Friday, November 23, 2012

මිත්‍රයිනි, නුඹලා පෙම් කරන්නේ විලංගුවලට නොවෙද?

ගණිකා වෘත්තිය තහනම් කොට පනවා ඇති නීති වහා ඉවත් කළ යුතු යැයි අප ලියූ ලිපිය බලා බොහෝ පිරිසක් පරල වී ඇති බව ප්‍රතිචාරවලින් පැහැදිලිය. ඔවුන් පරල වී ඇත්තේ සිය නිවෙස්වල සිටින කාන්තාවන් ගණිකා තහනමට පිං සිදුවන්නට ඊට යොමු නොවී සිටිනවා වැනි ආවේගයකිනි. ඒ කාන්තාවන් යන්තම් නිවසේ රැඳී ඇත්තේ මේ තහනමට පිං සිදුවන්නටය. එහෙයින් එම නීතිය ආරක්ෂා කරගත යුතු යැයි ඔවුහු සිතති. බොහෝ දෙනා අදහස වෙනුවට කතුවරයා විචාරයට ලක් කිරීමට වෙහෙසී තිබිණි. කොටින්ම ඔවුන්ගේ තර්කයේ හරය 1505 වන තුරු ගැහැනු දුෂණය කරමින් මිනි මරමින් සිටි ම්ලේච්ඡ සිංහලයා බටහිර ආක්‍රමණිකයා පැමිණි නීති පනවා ශිෂ්ටාචාරගත කළ බවය. රටේ උගන්වන ඉතිහාසය අනුව, මොල හෝදන අධ්‍යාපනය අනුව ඔබෙන් ඉන් එහා දෙයක් පැතිය නොහැකිය. උඳු වපුරා මුං පැතීම විහිළුවකි. රත්න ශ්‍රී විජේසිංහ වරක් ලීවා සේ අපට ද කීමට ඇත්තේ සුද්දෝ ආවේ රට කරන්න කියාය.

අප සමාජය යටත්විජිතකරණය සමඟ විකෘති වූයේ, එහි ක්‍රමික විකාශනය ඇණ හිටි බැවිනි. ඔවුන් රාජ්‍ය පාලනය රදළ වැඩවසම් ක්‍රමය පිරිහෙන්නට පෙර අපට ප්‍රජාතන්ත්‍රවාදය තෑගි කළේය. එහෙත් මේ රට තවමත් වැඩවසම්ය. ජනතා මනාපයෙන් වුව බලයට පත්වන්නේ ධනය, බලය හිමි පුද්ගලයාය. ගණිකා තහනම ගෙන ආවේ මෙරට ප්‍රචලිතව පැවති බහු විවාහ ක්‍රම, නිදහස් ජීවන ක්‍රම තහනම් කිරීමටය. ඔවුන් විශ්වාස කළ බයිබලය, දස පනත, වික්ටෝරියානු සුචරිතවාදය අනුව ම්ලේච්ඡ සිංහලයා ශිෂ්ටාචාරගත කිරීමටය. එතෙක් කල් වසර දෙදහස් පන්සියයකට එහා ඉතිහාසයේ සිට ආදරයෙන් බැඳී පවුල් කෑ සිංහලයින් ක්‍රිස්තියානි පල්ලියේ ක්‍රමයට පොතේ ලියා කසාද බැන්ද වූ අතර වික්ටෝරියානු සුචරිතවාදය අනුව ඒක විවාහ ක්‍රමය ප්‍රමිතිය බවට පත් කරන ලදි. බයිබලය සහ තුවක්කුව දෑතට ගෙන පැමිණි ආක්‍රමණිකයා ඒවා සමාජගත කරන ලද්දේ බලෙනි. අපේ මුතුන් මිත්තන්ගේ මිනී මතිනි.



ඔවුන්ට කීකරු වූ අයට විවිධ වරප්‍රසාද ලබා දෙමින් අනෙක් පිරිස් විවිධ හිරිහැර වධ බන්ධනවලට ලක් කරමිනි. උප්පැන්න සහතික ක්‍රමයක් හඳුන්වා දී කසාද නොබැඳ පවුල් කන අයගේ දරුවන් අවජාතකයින් ලෙස හංවඩු ගසන ලදි. කිසිදු පාසැලකට යාමට ඔවුන්ට අවසර නොලැබුණු අතර කිසිදු රජයේ රැකියාවක් නොලැබිණි. මේ සියල්ල කළේ අශිෂ්ට සිංහල ජාතිය ශිෂ්ටාචාරගත කිරීමටය. සමාධි පිළිමය නෙළු, මහ සයුර පරයන වැව් තැනූ, අහස සිඹින චෛත්‍ය තැනූ, සීගිරි ගලේ චිත්‍ර ඇඳ කවි ලියූ, අනුරාධපුරය වැනි විශිෂ්ට නගර තැනූ, සීගිරිය වැනි විස්මය ජනක නිර්මාණ කළ සිංහලයා ශිෂ්ටාචාරගත කිරීමටය. සඳකඩ පහන නෙළු, අවුකන පිළිමයේ බුද්ධ චීවරයේ රැළි නෙළු සිංහලයා ශිෂ්ටාචාරගත කිරීමටය.

මේ ආක්‍රමණිකයා ලංකාවට කඩා වදින තුරු මෙරට පැවතියේ ඉතා ම නිදහස් ජීවන ක්‍රමයකි. සමීප ඥාතීන් අතර ලිංගික සබඳතා නොපැවතිය යුතුය යන සම්මතය සහ විවිධ කුල අතර පැවති තහංචි හැරුණු විට එහි ලිංගික තහංචි තිබුණේ නැත. (සාලිය අශෝකමාලා පෙම් පුවතින් දෙවනුව කී තහංචිය පවා බිඳ දැමූ අයුරු පැහැදිලිය.) රජවරු පමණක් නොව ප්‍රභූවරුන්ට ද අන්තඃපුර තිබිණි. අද අප දන්නා ඉතිහාසය පාලකයින්ගේ ඉතිහාසය හෙයින් සාමාන්‍ය ජනතාව පිළිබඳ තොරතුරු අල්ප වුව ද ඔවුන් ඒක භාර්යා හෝ ඒක පුරුෂ විවාහවලට සීමා වූයේ යැයි සිතීමට කරුණු නැත. නිදසුනක් ලෙස මෑතක් වන තුරුම ප්‍රචලිතව පැවති එක ගෙයි කෑම නිදසුනකි. අනෙක් අතට ලිංගිකත්වය මහා පූජනීය වස්තුවක් ලෙස අහසට නංවා පිදීමක් ඔවුන් අතර නොතිබිණි. එකල ලිංගිකත්වය ජීවිතයම නොව ජීවිතයේ එක් අංගයක් විය. අද සිය උරුමය අහිමි කර ගෙන ජීවත් වන නිවට සිංහලයාට උඩු බුරන්නේ තම විලංගුවලට අත නොතබනු කියා බව තේරුම් ගැනීමට ද පවා හැකියාවක් නොමැත.

අප අතර අදත් ප්‍රචලිතව ඇති ජන කවිවලින් අපේ මුතුන් මිත්තන් ලිංගිකත්වය පිළිබඳ දැරූ ලිහිල් පිළිවෙත පැහැදිලි වේ.

අල්ලා ගෙන නෙරිය අතකින් කිම් ද නගෝ
වසා ගෙන දෙතන අතකින් කිම්ද නගෝ
හිමියා නැති ගමන් තනි මග කිම් ද නගෝ
අම්බලමේ ඉඳලා අපි යමු ද නගෝ

එහෙත් එකල පැවති ඒ නිදහස නිසා සමාජය විනාශයට පත්වීද? නැත. එකල සූරූපි තරුණියකට රන් සෙම්බුවක් ගෙන උතුරු පේදුරු තුඩුවේ සිට දකුණු දෙවුන්දර තුඩුවට තනිව නිරුපද්‍රිතව ඒමට හැකියාව තිබුණේ යැයි රොබට් නොක්ස් පවසයි. ඉන් පැහැදිලි වන්නේ මේ ලිංගික තහංචි පැනවීමට පෙර මෙරට නෂ්ට කාමය සහිත පිරිස් සිටි බව නොවේ. (එය ඉහත කවියෙන් ද පැහැදිලි වේ.) මේ රටේ සිය ලිංගික ආශාවන් විධිමත් ලෙස සපුරා ගැනීමය ක්‍රමවේද තිබුණු බවය. එහෙයින් මග මඟ යන තරුණියක පාළු ලැහැබකට ඇද ගෙන ගොස් දූෂණය කිරීමට තරම් ආත්මය දවන ගින්දරකින් මෙරට වැසියා පෙළුණේ නැත. ඔවුන්ට ඉසුරුමුණි පෙම් යුවළ පන්සලක නිර්මාණය කළ හැකි විය. සීගිරි චිත්‍ර ඇඳ ඒ පිළිබඳ කැටපත් පවුරේ කවි නිර්මාණය කිරීමට තරම් සෞන්දරයාත්මක විය. සිංහලයින් පැවත එන්නේ ලිංගිකත්වය ඉතා සෞන්දර්යාත්මක ලෙස විඳගත් මිනිසුන්ගෙනි. කාමසූත්‍ර ලියූ සංස්කෘතියෙන් පෝෂණය ලබමිනි. එහෙත් ඒ නිදහස තමන්ට එපා යැයි ඔවුහු අද කියති.  

එකල සමාජය සමඟ වර්තමාන සමාජය සැසඳිය නොහැකි බව ද මේ සමාජය මෙපමණින් හෝ ආරක්ෂා වී ඇත්තේ නෛතික තහංචි නිසා බව ද ඇතැම්හු පවසති. මේ ප්‍රකාශය කිසිදු තාර්කික පදනමක පිහිටා නොමැති අතර එය කාලයක් තිස්සේ අදාළ නීතිවලින් පීඩනයට පත්ව අවසානයේ ඒ නීතිවලට පෙම් බැඳීමට යොමුවීමේ ප්‍රතිඵලය පමණි. මාක්ස් කීවේ කල් යන විට වහලා තම දෑත් දෙපා බැඳ ඇති යදම්වලට පෙම් කරන බවය. එය සැබෑවකි. කාන්තාව පීඩනයට ලක් කරන පුරුෂාධිපත්‍ය ආරක්ෂා කරන්නේ කාන්තාවන්ය. ගණිකා තහනම ද එසේය. මෙය එක්තරා ආකාරයක සිංහල ෂාරියා නීතියකි.වර්තමාන කාන්තාව මහ මඟ, බසයේ, සේවා ස්ථානයේ පමණක් නොව සිය නිවසේ පවා මහා අනේක ලිංගික අතවරවලට ලක් වේ. එහෙත් එකී අතවරයන්හි හේතු සාධක සමාජයෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන්නේ ද ඔවුන්මය. අනෙක් අතට මේ නීති ක්‍රියාත්මක වන්නේ ඉතා පහත් මට්ටමේ අසරණයින්ට මිස ඇති හැකි අයට නොවේ. ප්‍රභූ පිරිස් මේ නීති පයිසයකට ගණන් ගන්නේ  නැත. නීති සුරැකිය යුතු යැයි කියන බහුතරය ඉන් පීඩිතවුවන්ය. අවාසනාවට ඔවුන් ඒ බව දන්නේ නැත. 

අප නැවත ඉතිහාසයට ගමන් කළ යුතු බවක් හෝ සුද්දා හඳුන්වා දුන් සියල්ල අධානග්‍රාහීව ඉවත දැමිය යුතු බවක් හෝ මට කීමට අවශ්‍ය නැත. කළ යුත්තේ අප මත බලෙන් පැටවූ දැනට සමාජයට අහිතකර නීති රීති ඉවත් කිරීමය. ඒවා නුතන සමාජයට යාවත්කාලීන කිරීමය. ඇතැම් සුචරිතවාදීන් මේ මහ පොළවේ පය ගසා ජීවත් වන බවක් නොපෙනෙන්නේ ඔවුන් මේ රටේ අද පවතින යථාර්ථයට දෑස් වසා ගෙන සිටින හෙයිනි. ඉරිදා පත්තර අතිරේක පුරා සම්භාහන දැන්වීම් පිරී ගොස්ය. රට පුරා විවිධ මට්ටමේ ගණිකා ක්‍රියාකාරකම් වැසි වසී. බම්බලපිටියේ මැජෙක්ස්ටික් සිටිය ඉදිරියේ සිටින තරුණයෙකු ඔහු අසලින් යන තරුණයින්ට කොඳුරා කියන්නේ "අලුත්ම තායි මසාජ් එක ඕපන් කළා" කියාය. නුගේගොඩදී පිරිමි ගණිකා නිවාසයක් වැටලුවේ ඊයේ පෙරේදාය. මේ ජාත්‍යන්ධයින්ට නොපෙනුණාට අද මුළු රටම හොර ගණිකා මඩුවකි. ස්ත්‍රී දූෂණාගාරයකි. සුද්දාගේ නීතිය තව දුරටත් වලංගු නැත. එය දැන් භාවිතය මගින් අවලංගු වී තිබේ.

අද විවාහය වනාහි දෙදෙනාගේ ආධ්‍යාත්මික බැඳීම් අනුව නොව ධනය, බලය, කුලය, රැකියාව අධ්‍යාපනය ආදී වෙනත් සාධක මත තීරණය වන්නකි. එය ඉතාම යාන්ත්‍රික සම්බන්ධයක් බවට පත්ව තිබේ. ඔවුන් අතර ගැලපීම්වලට වඩා ඇත්තේ නොගැලපීම්ය. බැඳ ගත් නිසා ගහන බෙර වැනි මේ විවාහයන් තුළ ඔවුන් පැතූ සතුට සැනසුම නැත. පොතේ ලියා දෑගිලි හුයකින් බැඳි පමණින් අඹු සැමියන් වන්නේ නැත. මේ විවාහ සංස්ථාවන් ද එක්තරා ආකාරයක ස්ත්‍රී දූෂණාගාර බවට පත්ව ඇත. එය හුදු කායික අවශ්‍යතා සපුරා ගන්නා දරුවන් බෝ කරන මස් මඩු බවට පත්ව ඇත. අප මේ තත්ත්වයන් බුද්ධියෙන් විමසා බලා අපට වැරදුනු තැන් හදාගත යුතුය. ලිංගිකත්වය යනු කතා නොකළ යුතු ප්‍රසිද්ධියේ කතා කළ විට ආනන්තරිය පාප කර්මය සිදුවන දෙයක් නොවේ. එය ඉමහත් සෞන්දර්යයක් සපිරි සොඳුරු ඉසව්වකි.

මා අනුගමනය බුදු හිමි එකල රජුන්ට නගර සෝබනී වෘත්තිය තහනම් කරනු කියා කීවේ නැත. අධික කම්සැප නොවිඳ අන්තඃපුරය විසිරුවා හරිනු කීවේ ද නැත. ඒක-භාර්යා හෝ ඒක-ස්වාමි විම පිනක් බව ද බහු-භාර්යා වීම හෝ බහු-පුරුෂ වීම පවක් බව ද කීවේ ද නැත. අප අවබෝධයෙන් යා යුතු ගමනකි ඇත්තේ. ලිංගිකත්වයට තහංචි පැනවීමෙන් අප වටා කුහක ලිංගික පීඩනයෙන් දැවෙන සමාජයක් නිර්මාණය වනු මිස සැබෑ ආධ්‍යාත්මික සමාජයක් නිර්මාණය වන්නේ නැත. ඒ සඳහා වැට කඩුලු බැඳීම භයානක තත්ත්වයකි. හුස්ම ගැනීමට සීමා පැනවීම වැනි ක්‍රියාවකි. අප අද අත්විඳින්නේ එදා වැපිරූ දෑවල ඵලය. මේ භයානක නීති ඔස්සේ අප සමාජයට එකතු වුණු මහා පීඩනයයි කාන්තා හිංසනය, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ඔස්සේ පිපිරී යන්නේ. බස් රියේ, මහ මඟ, කාර්යාලයේ ගලා යන්නේ. එහෙයින් මේ සිංහල බයිබල් ෂාරියා නීති පිළිබඳ වඩා නිරවුල් ලෙස සිතීමට බුද්ධිය පහළ වේවා යැයි පතමි. සේකරට ඉඩ ඉඩ දී නවතිමි.

එසේ වුව සොහොයුරෙනි!
ඔබ ගැන මා ලියන කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නො වැටහෙන බව මම දනිමි

ලෝකය මීට වඩා යහපත් වන
අනාගතයේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
නියවන බව ද දනිමි 
(ප්‍රබුද්ධ)






9 comments:

charmi said...

හොඳම ලිපියක්.....

මාතලන් said...

සුද්දා ඒ කාළේ ඒ දේ කළේ අධිරාජ්‍යවාදය සමගම වික්ටෝලියානු සුචරිත වාදයත් බිහි කල නිසාවෙනි. නමුත් අද සුද්දා ඒ නීතී පිලිගන්නේ නැත. මානව නිදහස උපරිමයෙන්ම විඳිනා අතර. අන් අයද එය ලබා ගන්නවාට කැමතිය. එහෙත් අප තවමත් හරි හෝ වැරැද්දට සුද්දාට බනින්නට පුරුදුව සිටිමු. ඒ අප තවම සිටින්නේ 1948 නිසාය. අහෝ දුකකි. ඉරකි තිතකි.

දිමුතු said...

හාස්‍යට කරුණ නම් සුද්දන් වික්ටෝරියානු සභ්‍යත්වය අතහැර දමා දශක ගණනාවක් ගතවී ඇති තැනක අපේ මිනිසුන් එය දේශීය සංස්කෘතිය යයි විග්‍රහ කරමින් සුද්දන්ට බනිමින් එය පිළිබද බන දේශනා කිරීමය

නාමල් උඩලමත්ත said...

මම ගණිකා වෘත්තිය තහනම් කළ යුතුද? කියා ලියපු ලිපියේ කීවා පැහැදිලිව මකේ සුද්දා‍ අප මත බලෙන් පටවපු නීතියක්. මේ නිසා වුණේ ලොකු අවුලක් කියලා. ඒ වගේ ම ඒවා දැන් සුද්දොවත් පිළිනොගන්න බවත් කීවා. සුද්දාට බනින්නේ උන් ඇවිත් මේ රටවල් විනාශ කළ නිසා විතරක් නෙමේ උන් අපි ශිෂ්ටාචාරගත කලා කියලා හිත ඉන්න කළු සුද්දන්ට ඇහෙන්න. ධර්මපාලතුමා කීවේ ගේ ඉස්සරහා සුද්දාගේ පඹයෙක් හදලා උදේ හවස දරුවන්ට පේන්න තලාපිය කියාලා. මේ රටේ උන්ට සුද්දා ඒ තරම් ලොකුයි. තමන්ගේ අම්මා - මාතෘභූමිය දුෂණය කරපු දුෂකයා ආක්‍රමණීකා මුන්ට ඒ තරම් ලොකුයි.

නාමල් උඩලමත්ත said...
This comment has been removed by the author.
kik said...

samajayak niti nathuwa pawathwagena yanna be. anadikaraya hama detama wada awul ati karanawa. minister wenas wenakota visn eka wenas wena lankawe civil law lihil wunoth? Anika api ai me hama dyakma agamikawa wigraha karanne? Lingikathwaya pawa? meka nitiye awulak nemei. mkada nitiya tibunath nathath meke lingika karana sidu wenawa. api dakina saha karana widiyai wenas wenna oni. a ganai api katha karanna oni
@madulupura

දිමුතු said...

ආණ්ඩුව ඇතුලේ ඉන්න මාතෘභූමිය දුෂණය කරපු දුෂකයා ආක්‍රමණිකයාගේ නීති 2500 සංස්කෘතියත් එක්ක ඈදාගෙන නටන උන්ව ඉස්සල්ල නවත්ත ගන්න

නාමල් උඩලමත්ත said...

ඔව් සමාජයක් නීති නැතිව පවත්වා ගෙන යන්න බැහැ. නීති හැදුවේ ඇයි? ඒ කුමට ද? කියලා අපි මුලින් තේරුම් ගන්න ඕන. නීති හැදුවේ මානව යහපතට. මිනිසාගේ අයපතට සිදුවන දෑ වැළැක්වීමට. ඒකයි මිනි මැරුම් තහනම්. සිය දිවි නසා ගැනීම් තහනම්. ඒවායින් සිදුවන හානිය පැහැදිලියි. හැබැයි ගණිකා තහනම වගේ දෙයකින් සිදුවන කිසිම හොඳක් නැහැ. ඒ නිසා වුණේ තිබුණු හොඳත් නැති වීම විතරයි. මේක නීතියේ අවුලක් නෙමේ. නීතිය තිබුණත් මේවා වෙනවා කියලා ඔබ කියනවා. ඒ කියන්නේ නීතියෙන් විය යුත්ත වෙලා නැහැ. අනිත් පැත්තට සමාජයක් නීති නැතිව පවත්වා ගෙන යා නොහැක කියන ඔබේ මුල් තර්කය එතනදී ඔබ ම ප්‍රශ්න කරනවා.

DInesh said...

ඇත්තක්....

 
සිය රට දේ සිරි සැප දේ !