Wednesday, May 17, 2017

සිංහලයිනි, විජයග්‍රහණය නො කෙළසවූ!

ජාතියට අභය දානය දිනාගත් මැයි 18 වන දිනය බෙදුම්වාදී ආණ්ඩුව නො සමරන බව සහතිකය. ඒ වෙනුවට දැන් උතුරේ මහවිරු සමරු පැවැත්වෙයි. එම මහ විරු සැමරුම් නුදුරේදීම ජනපති අගමැති ප්‍රධානත්වයෙන් කොළඹ පැවැත් වුවද මම නම් පුදුම නොවෙමි. 

එක් අතකින් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටිමින් ෆෙඩරල් පාරේ ඊළමට මග කියන ආණ්ඩුව රට එක්සේසත් කළ රණ විරුවන් බොරුවට හෝ සැමරීම ඔවුන්ට කරන නින්දාවකි. එහෙයින් ද්‍රෝහි දෑත්වලින් ඒ දිනය කිළිටි නොකිරීම පිළිබඳ මම සතුටු වෙමි. 

ආණ්ඩුව එය නොතකා හැරිය ද රටට ආදරය කරන කළගුණ ජනතාව විරු සමරුවට සැරසෙති. විවිධ උත්සව පිංකම් සංවිධානය කරති. සෑම නිවෙසකම ජාතික දජ ඔසවා පහනක් දල්වා ඒ ජයග්‍රහණය සැමරීමට මෙන්ම ඒ සඳහා ඇප කැප වූ සියලු විරුවන්ට පිංපෙත් අනුමෝදන් කිරීමටද කටයුතු සුදානම් කෙරෙයි.

කෙසේ වුව ද මැයි 18 විජයග්‍රහණය සිහිපත් කර බුකියේ පළ කර ඇති ඇතැම් පෝස්ටර් එම මහා ජයග්‍රහණයේ විශිෂ්ටත්වය සහ මානුෂික මුහුණුවර හුවා දක්වන අතර ඇතැම් ඒවා ඉතාම අශිෂ්ට ලෙස අපේ රණවිරුවන් සිදු කළ අසීමිත කැප කිරීම් හෑල්ලුවට ලක් කරන ඒවා බව කනගාටුවෙන් වුව කිව යුතුය. මේ ඇතැම් පෝස්ටර්වල සඳහන් වන්නේ මැයි 18 බල්ලා මරපු දිනය බවය. එවැනි අශිෂ්ට පෝස්ටර්වල පසුබිමෙහි ඇත්තේ ප්‍රභාකරන්ගේ දෙපළු වූ හිස සහිත විරූපි මුහුණය.

මේ ඡායාරූපය උජාරුවෙන් ප්‍රදර්ශනය කරන අය තුළ මැයි 18 ජයග්‍රහණය පිළිබඳ ඇත්තේ 96 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තා වැනි බොළඳ නොමේරු මානසිකත්වයකි. අපේ විරෝධාර හමුදාව ත්‍රස්ත ගැටුමේ අවසාන අදියරේ යුද අපරාධ කළේ යැයි අභූත චෝදනා නැගෙන පසුබිමක මෙවැනි බිහිසුණු පින්තූර ප්‍රදර්ශනය ඔස්සේ පනින රිලවුන්ට ඉනි මං බැඳීමක් සිදුවන බව ඔවුන්ට නොවැටහෙන්නේ එහෙයිනි.

එසේම සතුරාගේ වෙඩි උණ්ඩයට ළය දෙමින් වෙල්ලමුල්ලවයික්කාල්හි මිනිස් ආවාරණයක් ලෙස යොදා ගත් හින්දු ජනතාව ලක්ෂ ගණනක් ගලවා ගැනීමට අපේ විරුවන් කළ අති මහත් කැප කිරීම් මෙවැනි එකම එක ඡායාරූපයකින් විනාශ වී යන බව මේ අමනයන්ට තේරුම්ගත නොහැකි වීම කනගාටුදායකය. 

අප නොපිළිගත්තද ප්‍රභාකරන් දෙමළ සමාජයට කෙතරම් හානියක් කළ ද ඒ ජනතාව මුහුණ පාන බොහෝ ගැටළුවලට විසඳුම ඇත්තේ ඔහු ළඟ යැයි පිරිසක් විශ්වාස කළහ. මේ ත්‍රස්ත ගැටුමේ අල ගිය මුල ගිය තැන් පිළිබඳ අවබෝධයක් නැති පිරිකට ඔහු වීරයකු විය. ඔහු ත්‍රස්තයකු වුවද ඇතැමුන්ට ඔහු විමුක්තිකාමීයකු විය. 

එසේම ප්‍රභාකරන් සිංහලයාගේ මාරයා වුවද සිය ඊනියා ඊළාම් දේශයට ආදරය කළේය. ඔහු විදෙස් රටකට නොගිය තරම්ය. ඔහු සිය ඊළාම් දේශයේ අගනුවර පිහිටි තිරිකුණාමල වරාය කිසිවකුට දෙන්න සුදානම් වූයේ නැත. එහි පිහිටි තෙල් ටැංකි ටික විකුණං කෑමට නො සිතුවේය. බිම් අගලක් කිසිවකුට විකුන්නේ නැත.

තමාට එරෙහිව කටයුතු කරන ඉන්දියාව කෙතරම් දැවැන්ත වුවද ප්‍රභාකරන් පෙරළා පහර දුන්නේය. ඔහු ඉන්දීය හමුදා බලව හමුවේ දණ නැමුවේ නැත. අගමැති රජිව් ගාන්ධිට පවා මියෙන්ට සිදුවිය. ලංකාවට පැමිණි ඉන්දීය හමුදාවට පන්න පන්නා පහර දුන්නේය. කලාපීය බලවතාය, අපේ ලොකු අයියාය කියමින් නවදිල්ලි වඳින්නට ඔහු ගියේ නැත. ප්‍රභාකරන්ගේ බොහෝ වැරදි දුටු දෙමළ ජනතාව ඔහු වීරයකු කොට සැලකුවේ මෙවැනි ගති ලක්ෂණ නිසාය.

ඔහු සිංහලයාගේ පරම සතුරා වුවද රට පාවා දෙන විකුණං කන අපේ නිවට නායකයන් මෙන් ප්‍රභාකරන් නිවටයකු නොවේ. ඔහු අපට රිදෙන්න පහර දුන් බව සැබෑය. වසරක් දෙකක් නොව තිස් වසරකට ආසන්න කාලයක් පහර දුන්නේය.

ඔහු⁣ ගොඩනැඟු ත්‍රස්ත සංවිධානය ⁣ලොව බිහිසුණුම ත්‍රස්ත සංවිධානය බව කීවේ අප නොව ඇමරිකාවය. ඔහු අපේ ඉන්දීය අගමැති පමණක් නොව ලංකාවේ ජනාධිපතිවරයෙක් ඇතුළු ප්‍රබල දේශපාලකයන් බුරුතු පිටින් ඝාතනය කළේය. ආසියාවේ ඊලාම් ක්‍රිස්තියානි රාජ්‍යයක් මවා පා බටහිර සහාය දිනාගත්තේය. අප පරාජය කළේ කෙතරම් ප්‍රබල සූක්ෂ්ම උපක්‍රමශීලි සතුරකුද යන්න අවබෝධ කර ගැනීමට මේ කරුණු ප්‍රමාණවත්ය. එහෙයින් අප සතුරාගේ ප්‍රබලතා මෙන්ම දුබලතා හඳුනාගත යුතුය. 

අනෙක් අතට එවැනි ඡායාරූප අපට උතුර දකුණු හදවත් නැවත යා කරන අරගලයට ප්‍රබල බාධකයකි. එමගින් නිරූපනය වන්නේ අශිෂ්ට ගෝත්‍රිකත්වයක් මිස කිසිවක් නොවේ. එහෙත් අපේ හමුදාව ඉතා ම ශිෂ්ට ලෙස එම දුෂ්කර සටනට මුහුණ දුන්නේය. එහි ඊළඟ පියවර ලෙස උතුර දකුණ යා කිරීමේ වගකීම අප භාරගත යුතුය. එහෙත් සිදුවන්නේ එය නොවේ.  

බල්ලා මළේ අද යැයි කියා අද ඒ සතුරා අවප්‍රමාණ කිරීම ඔස්සේ අප හෑල්ලුවට ලක් කරන්නේ ලොවක් විස්මයට පත් කරමින් අප ලද උදාර ජයග්‍රහණයයි. අපේ සතුරා දුබලයකු නම් ඔහු පරදා ලද ජය ශ්‍රෙෂ්ඨ වන්නේ නැත. අපේ මුතුන් මිත්තන් දුබලයකු සමග කරන සටන හෑල්ලුවට ලක් කළේ ගැරඬි මරලා පව් කරගන්න එපා යැයි කියලාය. එහෙත් අද සිංහල වෙස් ගත් අමනයෝ බල්ලා මැරුවේ යැයි උදම් අනති. මෙය කෙතරම් ඛේදවාචකයක්ද?

මේ අමනයන් ගැමුණු පුවත යටි පෙළ ද කියවා අවබෝධ කර ගත්තේ නම් මෙවැනි ⁣අමන වැඩ කරන්නේ නැත. එළාර පරාජය කළ ගැමුණු සිය සතුරාට ගරු බුහුමන් කළේ ඔහු ⁣ තුළ පැවති ඇතැම් යහපත් ගුණාංග නිසා පමණක් නොවේ. ඒ යහපත් ගුණාංග නිසා ඔහු වටා එක්වූ ඇතැම් සිංහලයන්ද ඇතුළු ජනතාව නැවත දිනාගත යුතු හෙයිනි. එමගින් ඔහු ඒ ජනතාව දිනා ගත්තේ එළාරට ද වඩා උතුම් ගුණාංග තමන් තුළ ඇතැයි ප්‍රදර්ශනය කරමිණි. පරාජයෙන් වේදනාවට පත්ව සිටින ජනතාව නැවත දිනාගැනීමට එය කෙතරම් ප්‍රබල උපක්‍රමයක් ද? 

අපේ විරෝධාර හමුදාව ලද ජයග්‍රහණය අවප්‍රමාණ කිරීම පිණිස ද එහි දී ඔවුන් ප්‍රදර්ශනය කළ මහා මානුෂීය ගුණය යටපත් කිරීමට ද රටට හතුරු බලවේග කටයුතු කරන අතර අවසාසන සටනේ බිහිසුණු පින්තූර අපේ හමුදාවට එරෙහිව යොදා ගන්නා පසුබිමක පනින රිලවුන්ට ඉනිමං බඳින ආකාරයේ කටයුතු කරමින් ඒ ජයග්‍රහණය හෑල්ලු කිරීමට වඩා ආණ්ඩුව මෙන් නිහඬව සිටීම වඩා යහපත් බව මගේ හැඟීමයි. 

මොවුන් සැබවින්ම කරන්නේ නැවත සමාජය බෙදා වෙන් කරන අතර රණවිරුවන් දංගෙඩියට දක්කා ගෙන වාමට අවශ්‍ය ජනමතය නිර්මාණය කිරීමය. දුර නොපෙනෙන සිංහලයෝ මෙවැනි බොරු වළවල්වලට පැන සිය දිවි නසා ගැනීමට හපන්නුය.

අප රටක් ලෙස ලද ජයග්‍රහණයේ ශ්‍රෙෂ්ඨත්වය රැක ගැනීමේ වගකීම පැවරෙන්නේ ජයග්‍රාහකයාට මිස පරාජිතයාට නොවේ. පරාජයෙන් වියරු වැටී සිටින පිරිස් මහින්දගේ පඹයන් පුළුස්සමින් කරන දෑවලට ජයග්‍රාහකයා පිළිතුර දීමට යා යුතු නැත. ඔවුන්ගේ මට්ටමට වැටිය යුතු නැත. ජයග්‍රාහකයා නිහතමානිව ජයග්‍රහණයේ සතුට භුක්ති විඳින අතර බුද්ධිමත් ලෙස ඒ ජය මහ පොළවේ සදාතනික ලෙස රෝපණය කිරීමට කටයුතු කළ යුතුය. එය තේරුම් නොගෙන කටයුතු කරන්නා දැන හෝ නොදැන රටට කරන්නේ හානියකි. 

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !