Saturday, August 22, 2015

මාරයින් සමඟ සටන් වැද..

අසමාන සටනකින් ජාතිකවාදී පෙරමුණ පරාජයට පත්ව තිබේ. එය මාර සෙනඟ සමඟ කළ යුද්ධයකි. අනිත් පස රනිල් ය. තවත් පසෙක අනුර ය. පිටුපස පාඨලී ය. පැත්තෙන් චන්ද්‍රිකා ය.  නව පරපුරේ කලාකරුවෝ ය. ඊනියා සිංහල විරෝධි උගත්තු ය. රතන හිමිගේ පිවිතුරු හෙට ය. සෝභිත හිමිගේ සාධාරණ සමාජය ය. මාධ්‍ය බලය ය. NGO කාරයෝ ය. RAWකාරයෝ ය. CIAකාරයෝ ය. මේ සියල්ල මැද එජාප ජනවරමින් පක්ෂ නායකත්වය ඩැහැ ගත් සිරිසේන ය. ඇතුළත අප්පච්චි මළෝ කල්ලියේ සතුරෝ ය. මේ සියලු පෙරමුණුවල එකම සතුරා බවට පත්වූයේ මහින්ද ප්‍රමුඛ පිරිස ය. ඉලක්කය වූයේ මහින්ද ය. මේ පිරිස මහින්ද ප්‍රමුඛ සන්ධාන මැතිවරණ ව්‍යාපාරය විනාශ කිරීම සඳහා කළ හැකි සියල්ල කළ අතර එහි ප්‍රධානීන් නිතර FCID කැඳවමින් මාධ්‍ය සන්දර්ශනය පැවත්වූහ. මලමිනි ගොඩගත්හ. සිරිසේන මහතා පක්ෂ යාන්ත්‍රණය දුර්වල කිරීම සඳහා කළ හැකි සියල්ල කළේ ය. චන්ද්‍රිකා එජාප වේදිකාවට ගොඩ වුවා ය. 

එවන් පසු බිමක ජාතිකවාදී පිලට පරාජය හිමි වුව ද එය හොඳ සටනක් ලබා දී ලැබූ විශිෂ්ට පරාජයකි. පරාජයට පත්ව මාස 8ක් තුළ මෑත කාලයේ බිහි වූ ශක්තිමත් ම විපක්ෂය නිර්මාණය වී තිබේ. සැබවින් ම රනිල් ප්‍රමුඛ එජාපය ජය ගත්තේ දුර්වල කළ, බෙලහීන කළ සෛන්ධවයෙකු සමඟ දිවීමෙනි. රනිල් ප්‍රමුඛ එජාපය සමතලා පොළවක හැල්මේ දුවන විට ජාතිකවාදී පිළට කඳු හෙල්, ගිරි දුර්ග, මාරක ප්‍රපාත ඔස්සේ මාර උගුල් මඟහැර දිවීමට සිදුව තිබිණි. එහෙත් එවන් අතපය බැඳ දැමූ පිරිසක් සමඟ තරඟ කර පවා 1977 මෙන් විශාල ජයග්‍රහණයක් තබා පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට පවා රනිල්ට නොහැකි වීමෙන් ඔහුගේ දුර්වලතාව පැහැදිලි වෙයි. කෙසේ වුව ද රනිල්ට අසීමිත බලයක් හිමි නොවීම රටේ වාසනාව ය. මහින්ද සිය අභිමාණය සහ ජීවිත අවධානම පවා නොතකා සිදු කළ මැදිහත් වීම නොවන්නට රනිල්-සිරිසේන දෙදෙනා එක්ව 1977 මෙන් 5/6 බලයක් සහිතව එජාප ආණ්ඩුවක් පිහිටු වනු ඇත. 

එහෙත් මෙවර මහින්ද නිසා ම පාර්ලිමේන්තුවට තේරි පත් වූ පිරිසක් සිරිසේනගේ ආශිර්වාදය පිට හෙට දින රනිල්ගේ ඇමති මණ්ඩලයට එක් වනු ඇත. එය තමන්ගේ කැමැත්ත නොව පක්ෂයේ සහ නායකතුමාගේ කැමැත්ත බව ඔවුහු පවසනු ඇත. ඒ පිළිබඳ අප එතරම් තැකිය යුතු නැත. පහනට ඇදෙන කුහුඹුවන් මෙන් ඇතැම්හු බලයට ඇදෙන්නාහ. කෙසේ වුව ද ජනතාව අනාගත දේශපාලඥයින් වෙත කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස එවැනි ප්‍රබල චරිත බොහොමයක් මෙවර පරාජයට පත් කර තිබේ. ඔවුන් නැවත ජාතික ලැයිස්තු හිලෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් නිරුවත් වන්නේ යහ පාලන සීතාම්බර සළුව මිස අනෙකක්  නොවේ. ඔවුන්ට ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට ඒමට නොහැකි වූයේ පසු ගිය යහ පාලන ආණ්ඩුවට මුක්කු ගැසීම නිසා බව ද ඔවුන් වංචාකාරී ලෙස නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට කොල්ල කෑ ජාතික ලැයිස්තුව පවා ඔවුන්ගේ එකී ක්‍රියාදාමයට එරෙහි ජනමතය බව ද සිහි කටයුතු ය.

කෙසේ වුව ද JR ගේ දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පියිට පිවිසීමට පුල පුලා සිටි රනිල් වික්‍රමසිංහ සුළුතර ආණ්ඩුවකට සීමා කොට ඒ මාරකයෙන් රට ගලවා ගැනීම පිළිබඳ මහින්දඑ ප්‍රමුඛ ජාතික බලවේගවලට මේ රටට ආදරය කරන ජනතාව කෘතඥ විය යුතු ය. මේ වන විට මැතිවරණ ප්‍රතිඵලවල ඇතැම් අසාමාන්‍ය වෙනස්කම් පිළිබඳ සාකච්ඡාවක් ගොඩ නැඟෙමින් තිබේ. කිසිදු අභ්‍යන්තර දූෂණයක් සිදු නොවිණි නම් මේ ප්‍රතිඵලය සැබෑ ජන මතය නම් අපි ඊට ගරු කළ කරමු. බොක්සිං වළල්ල තුළ යමෙක් පරාජයට පත් වන්නේ සතුරාගේ ප්‍රහාරයකින් බිම වැටුණු විට නොව නැවත නැඟී සිටීම ප්‍රතික්ෂේප කළ විට ය. මේ පරාජය තුළ අනාගත ජයග්‍රහණයේ පණ ගැහෙන බිජුවට සැඟව තිබේ. ඒ සියල්ල රැක ගත යුතු ය. නිසි පොහොර දිය සපයා විසල් තුරු බවට පත් කළ යුතු ය. ජාතික කඳවුරේ පරාජයට හේතු වූ ඊට අවේනික දුබලතා ඇත්නම් ඒවා වියළි පත් මෙන් පොහොර බවට පත් කර ගත යුතු ය. එවිට ඒ තුරු මාතෘ භූමියට අවැසි ම මොහොතේ සෙවණ සදනු ඇත. දැයට මඟ කියනු ඇත.

Tuesday, August 18, 2015

ආඬි හත්දෙනාගේ ජවිපෙ!

මේ රටේ UNP උගතුන් ප්‍රධාන විපක්ෂය කළ යුතු බව කී ජනතා විමුක්ති පෙරමුණට සිදුව ඇත්තේ මාර සන්තෑසියකි. මොවුන් කැට තබා දිවුරා කීවේ ජනතා විමුක්ති පෙරමුණ ආසන 25ක් දිනාගනු ඇති බව ය. එහෙත් ප්‍රතිඵල නිකුත් වූ විට මට සිහියට ආවේ ආඬි හත් දෙනාගේ කැඳ හැලියේ කතාව ය. අවසානයේ ඡන්දය දෙන බව කී කිසිදු UNP ආඬි උගතෙකු JVP එකට ඡන්දය ලබා දී නොමැත. අනුර කුමාර පසු කර ඔහුට වඩා කොළ පැහැ රනිල් අසල ඒ ඡන්ද නතර වී තිබේ. අනුර කුමාර දිසානායක ද බොහෝ විට නොදැනම එජාපයට ඡන්ද ලබා දෙන්නට ඇත.  

කෙසේ වුව ද අවසානයේ අනුර කුමාරගේ නැවුම් හරිත පැහැ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ යටතේ තරඟ කර ඉතිහාසයේ ලබා ගත් අඩුම ඡන්ද ප්‍රතිශතය මෙවර වාර්තා කර තිබේ. ඒ 4.87%කි. මෙයට පෙර 2000 වසරේ ඔවුන් 5.99%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර පාර්ලිමේන්තු ආසන 10ක් පක්ෂයට ලැබිණි. 2001 වසරේ ඔවුන් 9.10%ක ප්‍රතිශතයක් වාර්තා කළ අතර මන්ත්‍රී ආසන 16ක් පක්ෂයට ලැබිණි. 2004 සන්ධානය තුළ මන්ත්‍රී ආසන 41ක් දිනා නැවත දෙකක් ශ්‍රීලනිපයට ද ලබා දුන්නේ ය. එකල අපි ඒ පක්ෂයේ සාමාජිකයින් වූයෙමු. එහෙව් ජනතා විමුක්ති පෙරමුණ 2015 නැවත වසර 15කට පෙර ලැබූ ජයග්‍රහණය පවා ලබා ගත නොහැකි තැනට පත් කිරීමට අනුර කුමාර දිසානායකගේ එජාප නායකත්වය සමත්ව තිබේ. 

මෙවර ජනතා විමක්ති පෙරමුණට ආසන 4ක් දිනාගත හැකිව ඇති අතර ජාතික ලැයිස්තු ආසන 2 ද සමඟ ආසන 6කි. ජාතික ලැයිස්තුවේ ප්‍රථමයා වන හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ තමන් පාර්ලිමේන්තුවට පත් වුවහොත් ජවිපෙ ප්‍රතිපත්ති අනුව නොව ස්වාධීනව කටයතු කරන බව කීවේ ඇත්ත වැඩසටහනට සහභාගී වෙමිණි. එම ලැයිස්තුවේ දෙවැන්නා සහ තෙවැන්නා හොඳ UNPකාරයින් බව රටට කීවේ සෝමවංශ අමරසිංහ ය. රනිල් වික්‍රමසිංහලාට වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ රවටා කඩේ යැවිය හැකි වූ අතර ඔවුන් ඇමතු ජනතාව ද පණිවිඩ නිවැරදිව තේරුම් ගෙන එජාපයට ඡන්දය ලබා දී තිබේ. අනුර කුමාර දිසානායක පසුගිය සමය පුරා කටයුතු කළේ එජාපයේ ප්‍රබලතම කථිකයා ලෙස මිස ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස නොවේ. දැන් වැපිරු බිජුවල අස්වැන්න ලැබී තිබේ. 

අවසානයේ උගතුන්ට ඡන්දය දෙන්න යැයි කෑ ගැසූ ගිය වර කරූ ජයසූරියටත් උඩින් ගම්පහින් පබා පාර්ලිමේන්තු එවූ UNP උගත්තු මෙවර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු එවා හඳුන්නෙත්ති පාර්ලිමේන්තු එව්වේ නැතැයි ද නිශාන්ත මුතුහෙට්ටිගම සහ ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු එව්වේ යැයි ද නාහෙන් අඬති. ගාල්ලේ ජනතාව ජනතා වරම පාවා නොදුන් නිශාන්තලා පාර්ලිමේන්තු එව්වා පමණක් නොව පාවා දුන් පියසේන ගමගේ ලා ගෙදර යැව්වේ ය. නිශාන්ත ගැන කතා කරන මේ UNP උගත්තු රන්ජන් රාමනායක, රවී කරුණානායක, පාලිත තෙවරප්පෙරුම හෝ පාලිත රංගෙබණ්ඩාර ලා ගැන කතා නොකරති. කෙසේ වුව ද පාඨලි චම්පික රණවකලාට මෙන් ජනතා විමුක්ති පෙරමුණට මෙවර එජාපය සමඟ එක්ව තරඟ කළේ නම් ජාමේ බේරා ගැනීමට තිබිණි. එජාපයේ අනුර කුමාර සහ ඔහුගේ ඇම කන සෙසු නායක පිරිස මෙවැනි ජයග්‍රහණ පක්ෂයට දිගට ම ලබා දෙනු ඇත. 

මේ පිළිබඳ 2009 වසරේ අහෝ! ජවිපෙ නොදිටි මොක් පුර යනුවෙන් මා තැබූ සටහනකින් මේ ලිපිය අවසන් කරමි. "ජවිපෙ සිය ගමන් මග නැවත ආවර්ජනය කළ යුතු ය. තමන් දැන හෝ නොදැන සේවය කරන්නේ විජාතික පෙරමුණට බව අවබෝධ කරගත යුතු ය. සිදු වූ බලවත් පීලි පැනීම හඳුනා ගත යුතු ය. පක්ෂය දිනවිය හැක්කේ තමන් පෝෂණය කළ මතවාදය වෙත නැවත පැමිණීමෙන් බව එහිදි ඔවුනට පසක් වනු ඇත." http://sanhindha.blogspot.com/2009/01/blog-post_20.html

Sunday, August 16, 2015

ජවිපෙට සමහරක් උගත්තු ආස ඇයි?

බෞද්ධ විරෝධි, සිංහල විරෝධි එහෙයින් ම මහින්ද විරෝධි උගතුන් සහ කලාකරුවන් යැයි කියා ගන්නා අයට බෞද්ධ විරෝධි සිංහල විරෝධි නායකත්ව කල්ලියක් විසින් පාලනය කරන හෙයින් ම ඔවුන් ආකර්ශනය වන එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන ලෙස එම පක්ෂයේ වියරු පාලන ඉතිහාසය පිළිබඳ සවිඥානික මේ රටේ ජනතාවට ඍජුව කිව නොහැකි වී තිබේ. මාස 8ක පමණ කාලය තුළ ඔවුන් ගෙන ගිය ප්‍රජාතන්ත්‍ර විරෝධි යහ පාලන විරෝධි පාලනය නිසා එසේ කිවහොත් මේ ඊනියා බුද්ධිමතුන්ගේ සහ කලාකරුවන්ගේ සිංහල සහ බෞද්ධ විරෝධය නිසා ම කොළ පැහැ ගත් හෘද සාක්ෂියේ නිරුවත හෙළි වනු ඇත. අනෙක් අතට මොවුන්ගේ කරුමයට රත්තරන් අශ්යින්, ලැම්බෝගිනි, මාළිගා එකතු කොට ගැයූ ප්ලැටිනම් වටිනාකමක් සහිත බොරු සියල්ල හෙළි වී තිබේ. එහෙයින් මේ පිරිස දැන් එක පෙළට ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලෙස ජනතාගෙන් ඉල්ලා සිටිති. එයට හේතුව කුමක් ද යන්න ඔවුන් නොපැවසුව ද අපට අවබෝධ කරගත හැකි ය.

සාම්ප්‍රදායික වමට විකල්පයක් ලෙස රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කළේ සෙසු මාක්ස්වාදීන් මෙන් මේ රටේ ජාතිකත්වය ප්‍රතික්ෂේප කර ඊනියා පන්තිය පදනම් කර ගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස නොවේ. ආරම්භයේ සිට ම ජනතා විමුක්ති පෙරමුණ අධිරාජ්‍ය විරෝධි දේශපාලන පක්ෂයක් විය. එමෙන් ම මාක්ස්වාදයේ සහ දේශප්‍රේමයේ සංකලනයක් විය. සාම්ප්‍රදායික වමේ පක්ෂ ත්‍රීවිල් පක්ෂ බවට පත් වෙද්දී දෙවරක් මර්දනය කළ ද එම පක්ෂය 2004 වන විට පාර්ලිමේන්තු ආසන 41ක් සහ පලාත් පාලන ආයතන මන්ත්‍රී ධූර 580ක් ලබා ගන්නා තැනට පත් වූයේ එහෙයිනි. 

එහෙත් 2007 පමණ වන විට එම ව්‍යාපාරය වල්මත් විය. ත්‍රස්තවාදය කෙළවර කිරීමේ සටන අවස්ථාවේ එනම් 2007 අයවැය පරාජය කර මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා ජවිපෙ සුදානම් විය. ඒ සමඟ ජාතිකත්වය නියෝජනය කළ විමල් වීරවංශ ඇතුළු පිරිස ආණ්ඩුවට සම්බන්ධ වී ඒ මර උගුලින් රට ගලවා ගත් අතර එහි ප්‍රතිඵලය ලෙස අද අප ත්‍රස්තවාදය කෙළවර කළ රටක නිදහසේ වෙසෙමු. 

එයින් අනතුරුව පක්ෂය තුළ මාක්ස්වාදී නැඹුරුව නියෝජනය කළ කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිස වෙන්ව යන අතර අවසානයේ පසුගිය මැයි මාසය වන විට එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ද පක්ෂයෙන් ඉවත්ව යයි. දැන් සැබවින් ම ජනතා විමුක්ති පෙරමුණ යනු කුමක් ද?

දැන් ජනතා විමුක්ති පෙරමුණ යනු සැබවින් ම මාක්ස්වාදය ද නොමැති දේශප්‍රේමය ද නොමැති එක්සත් ජාතික පක්ෂයට කුලියට වැඩ කරන අනුර කුමාරගේ බූදලයකි. ඒ සත්‍ය දැක බලා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව කදිම කැඩපතකි. 

එහි ජාතික ලැයිස්තුවේ තුන් වැන්නා එනම් නීතිඥ උපුල් කුමාරප්පෙරුම එක්සත් ජාතික පාක්ෂිකයෙකි. සෝමවංශ කියන පරිදි මංගල සමරවීරගේ හොඳ කකුලකි. ඔහු එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විජේදාස රාජපක්ෂගේ පමණක් නොව උපුල් ශාන්ත සන්නස්ගලගේ ද මැතිවරණ වේදිකාවල සුලබ දසුනකි. සෝමවංශ අමරසිංහ පවසන පරිදි ම අනුර කුමාරලා අලියාගේ බෙල්ලේ සීනුව ගැටගසා අවසන් ය. 

එම ලැයිස්තුවේ දෙවැන්නා වන නීතිඥ අරුණ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ඇමරිකා එක්සත් ජනපදයට සම්බන්ධ ආයතනයක සේවය කළ CIAකාරයෙකි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව කටයුතු කළ අයෙකි. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණ සිය අධිරාජ්‍ය විරෝධය ද ඇමරිකන් අධිරාජ්‍යවාදය හමුවේ නිර්ලජ්ජිත ලෙස පාවා දී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ආසන 3ක් දිනා ගත හොත් එයින් දෙකක් ම එක්සත් ජාතික පක්ෂයට ලැබෙයි. මේ වන විට අනුර කුමාර දිසානායක නිල නොවන එක්සත් ජාතික පක්ෂ හොඳම කථිකයා බවට පත් වන්නේ සියලු එජාප කථිකයින් අභිබවා මහින්ද රාජපක්ෂ විවේචනය කිරීමෙනි. ඔහුට ඒ සඳහා විජේදාස රාජපක්ෂලා යහමින් ගෙවන බව කීවේ අප නොව විජේදාසලා ම ය. 

ජාතිකත්වයෙන් ඈත් වුණු මාක්ස්වාදයෙන් ඈත් වුණු අලියා ගිලපු දිවුල් ගෙඩියක් බවට පත් වුණු ජනතා විමුක්ති පෙරමුණ වටා මෙතෙක් එක්සත් ජාතික පක්ෂය වටා රොක්ව සිටි NGO කල්ලි රොද බැඳ ගන්නේ මේ නිසා ය. පසු ගිය යහ පාලන ආණ්ඩුය ගැන කලකිරී ආපසු හැරෙන ජනතාව රවටා මෙවර ද ඡන්දය ඩැහැ ගැනීම සඳහා JVP කෙමන අතරමඟ අටවා තිබේ. ඔවුන් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය විශ්වාස කළ නො හැකි වුව ද ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කළ යුතු බව ය. 

එහෙත් යහ පාලන ආණ්ඩුව කළ සියලු වැරදිවලට අනුර කුමාරලා වගකිව යුතු අතර එයින් ඔහුට කිසිසේත් මිදිය නො හැක්කේ කැබිනට් අනුමැතියෙන් පත් කළ මූල්‍ය අපරාධ සොයන ආයතනයේ ප්‍රධානියා ඔහු හෙයිනි. එහෙත් ඔවුන් නොකියන්නේ එක්සත් ජාතික පක්ෂය මෙන් ම ජාතිකත්වයෙන් වියෝ වූ ස්ථාවරයක මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ පසු වන හෙයින් ඔවුන්ට ඡන්දය ලබා දෙන ලෙස ය. එහි අරමුණ මේ මොහොතේ රටේ බෙදුම්වාදයට එරෙහිව ලැබෙන ඡන්ද ප්‍රමාණය කිහිපයකන් හෝ අඩු කිරීම හැර අනෙකක් නො වේ.

ඒ නිසා ජනවාරි 08 රෑ වැටුණු වලේ අගෝස්තු 17 මහ දවල් නොවැටී සිටීම ඒ ජනතාවගේ වගකීම ය. 1815 යහ පාලන සීතාම්බර සළුවට රැවටී අපේ රජු සුද්දාට පාව දුන් ප්‍රභූන් නිසා අපට වසර 150ක් බටහිර යටත් විජිත වැසියන් ලෙස අනන්ත දුක් විඳින්නට සිදු විය. මෙවර එවැනි වරද්දා ගැනීමක් සිදු වුවහොත් අපේ මතු පරම්පරා ගණනාවකට සියවස් කිහිපයක් එහි රුදුරු ප්‍රතිඵල භුක්ති විඳින්නට සිදු වනු නො අනුමාන ය. එහෙයින් සියලු පක්ෂ, පාට, ආගම් පසෙකලා රට වෙනුවෙන් මේ අවස්ථාවේ ගතයුතු නිවැරදි ම තීන්දුව ගනිමු. 

 
සිය රට දේ සිරි සැප දේ !