමිකම් කියන මෙරට රාජ්‍ය සේවය සෑම දිනක ම වර්ජන දියත් කරන්නේ එය සිය රාජකාරිය ලෙස සලකන්නාක් මෙනි.

පසුගිය සමයේ මොවුන් දියත් කළ සියලු ම වැඩවර්ජන මේ රටේ සමස්ත ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නොව සිය පෞද්ගලික අරමුණු මුදුන් පුමුණුවා ගැනීම වෙනුවෙනි. කොවිඩ් වසංගතය නිසා රටත් ජනතාවත් දැඩි අසීරු අඩියක පසුවන අවස්ථාවක ගුරුවරු වර්ජනය කළේ ජනතාවට තවත් බදු ගසා අපේ පඩි වැඩිකරපල්ලා කියමිනි. මේ නිසා කොවිඩ්වලින් බැටකෑ දරුවන්ගේ අධ්‍යාපනයට රටේ අනාගත ශ්‍රම බලකායට කෙතරම් විනාශයක් වූයේ ද? 

පසුගියදා කුරුණෑගල රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වර්ජනය කළේ කිසිවෙකු වෛද්‍යවරයෙකුට පහර දුන් බව පවසමිනි. මේ කල්ලිය කොළඹ නුවර මාර්ගය ද වසා ගෙන දියත් කළ විරෝධතාවට මගී ජනතාවගේ දැඩි විරෝධය එල්ල විය. 

මහජන බදු මුදලින් වැටුප් ලබමින් මොවුන් සිදුකළ මේ සාපරාධී ක්‍රියාව නිසා එදින බෙහෙත් ගැනීමට පැමිණි, මොවුන්ට පඩි ගෙවන සිය දහස් ගණනක් රෝගීන් අසරණ විය. ඇතැමෙකු බෙහෙත් නොමැති නිසා මියැදෙන්නට ද ඇත. තවත් දහස් ගණනක් මහ මග රස්තියාදු විය. මොවුන්ගේ ඊනියා අයිතිවාසිකම් රකිනවාද? නැත්නම් ජනතාවගේ අයිතිය රකිනවා ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතුය.

සති ගණනක් වැයකර යථා තත්ත්වයට පත්කළ නොරෙච්චෝලේ  අංක 03 ටරබයිනය නැවත පැය ගණනක් තුළ ඊයේ අක්‍රීය වී ඇති අතර මෙම ටර්බයිනය අක්‍රීය වීමට හේතුව පසුගිය දෙසැම්බර් 03 වෙනිදා හදිසි විදුලි බිඳ දැමීමක් සඳහා එහි අපරාධකාරයින් සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා බව වාර්තා වෙයි. 

මේ නිසා ජාතික විදුලි පද්ධතියට මෙ.වො. 270ක් අහිමි වී ඇති අතර ජනතා බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් එය නැවත ප්‍රතිසංස්කරණයට සහ වැඩි මිල ඩීසල් විදුලි බලාගාර සඳහා දැවී යයි. මේ අපරාධ කල්ලිවලට අයිතීන් ලබා දෙන්නේ ද නොඑසේ නම් මොවුන් ගාලු මුවදොර පණ යන තුරු එල්ලා තබන්නේ ද යන්න අප තීන්දු කළ යුතුය.

තමන් අකමැති දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කළේ යැයි කියමින් දුම්රිය රියදුරු වෘත්තීය සමිතිය පසුගියදා වර්ජනයක් ආරම්භ කළ අතර දුරගමන් දුම්රිය ජනතාව සමග කැලෑවල අතහැර මේ නරුමයින් දුම්රියෙන් බැස ගොස් තිබිණි. විදෙස් සංචාරකයින් ද දරු මල්ලන් අතින් කටින් එල්ලා ගත් ජනතාව ද කැලෑ කඩා ගෙන පිළිසරණක් සොයා එන ආකාරය දක්නට ලැබිණි. 

දුම්රිය මගී ජනතාව ඇතුළු මේ රටේ ජනතාවගේ බදු මුදලින් පඩි ලබන දුම්රිය රියදුරු කල්ලිය සිය ඊනියා අයිතිවාසිකම් වෙනුවෙන් අර ජනතාව මහ මග අතහැර දමා යන්නේ රාජ්‍ය සේවකයින් ලෙස නොව ත්‍රස්තවාදීන් ලෙස ය. පාස්කු ප්‍රහාරය නිසා බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නැවත පණ ලබන විට ම එම සංචාරක පිරිස බල්ලන් බලලුන් මෙන් කැලෑවක අතරමං කරන රටක් පිළිබඳ ඔවුන් ලෝකයට ලබා දෙන පණිවිඩය කුමක් ද?

මේ කිසිදු අවස්ථාවක මොවුන් වර්ජන කැඳවන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් නොව සිය පටු පෞද්ගලික ආත්මාර්ථය උදෙසා ය. ඒ සඳහා බිල්ලට ගන්නේ ඔවුන්ට ලක්ෂ ගණනින් පඩි ගෙවන මේ රටේ පොදු මහ ජනතාව ය. රාජ්‍ය සේවයට වැටුප් ගෙවමින් නඩත්තු කරන මේ ජනතාවගේ අයිතිවාසිකම් ඊනියා කම්කරු අයිතිවාසිකම්වලට වඩා ගව් ගණනක් උඩින් තිබිය යුතුය. 

ඒ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ආණ්ඩුවක මූලික වගකීමය. ඒ අයිතිවාසිකම් කඩකරන ඕනෑ ම එකෙකුට එරෙහිව ආණ්ඩුව නැඟී සිටිය යුතු ය. ඒ ජනතාවගේ අයිතිවාසිකම් කොල්ලකන කල්ලියේ අයිතිය රකින්නට පෙරට එන කල දුටු කල වළ ඉහින මෝඩ පුතාණන්ගේ තරම මේ රටේ ජනතාව තේරුම්ගත යුතුය. 

එහෙයින් සබ්‍රි සඳහන් කළ ක්ෂේත්‍ර මෙන් ම සෞඛ්‍යය, ප්‍රවාහන ආදී අංශ ද අත්‍යවශ්‍ය සේවා බවට පත්කර එම ක්ෂේත්‍රවල කිසිදු වැඩවර්ජනයක් දියත් කළ නොහැකි ආකාරයට ව්‍යවස්ථාවට නීති සම්පාදනය කළ යුතු ය. ඊට අකමැති ඕනෑ ම අයකුට මහ ජනතාව වැටුප් ගෙවමින් නඩත්තු කරන එම රැකියාවලින් ඉවත්ව තමන් කැමති රස්සාවක් කරකියා ගැනීමට කිසිදු තහනමක් නැත.

නාමල් උඩලමත්ත

 
සිය රට දේ සිරි සැප දේ !