Wednesday, April 2, 2014

උතුරට විග්නේශ්වරන් බස්නාහිරට හිරුණිකා

(ෆේස්බුක්හි පිලිප් ශාන්ත නම් මා මිතුරාගේ කුඩා සටහනක් පිළිබඳ ඇති වූ කතාබහක් බහුජන හිතසුව පිණිස මගේ බ්ලොග් අඩවියේ පළ කරමි.)

Philip Shantha-දෙමළ විමුක්තිකාමීන්, බෙදුම්වාදීන්, ජාතිකවාදීන්, ජාතිවාදීන්, ලිබරල්වාදීන් එකතු වෙලා දෙමළ සංධානයක් විදිහට උතුරට තරග කළානෙ. උතුරෙ මිනිස්සු තෝරා ගත්තෙ විග්නේශ්වරන්ව.

ඒ වගේම සිංහල විමුක්තිකාමීන්, බෙදුම්වාදීන්, ජාතිකවාදීන්, ලිබරල්වාදීන් එකතුවෙලා බස්නාහිරට තරග කළානෙ. බස්නාහිර මිනිස්සු තෝර ගත්තෙ හිරුණිකාව.

ෂෝයි නෙ.

Lakshan Wickrema විග්නේශ්වරන් පෙනී සිටින්නේ දෙමළ ජාතිකවාදය වෙනුවෙන් - එච්චරයි

Namal Udalamatta නෑ විග්නේශ්වරන් මහ ඇමති අපේක්ෂක විදිහට නම් කරලා උතුරේ මිනිස්සුන්ට කීවා ඡන්දේ දෙන්න කියලා. බස්නාහිර කවුරුත් නම් කළේ නෑ මහ ඇමති විදිහට.

Philip Shantha ඒ විතරක් ද?

විග්නේශ්වරන් රෙද්ද බැනියම ඇදන් ඡන්දෙ ඉල්ලුවා. හිරුණිකා ගවුමක් හරි කලිසමක් හරි ඇදන් ඡන්දෙ ඉල්ලුවා.
නෙ?

Lakshan Wickrema පිලිප් දැන් කියන්න හදන්නෙ උතුරෙ මිනිස්සු බුද්ධිමත් වගේ කතාවක් නම් ඉතින් මීට වඩා ඒ ගැන කතා කරලත් වැඩක් නෑ

Namal Udalamatta හිරුණිකාට මනාප වැටුණේ වෙන වෙන හේතු නිසා. ඒ මනාප වුණේ කුඩු දුමියාට ඇති විරෝධය, නවක බව, ලස්සන, භාරත සිද්ධිය වගේ දේවල්.

Philip Shantha Namal Udalamatta එතකොට යාපනේ ලිස්ට් එකෙන් ආපු අර ආනන්දී සසීදරන්ට ඒ චාන්සස් තිබුනෙ නැද්ද?

Namal Udalamatta ඔව් පිලිප් එහෙම වෙන්න තිබුණා. මට මතක හැටියට ආනන්දිට තමා දෙවන තැනට වැඩිම මනාප තිබුණේ. එහෙම වුණේ විග්නේශ්වරන් මහ ඇමති විදිහට නම් කළ නිසා. එහෙම නම් කළෙත් විග්නේශ්වරන් දෙමළ ඩයස්පෝරාව රෝ එක සහ බටහිර තානාපතිවරු මිස දෙමළ ජනතාව හෝ ද්‍රවිඩ සංධානය නම් නොවේ. විග්නේශ්වරන් මහ ඇමති විදිහට නම් කළාම බොහෝ අය ඔහුට මනාපයක් දෙනවා තමන් කැමති අපේක්ෂකයින්ට අමතරව. ඒ විදිහට විග්නේශ්වරන් නම් නොකළා නම් ආනන්දි තමා මනාප වැඩි වෙන්නේ.

Philip Shantha Namal Udalamatta තීරණාත්ක වෙන්නෙ මහ ඇමති අපේක්ෂක ධූරයට පත් කිරීමම ද? ඒකෙන් ලැබෙන වාසිය කණ්ඩායම් නායකයාට හා මහ ඇමතිකම ලබාදෙන බව ඉහළින් එන හැගවුමට ලැබෙන්නෙ නැද්ද? කොටින්ම කියනව නම් ගම්මන්පිලට වාසියක් නොමැතිව හිරුණිකා තෝරා ගැනීමට තරම් කොළඹ සමාජය හිතුවෙ ඇයි? ගම්මන්පිලගෙ ජාතිකවාදය ඒ මිනිස්සුන්ට වැදගත් නොවුනෙ ඇයි?

Namal Udalamatta ඒක තේරුම් ගන්න අමාරු නෑ එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය වෙනුවට ගම්පහ ජනතාව පබා තෝරා ගත්තේ ඇයි කියලා හිතලා බැලුවා නම්. කොළඹ විතරක් නෙමේ කළුතර, මාතර වුණත් කණ්ඩායම් නායකයින් නෙමේනේ වැඩිම මනාප ගත්තේ.  අනෙක ගම්මන්පිල දෙවනියා මිසක් අන්තිමයා නෙමේ. ඔහු ගියවර ලබපු මනාප ප්‍රමාණයට වඩා මෙවර මනාප ප්‍රමාණය වැඩියි. ඔබ හිතනවාද මෙවර හිරුණිකා ලබපු මනාප ප්‍රමණාය ඊළඟ වර වැඩි කර ගැනීමට තබා ආරක්ෂා කර ගැනීමටවත් පුළුවන් වෙයි කියලා? මම කියන්නේ බෑ. මේවා නිකන් වල්ග තරු විතරයි පිලිප්.

Philip Shantha අනාගතයෙ වෙන දේ ගැන නෙවෙයි තර්ක කළ යුත්තෙ. වෙච්ච දේ ගැන. මගේ තර්කය කරූව ප්‍රතික්ශේප කිරීමටත් අදාළයි. ඒක මේ ගම්මන්පිල පජ කරන්න කියන එකක් නෙවෙයි. අනෙක ගම්මන්පිලට ඔබ ලව් බව මා දන්නව. නමුත් එයාට ඇයි එහෙම උනේ කියන එක හැගීම්බරව නැතිව තාර්කිකව හොයන්න ඕන නේද?

Namal Udalamatta http://adaderana.lk/news.php?nid=26294

Namal Udalamatta වෙච්චි දේට හේතු මම කීවනේ. මතක නැත්නම් ආපහු බලන්න මුල් කමෙන්ට්ස්. "හිරුණිකාට මනාප වැටුණේ වෙන වෙන හේතු නිසා. ඒ මනාප වුණේ කුඩු දුමියාට ඇති විරෝධය, නවක බව, ලස්සන, භාරත සිද්ධිය වගේ දේවල්."
හිරුණිකාත් කියනවා නම් එයා දින්නේ තාත්තා නිසා කියලා තව මොනවාද? අනෙක ඒක ඔයා හිතන විදිහට සුවිශේෂ දෙයක් නොවන බවත් මම කීවානේ. ඉතින් තව මොනවාද තාර්කිකව තේරුම්ගත යුතු දේවල්?
මම ගම්මන්පිලට ලව් නම් ඔයා හිරුණිකාට ලව් කියලා මම කීවොත් ඒක හරිද? මම හිතන්නේ හරි නෑ. ඔයා දැන් හිරුණිකා වෙනුවෙන් පෙනී සිටිනවා වගේ පේන්නේ ඔබේ දේශපාලන හතුරාට වඩා මනාප ගත් නිසානේ.
ආරම්භයේදී කුඩු දුමියා අර ජින්ජර්, රුවන්ති සහ ගයේෂා දාලා හිරුණිකාගේ මනාප අඩු කරන්න කටයුතු කරද්දි මමත් හිරුණිකාගේ පැත්ත. (මම එයාගේ facebook page එකට ලයික් එකක් දැම්මේ ඒ දවස්වල) මම හිතනවා ඒ අම්මණ්ඩිලාට වඩා හිරුණිකා හොඳයි කියලා. හැබැයි ඉන් එහාට ආවම මම හිතනවා ගම්මන්පිල හොඳයි කියලා. එච්චරයි.

Philip Shantha මට නම් ඔය එකෙක්වත් හොද නෑ. ඒ වගේම වැඩි නපුරට වඩා අඩු නපුර ඕනෙත් නෑ. ගම්මන්පිලට ඔයා ලව් කිව්වෙ ඔයා ජාතිකවාදී මතයක ඉන්න නිසා. ඒකෙන් කමක් නෑ. මට ඕන ඔය වගේ පැතැලි හේතු ටිකක් කියල හිත නිවා ගන්න නෙවෙයි. සිංහල ජාතිකවාදය ශක්තිමත් නම් ගම්මන්පිල දෙවැනියට ඇදල දාල හිරුණිකා පළමුවැනිය කරාවිද?
හිරුණිකාට ඡන්දෙ දෙන්න දහසකුත් හේතු කියන්න පුලුවන්. නමුත් ගම්මන්පිලට නොදී හිරුණිකාට දෙන්න තරම් මිනිස්සු පෙළබුනේ ජාතිකවාදය ප්‍රතික්ශේප කරන නිසාද? ජාතිකවාදය අවශ්‍ය උනත් ඊට වඩා හිරුණිකාට වැඩි වටිනාකමක් ලැබුන නිසාද? එහෙම උනා නම් ජාතිකවාදය කියන්නෙ ශක්තිමත් ජන පදනමක නැති එකක් ද? නැත්නම් වෙන මොකක් හරිද? ඔන්න ඕව තමයි හොයල බලන්න ඕන.

එහෙම නැතිව "අනේ හැගීම්බර ඡන්ද එයාට ලැබුන කියන එක නෙවෙයි".

Namal Udalamatta ලංකාවේ මෑත කාලයේ කාන්තා දේශපාලනය කියන්නෙම හැඟීම්බර ඡන්ද තමා. ඇත්ත ට ම දේශපාලන සැමියා හෝ පියාගේ හදිසි මරණය තමා පදනම. මම පෙර දක්වපු හේතු වැරදි නම් ඒවා පෙන්වා දී නිවැරදි හේතු ඔයා මට පෙන්නලා දෙන්න පුළුවන් නම්. අවසානයේ හිරුණිකාත් කියනවා එයාගේ ඡන්ද පදනම ඒක කියලා. ඉතින් වෙන මොන කතාද? ගම්මන්පිල ඉතින් ශ්‍රීලනීපත් නෙමේ. එතකොට කොලඹ සංධාන ප්‍රධානීන් වුණත් ගම්මන්පිලට වඩා තම ගෝල බාලයින් ඥාතීන්ට තමා උදව් කරන්නේ. ඇත්තටම මනාප ක්‍රමය යටතේ සිය පක්ෂයේ අයම ගහ මරා ගනිද්දි වෙන පක්ෂයක ගම්මන්පිලට ඔවුන් උදව් කරයි කියලා හිතන්න බෑ. ජාතිකවාදයේ පදනමේ ශක්තිය මනින්න ඉක්මන් විය යුතු නෑ. ඒකට හොඳ සංරචකයකුත් නෙමේ මේ මැතිවරණය. මේ මැතිවරණයේදී සහ පසුගිය මැතිවරණවලදී මනාප ප්‍රතිඵලවලින් දෙවැනියා වුණු එකම කෙනා ගම්මන්පිල නම් අපට ඒ ගැන විශේෂයෙන් හිතන්න තිබුණා. නමුත් ඒකත් එහෙම නෙමේනේ. හැබැයි අර ජවිපෙ තරම් සන්ධානය තුළ බලය ස්ථාවර කරගන්න ගම්මන්පිලලා සමත් වුණේ නෑ. මොකද ජවිපෙ හෙළ උරුමයට වඩා බොහොම ශක්තිමත් සංවිධාන ශක්තියක් තියෙන පක්ෂයක්.

Philip Shantha 1. ඔයාගෙ හේතු දැක්වීම් වැරදිය හෝ හරිය කියල මා කියන්න යන්නෙ නෑ. මගේ ප්‍රශනය වන්නෙ සීරියස් ජාතිකවාදය වෙනුවෙන් පෙනී ඉන්න ගම්මන්පිල දෙවැනිය කරල හැගීම්බරව හිරුණිකාව පළමුවැනිය කරන්න තරම් බල පෑ සාධක ගැනයි. අරක නිසා මේක නිසා කියන්නෙ මිනිස්සු චන්දෙ දුන්න ස්වභාවයනෙ. මා අහන්නෙ ඒ තත්ත්වයට මිනිස්සු පත් උනේ ඇයි?

2. තමන්ගෙ ඡන්ද පදනම හැගීම්බරවීම කියල හිරුණිකා කියන එක ඔබට අනුව යථාර්ථය නම් ජාතිකවාදයට වඩා හැගීම්බරවීම ශක්තිමත් උනා නම් ඒක ජාතිකවාදය ව්‍යාප්ත කිරීමේ දුර්වලතාවක් නොවේද?

3. මොන බෙදීම් තිබුනත් ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ උපරිම සහාය ගම්මන්පිලට තිබුනා. ඒ බව මිනිස්සු දන්නෙ නැද්ද?

4. ජාතිකවාදය මනින්න මේ මැතිවරණය හොද සංරචකයක් නෙවෙයි නම් ඒ තීරණයට ඔබ ආ සාධක මොනවාද?

5. හෙල උරුමයට වඩා ජේවීපී එක සංවිධාන ශක්තියක් තිබූ නිසා ජේවීපී එක ශ්‍රීලනිපය හා හවුලේ තරග කරන කොට ජෙප්පන් වැඩි මනාප ගත්තා යැයි ඔබ කියනව. එහෙමනම් එතැනින් කියවෙන්නෙ නැද්ද හොද සංවිධාන ශක්තියකට සමාජයේ සම්ප්‍රදායි හැගීම්, මතයන් හා සරල දේවල් ඉක්මවා යන්න පුලුවන් බව?

Namal Udalamatta 1. කරු ජයසූරියට වඩා පබා මනාප ගැනීමට ද මාතර කණ්ඩායම් නායක චන්දිම රාසපුත්‍රට වඩා පසඳ යාපා මනාප ගැනීමට ද කළුතර කණ්ඩායම් නායක ජගත් අංගගේට වඩා සෙනෙල් වෙල්ගම මනාප ගැනීමට ද කිසියම් හේතු සමුදායක් හේතු විණි ද ඒ හේතු සහ හිරුණිකා ශ්‍රීලනීප වීම, ඇගේ පියාගේ හදිසි මරණය, කුඩුදුමියා කෙරෙහි ඇති විරෝධය, කුඩු දුමියාට එරෙහිව ඇය ප්‍රභල හඬක් නැඟීම, ගම්මන්පිල සන්ධානයේ නොවීම ආදී හේතු නිසා හිරුණිකාට මනාප වැඩි විය. ඇයට මනාප දෙන තත්ත්වයට මිනිසුන් පත්විය.
2. ඔබේ මේ තර්කය නිවැරදි නම් කොළඹ ජාතික මතවාදය ඉතා ශක්තිමත්ය. මන්ද සන්ධානය තුළ නියෝජනය වන සෙසු සියලු දේශපාලන මතවාද පරයා ජාතිකවාදය ඉස්මතු වී ඇති හෙයිනි. එසේ නම් කළ යුත්තේ ජාතිකවාදයට වඩා සෙසු දේශපාලන මතවාද යටපත් වුණේ කෙසේද යන්න විමසා බැලීමය. එහෙත් එය එසේ නොවන බව මගේ අදහසය.
3. ජනාධිපතිවරයා කෙසේ වෙතත් ගෝඨාභය නම් ගම්මන්පිලට මනාප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් බැසිල් ප්‍රසිද්ධ රැස්වීමක ප්‍රසන්න මහ ඇමති බව කියා තිබිණි. නාමල් ද හිරුණිකාගේ වේදිකාවට ගොඩ විය. ජනාධිපතිවරයාගේ උපරිම සහාය ගම්මන්පිලට ඇත්නම් ඔහු මහ ඇමති කිරීමට කිසිදු බාධාවක් නැතැයි සිතමි.
4. මේ ප්‍රශ්නය සඳහා පිළිතුර ඔබේ 2 වන ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර හා බැඳේ. මේ මනාප ප්‍රතිඵලවලින් එය නොමැනිය හැක්කේ ගම්මන්පිල දෙවැනියට මනාප ගැනීම තුළින් ජාතිකවාදය සෙසු දේශපාලන මතවාදවලට වඩා ඉදිරියට පැමිණ ඇතැයි නිගමනය කළ නොහැකි හෙයිනි. එවැනි නිගමනයකට ගියහොත් එය අතිශ්‍යෝක්තියකි. අනෙක් අතට හෙළ උරුමය මෙන් ම ජාතික නිදහස් පෙරමුණ ද සර්ව සම්පූර්ණ ජාතිකත්ව සංකල්පය නියෝජනය කරන පක්ෂවලට වඩා ඒ මතවාදය හා වඩා සමීප අදහස් දරන පක්ෂ ලෙස හැඳින්විය යුතුය. එම පක්ෂ නියෝජනය කළ ගම්මන්පිල මනාප ලැයිස්තුවේ දෙවැනි තැන ද රොජර් සෙනෙවිරත්න 4 වන තැන ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ 15 වන තැන ද ලබා ගෙන තිබේ.
කෙසේ වුව ද මෙය පළාත් පාලන මැතිවරණයක් මිස ජාතික මැතිවරණයක් නොවේ. මෙහිදී ජාතිකත්වයට වඩා සෙසු කරුණු ඉස්මතු විය. එය ජාතික විජාතික මැතිවරණයක් ලෙස ගතහොත් ආණ්ඩුව සමාජගත කළේ තමන් ජාතිකත්වය ද විපක්ෂය විජාතික බලවේග ද නියෝජනය කරන බව පමණි. මේ කරුණු නිසා ජාතිකත්වය මැනීමට මෙය හොඳ නිර්ණායකයක් නොවේ.
(මේ රටේ සිංහල ජාතිකත්වයේ පක්ෂය වූ ශ්‍රීලනීපය චන්ද්‍රිකා සමයේ ඉන් ඉවත් වීම නිසා ඇති වූ රික්තය තාවකාලිකව පිරවීමට එම පක්ෂ බිහිවී යැයි සිතමි. අනාගතයේ වුව ශ්‍රීලනීපය නැවත ජාතිකත්වය වෙත පැමිණිය හොත් එම පක්ෂවල කාර්යභාරය අහෝසි වනු ඇත. මේ රටේ ජාතිකත්ව සංකල්පය පසුගිය දශක කිහිපයක් පුරා යටපත්ව පැවත නැවත ඉස්මතුව ඇතැයි කිව හැකිය. එය මේ අවස්ථාව වන විට මාක්ස්වාදයට වඩා ජනතාව අකර්ශනය කරගත හැකි තත්ත්වයට පත්ව ඇතැයි මම සිතමි.)
5. ජවිපෙ මතුවෙන්න හේතු වුණේ එය පමණක් නොවේ. ඊට ශ්‍රීලනීප අපේක්ෂකයින්ගේ දූෂණ, වංචා, මහජන දේපළ නාස්තිය සහ ජවිපෙ අවංක චාම් බව ආදිය ඊට හේතු විය. ජවිපෙ සතු සංවිධාන ශක්තියෙන් පමණක් එය කළ නොහැකි බවත් ඔවුන් දරණ මාක්ස්වාදී අදහස්වලට මෙරට බහුතර ජනතාව තුළ කැමැත්තක් නොවන බව ද ඊට පසු ඔවුන් තනිව තරඟ කළ මැතිවරණවලින් සනාථ විය.

Philip Shantha එකම කාරණා ටික පුන පුනා කියන නිසා මගේ ප්‍රශ්න වෙනත් ආකාරයකට අහන්නම්. අපි උදාහරණයක් ගනිමු. ලංකාවෙ කාලයක් ශක්තිමත්ව තිබූ වාමාංශික ව්‍යාපාරය බිද වැටී දැන් නැත්තටම නැති ගිහිල්ලනෙ. ඒකට හේතු උනේ එම පක්ෂ දැරූ මතවාදයන්හි අභ්‍යන්තර සාධක. ඒ කියන්නෙ ලෝක පරිමානයෙන් මාක්ස් ලෙනින්වාදී ව්‍යාපාරය පසු බැසීම, ලංකාව තුළ ඒ වමේ පක්ෂ ගෙනගිය දේශපාලනයේ අවලංගුභාවය හා ඊට අදාළ ගැටළු. ඒ නිසා යමෙක් ඇහැව්වොත් 1977 දී වමාංශික පක්ෂ අතු ගෑවී ගියේ ඇයිද කියල මා කියන්නෙ නෑ යූඑන්පී එක විශාල ජයක් ලැබීම වාමාංශික පක්ෂ අතු ගෑවීමට හේතු උන කාරණය වෙනව කියල. මා සිතන්නේ යූඑන්පී එක විශාල ජයක් ලැබුවේම වමේ පක්ෂ අසාර්ථක අවලංගු උන නිසයි. ඒව එහෙම උනේ අර කලින් කිව්ව සාධක නිසයි.

ඉතින් ගම්මන්පිල දෙවැනියා උනේ හිරුණිකා පළමුවැනියා වීම කීම තේරුමක් නැති කතාවක්. ඒ වගේම හිරුණිකා පළමුවැනියා උනේ හැගීම්බරවීම වැනි කාරණාය කීමත් විහිළුවක්. ගම්මන්පිලගේ ජාතිකවාදය ශක්තිමත් උනා නම් මොන හැගීමෙන් බර උනත් ගම්මන්පිල දිනන්න ඕන. ඒ කියන්නෙ ගම්මන්පිල දෙවැනියා උනේ ජාතිකවාදයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා මිසක් හිරුණිකාට හැගීම්බර චන්ද ලැබීම කියන බාහිර සාධකය නිසා නෙවෙයි. බාහිර සාධකය ගොඩනැංවෙන්නේම අර මුලින් කී අභ්‍යන්තර සාධකය නිසයි.

ඒ නිසා අභ්‍යන්තර සාධක වසා ගනිමින් බාහිර සාධක ඉස්මතු කිරීම තේරුමක් නෑ. හැබැයි ලංකාවෙ සම්ප්‍රදායි දේශපාලනයේ ජනප්‍රිය තර්කය ඕකම තමයි. වාමාංශික දක්ෂිණාංශික බේදයක් නැතිව සාමාන්‍යයෙන් පළමුව ඇගිල්ල දිගු කරන්නේ බාහිර සාධකයට. වාමාංශික ව්‍යාපාරය ඊට ආවේනික අභ්‍යන්තර සාධක නිසා දුර්වල වූවා සේම ජාතිකවාදී ව්‍යාපාරය ද ඊට ආවේනික අභ්‍යන්තර සාධක නිසා පසුබෑම තේරුම් ගැනීමට දෙපාර්ශ්වයේම මතධාරීන්ට නොහැකිවීම කනගාටුවට කරුණක්. නාමල් උඩලමත්ත වැටී ඇත්තේ ද ඒ අගාධයටයි.

Namal Udalamatta ඔයා මුලින් කියන්න ගියේ උතුරේ මිනිස්සු බස්නාහිර මිනිස්සුන්ට වඩා බුද්ධිමත් කියන එකනේ. ඒක සනාථ කරන්න ගිහින් ඔයා නතර වුණේ බස්නාහිර ජාතික මතවාදය දුර්වලයි කියන නිගමනයෙන්. ඒත් ඔයා ඒ සඳහා දක්වන සාධකවලින් නම් ඒ නිගමනයවත් සනාථ කරන්න බෑ. අඩු තරමේ මීට පෙර ජාතික මතවාද ඉන් එහා ගිය ජයග්‍රහණයක් ලබා තිබී අහිමි වුණා නම් එහි පදනමක් තියෙනවා කතා කරන්න. හිරුණිකාගේ කඳුලුවලට වඩා ජාතිකත්ව මතවාදය දුර්වලයි කියලා මනාපවලින් තීරණය කළ හැකි නම් ගම්මන්පිලට වඩා අඩු මනාප ගනිපු අය දරන සෙසු දේශපාලන මතවාද ජාතිකත්වයට වඩා දුර්වලයි කියලා ඔබට පිළිගන්න වෙනවා. නමුත් මම නම් එහෙම හිතන්නේ නෑ. නමුත් ඔබ මෙහිදී මා පෙන්වා දුන් කිසිදු කරුණක් නිශේධනය නොකර වෙන වෙන දේවල් කියනවා. කෙසේ නමුත් මේ සංවාදය මුල සිට කියවන අයෙකුට යමක් උගත හැකි යයි මම සිතනවා. මේ ඇති නේද?

Philip Shantha උතුර ගැන මා කියන්න හැදුවා යැයි ඔබ සිතන දේ වැරදියි. හැබැයි මුලින් කතා කරන හිටි දේ පසුව සංවාදය අනුව වෙනතකට ගියා.

ගම්මන්පිල සුවිශේෂී කෙනෙක්. එයා අනෙකුත් අය සමග සසදන්න බෑ. උදාහරණයකට ඔය ලිස්ට් එකෙන්ම ආ උපාලි කොඩිකාර තුන්වැනිය උනා. නමුත් අපි දන්නව පොර ආවෙ කිසිම දේශපාලන මතයකින් නෙවෙයි කියල. (හැබැයි පොර අදේශපාලනිකත් නෑ). ඒත් ගම්මන්පිල එහෙම නෙවෙයි. එයාගෙ දේශපාලන සම්ප්‍රාප්තියම ජාතිකවාදී සමස්ත වැඩපිලිවෙක කොටසක්. ඉතිහාසයේ ප්‍රථම වතාවට සංධානය විසින් ශ්‍රී ලනිප නොවන කෙනෙකුට කණ්ඩායම් නායකකම දුන්නෙ නිකන් නෙවෙයි. ඒ වගේම විශාල රිස්ක් එකක් අරන් ආරක්ෂක ලේකම් එයාගෙ වේදිකාවට ආවෙ නිකන් නෙවෙයි. බැසිල් මුලින් කට වරද්දගෙන පසුව ඒක නිවැරදි කළේ නිකන් නෙවෙයි. එතකොට ගම්මන්පිල සුවිශේශී කෙනෙක්. ඒක උපාලි කොඩිකාර හෝ වෙනත් කෙනෙකුට සමාන කරන්න පුලුවන් එකක් නෙවෙයි.

මගේ තර්කය ඔයාට පිළිගන්න බෑ බෑ වගේ නම් මෙහෙම හිතන්න. කොළඹ දී ජේවීපී එක ගත්ත චන්ද අනුව ලාල්කාන්ත ගත්ත අඩු මනාප ප්‍රමාණය දේශපාලනිකව යමක් කියනව නේද? අන්න එහෙම එකක් තමයි මම කියන්නෙ. ඔයාට ඒක පිළිගන්න අමාරු වීම මට තේරුම් ගන්න පුලුවන්.

Philip Shantha ඔයා කියන දේවල් පිලිගන්නෙ නැතිව ප්‍රතික්ශේප නොකර, ඉන්නෙ ඔයා කතා කරන්නෙ වෙන ට්‍රැක් එකක නිසයි. ඒව මගේ පොයින්ට් එකට අදාළ නෑ. ඉතින් අදාළ නැති දේවල් මා සැලකිල්ලට ගන්නෙ නෑ.

3 comments:

Unknown said...

ජාතිකවාදීවීමත් ජාතිකවාදී දේශපාලනය කිරීමත් එකම නොවේ. අවාසනාවකට ගම්මන්පිල වැනි ජාතිකවාදී තරුණයින්ට ඔවුන් ලබා ඇති බටහිර අධ්‍යාපනයේ ආභාශයෙන් ගැලවීමට හැකියාවක් නැහැ. ඔහුට හරහට සිට ඇත්තේ ඒ අභාශයයි. ඔහුටත් ඔහුවැනි අන් අයටත් සංවේදී වෙන්නේ බටහිර අධ්‍යාපනයේ අභාශය ලත් ඔහු වැනි ඊනියා උගතුන් පමණයි. එය ගම්මන්පිලගේ වරදක් නොවේ නමුත් බටහිර අධ්‍යාපනයට සීමාවුනු උගත්කමට ජාතිකත්වය තුල වටිනාකමක් හිමි වෙන්නේ නෑ. එය එසේ විය යුතුයි. ජාතිකවාදී දේශපාලනයක් කිරීමට නම් ඔහු චම්පික රණවකට වඩා මහින්ද රාජපක්‍ෂ වගේ විය යුතුයි. ගම්මන්පිලට වඩා හිරුණිකාට එය කිරීමට හැකි බවයි මෙහි පෙනෙන්නේ.

නාමල් උඩලමත්ත said...

ඔබේ කමෙන්ට් එකේ මුල් කොටසට මම එකඟයි. මේ මොහොතේ අපට ජාතිකවාදී පදනමක් සහිත දේශපාලඥයින් නෑ. ඒ නිසා කිසියම් හොඳ ගතිගුණ ප්‍රමාණයක් සහිත ගම්මන්පිල වගේ අය වෙනුවෙන් පෙනී සිටින්න සිද්ධ වෙනවා. ඒ ඔස්සේ අනාගතයේ වඩා හොඳ පිරිසක් පක්ෂයක් අපට නිර්මාණය කරගැනීමට හැකි වේවි. එතකොට ගම්මන්පිල වැනි අය වුවත් අපට අවශ්‍ය නෑ. මට පැහැදිලි නෑ එහි අවසාන කොටස."ජාතිකවාදී දේශපාලනයක් කිරීමට නම් ඔහු චම්පික රණවකට වඩා මහින්ද රාජපක්‍ෂ වගේ විය යුතුයි. ගම්මන්පිලට වඩා හිරුණිකාට එය කිරීමට හැකි බවයි මෙහි පෙනෙන්නේ." මෙහි අර්ථය ටිකක් පැහැදිලි කරලා දෙනවාද?

Unknown said...

ගම්මන්පිලලා අවශ්‍යයි ඒකෙ දෙකක් නැහැ. මම කියන්නේ ඔවුන්ගේ නොහැකියාව ගැන. බටහිර අධ්‍යාපනයේ ආභාශය නිසා අපිට ඇඟෙන් සිංහල බෞද්ධවීමට ඇති හැකියාව ක්‍ෂය වෙනවා කියලයි මම හිතන්නෙ (මගේ පෞද්ගලික අත්දැකීමද එයයි). බටහිර අධ්‍යාපනයේ ඉහලට යන්න යන්න මේ ක්‍ෂයවීම වැඩියි. මේ උගතුන් වැඩිමනත් සිංහල බෞද්ධ වෙන්නේ බුද්ධියෙන් පමණයි. ඊට වෙනත් සාධක බලපානවා විය හැකියි නමුත් බටහිර අධ්‍යාපනය ප්‍රධාන තැනක් ගන්නවා. වාසනාවට තමවත් අපේ රටේ බහුතරයක් මිනිස්සු ඇඟෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉන්නේ (එහෙම වෙන්න සිංහලවත් බෞද්ධවත් වෙන්න අවශ්‍ය නෑ). බුද්ධියෙන් පමණක් සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉන්න දේශපාලකයින්ට ඇඟෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉන්න ජනතාව ගැන සංවේදී වෙන්න ඇති හැකියාව අඩුයි කියලයි මම හිතන්නේ. හෙළ උරුමයට ඡන්දය වැඩියෙන් හම්බවෙන්නේ නගරබද මධ්‍යම පංතික ජාතිකත්වයක් ඇති බටහිර උගතුන්ගෙන් වී ඇත්තේ ඒ නිසයි. මේක ඔබේ ප්‍රශ්ණයට කෙලින්ම උත්තරයක් නොවේ නමුත් මෙහි එය ගැබ්වී ඇතැයි සිතනවා.

 
සිය රට දේ සිරි සැප දේ !