Saturday, May 2, 2015

නිර්මාල් රංජිත් දේවසිරි මහතාට එල්ල වූ ප්‍රහාරය ද ඒ පිටුපස ඇති චේතනාව ද හෙළා දකිමු

නිර්මාල් රංජිත් දේවසිරි මහතාට එල්ල වූ ප්‍රහාරය අපි තරයේ හෙළා දකිමු. එමෙන්ම එම ප්‍රහාරය පදනම් කරගෙන ජාතිකවාදී කඳවුරට එල්ල කෙරෙන දෝෂාරෝපණ හා අභූත චෝදනාද හෙළා දකිමු. ඕනෑම අයෙකුට ඕනෑම දේශපාලන රැස්වීමකට හෝ පෙළපාලියකට සහභාගී වීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත ද එය නිරපේක්ෂ වුවක් නොවේ .තමන්ට සපුරා ප්‍රති විරුද්ධ දේශපාලන මතවාද දරන පිරිසක් සංවිධානය කළ පෙළපාලියක් සඳහා සහභාගී වීමට ඒ මහතාට පහළ වුයේයැයි කියන විශේෂ ආශාව නිදහසට කරුණක් ලෙස පිළිගැනීමටද අපි සුදානම් නැත. 

සැබවින්ම ජාතිකවාදී කඳවුර සමග මෙවැනි ගැටුමක් නිර්මාණය කරගෙන එයීන් දේශපාලන වාසි ලබාගැනීමට නිර්මාල් මහතා කාලයක් තිස්සේ අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු කළ බව මගේ අවංක හැගීමයි. යහපාලන ආණ්ඩුවට එරෙහිව නුගේගොඩ මංගල රැළිය පැවති දින උදෑසන සිය හිතවතුන් පිරිසක් එම රැස්වීම් භූමිය අසලට යවා මෙවැනිම ගැටුමක් නිර්මාණය කරගෙන එහි දේශපාලන වාසිය ලබා ගැනීමට ඒ මහතා උත්සහ කළේය. ඔහුගේ ප්‍රථම උත්සාහය අසාර්ථක වුව ද දෙවන උත්සාහය සාර්ථක කර ගැනීමට ඔහු සමත්ව තිබේ. 

නිර්මාල් රංජිත් දේවසිරි යනු ජාතිකවාදී කඳවුරේ තවත්  එක් ප්‍රතිවාදියෙකු පමණි. එහෙයින් දිනේෂ්ට විමල්ට වාසුදේවට ඔහු සමග මෙවැනි ගැටුමක් ඇති කර ගැනීමට කිසිදු උවමනාවක් නැත. එයින් ඔවුන්ට දිනාගත හැකි ජයග්‍රහණයක් නැත. එවැනි ගැටුමක අසමසම ජයග්‍රාහකයා වන්නේ ඒ ජයග්‍රහණය පතා පැමිණි නිර්මාල් මහතාමය. යුතෝපියාන දේශපාලන නිදහසක් සහ සාදාරණත්වයක් කිසිඳු දේශපාලන බලවේගයකින් බලාපොරොත්තු නොවිය යුතුය. එයින් කියවෙන්නේ මෙවැනි දේශපාලන ගැටුම් අප සාධාරණීකරණය කරන බවක් නම් නොවේ. බුද්ධිමය සහ උගත්කම අතින් විවිධ තලවල පිරිස් එකතු වන මෙවැනි අවස්ථාවල එම බලවේගවල ඉවසීමේ ගුණය පරීක්ෂා කිරීමට යාම අනතුරුදායක සහ පදනම් විරහිත බවය.

එවැනි අවස්ථාවක ඇති වන ගැටුමක් පදනම් කර ගෙන සමස්ත දේශපාලන ව්‍යාපාරයකට උප්පැන්න චරිත සහතික දීමට යාම විහිලු සහගතය. සිරිකොත ඉදිරිපිට කළ සාමකාමී උද්ඝෝෂණයේ දී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහාතට එල්ල වුයේ සැලසුම් කළ ප්‍රහාරයකි. එහෙත් නිර්මාල් රංජිත් දේවසිරි මහතාට එල්ල වූ ප්‍රහාරය අහඹුවකි. මෙවැනි ගැටුමක් ඇති වන බව කලින් දැන සිටියා නම් ඒ නිර්මාල් මහතා සහ නිර්මාල් මහතා ම පමණි. එජාප රැළියකට මහින්ද රාජපක්ෂ හෝ වීමල් වීරවංශ සහභාගී වූයේ නම් සිදූවන දේ සහ මාධ්‍ය ඔස්සේ නැගෙන අවලා ද පිළිබඳ ඔබ‍ට මා කීවයුතු නොවෙ. එහෙයින් නිර්මාල් රංජිත් දේවසිරි මහතාට එල්ල වූ ප්‍රහාරය ද ඒ පිටුපස ඇති ගැටුමක් නිර්මාණය කර එහි දේශපාලන වාසිය ලබා ගැනීමේ චේතනාව ද හෙළා දකිමු

1 comment:

Unknown said...

ඒත් කසා....... මේක වැරදීමක් හෝ අහම්බයක් නෙමෙයි.. පහර දීමක්.. විරුද්ධ මතයට මේ විදිහට පහර දෙන උන් අාණ්ඩු ගත්තා ම කරන විදිහ අපි දැක්කානේ........... කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැත

 
සිය රට දේ සිරි සැප දේ !