Wednesday, November 17, 2021

මන්ත්‍රී විශ්‍රාම වැටුපට වසර 10ක් අනිවාර්ය කළ ආණ්ඩුව ගෙදර යවනු..!

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් සඳහා හිමි වන විශ්‍රාම වැටුප රුත 15000කින් ඉහළ නැංවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙයි.

1971 මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත අනුව වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපින් 1/3ක් හෝ 2/3ක් සමග ජීවන වියදම් දීමනාව විශ්‍රාම වැටුප ලෙස මන්ත්‍රීවරයෙකුට හිමිය. ඒ අනුව එම විශ්‍රාම වැටුප රු. 18 500කි. එයට ජීවන වියදම් දීමනාව ද එකතු කළ විට වැටුප රු. 25100කි. විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට දීමනා ගෙවීමට හැකියාවක් නැතත් මෙයට පෙර මසකට රු. 10 0000ක දීමනාවක් ද ඊට එකතු කර ඇත. ඒ අනුව වැටුප 35 100කි.

මේ අනුව වසර 05ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ඕනෑ ම අයකුට මාසිකව රු. 35 100ක විශ්‍රාම වැටුපක් සිය ගිණුමට බැරවෙයි. මෙම සංඛ්‍යාව කෙතරම් දැයි කිව නොහැකි වුවත් 1970 දශකයේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ 454 දෙනෙක් 2019 වන විට මෙම විශ්‍රාම වැටුපට හිමිකම් කීහ. 2020 අගොස්තු 17 වෙනි දිනට පෙර එනම් මාර්තු මස 02 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ නිසා තවත් 64 දෙනෙකු මෙම ලැයිස්තුවට එකතු වීම වැළැක්විණි.

කෙසේ වුව ද මෙම විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නැතැයි තීන්දු කළ පසුගිය යහපාලනාණ්ඩුව 2019 වසරේ මුල මෙම විශ්‍රාම වැටුප තවත් රු. 15 000කින් ඉහළ නැංවීමට යෝජනාවක් ගෙන ආ නමුත් මහජන විරෝධය හමුවේ එය ඉටු කළ නොහැකි විය. යහපාලනාණ්ඩුව වසර 05ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට පඩි වැඩි කරන මෙම යෝජනාව ගෙන ආවේ එම ආණ්ඩුව මගින් ම 2016 වසරේ රාජ්‍ය සේවයට බැඳී වසර 45ක් පමණ සේවය කරන රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කපමිනි. 

එදා යෝජිත විශ්‍රාම වැටුප් වැඩි කිරීම ද හිටපු මන්ත්‍රීවරුන්ට ලැබිණි නම් එම විශ්‍රාම වැටුප රු. 50100කි. මේ වන විට මන්ත්‍රී විශ්‍රාම වැටුප ලබන පිරිස 454ක් නම් මාසිකව රු. 27 745400ක් (50100×454) මුදලක් ඒ සඳහා වැයවෙයි.

කෙසේ වුව ද 2022 අයවැය මගින් පාර්ලිමේන්තුව අඛණ්ඩව දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් නියෝජනය කළ වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් මන්ත්‍රී ධූරයක් දැරූ අයට පමණක් විශ්‍රාම වැටුප හිමි වනු ඇත. ඒ සමග 500කට අධික විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රී පිරිස සැලකිය යුතු ලෙස අඩු වනු ඇත. 

2019 වසරේ යහපාලනාණ්ඩුව මන්ත්‍රී විශ්‍රාම වැටුප වැඩි කිරීමට උත්සාහ කරන විට එම පක්ෂයේ සිටි වර්තමාන සමගි ජන බලවේගය නියෝජනය කරන කිසිවෙකු ඊට එරෙහි වූයේ නැත. එම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටත් ඉහළ විධායක සභාව නියෝජනය කළ එම ආණ්ඩුව විසින් ම පත්කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක ද ඊට එරෙහි වූයේ නැත. රතු කොළ සියලු දෙනා එකාවන්ව ඊට පක්ෂ වූහ. 

එම යෝජනාව ගෙන ආවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් ගෙවන ගෙවීම ද ඉහළ නැංවීමට කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල විය යුතුය. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ අසීමිත කැපකිරීමක් කොට පාලනය කළ කොවිඩ් වසංගත තත්ත්වය නැවත රට පුරා බෝ කිරීම සඳහා ජනතාව කැඳවන, බලය වෙනුවෙන් ඕනෑ ම පහත් ක්‍රියාවක නිරත වන පිරිසකගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ද කිව යුතුය.

මෙම යෝජනාව මෑත කාලයේ දේශපාලනඥයකු විසින් ආණ්ඩුවක් විසින් යෝජනා කළ ඉතා ම ප්‍රගතිශීලී යෝජනාවක් වන අතර මෙරට දේශපාලනය මහත්මා දේශපාලනයේ සිට බලු පොරයක් දක්වා ඇද දැමූ මැති ඇමැති වරප්‍රසාද තව තවත් අඩු කිරීමට සමාජ මතයක් නිර්මාණය කළ යුතුය. අප බලවත් කළ යුත්තේ සිය මල්ල තර කරන යෝජනා සම්මත කරගන්න දේශපාලන බලවේග නොව ජනතාව වෙනුවෙන් එම වරප්‍රසාද පවරා දෙන බලවේගයක් වෙනුවෙනි.

Monday, November 15, 2021

රාජ්‍ය සේවය රටට බරක් කියල බැසිල් බොරු කිව්ව ද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය රටට බරක් බව පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. මේ පිළබඳ අද වන විට සමාජයේ සංවාදයක් මතුව තිබේ. සමහරු පවසන්නේ මැති ඇමැතිලා ද රටට බරක් බවය. රාජ්‍ය සේවය රටට බරක් නිසා රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සීමා කර අලුතින් රාජ්‍ය සේවයට බැඳෙන අයට විශ්‍රාම වැටුප ද අහිමි කිරීමට කටයුතු කළ යහපාලනාණ්ඩුවේ සුජාත පුත්‍රයාණෝ අද රාජ්‍ය සේවය රටට බරක් බව පැවසීම රාජ්‍ය සේවයට කළ අපහාසයක් බව ප්‍රකාශ කරති. 

රාජ්‍ය සේවය රටට බරක් බව බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළ ද නොකළ ද එය අද රටට මහ බරකි. අප එය ප්‍රකාශ කළේ බොහෝ කලකට පෙරය. රටේ සමස්ත ආදායමින් 85%ක් පමණ රාජ්‍ය සේවයට පඩි ගෙවීමට සහ විශ්‍රාම වැටුප් ගෙවීමට වැය වන පසුබිමක එය රටට බරක් බව බැසිල් රාජපක්ෂ අලුතින් කිව යුතු දෙයක් ද නොවේ. 

කෙසේ වුව ද ලක්ෂ 1990 වන විට ජනගහනයෙන් දහසට 30ක් වූ රාජ්‍ය සේවය 2020 වන විට දහසට 60 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව වසර තිහක් තුළ රාජ්‍ය සේවක පිරිස 100%කින් ඉහළ ගොස් තිබේ. ලක්ෂ 07ක්ව පැවැති රාජ්‍ය සේවය ලක්ෂ 14ක් දක්වා ඉහළ දමන ලද්දේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසිනි. එම ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා බැසිල්ය. එහෙයින් බැසිල් ද එහි කොටස්කරුවෙකි.\



මෙලෙස රාජ්‍ය සේවයට පිරිස් බඳවා ගැනීම මෙන් ම යහපාලනාණ්ඩුව එකවර සමස්ත රාජ්‍ය සේවයේ වැටුප රු. 10 000කින් ඉහළ නැංවීම ද රාජ්‍ය සේවය රටට බරක් වීමට හේතු වී තිබේ. 2016 වසරේ සිට අලුතින් රාජ්‍ය සේවයට බැඳෙන අයට විශ්‍රාම වැටුප අහිමි කළ යහපාලනාණ්ඩුව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප රු. 35 100 සිට රු. 15000කින් රු. 50 100 දක්වා ඉහළ නැංවීමට යෝජනා කළ බව අපට අමතක නැත. 

අප රනිල් වික්‍රමසිංහගේ දේශපාලන සමස්ත දේශපාලන දැක්මට එරෙහිව වුව ද ඔහු රාජ්‍ය සේවය කෙරෙහි දැක්වූ ආකල්පය නිවැරදි බව පිළිගත යුතුය. රනිල්ගේ හරි දේ පිළිගැනීම ඔහුගේ බහුතර වැරදි ප්‍රතික්ෂේප කිරීමට බාධාවක් නොවේ. අප විමසා බැලිය යුත්තේ ප්‍රතිපත්තිය මිස ප්‍රතිපත්තිය දරන්නාගේ පැටිකිරිය නොවේ.

අතීතයේ සිදු වූ මෙම වරද දැන්වත් නිවැරදි කළ යුතුව ඇත. රාජ්‍ය සේවය අන්තර්ජාල පහසුකම් ඇතුළු නවීන තාක්ෂණය යොදා ගෙන ජනතාවට තවත් සමීප කරන අතර ඊට සාපේක්ෂව බඳවා ගන්නා පිරිස අඩු කළ යුතුය. ජනතාව රාජ්‍ය සේවයට ආකර්ෂණය වන විශ්‍රාම වැටුප ඉවත් කිරීම ආන්දෝලනාත්මක විය හැකි බැවින් සියලු දෙනා වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය ආකර්ෂණීය කළ යුතුය. 

මේ වන විට එංගලන්තයේ ජනගහනයට සාපේක්ෂව රාජ්‍ය සේවක පිරිස 0.29%කි. ඉතාලියේ 0.20%කි. බ්‍රසීලයේ 0.12%කි. එහෙත් ලංකාවේ එවැනි කිහිප ගුණයකි. එම පිරිස නඩත්තුව සඳහා රටේ සමස්ත ආදායමින් 85%ක් වෙන් කළ පසු රට සංවර්ධනය කළ නොහැකි බවට දේශපාලනඥයින්ට දොස් තබා පලක් නැත. රාජ්‍ය සේවය පුළුල් කරන බවට පොරොන්දු දෙන විට ජනතාව ඊට එරෙහිව විය යුතුය. 

එසේ ම රටේ අධ්‍යාපනය වෘත්තියාභිමුඛ නොව ව්‍යවසායාභිමුඛ කළ යුතුය. මහජන මුදලින් විශ්වවිද්‍යාලවල ඉගැන්විය යුත්තේ ව්‍යවසායකයකු ආයෝජකයකු නිර්මාණය කිරීමට මිස රැකියා හිඟන්නන් බෝ කිරීම නොවේ. ලිප්ටන් වටරවුමේ මැසි බැඳගෙන වයසට යන උපාධිධාරීන් බෝ කරන අධ්‍යාපනය අප වහා ම වෙනස් කළ යුතුය. අතීතයෙන් සහ වර්තමානයෙන් පාඩම් උගෙන අනාගතය සුවපත් කළ යුතුය.


Saturday, November 13, 2021

චීන පොහොර සමාගම මට්ටු කරන විදිහ මෙන්න...!

කෘෂිකර්ම අමාත්‍යාංශය රසායනාගාර වාර්තා 51ක් වෙනස් කර ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික් ටොන් 81,000ක් ගොවීන් අතර බෙදා දී ඇති බව 2020 විගණකාධිපති වාර්තාව මගින් හෙළි වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම වාර්තා සකස් කළේ කවුද ඒවා වෙනස් කළේ කවුද ශ්‍රී ලංකා ශාක නිරෝධායන ආයතනයට එහිලා පැවරෙන වගකීම කුමක් ද යන්න පිළිබඳ විමර්ශනයක් කළ යුතුය.

ප්‍රමිතියෙන් තොර මහ පොළොවට විෂ එකතු කරන රසායනික ටොන් 80 000කට වඩා මේ රටට ගෙන ඒම පිටුපස සිටින නිලධාරී පැලැන්තිය ඒ සඳහා දායක වන්නේ නිකම් නොවේ. මෙම ගනුදෙනුවේ දී නිලධාරීන් කිහිප දෙනෙකුගේ හත්මුතු පරම්පරාව ම ගොඩයන්නට ඇත.



අප සමාජය දේශපාලකයින් හොරු වංචාකාරයින් දූෂිතයින් යැයි බැණ වැදුණ ද රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ වංචා පිළිබඳ අවධානයක් යොමු නොකරති. සැබවින් ම දේශපාලකයින්ට වඩා කිහිප ගුණයක් දූෂිත තක්කඩි සුදු කරපටි අපරාධකාරයින්ගෙන් අපේ රාජ්‍ය සේවය රටට හෙණයක් වී ඇති බව කිව යුතුය.

කවර ආණ්ඩුවක් ආව ද කවර පාලකයෙක් ආව ද මෙම සුදු කරපි අපරාධකාරයෝ කොමිස් කුට්ටි පිටින් ගිලිමින් දේශපාලනඥයින් ද ගොනාට අන්ද ගෙන මහජන දේපළ කෝටි ප්‍රකෝටි ගණනින් ගිලිමින් ඇත.

යහපාලන ආණ්ඩුව සමයේ කන්තලේ සීනි සමාගමේ යන්ත්‍රෝපකරණ ඉන්දියානු සමාගමකට පවරා දීම සඳහා රු. කෝටි 50ක අල්ලසක් ඉල්ලා ඉන් කෝටි දෙකක් ලබා දෙන අවස්ථාවේ අත්අඩංගුවට පත් එවක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මේ සඳහා උදාහරණයකි.

මෙවැනි කිසිදා හෙළි නොවන සාපරාධී ගනුදෙනුවලින් දූෂිත නිලධාරී කල්ලිය සුවිශාල ධනස්කන්ධයක් උපයන අතර ගෙවන මුදල් ප්‍රමාණය වැඩි කිරීමෙන් ඔවුන් ලවා ඕනෑ ම අපරාධයක් කරවා ගත හැකිය. මේ රටට ප්‍රමිතියෙන් තොර රසායනික පොහොර රැගෙන ඒම පිටුපස ඇති කතාව ද එයමය.

එවැනි පිරිසක් චීන කාබනික පොහොරවල අහිතකර බැක්ටීරියා ඇතැයි මුදලට වාර්තා නිකුත් නොකරනු ඇතැයි කිසිසේත් කිව නොහැකිය. CIC සමාගම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ද මිල දී ගන්නා රටක මෙය මහ ලොකු දෙයක් නොවේ.

අදාළ චීන පොහොර සමාගම ලොව පුරා රටවල් 16කට පමණ කාබනික පොහොර සපයන දැවැන්ත සමාගමකි. එවැනි සමාගමක් ප්‍රමිතිය පරික්ෂාව සඳහා ප්‍රමිතියෙන් තොර පොහොර සාම්පල් එවාවි යැයි මම නම් විශ්වාස නොකරමි.

එපමණක් නොව සිය පොහොරවල අහිතකර බැක්ටීරියා ඇත්නම් ස්වාධීන තුන්වන පාර්ශ්වයක් ලබා අදාළ පොහොර තොග පරික්ෂා කරන ලෙස මෙම සමාගම කිසිදු අවස්ථාවක ඉල්ලා සිටින්නේ නැත. මන්ද එවැනි ජාත්‍යන්තර ආයතනයක පරික්ෂණයකින් සිය පොහොර අසමත් වුවහොත් සිය සමාගම සම්පූර්ණයෙන් කඩා වැටෙන හෙයිනි.

මේ වන විට එම සමාගමේ ඉල්ලීම මත ස්වාධීන ආයතනයක් වන Schutter Global Inspection and Survey Company විසින් සිදුකළ පරීක්ෂණයක් මගින් එම පොහොරවල නියමිත ප්‍රමිතිය ඇති බව සහතික කර තිබේ. අදාළ පරීක්ෂණ සිදුකරන ජාත්‍යන්තර ආයතන කිසිම අවස්ථාවක වැරදි වාර්තා නිකුත් කර සිය කීර්ති නාමය විනාශ කරගන්නේ ද නැත.

එහෙයින් අපගේ නිලධාරී පැලැන්තිය මත පමණක් විශ්වාසය තබා ආණ්ඩුව මේ අවස්ථාවේ කටයුතු නොකළ යුතු බව මගේ අදහසයි. අපට මෙන් ම චීනයට ද පිළිගත හැකි ස්වාධීන ජාත්‍යන්තර ආයතනයක් ලවා අදාළ පරීක්ෂණය කිරීමට අප නම්‍යශීලී විය යුතුය.

අපේ රට අසීරුතාවට පත්වන සෑම අවස්ථාවක අප සමග සිටි ජිනීවාහිදී බටහිර ආධිපත්‍යයට අභියෝග කරමින් අප වෙනුවෙන් සිටගත් චීනය සමග අප නිකරුනේ රාජතාන්ත්‍රික ගැටුමක් ඇති කරගත යුතු නැත. අප කළ යුත්තේ අපට ද පිළිගත හැකි ජාත්‍යන්තර ආයතනයක් ලවා අදාළ පරීක්ෂණයය නැවත සිදුකිරීමය.

එම පරීක්ෂණයෙන් පොහොර තොගයේ ප්‍රමිතිය තහවුරු කරන්නේ නම් අප එම පොහොර තොගය ලබාගත යුතු අතර අදාළ මුදල ද වහා ම ගෙවා දැමිය යුතුය. කිසිදු බියක් නොමැතිව එම පොහොර භාවිත කළ යුතු අතර ශාඛ නිරෝධායන සේවය අදාළ අසමත් වාර්තාව ලබා ගත්තේ කෙසේ දැයි සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකර කිසිවෙකු වරදක් කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය.

එහි දී එම පරීක්ෂණයෙන් අපේ ශාඛ නිරෝධායන සේවයේ වාර්තාව සනාථ වුවහොත් අප චීන සමාගමට අදාළ මුදල ගෙවිය යුතු නැත. අවශ්‍ය නම් සිදු වූ අපහසුතාවට චීන සමාගමෙන් අපට වන්දියක් ඉල්ලා සිටිය හැකිය. එසේ ම චීනයට අප සමග ගැටුමක් හදා ගැනීමේ අවස්ථාව මෙමගින් අහෝසි වනු ඇත.

චීනය විසින් අදාළ තෙවන පරීක්ෂණය සිදුකළ ජාත්‍යන්තර ආයතනයට වඩා අපගේ ශාක නිරෝධායන සේවය නිවැරදි බව තහවුරු වීමත් සමග පිට රටවල එවැනි පරීක්ෂණ ද අපට ලැබෙනු ඇත. එය අපට විදේශ විනිමය උපයන මාර්ගයක් වනු ඇත. අපගේ විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රමවේදය ලෝක ප්‍රසිද්ධ වනු ඇත.

එපමණක් නොව සිය වගකීම නිවැරදි ලෙස ඉටු කළ අපේ නිලධාරීන්ට අපි ජනාධිපති සම්මාන සහ ත්‍යාග ප්‍රදානය කළ යුතුය. අපේ ශාඛ නිරෝධායන සේවයේ වාර්තා නිවැරදි බව ඉර හඳ සේ විශ්වාස කරන පිරිස මගේ යෝජනාව පිළිබද බෙහෙවින් සතුටු වනු ඇති බව මගේ විශ්වාසයයි.

බටහිර රටක ආයතනයක් ලවා සිදුකරන එවැනි පරීක්ෂණයක් මගින් චීනයට මෙන් ම චීන සමාගමට ද හොඳ පාඩමක් ඉගැන්වීමේ අවස්ථාව අපට හිමි වනු ඇත. චීනයට ප්‍රමිතියෙන් තොර සිය පොහොර සමාගම වසා දැමීමට සිදුවනු ඇත. ශාඛ නිරෝධායන ආයතනයේ කීර්තිමත් විද්‍යාඥයින් ද මේ අවස්ථාව ලබා ගෙන අපේ රටේ ද සිය ශාඛ නිරෝධායන සේවයේ ද විශිෂ්ටත්වය ලොව හමුවේ හඬගා කීමට දෙවරක් නොසිතනු ඇති බව මම තරයේ විශ්වාස කරමි.
 
සිය රට දේ සිරි සැප දේ !