Tuesday, June 30, 2015

තුන් කොන් සටන් මිත්‍යාව පරදමු!

ඉදිරි මැතිවරණය මහින්ද-රනිල්-සිරිසේන තුන් කොන් සටනක් වනු ඇති බවට ප්‍රවාදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරන බව පෙනේ. මේ පිරිස රනිල්ගේ ජයග්‍රහණය පතන පිරිසකි. එමෙන් ම කිසියම් හේතුවක් හෝ හේතු නිසා බෞද්ධ විරෝධි සිංහල විරෝධි පිරිසකි. ඒ ආගම, සංස්කෘතිය, අධ්‍යාපනය හෝ සිය දේශපාලන මතවාද නිසා ය. එම දේශපාලන මතවාදය මාක්ස්වාදය හෝ ලිබරල්වාදය හෝ විය හැකි ය. මේ හේතු විසින් ඔවුන් සිංහල විරෝධීන් හෝ බෞද්ධ විරෝධීන් බවට පත් කර තිබේ. එහෙයින් එකී හේතුවලට මිස පලවලට අමතා පලක් නැත. මේ පිරිසට අමතරව උපන්ගෙයි UNP දායාද කොට ගත් පිරිසක් ද සිටින බව අමතක කළ යුතු නොවේ. ඔවුහු පක්ෂයේ ඉහළ නායකත්වයේ බෞද්ධ විරෝධි ආකල්පය පිළිබඳ සවිඥානික නොවන අහිංසක බෞද්ධයින් ය. 

කෙසේ වුව ද මේ පිරිස උපකල්පනය කරන්නේ මහින්ද-සිරිසේන දෙපිරිසක් ලෙස තරඟ කළහොත් ශ්‍රීලනිප ඡන්ද දෙකට බෙදෙන බවත් ඒ අනුව රනිල්ට තරඟය ජයගත හැකි බවත් ය. පේමදාසට පසු ස්ථාවර ආණ්ඩුවක් සෑදීමට අසමත් වූ රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරනුයේ ඔහු සමඟ තරඟයට නොන්ඩි අශ්වයෙකු පැමිණිය හොත් පමණක් බව මේ පිරිස දැනටමත් පිළිගෙන තිබීම උත්ප්‍රාසජනක ය. කෙසේ වුව ද එය යථාර්ථයයි. 2010 හෝ 2014 මහින්ද සමඟ ජනාධිපතිවරණ තරඟ බිමට රනිල් ඉදිරිපත් කිරීමට හෝ මේ පිරිස කැමති නො වී ය. එහෙත් ඒ සියල්ල අමතක වී රනිල් පාරම්බානු දුටු විට අපට සිහිවන්නේ වෙරි වූ මීයා පුසා සටනට කැඳවීමයි.

මේ පිරිස රනිල් පිළිබඳ යථාර්ථය තේරුම් ගත්ත ද රටේ ජන මනස තේරුම් ගත් බවක් නම් නොපෙනේ. එය එක් අතකින් රටට හිතකර ය.  බොහෝ දුෂ්කරතා මැද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10ක් සමඟ එදා පෙබරවාරි 18 වෙනිදා නුගේගොඩින් ඇරඹි යහ පාලන විරෝධි උඩුගං බලා පිහිනීමේ මහා ක්‍රියාන්විතයට මේ වන විට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100ක් පමණ ද පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් 95%ක් පමණ ද එක්ව තිබේ. ඒ සටන දැන් මහින්ද අගමැති කිරීමේ දැවැන්ත මෙහෙයුමක් බවට පත්ව තිබේ. 2010 ආසන 120ක් පමණ ලබා ශ්‍රීලනිපය ඉතිහාසයේ ස්වර්ණමය යුගය සටහන් කළේ මහින්ද රාජපක්ෂ සමයේ ය. එපමණක් නොව ඔහු බිඳී වෙන්ව යන්නට ඔන්න මෙන්න කියා තිබු මාතෘ භූමිය එක්සේසත් කළ දැවැන්ත නායකයා ය.   

ඊට සමගාමීව පක්ෂයට ද්‍රෝහි වී පක්ෂ අපේක්ෂකයාට විරුද්ධව තරඟ කර ශක්තිමත් සන්ධාන ආණ්ඩුව පෙරලා දැමුවේ සිරිසේන ය. වැටී පණ අදිමින් සිටි එජාපයට පණ නළ ලබා දුන්නේ සිරිසේන ය. පක්ෂය සිරිසේන ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස තමන්ට එරෙහිව ඡන්දය ලබා දුන් 58 ලක්ෂයක් නියෝජනය කළ ශ්‍රීලනිප බලය ඩැහැ ගැනීම පිළිබඳ ජනතාව තුළ කිසිදු පැහැදීමක් නැත. එවන් පසුබිමක ඔවුන්ගේ අපේක්ෂා බිඳ දමමින් මහින්දට අගමැති අපේක්ෂකත්වය ලබා නොදුනහොත් සිදු විය හැක්කේ කුමක් ද? 

එහි දී සිදු වන්නේ 58 ලක්ෂයක් ඡන්ද දායකයින් ඔවුන්නේ 100 වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් 95%ක් පමණ ද සමඟ වෙන ම බලවේගයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වීම ය. ඊට සමගාමීව සිරිසේනට ජනාධිපතිවරණයේ දී ලැබුණු ඡන්ද ලක්ෂ 62 එජාපය, ද්‍රවිඩ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට බෙදී ගිය පසු ඔහු සමඟ ඉතිරි විය හැක්කේ බොහෝ විට හෙළ උරුමයේ ඡන්ද ලක්ෂය පමණි. බලය සහ බලය වෙනුවෙන් හෙළ උරුමය ද සිරිසේන අතහැර යනු ඇත. එවිට ශ්‍රීලනිපය 1977 දී මෙන් ආසන අටේ තැනට වැටෙනු ඇත. බොහෝ විට ශ්‍රීලනිපය තුන් වැනි හෝ හතර වෙනි බලවේගය බවට පත් වනු ඇත්තේ දෙමළ ජාතික සන්ධානය ඔවුන්ට වඩා ආසන ප්‍රමාණයක් දිනාගත හැකි හෙයිනි.

එහෙත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධානයට ඉදිරි මැතිවරණයේ දී ජනාධිපතිවරණයේ දී ලැබුණු ඡන්ද ලක්ෂ 58න් ලක්ෂ 50ක් වත් අවම වශයෙන් දිනාගත හැකි වනු ඇත. එය දිනෙන් දින ඊට වඩා වැඩි වනු මිස අඩු වන්නේ නැත. සුපුරුදු පරිදි රනිල් වික්‍රමසිංහට මෙවරත් විපක්ෂ නායක පුටුව හිමි වනු ඇත. එහෙයින් මේ සටන කෙළවර වනු ඇත්තේ රනිල්ගේ ජයග්‍රහණයෙන් නොවේ. පරාජයෙනි. එහෙත් වඩාත් දරුණු පරාජය ලබනු ඇත්තේ සිරිසේන ය. ඔහු පක්ෂයේ බෝඩ් ලෑල්ල සමඟ අගාධයට ඇද වැටෙනු ඇත. මේ වන විට පක්ෂ බෝඩ් ලෑලි නම් තීරණාත්මක දෑ නොවන තත්ත්වයට පත්ව තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී සිරිසේන දිනුවේ නම ගිය පක්ෂයකින් හෝ ලකුණකින් නම් නොවේ. එය අනාගතයට ද එසේ ම වලංගු ය. සිරිසේන බලෙන් උදුරා ගත් බෝඩ් ලෑල්ල, පක්ෂ මූලස්ථානය හෝ සලකුණ සීගිරි ගලෙන් පතුරක් පමණි. සීගිරි ගලෙන් පතුරක් ගිය කල්හි ගල් දෙකක් ඇතැයි අපි නොකියමු. 

එහෙයින් ඉදිරි මහා මැතිවරණය මහින්ද-රනිල් ද්වන්ධ සටනකි. එය සිරිසේනට ත්‍රිත්ව සටනක් කළ නොහැකි අනෙක් මූලික කරුණ නම් ඔහු රනිල් අගමැති කිරීමේ අරමුණින් ගන්නා තීන්දු තීරණ මත එය ද්විත්ව සටනක් නොවන බව ය. සිය ආසනයත් පැරදුණු නිමල් සිරිපාල අගමැති විය යුතු යැයි කිසිවකු නො සිතන අතර සිරිසේනට කළ හැක්කේ වෙනම තරඟ කොට කිසියම් ආසන ප්‍රමාණයක් දිනා ගෙන ඒ ආසන රනිල් අගමැති කිරීමට ලබා දී ශ්‍රීලනිපයට නැවත ද්‍රෝහී වීමට පමණි. එහෙත් ඒ සිහිනය ද මෙවර ඉටු කර ගත නො හැකි ය. 2004 මහ මැතිවරණයේ දී සිංහල ඡන්ද දෙකට බෙදා සුළු ඡන්දවලින් රනිල් අගමැති කිරීමට හෙළ උරුමය වෙන ම තරඟ කළ ද ඔවුන්ගේ සිහිනය බිඳ වැටිණි. 

සිරිසේන වෙන ම පිරිසක් සමඟ ශ්‍රීලනිපයෙන් තරඟ කිරිමට තීරණය කළ හොත් 2005 වසරේ මෙන් ම අවසන් ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් සිදු නොවේ. එහෙත් එදා බණ්ඩාරනායක මහතා එජාපයෙන් එළියට බැස බිහි කළ ශ්‍රීලනිපය නැවත එජාපයට අවශෝෂණය වීම වැළැක්විය නොහැකි වනු ඇත. එහෙත් ඒ නම, මූලස්ථානය සහ ඡන්ද සලකුණ මිස පක්ෂයේ අධ්‍යාත්මය වන පාක්ෂිකයින් නොවේ. ඔවුන් 1956 එජාපයෙන් මිදි මහජන එක්සත් පෙරමුණ වටා රොක් වූ පරිදි මහින්ද බලවේගය සමඟ එක් වනු ඇත. එහෙයින් මෙවර කිසිදු තුන් කොටසක් නැත. එය මිත්‍යාවකි. ජනවාරි 08 යහ පාලන බේගල්වලින් ජාතිය නිර්වින්දනය කළ පිරිස් මේ උත්සාහ කරන්නේ ජනතාව අධෛර්යමත් කොට ජයග්‍රහණය පැහැර ගැනීමටයි. මේ තුන්කොන් සටන් මිත්‍යාව වහා පරාජය කළ යුත්තේ එහෙයිනි. 

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !