Friday, April 4, 2014
පයින් යන්න තහනම් කළ ආසියාවේ අයිස්චරිය..!!!
ඊයේ මාසික සාහිත්‍ය දේශනයට සවන්දීමට ජාතික පුස්තකාල ශ්රවනාගාරයට ගිය මම දේශන අවසානයේ සාකච්ඡා වාරය අතරතුර මිතුරෙකු ද සමඟ ඒ පිටුපස පිහිටි තුරඟ තරඟ පිටියට ගියෙමි. ඒ ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම් අතර 20/20 ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් තරඟයේ ආරම්භක අවස්ථාව දැකබලා ගැනීමටය. (එහි පුළුල් තිරයේ තරඟය බැලිය හැකිය.)
අප තුරඟ තරඟ පිටියට ගියේ විශ්වවිද්‍යාලයේ සිට පුස්තකාලයට පයින් යනෙන කෙටි මග ඔස්සේය. මා සිය දහස් වාරයක් ආගිය මාර්ගය දිගේය. එනම් රීඩ් මාවත දිගේ පැමිණ තුරඟ තරඟ පිටිය ඔස්සේ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පුස්තකාලය අතරින් වැටී ඇති මාර්ගයේය. පයින් යන අය සඳහා එය කෙටි මාර්ගයකි. පුස්තකාල සේවක පිරිස ද කුරුඳුවත්ත බස් නැවතුමට එන්නේ ඒ මගිනි.
මුල් පන්දු වාර කිහිපය නැරඹු අපි නැවත ඒ මාර්ගය ඔස්සේ පුස්තකාලයට පැමිණෙන විට පෙරකී මාර්ගයේ රැඳී සිටි පොලිස් නිලධාරියෙකු මට පැවසුවේ මේ පාර වසා ඇති බවත් ක්‍රීඩාංගනය කෙළවරට ගොස් ක්‍රීඩා අමාත්‍යංශය ඔස්සේ පුස්තකාලයට යන ලෙසත්ය. මිනිත්තු කිහිපයකට කලින් මේ මාර්ගය ඔස්සේ පැමිණි මා පරංගියා කෝට්ටේ ගියා වැනි මාර්ගයක නැවත පුස්තකාලයට යා යුත්තේ ඇයි දැයි විමසු මම මිතුරා ද සමඟ ඔහුගේ අණ නොතකා පුස්තකාලයට ගියෙමි.
එහි ගොස් නොබෝ වේලාවකින් විල්පත්තු අභයභූමිය විනාශ කරන බව ඇසූ වහා රිෂාඩ් බදූර්දීන් ඇතුළු පිරිස අත් අඩංගුවට ගැනීමට යුහුසුලු වූ ශ්‍රී ලංකා පොලිසිය මෙන් පොලිස් කණ්ඩායමක් මා වට කොට ගත්තේය. එහි පැමිණි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු මට ඉතාම කාරුණික ලෙස පෙන්වා දුන්නේ එහි මාර්ගයක් නොමැති බවත් පොලිස් අණ නොතකා පැමිණීම වරදක් බවත්ය. මා වැනි උගත් බුද්ධිමත් අය (???) එවැනි දේ නොකළ යුතු බවත්ය. මට කිසිවක් කතා කිරීමට ඉඩ නොදීමට තරම් කාරුණික වූ ඒ නිලධාරි මහතා ඇතුළු පිරිවර පසුව නික්ම ගියේය.
මේ සිද්ධිය හමුවේ ඒ නිලධාරිතුමාගේ හැසිරීම පොලිසිය කෙරෙහි මා තුළ පැවති අපැහැදීම කිසියම් දුරකට තුනී කිරීමට සමත් විය. කෙසේ වුව ද අද දිවයින පුවත්පතේ පුත්තලම කලා ඔය රක්ෂිතයේ ඉතා වටිනා ඉපැරණි කුඹුක් ගසා කපා පටවන බවට ලද පැමිණිල්ලක් අනුව එය වැටලීමට ගිය පොලිස් පිරිස ඇමතියෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු එහි සිටිනු දැක පළා ගිය පුවත දුටු මට මේ අසරණයින් කෙරෙහි දුකක් ද ඇති විය.
මේ අතර අර පොලිස් නිළධාරි පිරිස නික්ම ගිය වහා එහි පැමිණි පුස්තකාලයේ සේවක පිරිසක් මා සමඟ පැවසූවේ මෑතක සිට ඔවුන්ට පෙර කී මාර්ගය ඔස්සේ ගමන් කිරීමට තහනම් බවත් ඒ පිළිබඳ ආයතන ප්‍රධානීන් තමන්ට ලිඛිතව දැනුම් දුන් බවත්ය. ඊට හේතු වී ඇත්තේ එක්තරා අධිකරණ විනිසුරුවරයෙක් පුස්තකාල පරිශ්‍රය සහ ලේඛනාරක්ෂක දේපාර්තමේන්තුව වට ඇති පාපැදි මං තීරුවේදී මගියෙකුගේ ඇඟේ හැපී ඇද වැටීමය. (මේ නිසා එතුමාගේ ශ්‍රී දේහයේ කිසියම් අවයවයකට හානි වී දැයි මම නොදනිමි.) කෙසේ වුව ද කුණු බැනුම් ඇසුවේ රජතුමාය. මෙවර මැතිවරණයෙන් කෙළවුණා මදි බවත් තව තවත් කෙළවිය යුතු බවත් ඔවුන්ගේ අදහස විය.
කලක් කසළවලින් සහ ළඳු කැලෑවලින් වැසී පැවති නිදහස් චතුරස්‍ර ප්‍රදේශ එලිපෙහෙලි කර මෙලෙස ව්‍යායාම කිරීම සඳහා සකස් කිරීම පිළිබඳ මම සතුටුවෙමි. මම ද උදෑසන එහි ව්‍යායාම කටයුතු කිරීම පුරුද්දක් කර ගෙන සිටිමි. ඇතැම් විට මම ද යුද හමුදා කුටියෙන් පාපැදියක් ගෙන පදිමි. එසේ පදින අවස්ථාවල ඇතැම් සාමාන්‍ය ජනයා මෙන් ම ව්‍යායාම කරන පිරිස් එනම් දිවීම සහ ඇවිදීම කරන අය ද බයිසිකල් මංතීරුවෙහි මුණගැසෙයි. හරහා පනියි. ඇතැම් විට කල්ලි පිටින් තීරුව පුරා ගමන් කරයි. එවිට මා කරන්නේ පාපැදියේ සීනුව නාද කිරීම තිරිංග තද කිරීම මගින් මාර්ගය පාදා ගැනීමය. ඒ නිසා මම කිසි දිනක වෙන අයෙකුගේ ඇඟේ හැපී නැත.
එහෙත් දැන් සිදුව ඇත්තේ පරිස්සමින් සිය පාපැදිය හැසිරවිය නොහැකි උතුමෙකු නිසා රටේ සාමාන්‍ය ජනතාවට පයින් යෑම තහනම් කිරීමය. රටේ සංවර්ධනය යනු සාමාන්‍ය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකරමින් යන ගමනක්ද? එසේ නම් ඒ සංවර්ධනය කාටද? මාර්ගයක රිය අනතුරක් සිදුවූ විට රියදුරාට වරදක් කර ඇත්නම් දඬුවම් ලබා දුන්න ද ඒ අනතුර නිසා මාර්ගය මගීන්ට තහනම් කිරීම කවර නම් විකාරයක් ද? මේ විනිසුරුවරයා බුද්ධිමතෙක් නම් කළ යුතුව තිබුණේ ඒ කොටසේ ද මගීන් සඳහා ද මාර්ග කොටසක් තනන ලෙස අදාළ ආයතනවලට දැනුම් දී එම කොටස තාවකාලිකව පාපැදි ධාවනය නතර කිරීමය. මන්ද එය නයිට් ක්ලබ් එකකට හෝ ගණිකා මඩමකට යන මාර්ගයක් නොව මේ රටේ වැදගත්ම පුස්තකාලයට පිවිසය හැකි මගකි. එහෙත් මේ විනිසුරුවරයා ද කර ඇත්තේ නූගත් දේශපාලකයෙකු ලෙස සිය බලය අනිසි ලෙස භාවිත කිරීම පමණි.
සාමාන්‍යයෙන් මේ රටේ සිය බලය අයුතු ලෙස භාවිත කැරීම පිළිබඳ බොහෝ චෝදනා එල්ල වන්නේ දේශපාලකයින්ටය. එහෙත් උගත් බුද්ධිමත් යැයි කියන විනිසුරන් මෙලෙස ක්‍රියා කරයි නම් නූගත් මෝඩයින් කරක් ගහන දේශපාලන පොරපිටිවල කවරක් නම් සිදුවිය නොහැකිද? වරක් හිටපු අගවිනිසුරුවරිය එක්තරා ආයතනයකට ගිය විට සුළු සේවකයෙකු ඇයට ගෞරව නොකළේ යැයි ආයතනයෙන් අස් කරන ලෙස බලපෑම් කර අස්කර තිබිණි. තවත් විටෙක නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ මඟුල් මඩුව තුළ ව්‍යායාම කරන දෙදෙනෙකු දුටු එහි ආරක්ෂකයෙකු ඔවුන්ට ඉන් ඉවත් වන ලෙස පැවසූ විට ඒ දෙදෙනා තමන් ලෝයර්ස්ලා බව පවසමින් එකී ආරක්ෂකයාට බැණ වදිනු අසා සිටීමට තරම් මම අවාසනාවන්ත වීමි.
මේ අර්ථයෙන් ගත් කළ නීති සම්පාදනය කරන දේශපාලඥයින් සහ ඒවා ක්‍රියාත්මක කරන පිරිස් අතර ද කිසි වෙනසක් නැත. දෙපිරිසම වැදි බණ දෙසති. කැලෑ නීතිය ම රජයයි. මේ අනුව ආනමාලු ඉමිතියාස් ද දුමින් ද සිල්වා ද පෙරකී විනිසුරන් හා නීතිඥයින් ද එවුන්ට හූ කියා පසුව සොරි කී රිෂාඩ් බදූර්දීන්ලා ද එක වල්ලේ පොල්ය. එයට කෙටියෙන් ම කිව හැක්කේ ආසියාවේ අයිස්චර්ය කියා ය.
Subscribe to:
Post Comments (Atom)
8 comments:
නීතිය රැකිය යුතු තැන්වලිනුත් කටයුතු වෙන්නෙ මෙහෙමනම්, මහජනතාව නීතිය අතට ගැනීම කිසිම වරදක් නොවේ.. පවතින ක්‍රමය මගින් තමන්ට සාධාරණයක් ඉශ්ඨ නොවන්නේනම් තමන්ම තමන්ට සාධාරණයක් ඉෂ්ට කර ගැනීට වරදක් කිව නොහැකිය. එය ආස්චයයේම කොටසක් විය හැකියි.
නීතිය??
තියෙනවද තාම??
apo thiyanawa. neethi ekak nemei dekak.
ඔව් ඔව් නීථිය මේ රටේ නෑ කියන එක අමූලික බොරුවක්. නීති එකක් නෙමේ දෙකක් තියෙනවා. රිෂාඩ් බදූර්දීන්ට සහ අර ඇමතියාගේ පෞද්ගලික ලේකම්ට එකක්. ඒ අය නීතයේ විශේෂ මුක්තිය හිමි වන අය. (විශේෂ මුක්තිය ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිට විතරක් හිමි වුණාට දැන් ඒක අපේ අතිගරු ජනාධිපතිතුමා විදමධ්යගත කරලා තියෙන්නේ බිම් මට්ටම දක්වා. ඒ කියන්නේ ආණ්ඩු පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා. විපක්ෂයේ අය කෑ ගහනවා රාජපක්ෂලා සියලු වරප්‍රසාද තමන් සතු කරගෙන ඒකාධිපති ගමනක් යනවා කියලා. මං අර කලින් කියපු නීතියේ මුක්තිය විමධ්‍යගත කිරීම ම විපක්ෂයේ තර්කය නිශේධනය කරනවානේ.) අනෙක තමා අපි වගේ අය වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතිය.
නීතිය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවනේ..
මගේ යාලුවෙකුට තදින් අවවාද හා දඩයක් ගෙවන්න සිද්ද උනා හෝන් කරලා ඉදිර්යෙන් ගිය නඩුකාර නෝනා කෙනෙකුගේ වාහනයක් ඉස්සර කිරීමේ වරදට. ඉතින් කොහොමද නීති නැ කියන්නේ ;)
ඔව් ඔව් නීති තියෙනවා. අහිංසක මිනිස්සුන්ට එකක්. සමාජ බලය තියෙන අයට තව එකක්. :D දෙගොල්ලන්ට ම එකක් තිබුණාම ක්‍රියාත්මක කරන්න අමාරු ඇති. :D
මෙන්න තවත් ශ්‍රේෂ්ඨ විනිසුරුතුමෙක්..http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=20456%3A2014-04-09-05-40-35&catid=69%3A2009-08-07-09-41-10&Itemid=130
Post a Comment