Monday, December 20, 2021

මුරුත්තෙට්ටුවේ හිමි පවත කියා දෙන පාඩම..෴

මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ මම පුිය කරන චරිතයක් නෙමෙයි. නමුත් මම ඊට වඩා පිළිකුල් කරන  චරිතයක් සමග වුණත් තැනට ඔබින විදිහට හැසිරෙන හැටි මට කොළඹ විශ්වවිද්‍යාලයෙන් කියල දුන්නා. පරිණතකම කියන්නේ තමන් අකමැති තමන්ට අකමැති අය එක්ක සුහදව ගනුදෙනු කරන ආකාරය කෙටියෙන් ලියන විදිහ කියල අද මට හිතෙනවා.

මම ශිෂ්‍යයෙක් විදිහට අවුරුදු හතරක් වගේ ම ඇකඩමික් පර්යේෂකයෙක් විදිහටත් කොළඹ විශ්වවිද්‍යාලයේ අවුරුදු 10ක් වැඩ කළා. ඒ කාලය තුළ අපට විෂය දැනුම වගේ ම සමාජ දැනුමත් කොළඹ සරසවියෙන් නොමැන ම පෙවූ බව ගෞරවයෙන් කියන්න ඕන.

විශ්වවිද්‍යාලයක උපාධිය .ලබා ගන්න උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වීම අනිවාර්ය නෑ. එහි දී පදක්කම් පිරිනැමීම, සංකේතාත්මක උපාධි මංජුසාව ලබා දීම සහ ඡායාරූප කිහිපයක් ගැනීම හැර කිසිවක් වන්නෙත් නෑ. ඕනෑ ම හේතුවක් මත එම උලෙළට නෑවිත් ඉන්නත් පුළුවන්.

කාට හරි කුලපති මුරුත්තෙට්ටුවේ  හාමුදුරුවන්ට විරෝධය පාන්න ඕන නම්, එහිමියන් අතින් උපාධි මංජුසාව ගන්න අකමැති නම් උපාදි ප්‍රදානෝත්සවට නෑවිත් ඉන්න තිබුණා. එහෙම කළා නම් ඇත්තට ම තමන් අවු. 3-4ක් කොළඹ වශ්වවිද්‍යාලයේ ගත කරලත් එළියට ගියේ හිස් ටිං එකක් වගේ කියලා රටට ලෝකයට නොපෙන්වා ඉන්න තිබුණා. 

මේ වගේ ඊනියා රැඩිකල් පට්ට මෝඩ විරෝධතාවලින් සමාජයට අනාවරණය වෙන්නේ තමන්ගේ හිස්කම මිස වෙන කිසිවක් නෙමෙයි. අපි ගරු කරන්න ඕන අපි උගත් විශ්වවිද්‍යාලයේ කුලපති කියන ධූරයට මිස ඒ පුද්ගලයට නෙමෙයි. 

හුදු උගත්කම මිස විනයක් නැති මේ වගේ අය කිසිම ආයතනයකට බඳවා ගන්න පෞද්ගලික ව්‍යවසායකයෙක් කැමති නෑ. ඉතින් ලිප්ටන් වටරවුමේ වාඩිවෙලා ආයේම ආණ්ඩුවේ පිංපඩියකට සෙට් වෙනවා ඇර විකල්පයක් නෑ.

අනික කුලපතිකම හුදු දේශපාලන පත්වීමක් කියන එක හරි ම මෝඩ බොළඳ අදහසක් නිසා ඊට පාන විරෝධයත් ඒ වගේ ම බොළඳයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම දේශපාලනිකයි. කුලපති විතරක් නෙමෙයි, උප කුලපතිත් දේශපාලනිකයි. 

ඒ විතරක් නෙමෙයි, මේ ආයතනවලට කථිකාචාර්යවරු බඳවා ගැනීමත් දේශපාලනිකයි. කුලය, පළාත, ආගම, කල්ලිය විතරක් නෙමෙයි, ස්ත්‍රී පුරුෂභාවය පවා පළමු පන්තියේ සමාර්ථ, පදක්කම්වලට වගේ ම ආධුනික කථිකාචාර්ය තනතුරුවලටත් ශාස්ත්‍රීය නිපුණතා සහ ඇල්මට වඩා බලපානවා. 

අපේ අවසාන වසර හොඳ ම නිබන්ධනයට හිමි කුසලානය මට ලබා නොදීමට එක ම හේතුව එක් ඇදුරෙකුට එය සිය සිත් ගත් තරුණියකට ලබා දීමට තිබූ නොතිප් ආශාව බව මට කීවේ ඒ කමිටුව නියෝජනය කළ තවත් ආචාර්යවරයෙක්මයි. 

ගුණදාස අමරසේකර පද්‍ය විචාර සම්ප්‍රදාය ගැන මා කළ නිබන්ධනය පැත්තකට දාලා ඉපැරණි කොරවක්ගල් මුරගල් ? ගැන කළ නිබන්ධනයකට සම්මානය ලැබුණා. (මා උගත්තේ සිංහල අධ්‍යයනාංශයේ මිස ඉතිහාසය හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක යැයි නොසිතත්වා!)

නමුත් ඒ මිතුරිය හෝ ගුරුවරයා සමග මගේ කිසි ම අහිතක් නැත්තේ, එය මේ ගණයේ පළමු හෝ අවසාන සිදුවීම නොවන නිසා. අනෙක් අතට ඒ දීප්තිමත් ආචාර්යවරයාගෙන් මා බොහෝ දේ උගත් බව අදත් සිහිපත් කරන්නේ ඉතා ම ගෞරවයෙන්. 🙏

මා විශ්වවිද්‍යාල ජීවිතයේ මුහුණ දුන් ඇතැම් අමිහිරි අත්දැකීම්වලට එරෙහිව නීතිය හමුවට  යන්න කී ගුරුවරුත් හිටියා. නමුත් ඒ වගේ උඩ බලලා කෙළ ගහන වැඩවලට මම කැමති වුණේ නෑ. ඒක මා නොලද දේට වඩා ලද දේට කරන අගෞරවයක්. 

ඒ වගේ ම කොළඹ විශ්වවිද්‍යාලය එහි විසල් පුස්තකාලය මම අදත් හිතින් පැදකුණු කරනවා. ඒ ගෞරවය අභිමානය ඉදිරියේ අර අමිහිරි අත්දැකීම් නොගිණිය යුතු තරම්. මම මේ ටික වුණත් කීවේ අදේශපාලනික පිවිතුරු කිසිවක් නෑ කියල කියන්න ඕන නිසයි.

අනෙක් අතට මේ කුලපති විරෝධය හුදු උගත්කම නිසා උදුම්මාගත් හිසින් සහ ආණ්ඩු විරෝධය ප්‍රකාශ කරන තැතක් විතරයි. 

උගත්කම වගේ ම බුද්ධිය තිබෙනවා නම් මේ මට්ටමට කිසිවෙක් වැටෙන්නේ නෑ. බොහෝ උපාධිකාරයින්ට වඩා දැනුම සමාජාවබෝධය ඔවුන් නූගතුන් යැයි ගරහන අයට තිබෙනවා. ගුරුවරයාගේ නිබන්ධනය කට පාඩම් කර විභාග පාස් කළ පමණින් ඒ දැනුම ලබන්න බෑ.

සරසවියේ සමාජවාදී ආණ්ඩු පිහිටුවන, ධනපති භංග කරන සටන්බිමේ මම හිටියේ නෑ. පන්ති පහ කරල, උසස් පෙළ සහ අනතුරුව මහජන බැංකුවේ සේවය කළ කාලයේ ම එහි හිස් බව පසක් වුණා. 

ඒ නිසා මගේ විශ්වවිද්‍යාල කාලය තුළ මගේ වැඩි ම කාලය ගෙවුණේ විශ්වවිද්‍යාල මහ පොත්ගුලේ. ඒ කාලය තුළ මම විෂයානුබද්ධ පොතපත වගේ ම විෂයානුබද්ධ නොවන පොතපත දහස් ගාණක් කියවලා ඇති. 

මම තරම් ඒ කාලය තුළ පුස්තකාලය පරිහරණය කළ කිසිවෙක් හිටියේ නෑ. මගේ මිත්‍රයෝ මා මුණ ගැහෙන්න කෙළින්ම ආවේ පුස්තකාලයට. කවුරු හරි මං ගැන විමසුවොත් ඔවුන් මා නොදැකම කීවේ "ලයිබ්‍රියේ ඉන්නවා" කියල. පුස්තකාලයේ මා ඉන්න කොටසේ විදුලි පහන්, විදුලි පංකා නිවා ගෙන, එහි සේවකයින්ටත් ඉසිඹුවක් සලසා, සැඳෑ කළුවර සමග අවසාන සීනුව නාද වන මොහොතේ ඒ මහා පොත්ගුලෙන් නික්ම යන හැටි මට අද වගේ මතකයි.

ඒ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වැදගත්කම හෝ වටිනාකම මට උපාධි මංජුසාව ලබා දෙන තැනැත්තා මත රැඳෙන බවක් කවදාවත් හිතුණේ නෑ. අපි කතෝලිකයෝ නොවුණත් එවක කුලපති ඔස්වල්ඩ් ගෝමස් පියතුමා  ඉදිරියේ බොහෝ ම ගෞරවයෙන් හිස නමලා උපාධි මංජුසාව ගත්තා. 

නමුත් විශ්වවිද්‍යාලයට ගිහින් එහි නිසි ඵල නෙළා නොගත්, රතු විප්ලවයේ කොටස්කාරයෝ වෙලා අවසානයේ වසර 3-4කින් හිස් අතින් ලිප්ටන් වට රවුමට තල්ලු වන අයෙකුට මැද සාලයේ තබන උපාධි පුදානෝත්සව පින්තූරය මහ මෙරක් වෙන්න පුළුවන්.

මේ රටේ මහ ජනතාව බොහොම අමාරුවෙන් එක් උපාධිධාරියෙකුට තමන්ගේ මුදල් ලක්ෂ 10ක් විතර වැය කරල නෙළා ගන්න අස්වැන්න හුළඟට යනවා දකින කොට මොනවා හිතෙනවා ඇද්ද?

නාමල් උඩලමත්ත

Saturday, November 20, 2021

ආනන්දගේ තෙල් හිඟය සහ රූපවාහිනී පුවත්...

තෙල් සංස්ථාවේ සේවය කර විශ්‍රාම ගිය ආනන්ද පාලිත පසුගිය මාස කිහිපයේ තෙල් හිඟයක් ඇති වන බවට බොරු කියා ජනතාව හතර වරක් පිරවුම්හල් අසල පෝලිම් ගැස්සවූයේය.

ජනතාව ආණ්ඩුවට කුනු බැනුම් බනිමින් වාහනවලට තෙල් ෆුල් ටෑන්ක් ගසා ගෙන ගැලුම්වල ද පුරවා ගෙන ගෙදර ගියේ සියලු වැඩ අතහැර පැය ගණන් පෝලිම්වල තපිමිණි. 

මෙලෙස එකවර තෙල් අසාමාන්‍ය ලෙස මිලට ගැනීම නිසා මතු වන කෘත්‍රිම හිඟයක් මිස රටේ මෙි කිසිදු අවස්ථාවක තෙල් හිඟයක් ඇති නොවිණි. රට පුරා සුපුරුදු ලෙස තෙල් බෙදා හැරිණි. 



ජනතාව අපහසුතාවට පත් කරමින් අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීම පිළිබඳ ආනන්ද පාලිත වරක් අත්අඩංගුවට ද පත් වුව ද පසුව නිදහස් විය. 

මෙලෙස බොරු කියා ජනතාව රැවටීම ඔස්සේ ආණ්ඩුව අපහසුතාවට පත්කළ හැකි බව දැනගත් සජිත්, ආනන්ද පාලිත සජබෙ වෘත්තීය සමිති ප්‍රධානී සහ මාධ්‍ය ප්‍රකාශක කළේය.

තව දින කිහිපයකින් ආනන්ද පාලිත සජබෙට උවමනා ආකාරයේ ජනතාව කුපිත කරන තවත් තෙල් බොරුවක් දෙසනු ඇත. ජනතාව නැවත පෝලීම්වලට පෙළ ගැසෙනු ඇත.

ජනතාව ද මෙම තත්ත්වය පිළිබඳ මීට වඩා සවිඥානික විය යුතුය. එසේ ම ආනන්ද පාලිතගේ තෙල් හිඟයට සිය ප්‍රවෘත්තිවල ඉඩක් දෙන රූපවාහිනී නාළිකා ඒ කරුණු බලශක්ති ඇමැතිවරයා හෝ තෙල් සංස්ථාව ලවා තහවුරු කර ගැනීමට තරම් වගකීම් සහගතවිය යුතුය.

මන්ද  ආනන්ද පාලිතට වඩා ජනතාව විශ්වාස කරන්නේ තමා ප්‍රවෘත්ති බලන නාළිකාවය. ආනන්ද පාලිත යනු කවුද කියා මේ රටේ ජනතාව දන්නේ ද නැත. එහෙත් රූපවාහිනීය ඇත්ත කියන්නේ යැයි ජනතාව සිතති. ඒ ජනතාව අසරණ නොකිරීම රූපවාහිනී නාළිකාවල වගකීමය.

Thursday, November 18, 2021

සඳහිරු සෑය සඳ හිරු පවතින තුරු ජාතියට දෙන පණිවිඩය කුමක් ද?

මහරජ ගැමුණු ආක්‍රමණිකයාට එරෙහිව දියත් කළ සටන මෙන් ම මහින්ද රාජපක්ෂ ද දියත් කළේ ප්‍රභාකරන් යොදා ගෙන බටහිර සහ ඉන්දියාව විසින් සිදුකළ ආක්‍රමණයට එරෙහි සටනකි. එළාර මෙන් ම ප්‍රභාකරන් ද පරාජයට පත් නොවන්නට අපේ රටේ ද ජාතියේ ද බුදු දහමේ ද ඉරණම විසඳෙන්නට ඉඩ තිබිණි. 

2009 නන්දිකඩාල්වල දී පරාජයට පත් කළේ, යාපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, යාපෙන් නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ද අනතුරුව මිනි මරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය බස්තියන් පිල්ලේ නම් දෙමළ පොලිස් නිලධාරියා ද ඝාතනය කරමින් ආරම්භ කළ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය මිස දෙමළ ජනතාව නොවේ. 

කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන්, පිල්ලෙයාන් හෙවත් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු නැගෙනහිර දෙමළ තරුණයින්ගේ සහය නොවන්නට කොටි ත්‍රස්තවාදය පරාජය තවත් දුෂ්කර වන්නට ඉඩ තිබිණි. එසේ ම අර්ජුනන් ශිවකුමාර නම් මගේ පාසල් මිතුරකු ඇතුළු දකුණේ බොහෝ දෙමළ තරුණයින් හමුදාවට බැඳී කොටි පරාජය කිරීමට සටන් කළ බව අභිමානයෙන් යුතුව කිව යුතුමය. එහෙයින් දෙමළ ජනතාව කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ ජයග්‍රහණයේ කොටස්කරුවෝ වෙති.

එසේ ම කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා වැඩි ම ප්‍රතිලාභ ලැබුවේ උතුරේ දරුවන් බව අද බොහෝ දෙනෙකු පිළිනොගත්ත ද අනාගතයේ එම සත්‍ය බැහැර කරලීමට නොහැකි වනු ඇත. ප්‍රභාකරන් විසින් කරේ සයනයිට් කරල් පළඳා දෑතට අත්බෝම්බ සහ තුවක්කු දුන් තරුණයින් අතර නැවත පොත පැන ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ විසිනි. ප්‍රභාකරන් විසින් මිනිස් බෝම්බ බවට පත්කළ උතුරේ දරුවන්ට සාපෙළ උසස් පෙළ විභාගවලින් ලංකාවේ පළමු දෙවන ස්ථාන ලබාගත හැකි ලෝකයක් නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ විසිනි.

මේ සියල්ල මෙන් ම ප්‍රභාකරන් විසින් රාජයප්පු ජෝෂප් රදගුරුගේ අනුදැනුම මත අපේ හින්දු සංස්කෘතිය බුල් ඩෝසර් කරමින් ගොඩනැඟූ ක්‍රිස්තියානි වතිකානුව බිමට සමතලා කළේ මහින්ද රජපක්ෂ විසිනි. උතුරේ ජනතාවගේ හින්දු සංස්කෘතිය රැකදුන් මහා වීරයා මහින්ද රාජපක්ෂ බව අනාගතයේ උතුරේ ජනතාව අවබෝධ කරගනු ඇත.

මෙවැනි පසුබිමක රටම ලේ විලක් කළ ලොව දරුණුතම ත්‍රස්වාදය ලෙස හැඳින්වූ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ පරාජය සමස්ත දෙමළ ජනතාවගේ පරාජයක් ලෙස අර්ථ ගැන්වීමට අප එරෙහි විය යුතුය. මෙවැනි අතාර්කික විකාර දොඩවන පුස් උගතුන්ට අප අනුකම්පා කළ යුතුය. ප්‍රභාකරන්ගේ පරාජය සමස්ත දෙමළ ජනතාවගේ පරාජයක් නම් රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ ත්‍රස්ත කල්ලියේ පරාජය සමස්ත සිංහල ජනතාවගේ පරාජයක් විය යුතුය. 

බෙදී වෙන්ව දෙරටක් වන්නට නියමිතව පැවැති අපේ රට කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් එක්සේසත් කළ ඒ අභිමානී විජයග්‍රහණය මේ රටේ උතුරේ ද දකුණේ ද මතු මතු උපදින දරුවන්ගේ ජයග්‍රහණයකි. මැදින් සීමා ඉරක් ගසා ගෙන අවි අමෝරා ගෙන යුද වදින රටක් වෙනුවට මහ මුහුදින් වට වූ රටක් මහින්ද රාජපක්ෂගේ ආයෝමය නායකත්වයෙන් සහ විරෝදාර ත්‍රිවිද හමුදාවේ අතිමහත් කැපකිරීම් මතින් ඔවුන්ට ලැබී තිබේ. ඒ රට ඒ ජයග්‍රහණය රැකගැනීම ඒ සියලු දරුවන්ගේ උර මත ද පැටවෙන වගකීමකි.

එම විජයග්‍රහණය මෙන් ම එම වගකීම ද සිහිපත් කරමින් ඉදි වූ සඳහිරු සෑය යුද්ධයේ පරාජයේ සංකේතයක් නොව සාමයේ විජයග්‍රහණයේ සංකේතයකි. එහි පරාජිතයින් වන්නේ ත්‍රස්තවාදය මිස දෙමළ ජනතාව නොවේ. ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා, බස්තියන් පිල්ලේ, ලක්ෂ්මන් කදිරගාමර් නියෝජනය කරන දෙමළ ජනතාවගේ ද ජයග්‍රහණයකි. එමගින් සංකේතවත් කරන්නේ කෘරතර යුද්ධයේ නිමාව සහ මධුරතර සාමයේ උදාවය. බුදු දහමේ සුරක්ෂිතතාවය. සඳහිරු පවතින තුරු පැවතිය යුතු එක්සේසත් ලංකාවය. එදා මහරජ ගැමුණු රන්වැලි මහසෑය ඉදිකරමින් ද මහින්ද රාජපක්ෂ සඳහිරු සෑය ඉදිකරමින් ද සංකේතවත් කරන්නේ එයයි.

ඊයේ සඳහිරු සෑය අබියස සිට මහින්ද රාජපක්ෂ එය තහවුරු කළේ මෙසේ ප්‍රකාශ කරමිනි.

"යාපනේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්න ගිහින් මන්නාරමේ දී ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරි බස්තියන් පිල්ලේගේ සිට 1981 යාපනේ දී ත්‍රස්තවාදීන් අතින් ඝාතනයට ලක් වූ කෝප්‍රල් හේවාවසම්ගේ සිට නන්දිකඩාල්වල අවසාන දිනයේ මියගිය සෙබළා දක්වා සියලු රණවිරුවන්ට සහ අපේ රටට සාමය උදා කරන්න කැප කිරීම් කළ සියලු ම රණවිරුවන්ටත් ඒ වාගේ ම යුද්ධයේදී මිය ගිය සියලු පාර්ශවයන්ටත් මේ සෑය නමදින මොහොතක් පාසා පින් අනුමෝදන් වේවා! යැයි මම ප්‍රාර්ථනා කරනවා.‍ මියගිය සියලු ම දෙනා අපේ ම රටේ අපේ ම අය."

මෙවැනි උදාරතර අරමුණු පෙරදැරිව ඉදිකළ සඳහිරු සෑය නිසා කිසිවෙකුගේ සිත පෑරෙන්නේ නම් ඒ ත්‍රස්තවාදියෙකි. නොඑසේ නම් ත්‍රස්තවාදයේ සහයකයෙකි. නොඑසේ නම් පටු කුහක දේශපාලනය නිසා රට එක්සේසත් කිරීමේ ගෞරවය තම දේශපාලන පක්ෂයට හිමි නොවන නිසා ඇති වන ඉච්ඡාභංගත්වයෙන් කටමැත දොඩවන්නෙකි. සඳහිරු සෑයේ නිදන් කිරීමට රත්තරන් ලබා දුන් රේගු නිලධාරීන්ගෙන් පවා පළිගනිමින් පහුගිය යහපාලනාණ්ඩුව ගෙන ගිය අධාර්මික පාලනය කෙළවර වූයේ එම පවට කරගැසූ එජාපයට මෙන් ම ශ්‍රීලනිපයට ද දිට්ඨධම්මවේදනීය කර්මය පළ දීමෙනි. එවැනි අන්තවාදීන් පුනරුත්ථාපනය කරනු මිස කළ හැකි දෙයක් නැත.

මෙම මිත්‍යාව සමාජගත කරමින් සමාජයේ නොමැති වෛරයක් බෙදීමක් ඇති කිරීමට, කූරගලට විදුලිය ලබා දීමට එරෙහි වූ සකලවිධ බෞද්ධ විරෝධී බලවේගවලට අද නායකත්වය සපයන සජිත් ප්‍රේමදාසට පිරිත් නූල් බඳිමින් රජ පුටුවට ගෙන යන්නට බලා සිටින භික්ෂූන් වහන්සේලා අතලොස්සක් ද මේ අතර සිටිනු දැකීම කනගාටුවට කරුණකි. 

 
සිය රට දේ සිරි සැප දේ !