Sunday, April 6, 2014

තුන් සිංහලය එක් සේසත් කළ රාත්‍රිය ... !!!

ඒ සිහිනය නැවත සැබෑ කර ගන්නට අපට වසර 18ක් පෙරුම් පිරීමට සිදුවිය. ලෝක කුසලාන 4ක් අසලට පැමිණ නැවත හැරී යන්නට සිදුවිය. කෙසේ වුව ඒ සියල්ල අතීතයට එක් කර ඊයේ රාත්‍රී සිහිනය සැබෑ කර ගතිමු. ඩැරන් සාමි අනුව නම් ඒ දෙවියන්ගේ කැමැත්තයි. 

තරඟය ආරම්භ කරන මොහොතේ මා සිටියේ තුරඟ තරඟ පිටියේ ක්‍රීඩාගාරයේය. මුළු නගරයම සැණකෙළි වෙස් ගෙන තිබිණි. ක්‍රීඩාංගණයේ දැවැන්ත තිරය තරඟය සජීවි ලෙස විකාශනය කිරීමට සුදානම් කර තිබිණි. ශ්‍රී ලාංකික ක්‍රීකට් ලෝලීන් සිංහ දජ පතාක රැගෙන ජයඝෝෂ නඟමින් ක්‍රීඩාංගණය වෙත පැමිණි අතර ක්‍රීඩාගාරය අතුරුසිදුරු නැතිව පිරී යන්නට වැඩි වේලාවක් ගත නොවිණි. 

කාසියේ වාසිය මාලිංග සතු කර ගනිත්ම ජය ඝෝෂාවෙන් මුළු ක්‍රීඩාංගණය ම ගිගුම් දෙන්නට විය. ලංකාවේ ජය පතා වයන මෝලම් හඬ දෙගුණ තෙගුණ විය. ඉන්දීය ජාතික ගීය ගයන විට සියලු ජය ඝෝෂා නතර කොට නිහඬවීමට තරම් බොහෝ ලාංකිකයින් වගකීම් සහගත වුව ද සුළු පිරිසක් කෑ කෝ ගසමින් සිය අසංස්කෘතිකත්වය ප්‍රදර්ශනය කිරීමට අමතක නොකළේය. ඒ මොහොතේ සිය අසුන්වලින් නැගිට නිහඬව සිය ගෞරවය ඉන්දීය ජාතික ගීයට පළ කළ සියලු දෙනා මගේ විශේෂ ගෞරවයට පාත්‍ර වේ. කෙසේ වුව මාලිංග ප්‍රමුඛ ලංකා කණ්ඩාවම අපේ ජාතික ගීය ගයන විට සියලු දෙනා නැඟිට මහත් අභිමාණයෙන් ජාතික ගීය ගැයූ බව ද කිව යුතුමය.

දස අත ගිගුම් දෙන ජයඝෝෂා මැද තරඟය ඇරඹිණි. අපේ සිංහ පැටව් වෙනුවෙන් මුළු ක්‍රීඩාගාරය ම ජය ඝෝෂා නැඟු අතර ඉන්දී ජාතිකයින් පිරිසක් සිය රටේ ජය පතා ඝෝෂා නඟනු දක්නට ලැබිණි. මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මා අවට සිටි මුස්ලිම් පිරිස ලංකාවේ ජය පතා හඬ නැඟු බවය. ඔවුන් මුස්ලිම් අන්තවාදයේ ගොදුරු බවට පත් නොවූ සැබෑ දේශප්‍රේමි ලාංකිකයින්ය. 

මුල් පන්දු වාර කිහිපය අවසානයේ මම මගේ නවාතැන අසල ශ්‍රී විහාර් හෝටලය වෙත පැමිණියෙමි. (එය මීට පෙර ශාන්ති විහාර් නම් විය.) රාත්‍රී ආහාරය ගෙන එහි සේවක පිරිස සමඟ හෝටලයේ රූපවාහිනිය ඔස්සේ තරඟය නැරඹුවෙමි. ශ්‍රී විහාර් දෙමළ හින්දු වෙජිටේරියන් හෝටලයකි. එහි සේවක බහුතරය ශ්‍රී ලංකා දෙමළ වන අතර සූපවේදීන් සිව් දෙනෙක් ඉන්දීය ජාතිකයෝය. එම සිව් දෙනා අතරින් තරඟය නරඹමින් සිටි දෙදෙනා හැර අපි සියලු දෙනා ලංකාවේ ජය පැතූ අයවීමු. ඉන්දිය විකට් බිඳෙන විට, ලකුණු වළක්වන විට අපි ප්‍රමුදිත වූ අතර චිරාත් කෝලි පිටිය සිසාර සිය අණසක පතුරු වන මුකුලිත වීමු. එවන් අවස්ථාවල ඉන්දියානුවෝ බෙහෙවින් සතුටු විය.

තරඟය කෙළවරවත්ම මට මගේ කොළඹ හින්දු මිතුරියගෙන් ලැබුණු කෙටි පණිවිඩයක සඳහන් වූයේ "අපි දිනුවා! කොහොමද සංගාගේ වැඩ!" යනුවෙනි. මගේ යාපනේ මිතුරියක සිය නිවසේ සිට මට එවූ කෙටි පණිවිඩයක් මෙසේය.

"Ys Iya, It's a new year gift 4 all Sri Lankans. wow amazing. Gud luck Sanga. He is a hero. Thnk God." 

මේ සියල්ල මා කීවේ මා බොහෝ කලක සිට කියන කතාවක් නැවත කීම සඳහා පසුබිම සකසා ගැනීම පිණිසය. විවිධ හේතු නිසා විවිධ බෙදීම් රාමුවල සිරවී සිටින අපි ඊයේ රාත්‍රී ජාතියක් ලෙස එකට සිට ගතිමු. එකම අපේක්ෂාවක් වෙනුවෙන් අත්වැල් බැඳ ගතිමු. අපේ මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් එකාවන්ව පෙනී සිටියෙමු. 

විවිධ අන්තවාදී බෙදුම්වාදී දිශානතීන් වෙත නොගොස් මේ රටේ සිංහලයින් සමඟ එකාවන්ව ජීවත්වීමට කැමති හින්දු සහ මුස්ලිම් සහෝදර පිරිසට අප ගරු කළ යුතුය. ඔවුන් ද සිංහලයින්මය. සිංහයින්මය. ජාතිය එක් මතයක ඇදබැඳ තබා ගැනීමට අපට ක්‍රිකට් භාවිත කළ හැකිය. ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ තුන් සිංහලය එක් සේසත් කළ හැකිය. ඒ තුන් සිංහලය නම් සිංහලයින්, සිංහල හින්දුන් සහ සිංහල මුස්ලිමුන්ය. 

2 comments:

සෙන්නා said...

ජාතිය එක්සේසත් කරන්නත්, ජාතිය බේද බින්න කළ උන්ගෙන්ම ලැබුන ක්‍රිකට්ම යොදා ගන්න වීම එක අතකින් දෛවයේ සරදමක් නේද ? සරදම අපිටද, උන්ටද කියන එක පැහැදිලි නෑ...

මොන කෙහෙම්මලකින් හරි කමක්නෑ ජාතිය එක්සේසත් වෙනවනම් ඒකයි වැදගත්.

Dinesh said...

ලංකාව ඇතුලේ ඔය වර්ඟ, පාට හැම දේම අමතක වෙන එකම තැන තමයි ක්‍රිකට් කියන්නේ.. හැමෝම කැමති තමන්ගේ රට දිනනවා දකින්න.. ශ්‍රී ලංකාව දිනනවා දකින්න..

 
සිය රට දේ සිරි සැප දේ !