Saturday, June 19, 2010

එජාපයේ මහ සිකුරාදා

විය යුතු පරිදිම එජාපය හමුදා විජයග්‍රහන සැමරුමින් කර ඇරියේ ය. ඒ ඉසව්වට රෙදි ඇඳගෙන යාමට තරම් හැකියාවක් එජාප නායකයින්ට තිබුණේ නැත. තමන් ඊට නොගිය ද කැමති අයට ඊට අවසර දීමට එජාප නායකයාට නම්‍යශීලි වීමට සිදුවීම, පක්ෂය තුළ යැංකි පැංකි රොත්ත වෙනුවට රටට හිතැති පිරිස ක්‍රමයෙන් පිබිද එන බවට සාක්ෂියකි. අපි ඒ ගැන සතුටු වන්නෙමු.

තොප්පිගල කියන්නේ මහා කැළයක් බවත් නැගෙනහිර අඥාපති තොප්පිගල සෙව්ව ද සිතියමේ ඇත්තේ baron's cap යනුවෙන් බවත් කියමින් රණවිරුවන්ගේ අභීත ජයග්‍රහණය පමණක් නොව ඔවුන්ගේ දැනුම ද හෑල්ලුවට ලක් කළේ රනිල්වික්‍රමසිංහ ශූරීන් ය. හමුදාව කිලිනොච්චි යනවා යැයි කියා මැදවච්චි යන බව පවසමින් ද නැගෙනහිර ඇල්ලුවට හැකි නම් වන්නිය අල්ලා පෙන්වන්නැයි වහසි බස් දොඩා අපේ හමුදාවේ චිත්ත ධෛර්යය බින්ඳේ අද ජාතික ඇඳුමට බැස සිටින රවින්ද්‍රන් කරුණානායගම් ය. ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි යැයි කියා රටේ හමුදාවේ ගොනුන්ට සම කළේ ලක්ෂ්මන් කිරිඇල්ල ය. තර්ජිත ගම්මානවල සයිරන් නළා බෙදා දෙමින් කොටි එන විට සිංහලයාට දුවන්න උපදෙස් දුන්නේ, රටේ පිරිසක් කොටි මරණ වරෙන්තු කරේ එල්ලා ගෙන දිවි ගෙවු යුගයක කොටි පාලනයේ පැවති මඩු පල්ලියට නිතර දෙවේලේ දිව ගිය කොටි මිතුරු ජයලත් ජයවර්ධන ය. ඉතින් මොවුන්ට එය විජයග්‍රහණයක් නො ව ශෝක සතියකි. මහ සිකුරාදා මෙන් දුක්ඛදායක දිනයකි.

රෙදි ඇඳගෙන ගාලු මුවදොරට ගොස් පීඨිකාවේ වාඩිවීමට මොවුන්ට හැකියාවක් නැත. ඒ නිසා කළ යුතු වූයේ කුමක් හෝ හේතුවක් දක්වා ඊට නොයා සිටිම ය. එය ගියාට වඩා හුඟක් හොඳ ය. මොවුන් එතැන සිටියා නම් එහි අභිමාණයට කැළලකි. ඔවුන්ට ඒ උත්තමාචාර බලා සතුටු විය හැකි නම් වයිකෝ, නැදුමාරන්, රුද්‍රකුමාර් සහ ඇතැම් බ්ලොග්කරුවන්ට ද ඉන් සතුටු විය හැකි වනු ඇත. ඒ නිසා සිංහල නාමධාරී වයිකෝලා, රුද්‍රකුමාරන්ලා නාවාට අපට කම් නැත. ඒ ගැන අපි අපේ බලවත් සතුට ප්‍රකාශ කරමු. මව්බිම හමුවේ අපට පක්ෂ, පාට වැදගත් නැත. ඒ සියල්ල ට වඩා මව්බිම අපට උතුම් ය. කෙසේ වුව ද සජිත් ප්‍රේමදාස ඇතුලු එජාපයේ රටට හිතැති පිරිසක් එහි සපැමිණියහ. අපි ඔවුන් හදවතින් ම වැළඳගන්නෙමු. ඔවුන්ට සුබ පතන්නෙමු.

Thursday, June 17, 2010

ටියුෂන් සපුරා තහනම් කරනු!

ඉරිදා ටියුෂන් තහනම් කිරීම පිළිබඳ විරෝධය පළ කර ඇතැම් බ්ලොග් අඩවිවල ලිපි ලියා ඇති අතර ඇතැමෙක් ඊට පක්ෂව කරුණු දක්වා තිබේ. මේ විරෝධතාකරුවෝ සමස්තයක් ලෙස ආණ්ඩුව කරන ඕනෑ ම දෙයක් විවේචනය කිරීමට සැදී පැහැදී සිටින අය බව කිව යුතු නොවේ. දෙස් විදෙස් බලවේග සමග එක පෙළට සිට යුද්ධයට එරෙහිව ලියුවෝ මොවුහු ය. බටහිර තානාපති කාර්යාල සමග එක්ව ෆොන්සේකා ජනපති කරන්නට ලියුවෝ මොවුහු ය. බුදු හාමුදුරුවෝ ළමා අයිතීන් උල්ලංඝණය කොට ඇතැයි ලියුවෝ මොවුහු ය. රටට සෙතක් වන ඕනෑ ම දේකට මොවුන් විරුද්ධ ය. රටේ සම්ප්‍රදාය, සංස්කෘතිය, හර පද්ධතිය දවා හළු කරන ඕනෑම ගින්නකට පිදුරු දමන්නටය; මොවුන් බලා ඉන්නේ. අතට හසු වන ඕනෑ ම දෙයකින් ගැසීමට පුලපුලා සිටින හෙයින් සිතන්නනට වෙලාවක් නැත. නැතහොත් උපතින් ම සිතන ශරීරාංගය ලැබී නැත.

ඉරිදා ටියුෂන් තහනම් කිරීමෙන් සිංහල බෞද්ධයාට විශේෂ වාසියක් අත්වීය යන සාවද්‍ය මතය මේ කුකුල් කේන්තියට ප්‍රධාන හේතුව වී තිබේ. එහෙත් කතෝලික, හින්දු, ඉස්ලාම් ඈ සියලු දෙනාට මේ නිසා ඉරිදාට සිය දහම් අධ්‍යාපන කටයුතු කිරීමට ඉඩහසර හිමි වෙයි. එදින සිය දේවස්ථානයට, කෝවිලට, පල්ලිට ගොස් ආගමික කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. බෞද්ධ දහම් පාසැල් බිහිවූයේ පල්ලියේ දහම් පාසැල ආදර්ශයට ගෙන බව මේ කූප මණ්ඩුකයෝ නොදනිති.

ඉරිදා ටියුෂන් තහනම රටේ වර්ගවාදය පැතිරීමට, ජාතීන් අතර බෙදීම් ඇති වීමට, ළමා අපචාර ඉහළ යාමට, ළමයින්ගේ සිතීමේ ශක්තිය වියැකීමට හේතු වෙතැයි මේ ඊනියා බුද්ධිමත්හු දෙසති. තම දරුවා කළ යුත්තේ කුමක්දැයි තීරණය කරන්නේ තමත් බව තවත් බක පණ්ඩිතයෙකුගේ නරිවාදමකි. පෙර කී ඊනියා බුද්ධිමත්තු අඩුතරමේ අනුන්ගෙන් හිඟා ගත් මතවාදවත් පුරරුච්චාරණය කරති. එහෙත් මේ බක පණ්ඩිතයා තවමත් රාජ්‍ය නමැති සංකල්පය බිහි නොවු ප්‍රාග් ‍ඓතිහාසික යුගයක ජීවත් වන බව පෙනේ. මේ අවිචාරවත් මනස් පුත්තු දෙසන වැදි බණ අසා සාධුකාර දෙන්නට උප්පැන්නේ බෞද්ධයෝ ද, බෞද්ධ වේශධාරියෝ ද දෑත් නළලේ බැඳ බලා සිටිති.

ටියුෂන් යනු නිදහස් අධ්‍යාපනය ගිළගත් මහා පිළිලයකි. එය විභාග කේන්ද්‍රීය භයානක මාෆියාවකි. එහි කිසිදු විෂයක් නූගන්වයි. එහෙත් වසර ගණනාවක ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන ටියුෂන් මාස්ටර්, ළමයි ලවා අනුමාන ප්‍රශ්නවලට උත්තර කටපාඩම් කරවයි. විභාගයේ දී සිදුවන්නේ තමන් තුළ නොමැති දැනුමක් ඇතැයි උත්තර පත්‍ර පරික්ෂක රැවැට්ටීම පමණි. එහෙයින් කළ යුත්තේ මේ මාෆියාව සපුරා තහනම් කිරීමයි. අඩපණ වී ඇති පාසැල් පද්ධතිය යළි නඟා සිටුවීමයි. එවිට නිදහස් අධ්‍යාපනය මේ පොළවේ සැබෑ යථාර්ථයක් වනු ඇත. ළමයාගෙන් උදුරාගත් ළමා කාලය ඔහුට යළි ලැබෙනු ඇත. සැබෑ බුද්ධිමතුන් රටට බිහි වනු ඇත.

Tuesday, June 15, 2010

නැවත පදිංචි කිරීමේ කෙළවර කොතැන ද?

කොටි ත්‍රස්තවාදය විනාශ කළ මානුෂීය මෙහෙයුමේ ප්‍රථම සංවත්සරික උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට රජය සුදානම් වෙයි. යුද සමයේ හමුදාව කිලිකොච්චි කියා මැදවච්චි යන බව පැවසූ, අයවැය පරාජය කර ආණ්ඩුව පෙරළා යුද්ධය නතර කිරීමට වළිකෑ කල්ලිය, ෆොන්සේකා නැතිව මොන විජයග්‍රහණ උත්සව දැයි මුසුප්පුවෙති. යකඩ ගිනිගත් ගෙයි පුළුන් සොයන කොටි හිතවාදීහු පිරිසක් අවසන් මානූෂිය මෙහෙයුමේදී සිදුවූයේ යැයි කියන මානව හිමිකම් කඩවීම් සෙවීමට වෙහෙසෙති. මේ මෙහෙයුම ඇරඹීමට ආසන්නතම සාධකය වූයේ කොටි මාවිලආරු සොරොව්ව වසා 30 000ට වැඩි මිනිසුන්ගේ මානව අයිතීන් උල්ලංඝණයට එරෙහිව බව කොටි මත පුනරුච්චාරණය කරන ඇතැමුන්ට මතක නැත.

උක්ත අවසන් මෙහෙයුමේදී නැගෙනහිර 217 000ක් පමණ ද උතුරේ 293 000ක් පමණ ද අවතැන් විය. නැගෙනහිර සියලු අවතැන්වූවන් මේ වන විට නැවත පදිංචි කර ඇත. උතුරේ 49 000ක් තවමත් අවතැන් කඳවුරුවල ය. ඒ අය ද ඉක්මණින් නැවත පදිංචි කළ යුතු ය. එවිට සියල්ල් කෙළවර ද?තවමත් 49 000ක් අවතැන් කඳවුරුවල යැයි කිඹුල් කඳුලු හෙළන අය සිතන පරිදි ප්‍රශ්නය එතැනින් අහවරය.

එහෙත් මේ යුද්ධය නිසා උතුරු නැගෙනහිර ජීවත් වූ සිංහල මුස්ලිම් ජනතාව වසර 30ක් තිස්සේ සිය මුල්ගම්බිම් අතැර දකුණට පළා ආහ. දෙමළ ජනතාව ද සිය ගම්බිම් අතැර දකුණට ආහ. මේ සියලු දෙනා සිය මුල් ගම්බිම්වල නැවත පදිංචි කළ යුතුය. ඔවුන්ගේ ජීවිත යළි ගොඩනගා ගැනීමට රජය උදව් කළ යුතු ය. ත්‍රස්තවාදය ඇරඹීමට පෙර උතුරු නැගෙනහිර පැවැති ජන අනුපාතය නැවත ඇති කළ යුතු ය. බෙදුම්වාදී කොටි මේ අපේ නිජබිමැයි කීමට උතුරු නැගෙනහිරින් පළවා හැරි සිංහල මුස්ලිම් ජනතාව නැවත එහි පදංචි කළ යුතු ය. විනාශ කර ඇති පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය කළ යුතුය. නැවත පදිංචිකිරීම් කෙළවර වන්නේ එතැනිණි.
 
සිය රට දේ සිරි සැප දේ !