Thursday, February 12, 2015

ශ්‍රීලනීපය රට බෙදන්න සුදානම් ද?

"දෙමළ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට බලය බෙදා හැරීමට තමන් එකඟ නමුත් බෙදුම්වාදය ශක්‌තිමත් කෙරෙන කිසිදු යෝජනාවක්‌ පිළිගැනීමට තමන් සූදානම් නැතැයි විපක්‍ෂ නායකවරයා කියා සිටී." නිමල් ද සිරිපාල ද සිල්වා (දිවයින 15/02/13)

සිල්වා බලය බෙදීමට පක්ෂය. බෙදුම්වාදය ශක්තිමත් කිරීමට විරුද්ධය. බෙදුම්වාදය ශක්තිමත් නොවන අයුරින් බලය බෙදන්නේ කෙසේද? මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලය බෙදීමට පක්ෂ බව මින් කියවේ. මේ වනාහි උගුරට හොරා බෙහෙත් කෑමට දරන අතිශය වංචා සහගත ප්‍රකාශයකි. ප්‍රදේශ මුල් කර ගෙන සිදු කරනු ලබන සියලු ම ආකාරයේ බලය බෙදීම්වලින් රටේ ඒකීයභාවය දියවීමට සාපේක්ෂව බෙදුම්වාදය ශක්තිමත් වන බව ඕනෑ ම අත දරුවෙකුට වටහා ගැනීම අපහසු නැත. එහි කෙළවර ඊළම බව තරයේ සිහි කටයුතු ය. 

අනෙක් අතට 50%ක් පමණ දෙමළ ජනතාව දකුණේ සෙසු ජන කොටස් සමඟ ජීවත් වන පසුබිමක, 2009 පසු එය තව තවත් තීව්‍ර වන පසුබිමක මෙම බලය බෙදීම හරහා දෙමළ ජනතාවට විශේෂයෙන් ඇතැයි කියන ඊනියා ප්‍රශ්නවලට කිසිදු පිළිතුරක් නොලැබේ. එහෙයින් බෙදුම්වාදය ශක්තිමත් වීමට සිරිසේන ලා සිරිපාල ලා එකඟ නොමැති නම් කළ යුත්තේ රටේ ඒකීයත්වය තහවුරු කරන අතර පරිපාලනය විමධ්‍යගත කිරීමය. 

එහෙත් මේ සැරසෙන්නේ යහ පාලන බෝඩ් ලෑල්ල ඉදිරියට දමා ස්වයං පාලන බෝඩ් ලෑල්ල කරළියට ගත්තා සේ බෙදුම්වාදයට විරුද්ධයි, බලය බෙදීමට එකඟයි කියා රටේ ඒකීයත්වය විනාශ කිරීමටය. එක්සත් රාජ්‍යය, ෆෙඩරල් රාජ්‍යය ඔස්සේ ඊළම වෙත යෑමටය. 26 000ක් ජීවිත පූජා කොට එක්සේසත් කළ රට බෙදුම්වාදීන්ට බන්දේසියක තබා පූජා කිරීමට ය. 

මහින්ද රාජපක්ෂ යටතේ එක්සේසත් කළ රට නැවත බෙදුම්වාදීන්ට බිලි දීමට සිරිසේන ජනාධිපතිවරයාට ජනතාව කිසිම බලයත් ලබා දී නැත. ඌව ඡන්දයේ දී තම ආසනය ද පරාජය වූ නිමල් ද සිරිපාල ද සිල්වා අද ජනාධිපතිගේ විපක්ෂ නායක ලෙස කටයුතු කරන්නේ ඊළම අබිමුව පැවති රට 2009 එක්සේසත් කළ විට ජනතාව ලබා දුන් ජන වරමින් බව ඔහු සිහියේ තබාගත යුතුය. 

සිරිසේන ජනාධිපතිවරයාගේ වගකීම සිංහල දෙමළ සියලු දෙනාට මේ රටේ ඕනෑම තැනක ජීවත් විය හැකි එක නීතියක් ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කර තබා ගෙදර යෑම ය. මහින්ද රාජපක්ෂ නතර කළ තැනින් ඉදිරියට රට ගෙන ගොස් සැබෑ යහ පාලනයක් උදා කළ හැක්කේ එලෙසය. ඔහු කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය තහවුරු කළ හැක්කේ එලෙසිනි.

එහෙත් රනිල් වික්‍රමසිංහ හෝ නිමල් ද සිරිලා ද සිල්වා කිසි දිනක එම බලාපොරොත්තු ඉටු වන ගමනක් සඳහා පෙරමුණ ගනු ඇතැයි කිසිවෙකු සිහිනයකින් වුව ද නො සිතිය යුතු ය. ඒ සඳහා මේ රටට ආදරය කරන ඒකීයත්වය ආරක්ෂා කරන එය තව දුරටත් ශක්තිමත් කරන නායකයෙකු වෙත නැවත රට භාර දිය යුතු ය. ලාභෙට ලැබෙන පාන් පිටි ගිලමින් තම දරුවන්ට මව්බිම ලෙස තවත් පලස්තීනයක් ද උතුරින් ඊශ්‍රායලයක් ද ලබා නොදීම සිය පරම වගකීම බව මතක තබා ගත යුතු ය.   

Tuesday, February 10, 2015

ජෝන් ආණ්ඩුව ද? රනිල් ජනාධිපති ද?

විපක්ෂය ජෝන් අමරතුංග ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රී ප්‍රමාණයකගේ අත්සන් සහිතව කතානායකවරයාට භාර දී තිබේ. මේ යෝජනාව පිළිබඳ ඡන්දයෙන් ආණ්ඩුව පරාජය වුවහොත් කළ යුත්තේ ඔහු දරන ඇමති ධූරය ජනාධිපතිවරයා නැවත පවරා ගෙන වෙන සුදුසු අයෙකුට ලබා දීම ය. 

එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ විශ්වාසභංගයෙන් පරාජය වුවහොත් තමන් ආණ්ඩුව විසුරුවා හරින බවත් මහා මැතිවණයක් කැඳවන බවත් ය. විශ්වාසභංග ඉදිරිපත් කර ඇත්තේ ණයට ආණ්ඩු කරන එජාප ආණ්ඩුවට විරුද්ධව නොව එහි එක් ඇමතිවරයෙකුට විරුද්ධව ය. ඒ නිසා ආණ්ඩුව විසුරුවා හැරීමේ අවශ්‍යතාවක් නොමැත. 

අනිත් අතට ආණ්ඩුව විසුරුවීමේ බලය හෝ මහා මැතිවරණ කැඳවීමේ බලයක් වික්‍රමසිංහ අගමැතිවරයාට නැත. ඔහු වර්තමානයේ ජනාධිපතිවරයා ලෙස හැසිරුණ ද ඔහු මේ රටේ සුළුතර ආණ්ඩුවක අගමැතිවරයා පමණි. ආණ්ඩුව විසුරු වීමේ බලය මෙන් ම මහා මැතිවරණයක් කැඳවීමේ බලය ද ඇත්තේ ජනාධිතිවරයාටය. මේ වගේ වැඩ කරන විට ගැමියන් නම් කියන්නේ "ගොනාගේ වැඩ බූරුවා කරන්න ඕන නෑ." කියා ය.

අනිත් අතට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එජාපයට අතිශය වාසි බවත්, තම පක්ෂයට අවාසි බවත් ජනාධිපතිවරයා අවබෝධ කර ගෙන ඇතැයි සිතමි. එහෙයින් ආණ්ඩුව විසුරුවා නොහැර විකල්ප ක්‍රියාමාර්ග ඔස්සේ එය ආරක්ෂා කළ යුතු ය. මේ දින 100 කෝළම මේ ආකාරයට ම විහිළුවක් විකාරයක් ප්‍රෝඩාවක් බව ජනතාවට අවබෝධ කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු ය. එය ඉදිරි මැතිවරණයේ දී එජාපය විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ බලයට පත්වීම වැළැක්වීමට වැදගත් ය. එසේ නොවුණහොත් ඊනියා ජනතාවාදී අයවැය ක්‍රියාත්මක කිරීමට ජනතා විරෝධි සන්ධාන විපක්ෂය ඉඩ නොදුන් බවට කිඹුල් කඳුලු සලමින් ජනතාව ඉදිරියට යෑමේ අවස්ථාවක් එජාපයට හිමි වන අතර එය ඔවුන්ට අතිශය වාසි සහගත ය.  

එමෙන් ම මේ අවස්ථාවේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයට රනිල් සමඟ තරගයට ඉදිරිපත් කළ හැකි හොඳ ම අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ බවට විවාදයක් නැත. රනිල් සමඟ තරඟ කර සන්ධානය දිනවිය හැකි වෙනත් කිසි ම අපේක්ෂකයෙකු එහි නැත. පාඨලි චම්පික රණවක වැනි අය ඊට විරුද්ධ විය හැකි වුව ද ඔහු අද දැහැටි කූරක තත්ත්වයට පත්ව ඇති බව ද මේ රටට වැදගත් වන්නේ රටේ ජයග්‍රහණය මිස පාඨලි නොවන බව ද තේරුම් ගත යුතු ය. 

මහින්ද පරාජය කිරීම පිටුපස සිටින්නේ සිය දේශපාලන අභිලාෂ අනුව මේ රටේ භූ දේශපාලන සිතියම තීරණය කිරීමට අර අඳින ඉන්දියාව, ඇමරිකාව ප්‍රමුඛ කුමන්ත්‍රණකාරයින් බව දැනටමත් අනාවරණය වී ඇති හෙයින් එම පණිවිඩය වහා ජනතාව අතරට ගෙන යෑම ඔස්සේ නැවත මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකි ය. ඒ සඳහා මේ දින 100 වැඩ සටහන වෙස්වළාගත් ආශීර්වාදයකි.
  

Saturday, February 7, 2015

වර්තමාන ආණ්ඩුව පිළිබද මගේ දේශපාලන ස්ථාවරය - නිර්මාල් රංජිත් දේවසිරි

මෙම සටහන ලීවා කියා මගෙ විවේචකයින් මා ආණ්ඩුවේ දුක්ගන්නාරාල බවට පත්කිරීමට දරන උත්සාහය නොනවතින බව මම දනිමි. ඒ සම්බන්ධව මට එතරම් ගැටලුවක් නැත. කෙසේ වෙතත් මගේ අදහස් පිළිබදව සාධනීය උනන්දුවක් දක්වන අය මෙන්ම නිශේධනාත්මක උනන්දුවක් දක්වන අයට සිය විවේචන වලදී අවශ්‍යනම් අදාළ කර ගැනීම සදහාද මේ කරුණු කීපය ඉදිරිපත් කරමි.
මහින්ද රාජපක්ෂගේ පාලන තන්ත්‍රයට එරෙහිව පොදුජන විරෝධතා ව්‍යාපාරයක් ගොඩනැංවීම සදහා දායක වීමේදී පැවැති මගේ ඉලක්ක චතුර්විධ විය.
* පළමු ඉලක්කය විවේචනාත්මක පොදුජන දේශපාලන කතිකාවක් ගොඩ නැංවීම. ඇත්ත වශයෙන්ම මහින්ද ආණ්ඩුව මෙතරම් ඉක්මනින් පරාජය කළ හැකි වෙතැයි මම කෙසේවත් නොසිතුවෙමි. මම 2009 දී පමණ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ මම රාජපක්ෂ පාලනය යටතේ ඉදිරි වසර 15 ජීවත් වීමට හිත හදාගෙන සිටින බවයි. ඒසේ කීවේ විහිළුවට නොවේ. මා ඇත්ත වශයෙන්ම හිතුවේ රාජපක්ෂ පාලනය බිදවැටීමට ඉඩ විවර වනු ඇත්තේ අනුප්‍රාප්ති අර්බුදයක් මතුවූ විට කියායි.
*කෙසේ වෙතත් ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ආණ්ඩුව පරාජය කිරීමේ හැකියාව ඇති බව පෙනුණු විට එයද මගේ ද්විතීය ඉලක්කයක් බවට පත්විය. රාජපක්ෂ තන්ත්‍රය විසින් දේශපාලනයට විලංගු ලා තිබූ තත්වයක් තුළ පත්වන්නේ කුමන ආණ්ඩුවක් වුව ද (එය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකොණයකින් බැලූ විට රාජපක්ෂ තන්ත්‍රයට වඩා නරක එකක් නොවීමට ඉඩ තිබූ තත්වයක් තුළ) ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය පුළුල් කරන්නක් බව මගේ මතය විය. (පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තේරුම්ගත නොහැකිවූයේ මෙයයි.)
* විශේෂයෙන් ගොඩනැංවෙමින් තිබූ විපක්ෂ කදවුරේ දේශපාලන සංයුතිය නිසා පශ්චාත් රාජපක්ෂ ආණ්ඩුව තුළ සීමිත ප්‍රතිසංස්කරණ විභවයක් ඇතිවිය හැකිබව මගේ තක්සේරුව විය. මේ නිසා හුදු ආණ්ඩු පෙරළියකින් ඔබ්බට ගොස් ඇතැම් සීමිත ප්‍රතිසංස්කරණ සදහා ආණ්ඩුව යොමුකිරීමේ හැකියාවක්ද තිබෙණ බව පෙණිනි. මෙය මගේ තෘතියික අපේක්ෂාවයි. එම ප්‍රතිසංස්කරණ නම් ජනාධිපති ධූරයේ බලතල අඩු කිරීම, කොමිෂන් සභා ස්ථාපිත කිරීම වැනිදේ හරහා යහපත් ආණ්ඩුකරණයට අදාළ (ඇත්ත වශයෙන්ම ‘යහපාලනය‘ යන වචනය good governance යන වචනය සදහා නොගැලපේ) ඇතැම් සංවරණ සහ තුළන යාන්ත්‍රණ මීට අයත් වේ.
*හතරවෙනි බලාපොරොත්තුව වඩා වැදගත්ය- එනම් රාජපක්ෂය තන්ත්‍රය පෙරළා දැමීම සදහා ගොඩනැගෙන පොදුජන ව්‍යාපාරය තුළ මතුවන අපේක්ෂාවන් දේශපාලන ක්‍රමය තුළ සුජාත ප්‍රතිමාන ලෙස තහවුරු කිරීම සහ යලි-තහවුරු කිරීම සදහා එයින් ලැබෙන හැකියාවයි. ප්‍රංශ විප්ලවයට අදාළව කියන්නේ නම් ප්‍රංශ විප්ලවය තුළ මතු වූ පොදුජන අභිලාෂ ආසන්න පශ්චාත් විප්ලවීය ආණ්ඩු තන්ත්‍රයන් යටතේ ක්‍රියාවට පෙරළුනේ නැත. සිදුවුනේ ඒවා පිළිගත් දේශපාලන මූලධර්ම ලෙස තහවුරු වීමයි. ඉන් පසුව සිදු වූ බහුජන අරගල වල දී සිදුවූයේ එම පශ්චාත් විප්ලවීය තන්ත්‍රයන් මගින් මූලධර්මීය ලෙස ඔසවා තබනු ලැබූ සංකල්ප (නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය වැනි) ක්‍රියාවට පෙරළීමට උත්සාහ කිරීමයි.
මේ සම්බන්ධව උදාහරණයක් ලෙස මට පුද්ගලිකව ඉතා සමීප අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම පිලීබද ගැටලුව සලකා බලමු. එහි පළමු අදියර වූයේ එම ඉල්ලීමට මහජනයා තුළ සහ ආණ්ඩුබලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් අතර පිළිගැනීමක් ඇති කිරීමයි. එහි දෙවෙනි අදියර වූයේ පශ්චාත් රාජපක්ෂ තන්ත්‍රය විසින් (පසුගිය අයවැයේ දී) එම ඉල්ලීමට රාජ්‍ය මට්ටමින් පිළිගැනීමක් ලැබීමයි. තෙවෙනි අදියර වන්නේ මේ මූලධර්මය ඇත්ත වශයෙන්ම ක්‍රියාවට පෙරළා ගැනීමයි. දෙවෙනි අදියර නිසා තෙවෙනි අදියරට වැඩි පහසුවක් ලැබීම මෙහි ඇති වැදගත් කමයි. (මෙය ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයට නොතේරෙන දෙයකි.)
මා මෙහි සදහන් කර ඇති කාරණා සමස්තයක් ලෙස සැලකිල්ලට ගන්නේ නැතිව මගේ විරුද්ධවාදීන්ට ආණ්ඩුව කරන සහ නොකරන දේ සම්බන්ධව මගෙන් කරුණු විමසීමට පුළුවන මට ඔවුන්ට කීමට හැක්කේ ඉහත් දක්වා ඇති කරුණු වලට අදාළව මිස ඉන් පිටත මා ආණ්ඩුව වෙනුවෙන් විශේෂ වගනීමක් නොගන්නා බවයි. මගේ විරුද්ධවාදීන් බොහොමයකගේ දේශපාලන සාක්ෂරතාවය ඉතා දුර්වල මට්ටමක පවතින් බැවින් මගේ මේ කරුණු දැක්වීම මගේ විවේචකයින් කෙරේ එතරම් බලපෑමක් කිරීමට ඇති ඉඩ බෙහෙවින් අඩුය.

මගේ පිළිතුර (මෙහි සැබවින් ම සාකච්ඡා වන්නේ නිර්මාල් මහතාගේ තර්කය සහ ඇතැම් කමෙන්ට් මගින් පළ කළ අදහස්ය)

ඇත්තට ම සෙරෙප්පුව බුද්ධි ප්‍රභාව ද ඇකඩමියානු විනය ද දෝතට ගෙන උපන් ශාන්ත ෆිලිප්තුමාගේ නම් අප වැනි සට්ටැම්ඹියන්ට, ක්ෂමාලා පකයින්ට එය අමෘතය සේ රස වීම අරුමයක් නොවේ. එහෙයින් ඒ සෙරෙප්පුව හපමි. 

නිර්මාල් මහතා මහින්ද ආණ්ඩුවේ විවිධ වැරදිවලට නලින් ද සිල්වා අමරසේකර පමණක් නොව අප වැනි ලිලිපුට්ටන් ද වග උත්තර කරුවන් කිරීමට උත්සාහ ගත්තේ ය. පසු ගිය දා මහින්දගේ බිලියන දෙකේ ගෘහ භාණ්ඩ ගැන මහින්ද විරෝධීන් ගැසූ කෙබර  පුවතකට නිර්මාල් මහතා අප ටැග් කළේ අප ඒ සඳහා අනියමින් වැරදිකරුවන් කරමිණි. එහි අරුත අප කුමන දේශපාලන පදනමක සිට මහින්දට සහාය දුන්නා ද ඔහු කළ වැරදිවලට ද අප වගකිව යුතු බව නොවෙද? එහෙත් එතුමා දැන් තම ක්‍රියාව තමාට ම පරාවළල්ලක් වූ විට ඉන් ගැලවෙනු පිණිස න්‍යායක් නිර්මාණය කර ගෙන තිබේ. ඒ න්‍යාය එදා සිය දේශපාලන විරුද්ධවාදීන් වෙනුවෙන් භාවිත නොකළ එතුමා එදා එතුමා සිටි තැන සිට අද අප ප්‍රශ්න කරන විට සිය ආත්ම ආරක්ෂාව සඳහා භාවිත කරයි. එය අසාධාරණ නැත. රටේ අධි ආරක්ෂිත කළාප, මාර්ග බාධක, පරීක්ෂා කිරීම්, නාවික මුර සංචාර අවම කරන අතර ජනාධිපතිතුමා බුලට් ෆ්‍රෘෆ් ජැකටයකින් සැරසීම ද සාධාරණ වන්නේ තමන්ගේ ආරක්ෂාව තමා සලසාගත යුතු නිසා ය.

1994 චන්ද්‍රිකා බලයට පත්වන සමයේ ජාතිකවාදයේ ප්‍රබලතාව සමඟ වර්තමාන ජාතිකවාදය සැසඳීම විහිළුවක් නො වන්නේ ශාන්ත ෆිලිප්තුමා වැනි බුද්ධිමතෙකුට ම පමණි. 1994 වන විට ජාතිකවාදය ප්‍රධාන දේශපාලන කතිකාවතෙහි ප්‍රධාන මතවාදයක් නොවිණි. අනෙක් අතට 17 වසරක නරුම එජාප පාලනය ජනතාවට තිත්ත වී තිබිණි. උතුර පමණක් නොව දකුණ ද ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්ව තිබිණි. මේ තත්ත්වය තුළ චන්ද්‍රිකා එංගලන්තයේ සිට මෙරටට ආනයනය කළේ ද විහාරමහා දේවියට අන්දවා මිස දෝණ කතිරිනාට අන්දවා නොවේ. එහෙයින් 94 චන්ද්‍රිකා ලද 62%ක ෆෙඩරල්වාදය හෝ වෙන යම් බෙදුම්වාදයක් වෙනුවෙන් ලද ජන වරමක් යැයි අර්ථ කතනය කිරීම අප වන් ඇකඩමියානු විනයක් නැති සට්ටැම්ඹියන්ට කෙසේ වුව ද ෆිල්ප්තුමා වැනි ප්‍රාඥයින්ට නම් තරම් නොවේ. 

අනෙක් අතට චන්ද්‍රිකා ලද ජනවරමින් පසු රටේ ඒකීයත්වය නැති කිරීම සඳහා කරන ලද සියලු උත්සාහයන් සාර්ථක ලෙස ව්‍යවර්ථ කරන ලද්දේ ජාතිකවාදයේ නැඟීම විසිනි. රනිල් වික්‍රමසිංහගේ උත්සාහයන් ද අසාර්ථක වුයේ එලෙසිනි. බෙදුම්වාදයේ ඍජු ලංකා නියෝජිතයා වන රනිල් වික්‍රමසිංහ ඉතිහාසය පුරා දිගින් දිගට ම පරාජය වන්නේ රටේ බහුතර පිරිසක් ජාතිකවාදී නොවුණ ද බෙදුම්වාදය ප්‍රතික්ෂේප කළ නිසා ය. 2010 මෙන් ම 2015 ද රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පවා නොලැබෙන්නේ ඒ නිසා ය. අද රනිල් මාර්කට් කළ නොහැකි තත්ත්වයට පත්ව සිටින්නේ ඔහුගේ බෙදුම්වාදී දේශපාලනය නිසා ය. මහින්ද රාජපක්ෂට එරෙහිව පාවිච්චි කිරීම සඳහා 2010 මෙන් ම 2015 ද ජාතිකවාදී කඳවුරෙන් කිසියම් ජාතිකවාදී හැඩයක් ඇති ෆොන්සේකා සහ මෛත්‍රී තෝරා ගැනීමට බෙදුම්වාදීන්ය සිදුවන්නේ ඒ නිසා ය. එසේ නොමැතිව රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බලයට ආශාවක් නැති නිසා නොවේ. ඒ මහින්ද වටා ගොඩ නැඟෙන ජාතිකවාදී බලය ජාතිකවාදී හැවක් සහිත පුද්ගලයෙකු භාවිත කර තනුක කිරීම සඳහා ය. නැතහොත් රැවටීම සඳහා ය. අනෙක් අතට දකුණේ ඡන්ද විශේෂයෙන් සිංහල බෞද්ධ ඡන්ද මෛත්‍රීපාලට ආකර්ශනය කර ගැනීමට හෙළ උරුමය, ෆොන්සේකා ඉටු කළ කාර්යභාරය අතිශය වැදගත් ය. රටේ ඒකීයත්වය ගරු කරන ඒ ඡන්දදායකයින් දැඩිව විශ්වාස කළේ පාඨලි, ෆොන්සේකා මෛත්‍රී පාලනයේ සිටින තුරු රටේ ඒකීයත්වයට ප්‍රශ්නයක් ඇති නොවන බව ය. මේ පිරිසෙන් කොටසක් මේ වන විට ඒ සිහිනයෙක් අවදි වුව ද තවමත් පිරිසක් පාඨලි ලා කෙරෙහි විශ්වාස කරති. 

එහෙත් මෙවැනි තත්ත්වයක් 1994 මේ රටේ නොතිබිණි. අවශ්‍යතාව තිබිණි නම් එකල කැමරන්ට හෝ ජෝජ්ර් බුෂ්ට මේ රටේ නායකයා විය හැකිව තිබිණි. එහෙත් අද තත්ත්වය වෙනස් වී තිබේ. ඒ ජාතික මතවාදය රටේ ප්‍රධාන දේශපාලන මතවාදයක් බවට පත්වීම නිසා ය. එය එසේ නොවේ යැයි සිතීමට ඇතැම් ජාතිකවාදී විරෝධි පිරිස් තුළ ඇති ආසාව අපට තේරුම් ගත හැකි ය. ඒ ආසාව මත පිහිටා තමා අත්දකින යථාර්ථයට පිටුපා තර්ක ගොඩනැඟීම ඇකඩමියානු විනය හෙයින් ඒ ගැන අප තුළ අරුමයක් නැත.   

 
සිය රට දේ සිරි සැප දේ !