Tuesday, May 5, 2015

ජොන්ස්ටන් නම් පව්කාරයා...!

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව එතනෝල් ආනයනය හා සම්බන්ධ චෝදනා තිබේ. මහින්ද රාජපක්ෂ රට කළ දස වසරක පාලන කාලය තුළ එතනෝල් ආනයන බලපත්‍ර 88ක් නිකුත් කර ඇති බව ද ඊට එරෙහිව නැඟී සිටි බව කියැවෙන බලවේග පිහිට වූ ඊනියා යහ පාලන ආණ්ඩුව සිය දින 100 තුළ එතනෝල් බලපත්‍ර 28ක් නිකුත් කර සිය සුජාතභාවය තහවුරු කර ඇති බව ද සතුටින් සිහිපත් කර ගත යුතු ය. 

එහෙත් ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ ඒ චෝදනාවලට නොවේ. සතොස තුළ සිදු වූයේ යැයි කියන මූල්‍ය වංචා සම්බන්ධයෙනි. පසුගිය 2001-2003 එජාප පාලන සමය තුළ සතොස නමැති ආයතනය රවි කරුණානායක විසින් නැත්තට ම නැති කර තිබිණි. එය එජාප පාලන සමයන්හි රාජ්‍ය ආයතනවලට මුහුණ දීමට සිදු වූ සාමාන්‍ය ඉරණමයි. 

එහෙත් පසුව මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ සතොස නැවත නඟා සිටුවීම පිටුපස සිටියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු බව නොරහසකි. ඔහු වැසී යමින් පැවති සතොස ශාඛා නවීකරණය කර දිවයින පුරා නව ශාඛා පිහිටුවමින් සතොස නැවත නඟා සිටවූයේ ජොන්ස්ටන් ය. රට පුරා කාගිල්ස්, කීල්ස්, ලාෆ් ආදි පෞද්ගලික සුපිරි වෙළඳ සැල් ජාලා ව්‍යාප්ත වන විට ඒ හා තරඟ කළ හැකි තත්ත්වයට සතොස ඔසවා තැබුවේ ජොන්ස්ටන් ය. 

මෙලෙස සතොස ශක්තිමත් ලෙස නැඟී සිටීම නිසා පෞද්ගලික වෙළඳ ව්‍යාපාරිකයින්ගේ උවමනාව පරිදි භාණ්ඩ මිල ඉහළ නැංවිය නොහැකි වූ අතර සතොස ඉතා ම සාධාරණ මිලට භාණ්ඩ අලෙවි කළ නිසා ජනතාව නැවත සතොස වෙත යෑමට නැඹුරු විය. තම නිවසේ සිට වෙළඳ සැල් සිය ගණනක් පසු කරමින් ජනතාව සතොස කරා ඇදෙන්නට විය. එහෙත් එදා මාස තුනකට පෙර ජොන්ස්ටන් රුපියල් 60ට ලබා දුන් හාල් කිලෝ එක ම දැන් රවී කරුණානායක රුපියල් 75කට ලබා දෙමින් දැන් නැවත සතොසේ මළ බෙරය වයන්නට පටන් ගෙන තිබේ.

සතොස සම්පූර්ණයෙන් විනාශ කර දැමූ එජාපයේ රවීලා පිං ආණ්ඩුවක් අටවා ගෙන සතොස නැවත නඟා සිටවූ ජොන්ස්ටන්ලාට දඬුවම් දීම යහ පාලන කැලෑ නීතියට අනුගත බවට සැකයක් නැත. මිලියන 4000ක් යටි මඩි ගැසූ සිය ගජ මිතුරු අර්ජුන් මහේන්ද්‍රන් තවත් ගජ මිතුරු කමිටුවක් පත් කර නිදහස් කළ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මිලියන 5ක් හොරකම් කළේ යැයි කියා ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීම ඉළ ඇදෙන යහ පාලන විහිළුවකි.

සතොස විනාශ කළ රවි ඇමති ධූරයක පිහිටුවා, සතොස නඟා සිටවූ ජොන්ස්ටන් බලු කූඩුවට දමා යහ පාලනය රටට විශාල ආදර්ශයක් දී තිබේ. ස්ත්‍රියකට අනාචාරයේ හැසිරුණේ යැයි දඬුවම් කරන යහ පාලන විගඩම් උපේක්ෂාවෙන් බලා සිටින අප සිතට නිතැතින් ම පව්කාර ස්ත්‍රීයට ගල් ගැසීමට සුදානම් වූ පිරිස අමතා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළ ප්‍රකාශය නැඟෙයි. 
"මිනිසුනි, කිසිදා පවක් නොකළ අතකින් පළමු ගල ගහපල්ලා!"

යනවා කියා රණවිරුවන් මැදවච්චී
ගැරහූ පරයි දැයේ පවකට ඉපදිච්චි
රවටා රට ම හොර පාරෙන් රජවෙච්චි
මහා බැංකුවත් අන්තිමේ සෙත්තා පොච්චි


2 comments:

ලොකු පුතා said...

මේකට කමෙන්ට් දාන්න අමාරු නිසාද දන්නේ නැහැ වැඩිය කමෙන්ට් වැටෙන්නේ නැත්තේ...
කොහොම නමුත් හොරු හොරු කිව්වට මේ වගේ පොඩි පහේ ලපයි සිපයි සීන් ඇරෙන්න මෙයාලට අල්ලන්න දෙයක් නැහැ වගේ...
පව් කියලත් හිතෙනවා ඉස්සරහ ගැන හිතද්දී...

ප්‍රොෆයිල් එකකින් එන කෙනෙකුටත් එක්ක පොදුවේ දාල තියෙන මොඩරේටර් ටික අහක් කරලා දාන්න.
රූප ගළපන්නයි, මේක හරි වාත වැඩක්...

සෙන්නා said...

මොනවද නාමල් මේ කතා.. කොළඹ ටිකක් රවුමක් දාලා බලන්නකො.. රවී තරම් රට්ට සේවය කරපු, ඉස්සරහටත් කරන්න ඉන්න වෙන කවුරුවත් ඉන්නවද මේ සිරි ලංකා දීපේ... රවීලා වගේ සෑබෑ ජනතා පුතුන් මොනා හරි නැති කළානම් යම් හේතුවක් ඇතුව තමා.. ඕවා ඔය ජොන්ටලාට තේරෙන්නැ.. එහෙම නැති කරපු දෙයක් නැවත නගා හිටෙව්වනම් ඒක බරපතල අපරාධයක් තමා.. එහෙම උන්ට දඩුවම් දෙන්නම ඕනා..

මම හිතන්නේ රවීම ගහයි පළවෙනි ගල... කොච්චර පින්වන්තද එතුමන්..

 
සිය රට දේ සිරි සැප දේ !