Wednesday, May 19, 2010

ඉතිහාසයෙන් උගනිමු

ඊයේ අපේ රට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස ලද දිනයයි. ඇතැම්හු මේ අපේ දෙවන නිදහස් දිනය යයි කියති. එහෙත් මේ නිදහස පෙර අන් කිසි නිදහසකට වඩා උතුම් සහ ශ්‍රේෂඨ බැව් අප මතයයි. බටහිර විජිත කොල්ලකරුවන්ට එරෙහිව අප රටේ විවිධ කැරලි පැන නැග්ග ද අප නිදහස ලද්දේ ඉන්දිය නිදහස් සටනට පිං සිදුවන්නටය. ඒ නිදහස ද සැබෑ නිදහසක් නොවන්නේ අපේ රට භාර දුන්නේ සුද්දා ඇති දැඩි කළ කළු සුදු කුක්කන් පිරිසකට හෙයිනි. 48 රටේ අගමැති ධුරය ඩී. බී. ජයතිලක මහතාට හිමි විය යුතුය යන්න රටේ මහා සංඝ රත්නය ප්‍රමුඛ දේශප්‍රේමි ජන මතය විය.‍

මේ රට නිදහසේ ප්‍රථම වර්ෂ පූර්ණය සමරද්දි ඊයේ රාජකීය ආසියාතික සමිතිය උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක නටඹුන් පිළිබඳ දේශනයක් සංවිධානය කිරීම සුවිශේෂි වෙයි. එම දේශනය සඳහා ආරාධනා ලැබ සිටියේ සිය ජීවිත කාලයෙන් වසර 50ක් පමණ උක්ත කාර්ය සඳහා කැප කළ එල්ලාවල මේධානන්ද හිමිය. මේ වැදගත් දේශනය සඳහා කිසිදු ප්‍රචාරයක් ලබා නොදුන් නිසා දෝ සහභාගීත්වය අඩු විය. එහෙත් ඒ දේශනය සම ශ්‍රී ලාංකිකයෙකු විසින් ම ශ්‍රවනය කළ යුත්තක්ය යනු මගේ හැඟීමයි.

බෙදුම්වාදයට සහ අධිරාජ්‍යවාදයට සේවය කරන ව්‍යාජ ඉතිහාසකරුවන් ලියූ කසිකබල් පොත් කඩමාළු ඉවත දමා අපි දැන්වත් අපේ සැබෑ ඉතිහාසය සොයා පාදා දිය යුතුය. ඉතිහාසය නූගත් හෙයින් නිවටව පරාධීනව සිටින අද පරපුරට මගේ මේ වදන් නිසරු ප්‍රලාප ලෙස හැඟුණ ද අපේ රටේ ඒකීයත්වය චිර පැවැත්ම රඳන්නේ අපේ සැබෑ ඉතිහාසය අනාගත පරපුර අතර පත් කිරීම මතය. ඊට සිංහල දෙමළ මුස්ලිම් බේදයක් නැත. ඒ සියල්ලෝ ලාංකික දෙමළ සහ ලාංකික මුස්ලිම්වරු වෙති. ඔවුන් මේ රටේ ඉතිහාසය දැන සිටිය යුතුය. එවිට තමන්ට උතුර අයිති යැයි දෙමළ අයද නැගෙනහිර තමනට අයිති යැයි මුස්ලිම්වරුද ජාතිවාදි ගිනි මැළයට බිළිදීමට කිසිවකුට නොහැකි වනු ඇත. ඔවුන්ට ඉතිහාසයෙන් ඉගනීමට ඉඩහසර දිය යුතුය. මේ රට රටේ වෙසෙන සියල්ලන්ගේය. රටේ සිව් කොණ මුල් පදිංචිකරුවෝ සිංහලයෝය. එය පරම සත්‍යයකි. එම සත්‍ය සෙසු ජනතාවට රටේ ඕනෑම තැනක නිදහසේ ජීවත්වීමට තර්ජනයක් නොවේ.

Saturday, May 1, 2010

පදික වේදිකාව කා‍ගෙද?

ඔබ කිසියම් උවමනාවකට විදෙස් ගත විණැයි මොහොතකට සිතමු. එවිට ඔබට, ඔබේ නිවස ගැන සොයා බලන්නට නොහැකි වෙයි. මෙය දැනගත් තවෙකෙක් විත් එහි පදිංචි වෙයි. එය දැනගන්නා ඔබ පොලිසිය මාර්ගයෙන් එහි පදිංචි පිරිස ඉවත් කර නිවස අත්පත් කර ගනී. එකල්හි අර නිවස බලෙන් අත්පත් කර ගෙන සිටි අයට සිය අයිතිවාසිකම් කඩවිණැයි කිව හැකිද? නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව උද්ඝෝෂණ කළ හැකිද?

ඔබ නොහැක කියනු ඇත. එහෙත් පිටකොටුවේ පදික වේදිකා වෙළඳුන්ට සහ ඔවුන්ගේ ඡන්ද බලාපොරොත්තුවෙන් කට අරින දෙස්පාලුවන්ට අනුව නම් එසේ උද්ඝෝෂණ කළ හැකිය. පොලිසිය කලින් විත් ඔවුන්ට ඉවත් වන්නැයි දැන්විය යුතුය. පොලිසිය කියන්නේ එසේ දැන්වූ බවය. අර වෙළඳ පිරිස කියන්නේ එසේ නොකළ බවය.

අපට කීමට ඇත්තේ පොලිසිය එසේ නොකළ යුතු බවය. මේ වෙළඳ මංකොල්ලකාරයින් මහමග මැසි අටවා ගත්තේ පොලිසියෙන් අවසර ගෙනද? පදික වේදිකාව ඇත්තේ මගීන්ට යාමට මිස වෙළඳාම් කිරීමට නොවේ. එය නීතියෙන් තහනම්ය. නීති නොදැන සිටීම දඬුවමින් ගැලවීමට හේතුවක් නොවේ. එහෙයින් නීති විරෝධි වැඩ කර සිය ඊනියා අයිතීන් ගැන කෑ ගැසීමට මේ අයට අයිතියක් නැත.

පදික වේදිකාවේ සිදුවන්නේ වෙළඳාමට වඩා මංකොල්ලයකි. මහමග යනෙන උන්ට කිසිදු ප්‍රමිතියක් නැති බඩු විකිණීම, වැඩි මිලට බඩු විකිණීම, මිනිසුන් බිය වද්දා බඩු විකිණීම, ළඳුන්ට ලිංගික අඩම්තේට්ටම් කිරීම මෙහි සුලබ දේය.

පදික වේදිකා වෙළඳාම සපුරා තහනම් කළ යුතුය. එය නගරයේ සුන්දරත්වයට අනීවාර්ය වේ. එමෙන්ම ඉහත කී දූෂණ ඉන් වළකාගත හැකිය. පදික වේදිකාවේ වෙළඳාම් කිරීම තහන්ම කර ඒ සඳහා දැඩි නීති පැනවිය යුතුය. දඩ මුදල් අය කරගත යුතුය. එම නීති කිසිසේත් ආණ්ඩු මාරු වන විට වෙනස් නොවිය යුතුය.

බාල ජනප්‍රිය තීන්දු තීරණවලින් රටක් ගොඩනැගිය නොහැකිය. හොරකම් කරන, කසිප්පු පෙරන, මංකොල්ල කනවුන්ට නීතියෙන් දඬුවම් දෙනු මිස උන්ට ජීවන මාර්ග සොයා දෙන්නට රජයක් බැඳී නැත. මහපාරට වැටුණැයි උඩුබුරන අය මේ බැව් සිහි තබා ගතයුතුය. පදික වේදිකා වෙළඳ මාෆියාව අවසන් කිරීම දෙකෝටියක් ජනතාවගේ හිතසුව පිණිසම වන බැවින් රජයේ මේ ක්‍රියාදාමය අපි පසසමු. පදිකවේදිකාව මගීන්ගේ මිස පිටකොටුවේ මැරයින්ගේ නොවේ.

Wednesday, April 28, 2010

ගෝළයා දුව දුව කිරීම

සෝමාවතී පුද බිම ඩෝසර් කරමින් සිටි ජාතික අපරාධත්‍කරුවන් පිරිසක් අල්ලා ගත් වන ජීවි නිලධාරීන්ට පහරදී අපරාධකරුවන් පැහැර ගෙන ගිය ප්‍රාදේශීය සභා සභාපති නාම්බෙක් ගැන අද දිවයින කතුවැකිය ලියැවි තිබේ.(තන කන ගවයින්ට කැළලක් වී නම් සමාවන්න.)මේ සභාපති නාම්බා එක්සත් ජනතා නිදහස් සන්ධානයේමලු.

පුදුමය එය නොවේ අර වස්සාට වහා දඬුවම් දෙන්නැයි ගරු මෛත්‍රීපාල සිරිසේන සහ සුසිල් ප්‍රේමජයන්ත මහතුන්ට දිවයින පැමිණිලි කිරීමයි.

ඒ දඬුවම ගරු එල්ලාවල මේධානන්ද හිමි ‍පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ඒ වෙනුවට අර නාම්බා පත් කිරීම වැනි දැඩි එකක් විය හැකිය. ඔහුට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය භාරදී දඬුවම තවත් බරපතළ කිරීමට ද මේ අය පසුබට නොවනු ඇත.

ගමක් ගාණේ චයිනීස් නමැති අරක්කු බාර් ඇර 'මතට තිත' 'තිතට මත' කළ එවුන්ගේ ද,අනවසර වැලි ගොඩ දමා ගිං ගඟ විනාශ කළ හොරුන්ගේ ද,ගමේ කසිප්පුකාරයාගේ,හංදියේ මැරයාගේ ද මුර දේවතාවා වූ පහුගිය ඡන්දයේදි රටේ අවාසනාවට ලිස්ට් එකේ වලිගයේ එල්ලි යාන්තම් පාර්ලිමේන්තුවට රිංගු ජාති භ්‍රෂ්ටයින් මේ ආණ්ඩුව දෝතින් භාරගෙන කැබිනෙට්ටුවේ වාඩි කරවු උජාරුව දුටු අපට සිතෙන්නේ එසේය.

ඒවා දකින පොඩිවුන් අර වගේ සුරතල් වැඩ කිරීමේ කවර පුදුමයක්ද? ගුරා හිටගෙන කරන විට ගෝළයා දුව දුව කිරීම සිරිතය.
 
සිය රට දේ සිරි සැප දේ !