Sunday, July 12, 2015

රාජිත-පාඨලි-අර්ජුන තුන් කට්ටුව රටට කියා දෙන පාඩම!

රාජිත-පාඨලි-අර්ජුන තුන් කට්ටුව නැවත එජාපයට ගොස් රනිල් අගමැති කිරීමේ සටනට වාඩි වී තිබේ. මේ තිදෙනා ම ඒ සඳහා එජාපය සමඟ එක් වූයේ ජනවාරි 08 වැනි දා පැවති ජනාධිපතිවරණය සමඟ ය. එහෙයින් මෙහි ඇති කිසිදු අපූර්වත්වයක් ද නැත. ජනාධිපතිවරයෙන් පසු පැමිණ කෙටි කලක් ලැගුම් ගත් ශ්‍රීලනිපයේ ඇත්තේ ඔවුන්ට එරෙහිම භාවිත කළ58 ලක්ෂයක් ඡන්ද ය.
මේ අවස්ථාවේ ආත්ම ගරුවත්වයක් යැයි කිසිවක් ඔවුන්ට තිබිණි නම් එය ද ටොමියාට දමා රනිල් සමඟ හිට ගැනීම මේ තිදෙනා දේශපාලන වශයෙන් ඉතා ම දුරදිග බලා ගත් තීරණයකි. මේ තුන් කට්ටුව ම ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයෙන් මහ මැතිවරණයට තරඟ කළේ නම් ජයග්‍රහණයට වඩා පරාජය ලැබීමට ඉඩ තිබිණි. විශේෂයෙන් ජනාධිපතිවරණයෙන් තමන්ගේ ශක්තිමත් ආණ්ඩුව පෙරලා රනිල් අගමැති කළ සිය පක්ෂයේ අපේක්ෂකයා පරාජයට පත් කර අනෙකෙකු ජනපති කිරීමට කුමන්ත්‍රණය කළ පිරිසකට ශ්‍රීලනිප සන්ධාන පාක්ෂිකයින් මනාප ලබා නොදීමට ඇති ඉඩ වැඩි ය.
මේ වන විට ශ්‍රීලනිප සන්ධානය වටා රොද බදින ඡන්ද දායකයින් මහින්ද කෙරෙහි විශ්වාසය තබන හෙයින් බොහෝ විට මහින්ද වෙනුවෙන් පෙනී සිටි පිරිස් සන්ධානය තුළ රාජිත-පාඨලි-අර්ජුන තුන් කට්ටුවට වඩා මනාප ලබා ගැනීම ඒකාන්ත ය. කොළඹින් විමල්, දිනේෂ්, සුසිල් පෙරමුණ ගනු ඇති අතර පාඨලිට පසු බැසීමට සිදු වනු ඇත. කළුතරින් වෙල්ගම, රෝහිත ඉදිරියට පැමිණෙනු ඇති අතර ගිය වරදත් යන්තම් සන්තම් දිනූ රාජිත පසු බසිනු ඇත. ෆීල්ඩ් මාර්ෂල්ගේ විලක්කුවෙන් අලියා මතට කරණමක් ගැසූ අර්ජුන සිය සහෝදරයා වන ප්‍රසන්න ලබන මනාපවලින් අඩක් හෝ නොලබනු නියත ය. එහෙයින් ලංකාවේ අමන දේශපාලඥයින් කුණු බක්කියට විසිවීමට මොහොතකට පෙර ලැගුම් ගන්නා එජාපය නම් නගර සභා කුණු ලොරියට සිය ආත්ම ආරක්ෂාව පිණිස මේ තුන් කට්ටුව නැඟ තිබේ.
මේ කරණම මගින් මේ තුන් කට්ටුව කිසියම් ආරක්ෂාවක් ලැබුව ද එජාපයේ ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රබලයින් සිය මනාප එජාප නොවන මේ වවුල් කල්ලියට යෑමට ඇති ඉඩ ඍජු සහ වක්‍ර ක්‍රියා මාර්ග ඔස්සේ වසා දමනු ඇත්තේ අනභියෝගීව සිය ආධිපත්‍ය ආරක්ෂා කර ගනු පිණිස ය. එහෙයින් දෙලොවක් අතර රඟන රාජිත, පාඨලි, අර්ජුන වැන්නෝ ගෙදර ගියත් තෝ නහී, මඟ හිටියොත් අඹු නහී තත්ත්වයට පත්ව සිටිති. එමෙන් ම පාඨලි සිය සැබෑ වෘක සම වැසෙන සේ පොරවා ගෙන බැටළු සමට රැවටී සිංහ කොඩිය උස්සා ගෙන ඔහු පසුපස ඒකීය රාජ්‍යය ආරක්ෂා කරනු පිණිස පසු ගමන් ගිය ජාතිකවාදීන් යැයි කියා ගන්නා ඊනියා දේශප්‍රේමීන් මෙවර පාඨලීට රනිල් වික්‍රමසිංහ සමඟ පඨිසෝතගාමීව ෆෙඩරල් රාජ්‍යයක් කරා යෑමට ගොම්පස් ඇල්ලිය හැකි ය. කෙසේ වුව ද අනපේකෂිත මහින්ද පුනරාගමනය නිසා එජාපය සමඟ පයුරු පාසානමකට යාම හැර සිය ආත්ම ආරක්ෂාව සඳහා මොවුන්ට වෙන කිසිඳු විකල්පයක් රටට ආදරය කරන ජනතාව ඉතිරි කර නොමැත. මේ වන විට සිරිසේන ජනාධිපතිවරයා මෙන් ම ඔහුට සහාය දැක්වූ ශ්‍රීලනිප කණ්ඩායම ද ජනපදනමක් නොමැති අනාථ බවට පත් කිරීමට ජනතාව නිවැරදි ලෙස කටයුතු කර තිබේ. රාජිත-පාඨලි-අර්ජුන තුන් කට්ටුව මේ උපාය මාර්ගය තේරීම සඳහා යොමු කරන්නේ එම යථාර්ථය විසිනි. මෙය එක්තරා ආකාරයකට දිට්ඨ ධම්මවේදනීය කර්ම ඵල දීමකි. මෙතෙක් එළිදැක ඇති ශ්‍රීලනිප සන්ධාන මහ මැතිවරණ අපේක්ෂක කටවුඩ්වලට සිරිසේනගේ රුව වෙනුවට මහින්දගේ රුව පැමිණීමෙන් සංකේතවත් කරන්නේ එය නොවෙද?

Sunday, July 5, 2015

"අපේ කාලේ මැතිසබේ ප්‍රාඥයා" ....?

අප  යහ පාලන ආණ්ඩුව උදා වන තුරු දැන සිටියේ වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ගැන පමණි. ඒ පානදුරාවාදය ඇතුළු පංචමහාවාද කරමින් මිෂනාරි දුර්මත පරාජය කර බෞද්ධ පුනරුද ව්‍යාපාරයට මුල්ගල් තැබූ ගුණානන්ද හිමි ය.  යහ පාලන ආණ්ඩුව අපට මාදුළුවාවේ සෝභිත හිමි නම් වාදිභසිංහයාණෝ කෙනෙක් ද දයාද කොට තිබේ. උන්වහන්සේ චතුර හඬින් බටහිර සහ ඉන්දීය කුමන්ත්‍රණය වෙනුවෙන් හඬ නැඟූ සේක.

අප  යහ පාලන ආණ්ඩුව උදා වන තුරු දැන සිටියේ කුඩාපොල හිමිවරු එක් නමක් පමණි. ඒ 1848 බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයට එරෙහිව නැඟුණු නිදහස් සටනට පන්සලේ නායකත්වය ලබා දී ජීවිතය පූජා කළ ජාතික කුඩාපොල හිමි ය. යහ පාලන ආණ්ඩුව අපට අතුරලියේ රතන හිමි නම් නූතන කුඩාපොල හිමි නමක් ද දයාද කොට තිබේ. උන් වහන්සේ බෙදුම්වාදීන්ට මේ රට නැවත අත්පත් කර ගැනීමට ජීවිතය පරදුවට තබා සටන් කළ සේක.

එදා අප දත් යතිවරු සිටියේ පන්සලේ ය. දැන් අපට යතිවර නාමය සහිත ටියුෂන් කඩකාරයෙක් ද ලෝක හොරෙක් ද සිටි. අප යහ පාලන ආණ්ඩුව උදා වන තුරු දැන සිටියේ කොග්ගල ප්‍රාඥයා, කන්නිමහර ප්‍රාඥයා වැනි ප්‍රාඥයින් ගැන පමණි. මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙන් ම කේ. ජයතිලක මහතා ද ඒ නමින් හැඳින්වීම ඒ නමට ගෞරවයකි. යහ පාලන ආණ්ඩුව අපට ප්‍රාඥයෙක් ද ලබා දී තිබේ. ඒ මැතිසබේ ප්‍රාඥයා ය. 

උපාධි කිහිපයක් ලැබූ පමණින් කෙනෙක් ප්‍රාඥයෙක් වේ නම් මර්වින් සිල්වා ද ප්‍රාඥයෙකි. කෙනෙකු ලබන උපාධිවලින් ප්‍රකට වන්නේ ඔහුගේ දැනුම මිස බුද්ධිය නොවේ. උපාධි ලැබූ පමණින් යමෙක් බුද්ධිමතෙක් නොවන අතර උපාධි නොලැබූ පමණින් යමෙක් බුද්ධිමතෙක් නොවන්නේ ද නැත. කෙසේ වුව ද එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා වැනි එකල පාර්ලිමේන්තුව නියෝජනය කළ අය බුද්ධිමතුන් වූහ. එහෙත් ඔවුහු තමන් ප්‍රාඥයින් වම්හයි තාප්ප ගානේ පෝස්ටර් ඇලවුයේ නැත. ඒ ඔවුන් බුද්ධිමතුන් ලෙස පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට පිළිගත් හෙයින් සහ සැබෑ බුද්ධිමතුන් වූ හෙයිනි. ඔවුහු අධිරාජ්‍යවාදයට එරෙහි අදීන මිනිසුන් වූහ.

අනෙක් අතට මේ රට සිංහලයින්ගේ වන්නේ කෙසේ දැයි ටයිකොට් ඇඳ පැමිණ රටෙන් අසන ඊනියා උගතුන් තමන් බුද්ධිමතුන් නොවනවා පමණක් නොව උගතුන් ද නොවන බව රටට පෙන්වා දී තිබේ. ඒ නූගත්කම සහ විලිලැජ්ජාවක් නැතිකම එකට එක් වූ විට සිදුවන සන්තෑසිය දැන් ඔබට කොළඹ තාප්පවල "අපේ කාලේ මැතිසබේ ප්‍රාඥයා" නමැති පෝස්ටරය දකින විට අවබෝධ කර ගත හැකි ය. මේ සියල්ල යහ පාලන ආණ්ඩුව විසින් අපට ලබා දුන් විපරිත ආදර්ශයන් ය.  

Friday, July 3, 2015

කළ යුත්තේ කුමක් ද?

සිරිසේන ජනාධිපතිතුමා සුපුරුදු පරිදි සැරසෙන්නේ රනිල් අගමැති කර රට පාලනය කිරීම වැනි පුංචි වැඩය ඔහුට භාර දී අකුරු කියවීම, සිගරට් පෙට්ටිවල රූප ඇඳීම, සපත්තු ගැනීම සඳහා කඩේ යෑම වැනි ලොකු වැඩ කිරීම සඳහා බව පැහැදිලි ය. එක්සත් ජාතික පක්ෂය වෙන ම තරඟ කර ලබා ගන්නා ආසන ප්‍රමාණයට සිරිසේන මහතා ලබා ගන්නා ආසන ටික ද එකතු කර ජාතික ආණ්ඩුවක් යැයි කියා රනිල් අගමැති කර එජාප ආණ්ඩුවක් පිහිටවනු ඇත. එලෙස වැරදිලාවත් රටේ අවාසනාවට රනිල් අගමැති වුවහොත් 2002-2003 ඔහුගේ ස්වාමියා වන ජාත්‍යන්තරය ඔහුට පැවරූ එහෙත් සම්පූර්ණ කළ නොහැකි වූ බෙදුම්වාදී වැඩ කොටස සිය ස්වාමියාගේ පූර්ණ ආශීර්වාදය ඇතිව සම්පූර්ණ කරනු ඇත. එවිට හෙළ උරුමය සුපුරුදු පරිදි ඕගොල්ලා කර ගෙන යන්න අපි විරුද්ධ වෙන්නම් තියරිය අනුව කටයුතු කරනු ඇත.
එහෙයින් මේ අවස්ථාවේ ගත යුතු වඩාත් යහපත් විකල්ප ක්‍රියා මාර්ගය නම් මහින්ද රාජපක්ෂ සමඟ වෙන ම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කර තනිව තරඟ කිරීම ය. ජනවාරි මස ඔහු ලැබූ 58 ලක්ෂයේ ජනවරම එතැන් සිට තවත් බලවත් වූවා මිස දුබල වූයේ නැත. ඊට සාපේක්ෂව යහ පාලන ආණ්ඩුව බොරුවෙන්, වංචාවෙන් ජනතාව නිර්වින්දනය කොට කොල්ල කා ගත් 62 ලක්ෂයේ ජන වරම දැඩි ලෙස සෝදා පාළුවට ලක් විය. ඉතිරි වන ඡන්ද ප්‍රමාණය ද මෙවර එජාපය, ජවිපෙ, ද්‍රවිඩ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, හෙළ උරුමය ආදි පක්ෂ අතර බෙදී යනු ඇත. මේ යථාර්ථය අනුව මහින්ද ප්‍රමුඛ බලවේගයට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීම කිසිසේත් අපහසු ඉලකක්යක් නොවේ.
අනෙක් අතට සිරිසේන මහතාගේ පක්ෂය එජාපය දෙවන තැනට පත්වෙද්දී තුන් වන තැනට පත් වනු වළක්වනු නොහැකි ය. එහෙයින් මහින්ද ප්‍රමුඛ පිරිස කළ යුත්තේ එජාපයෙන් ඉවත් වී බණ්ඩානායක මහතා ශ්‍රීලනිපය නිර්මාණය කළා සේ ම අද නැවත එජාප ඔඩොක්කුවේ සුරතල් වන ශ්‍රීලනිපයෙන් මිදී නැවුම් පක්ෂයක් නිර්මාණය කිරීම ය. බෙදුම්වාදී විරෝධි, රනිල් විරෝධි සියලු ජනතාව ඒ සමඟ පෙළ ගැස්වීම ය. ඒ ඔස්සේ රටේ බලපොරොත්තු මල්ඵල ගැන්වීම ය. යහ පාලන ආණ්ඩුව දින 100ක් තුළ බංකොලොත් කළ රටේ ආර්ථිකය නැවත නිසි මාවතට ගැනීම ය. ඒ සියල්ලට ම වඩා 2009 එක්සේසත් කළ රටේ අනාගතය සුරක්ෂිත කිරීම ය. නැවත හිස ඔසවන බෙදුම්වාදය පරාජය කිරීම ය.
 
සිය රට දේ සිරි සැප දේ !