පසුගියදා සිදු සේයා ළදැරියගේ හදිසි මරණයය සමඟ ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණයට එරෙහිව මරණ දඬුවම ඉල්ලා බොහෝ දෙනා හඬ නැඟූහ. අපරාධකරුවන්ට මරණ දඬුවම ඉල්ලන පින්තූර සිය ගණනින් ෆේස් බුක් පිටුවල හුවමාරු විය. රටක් කම්පිත කළ එවැනි අපරාධයක් සමඟ හැඟීම්බර මිනිසුන්ගෙන් එවැනි ප්‍රතිචාර බලාපොරොත්තු විය යුතු ය. එහෙත් අප අතර උගත් යැයි පිළිගැනීමක් තිබූ ඇතැම් පිරිස් විශේෂයෙන් ඇතැම් උගත් බෞද්ධ පිරිස් මේ අතර සිටීම කනගාටුව කරුණකි.
උගත් පිරිස් මෙවැනි තීරණයකට එළඹීමට පෙර ලොව මරණ දඬුවම ක්‍රියාත්මක වන සහ නොවන රටවල සිදු වන මෙවැනි අපරාධ ප්‍රමාණයේ සැලකිය යුතු වෙනසක් තිබේ ද යන්න සොයා බැලිය යුතුව තිබිණි. දැනට මරණ දඬුවම ක්‍රියාත්මක වන මුස්ලිම් ලෝකයේත්, ඇමරිකාවෙත්, චීනයේ සහ උතුරු කොරියාවෙත් අපරාධවල අඩුවක් තිබේ ද? අනෙක් අතට මරණ දඬුවම යනු ශිෂ්ට ලෝකයට කෙතරම් උචිත ද? සියලු දේශපාලන අගතීන්ගේ, නිලධාරිවාදයෙන්, අල්ලසින් දූෂණයෙන් පිරුණු දේශපාලන ක්‍රමයක් තුළ ක්‍රියාත්මක වන අධිකරණ පද්ධතියකින් යුක්තිය ඉටු වනු ඇති ද? සැබෑ අපරාධකරු එල්ලා මරයි ද? නැතහොත් කැකිල්ලේ තීන්දු මගින් අනෙකෙක් එල්ලා මරයි ද? එවැනි වරදක් වුවහොත් එය යළි නිවැරදි කරන්නේ කෙසේ ද? ආදි බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගත යුතුව තිබිණි.
හේතුඵලවාදය පිළිගන්නා බෞද්ධයින් ලෙස අප මේ අපරාධ කිසියම් හේතුවක් නිසා හටගත් ඵලයක් බව හඳුනා ගත යුතු ය. ඉතින් ඵලය නැති කිරීමට නම් කළ යුත්තේ හේතුව ඉවත් කිරීම මිස ඵලය විනාශ කිරීම නොවේ. එම ඵලය විනාශ කිරීම ගඟට ඉනි කැපීමක් පමණක් නොවන්නේ ඒ ඔස්සේ පිරිසක් නැවත අකුසල් රැස්කර ගැනීමක් සිදු කරන හෙයිනි. එමගින් සසර ගමන දිගු කර ගනු පමණි. ඒ අනුව බෞද්ධයින්ගේ අවධානය යොමු විය යුත්තේ මේ ළමා අපචාර, ස්ත්‍රී දූෂණ පිටුපස ඇති හේතුව හඳුනා ගැනීමට ය. ඒ හේතුව ඉවත් කළ කල්හි ඵලය ඉබේම අහෝසි වෙයි.
බුදු දහමින් සහ මේ රටේ පරිසරය විසින් ඔප දැමූ අපගේ හර පද්ධති, ඉන්දියානු බමුණු මතිමතාන්තර සහ වික්ටෝරියානු සුචරිතවාදය සමඟ මිශ්‍ර වී සිදු වූ බිඳවැටීම නිසා ආදරය, ප්‍රේමය සහ ලිංගිකත්වය දෙස කුහක ලෙස බැලීමට සමාජය හුරු වීම ද ඒ ඔස්සේ සමාජයේ ඇති වන ලිංගික අතෘප්තිය නූතන වානිජ මාධ්‍ය විසින් සිය ලාභ උපරිම කර ගැනීම සඳහා භාවිත කිරීම ද මේ පරිහානිය පිටුපස ඇති ප්‍රභල හේතුවකි. මේ කුහකත්වය නිසා පුද්ගලයාට සිය ස්වභාවික අවශ්‍යතා ඉටු කර ගැනීමේ විකල්ප මාර්ග වසා දමනු ලැබේ.
ලිංගිකත්වය එක අතකින් පූජනීත්වයට නංවන අතර අනෙක් අතින් ගර්හිත මී කුණක් ලෙස පිළිකෙව් කරනු ලැබේ. එම පීඩනය පහත් තැනින් වතුර ගලන නියා දහම අනුව පුපුරා ගිය කල්හි මාධ්‍යයන්හි ගොදුරක් වෙයි. පසු ගිය දා සේයා ළදැරිය දූෂණය කර මරා දැමූ අපරාධකරුවාට වඩා ඈ දූෂණයට ලක් කළේ මේ රටේ මාධ්‍ය විසිනි. සමාජය වෙලා පවත්නා ලිංගික කුහකත්වය සහ එහි ප්‍රතිඵලය වන අපරාධ විකුණනමින් ලාභ උපයන මාධ්‍ය පිළිබඳ ව ද අප ගැඹුරු සමාජ කථිකාවතක් නිර්මාණය කළ යුතු ය. එසේ නොවන තාක් නැවත මෙවැනි අපරාධයක් සිදු වූ කල්හි මරණ දඬුවම ඉල්ලා අප අතීසාරයට අමුඩ ගසනු ඇත. අපේ උගත් පාලකයින් ද පිට රටින් එල්ලුම් ගහට කඹ ගෙනෙනු ඇත. මරණ දඬුවම දෙමියි හිස් ගැලරි කතා දෙසාබානු ඇත.
5 comments:
මේ කතාව කොච්චර කිවුවත් අපේ රටේ ඉන්න ආවේගශීලී මෝඩ මිනිස්සුන්ට තේරුම් කරන්න බෑ. මේකට පාර්ලිමෙන්තු අනුමැතිය ලබා නොදෙන තැනට උගත් බුද්ධිමත් සියළු දෙනා කටයුතු කළයුතුයි.
නියම ලියවිල්ලක්. 100%ක් එකඟයි !
"ලිංගිකත්වය එක අතකින් පූජනීත්වයට නංවන අතර අනෙක් අතින් ගර්හිත මී කුණක් ලෙස පිළිකෙව් කරනු ලැබේ" මේ එකම කාසියේ දෙපැත්ත මම හිතන්නේ. ඔයාගේ අදහසට සම්පුර්ණයෙන් ම එකඟයි. ඇත්තටම මෙය කරන්න ඕන දෙයක්
අැසට අැසක් දතට දතක් කියන්නේ ගෝත්‍රික යුගයේ නීතියයි... අපි දැන් ඊට වඩා ටිකක් හරි දියුණු විය යුතුයි....
“සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා -න හනෙය්‍ය න ඝාතයෙ”
(අර්ථය: සියල්ලෝ ම දඬුවමට බිය ය; සියල්ලෝ ම මරණයට බිය ය.
අන් අයත් තමුන් වැනි යැයි සිතා අන් අයට හානි නොකරන්න, මරණයට නොපමුණුවන්න).
“සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා - න හනෙය්‍ය න ඝාතයෙ”
(අර්ථය: සියල්ලෝ ම දඬුවමට බිය ය; සියල්ලෝ ම දිවියට ප්‍රිය ය.
අන් අයත් තමුන් වැනි යැයි සිතා අන් අයට හානි නොකරන්න, මරණයට නොපමුණුවන්න).
[ධම්මපදයෙනි]
Post a Comment