Wednesday, May 13, 2015

ශෂී-සන්නස්ගල කූට ලේඛන අවනඩුව

ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු කූට ලේඛන පිළිබඳ සමාජය තුළ කතා බහක් නිර්මාණය විය. ඒ "නහී වේරේන වේරානී" බණ පදයෙන් ආරම්භ කළ යහ පාලන ජනාධිපතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණයෙන් කෙළවර වීමත් සමඟ ගිනි කන්දක් පුපුරා ගියා සේ වෛරය, පළිගැනීම නමැති ලෝ දිය රට පුරා ගලන්නට වූ හෙයිනි. 

ජනාධිපතිවරණයට පෙර වේදිකාවේ මහින්දගේ ආණ්ඩුවේ සිටි හොරුන්, දූෂිතයින් අත් අඩංගුවට ගන්නා බවට සපථ කළ ද අත් අඩංගුවට ගත්තේ තිස්ස අත්තනායක සහ ශෂී වීරවංශ ය. ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව කූට ලේඛන සෑදීමයි. තිස්ස අත්තනායක ව්‍යාජ මෛත්‍රී-රනිල් ගිවිසුමක් හැදූ බවට චෝදනා කළ ද ඒ ගිවිසුමේ තිබුණු කරුණු සත්‍ය බව යහ පාලන ආණ්ඩුව දින 100 තුළ ක්‍රියාවෙන් ඔප්පු කර අවසන් ය. ශෂීට එල්ල වී ඇති චෝදනාව පිළබඳ අධිකරණයේ නඩු ඇසෙමින් පවතී.

එහෙත් ශ්‍රී ලාංකේය මහා සිනමාකරුවා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඡායාරූපවලට කේ. පී. පද්මනාදන්ගේ හිස සවි කර පාඨලි චම්පික රණවක කළ මහා කූට ලේඛන වංචාව සඳහා යහ පාලන ආණ්ඩුවේ දඬුවම වූයේ ඔහු නැවත විදුලි බල හා බලශක්ති ඇමති ධූරයෙහි පිහිටුවීම ය. තමන් කූට ලේඛන හැදූ බව පිළිගත් වික්‍රමබාහු කරුණාරත්න ආණ්ඩුවේ විධායක සභාව නම් ප්‍රජාතන්ත්‍ර විරෝධි ආයතනයේ යෙහෙන් වැජඹෙයි. තමන් කූට ලේඛන මිටි ගණන් හැදූ බව පිළිගත් යහ පාලන පෙරගමන්කරු උපුල් ශාන්ත සන්නස්ගල ආණ්ඩුවේ මාධ්‍ය ආයතනවල සුපිරි තරුව බවට පත්ව බබළයි. 

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ කෘති නීති විරෝධි ලෙස මුද්‍රණය කිරීමේ වරදට ලක්ෂ 7.5 වන්දි ගෙවූ සන්නස්ගලයෝ පියසේන කහඳගමගේ සූරීන්ගේ පොත් හොරට මුද්‍රණය කොට බෙදා හැරීම පිළිබඳ සමාව ඉල්ලා කහඳගම සුරීන්ට ලිපියක් යැවූහ. සන්නස්ගලයෝ මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ ග්‍රන්ථ 11ක් කිසිදු ප්‍රකාශන අයිතියක් නොමැති තවමත් මුද්‍රණය කරන බව ගම්ලත් මහතාගේ බිරිඳ සේපාල් අමරසිංහයන්ට පවසා කළ හැකි දෙයක් නැතිව දුක් වෙත්. ගම්ලතුන්ගේ මහාර්ඝ ශබ්දකෝෂයට ගෙවිය යුතු මුදල් නොගෙවීම පිළිබඳ නඩුව තවමත් අධිකරණයේ ඇසෙත්. 

මේ අනුව යහ පාලන සුපිරි තරුව සන්නස්ගලයන් තරම් කූට ලේඛන පිළිබඳ කුප්‍රකට චරිතයක් ලොව ඇතැයි මම අසා නොමැත. එහෙත් සන්නස්ගලයන් මෙවැනි වංචාකාරයෙකැයි නළුවෙක් නොවන මොළයක් බව කියන, හොර බොරු වංචාවලට කිසිදා ඉඩක් ලබා නොදුන් රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් දැන සිටියේ නැත. ඒ වරද සැලවූ වහා ම යහ පාලන ආණ්ඩුව තරාතිරම නොබලා සියලු වැරදිකරුවන් අල්ලා සිරගත කරන බව නැවත වරක් සනාථ කරමින් උපුල් ශාන්ත සන්නස්ගලයෝ එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායක ධූරයෙහි සිරගත කළේ ය. මෙලෙස නැවත නැවත යහ පාලන නීතිය සැමට එක බවත් නීතියට උඩින් කිසිවෙකුට ක්‍රියාත්මක විය නොහැකි බවත් අකනිටා බඹලොව දක්වා විහිද පැතිරවූ යහ පාලන ආණ්ඩුව දිගුකල් දිනේවා!

Tuesday, May 5, 2015

ජොන්ස්ටන් නම් පව්කාරයා...!

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව එතනෝල් ආනයනය හා සම්බන්ධ චෝදනා තිබේ. මහින්ද රාජපක්ෂ රට කළ දස වසරක පාලන කාලය තුළ එතනෝල් ආනයන බලපත්‍ර 88ක් නිකුත් කර ඇති බව ද ඊට එරෙහිව නැඟී සිටි බව කියැවෙන බලවේග පිහිට වූ ඊනියා යහ පාලන ආණ්ඩුව සිය දින 100 තුළ එතනෝල් බලපත්‍ර 28ක් නිකුත් කර සිය සුජාතභාවය තහවුරු කර ඇති බව ද සතුටින් සිහිපත් කර ගත යුතු ය. 

එහෙත් ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ ඒ චෝදනාවලට නොවේ. සතොස තුළ සිදු වූයේ යැයි කියන මූල්‍ය වංචා සම්බන්ධයෙනි. පසුගිය 2001-2003 එජාප පාලන සමය තුළ සතොස නමැති ආයතනය රවි කරුණානායක විසින් නැත්තට ම නැති කර තිබිණි. එය එජාප පාලන සමයන්හි රාජ්‍ය ආයතනවලට මුහුණ දීමට සිදු වූ සාමාන්‍ය ඉරණමයි. 

එහෙත් පසුව මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ සතොස නැවත නඟා සිටුවීම පිටුපස සිටියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු බව නොරහසකි. ඔහු වැසී යමින් පැවති සතොස ශාඛා නවීකරණය කර දිවයින පුරා නව ශාඛා පිහිටුවමින් සතොස නැවත නඟා සිටවූයේ ජොන්ස්ටන් ය. රට පුරා කාගිල්ස්, කීල්ස්, ලාෆ් ආදි පෞද්ගලික සුපිරි වෙළඳ සැල් ජාලා ව්‍යාප්ත වන විට ඒ හා තරඟ කළ හැකි තත්ත්වයට සතොස ඔසවා තැබුවේ ජොන්ස්ටන් ය. 

මෙලෙස සතොස ශක්තිමත් ලෙස නැඟී සිටීම නිසා පෞද්ගලික වෙළඳ ව්‍යාපාරිකයින්ගේ උවමනාව පරිදි භාණ්ඩ මිල ඉහළ නැංවිය නොහැකි වූ අතර සතොස ඉතා ම සාධාරණ මිලට භාණ්ඩ අලෙවි කළ නිසා ජනතාව නැවත සතොස වෙත යෑමට නැඹුරු විය. තම නිවසේ සිට වෙළඳ සැල් සිය ගණනක් පසු කරමින් ජනතාව සතොස කරා ඇදෙන්නට විය. එහෙත් එදා මාස තුනකට පෙර ජොන්ස්ටන් රුපියල් 60ට ලබා දුන් හාල් කිලෝ එක ම දැන් රවී කරුණානායක රුපියල් 75කට ලබා දෙමින් දැන් නැවත සතොසේ මළ බෙරය වයන්නට පටන් ගෙන තිබේ.

සතොස සම්පූර්ණයෙන් විනාශ කර දැමූ එජාපයේ රවීලා පිං ආණ්ඩුවක් අටවා ගෙන සතොස නැවත නඟා සිටවූ ජොන්ස්ටන්ලාට දඬුවම් දීම යහ පාලන කැලෑ නීතියට අනුගත බවට සැකයක් නැත. මිලියන 4000ක් යටි මඩි ගැසූ සිය ගජ මිතුරු අර්ජුන් මහේන්ද්‍රන් තවත් ගජ මිතුරු කමිටුවක් පත් කර නිදහස් කළ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මිලියන 5ක් හොරකම් කළේ යැයි කියා ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීම ඉළ ඇදෙන යහ පාලන විහිළුවකි.

සතොස විනාශ කළ රවි ඇමති ධූරයක පිහිටුවා, සතොස නඟා සිටවූ ජොන්ස්ටන් බලු කූඩුවට දමා යහ පාලනය රටට විශාල ආදර්ශයක් දී තිබේ. ස්ත්‍රියකට අනාචාරයේ හැසිරුණේ යැයි දඬුවම් කරන යහ පාලන විගඩම් උපේක්ෂාවෙන් බලා සිටින අප සිතට නිතැතින් ම පව්කාර ස්ත්‍රීයට ගල් ගැසීමට සුදානම් වූ පිරිස අමතා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළ ප්‍රකාශය නැඟෙයි. 
"මිනිසුනි, කිසිදා පවක් නොකළ අතකින් පළමු ගල ගහපල්ලා!"

යනවා කියා රණවිරුවන් මැදවච්චී
ගැරහූ පරයි දැයේ පවකට ඉපදිච්චි
රවටා රට ම හොර පාරෙන් රජවෙච්චි
මහා බැංකුවත් අන්තිමේ සෙත්තා පොච්චි


Saturday, May 2, 2015

නිර්මාල් රංජිත් දේවසිරි මහතාට එල්ල වූ ප්‍රහාරය ද ඒ පිටුපස ඇති චේතනාව ද හෙළා දකිමු

නිර්මාල් රංජිත් දේවසිරි මහතාට එල්ල වූ ප්‍රහාරය අපි තරයේ හෙළා දකිමු. එමෙන්ම එම ප්‍රහාරය පදනම් කරගෙන ජාතිකවාදී කඳවුරට එල්ල කෙරෙන දෝෂාරෝපණ හා අභූත චෝදනාද හෙළා දකිමු. ඕනෑම අයෙකුට ඕනෑම දේශපාලන රැස්වීමකට හෝ පෙළපාලියකට සහභාගී වීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත ද එය නිරපේක්ෂ වුවක් නොවේ .තමන්ට සපුරා ප්‍රති විරුද්ධ දේශපාලන මතවාද දරන පිරිසක් සංවිධානය කළ පෙළපාලියක් සඳහා සහභාගී වීමට ඒ මහතාට පහළ වුයේයැයි කියන විශේෂ ආශාව නිදහසට කරුණක් ලෙස පිළිගැනීමටද අපි සුදානම් නැත. 

සැබවින්ම ජාතිකවාදී කඳවුර සමග මෙවැනි ගැටුමක් නිර්මාණය කරගෙන එයීන් දේශපාලන වාසි ලබාගැනීමට නිර්මාල් මහතා කාලයක් තිස්සේ අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු කළ බව මගේ අවංක හැගීමයි. යහපාලන ආණ්ඩුවට එරෙහිව නුගේගොඩ මංගල රැළිය පැවති දින උදෑසන සිය හිතවතුන් පිරිසක් එම රැස්වීම් භූමිය අසලට යවා මෙවැනිම ගැටුමක් නිර්මාණය කරගෙන එහි දේශපාලන වාසිය ලබා ගැනීමට ඒ මහතා උත්සහ කළේය. ඔහුගේ ප්‍රථම උත්සාහය අසාර්ථක වුව ද දෙවන උත්සාහය සාර්ථක කර ගැනීමට ඔහු සමත්ව තිබේ. 

නිර්මාල් රංජිත් දේවසිරි යනු ජාතිකවාදී කඳවුරේ තවත්  එක් ප්‍රතිවාදියෙකු පමණි. එහෙයින් දිනේෂ්ට විමල්ට වාසුදේවට ඔහු සමග මෙවැනි ගැටුමක් ඇති කර ගැනීමට කිසිදු උවමනාවක් නැත. එයින් ඔවුන්ට දිනාගත හැකි ජයග්‍රහණයක් නැත. එවැනි ගැටුමක අසමසම ජයග්‍රාහකයා වන්නේ ඒ ජයග්‍රහණය පතා පැමිණි නිර්මාල් මහතාමය. යුතෝපියාන දේශපාලන නිදහසක් සහ සාදාරණත්වයක් කිසිඳු දේශපාලන බලවේගයකින් බලාපොරොත්තු නොවිය යුතුය. එයින් කියවෙන්නේ මෙවැනි දේශපාලන ගැටුම් අප සාධාරණීකරණය කරන බවක් නම් නොවේ. බුද්ධිමය සහ උගත්කම අතින් විවිධ තලවල පිරිස් එකතු වන මෙවැනි අවස්ථාවල එම බලවේගවල ඉවසීමේ ගුණය පරීක්ෂා කිරීමට යාම අනතුරුදායක සහ පදනම් විරහිත බවය.

එවැනි අවස්ථාවක ඇති වන ගැටුමක් පදනම් කර ගෙන සමස්ත දේශපාලන ව්‍යාපාරයකට උප්පැන්න චරිත සහතික දීමට යාම විහිලු සහගතය. සිරිකොත ඉදිරිපිට කළ සාමකාමී උද්ඝෝෂණයේ දී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහාතට එල්ල වුයේ සැලසුම් කළ ප්‍රහාරයකි. එහෙත් නිර්මාල් රංජිත් දේවසිරි මහතාට එල්ල වූ ප්‍රහාරය අහඹුවකි. මෙවැනි ගැටුමක් ඇති වන බව කලින් දැන සිටියා නම් ඒ නිර්මාල් මහතා සහ නිර්මාල් මහතා ම පමණි. එජාප රැළියකට මහින්ද රාජපක්ෂ හෝ වීමල් වීරවංශ සහභාගී වූයේ නම් සිදූවන දේ සහ මාධ්‍ය ඔස්සේ නැගෙන අවලා ද පිළිබඳ ඔබ‍ට මා කීවයුතු නොවෙ. එහෙයින් නිර්මාල් රංජිත් දේවසිරි මහතාට එල්ල වූ ප්‍රහාරය ද ඒ පිටුපස ඇති ගැටුමක් නිර්මාණය කර එහි දේශපාලන වාසිය ලබා ගැනීමේ චේතනාව ද හෙළා දකිමු

 
සිය රට දේ සිරි සැප දේ !